ඇ‍ඟේ ලේ රත් කර නොගෙන අපේ ළමයි ගැන බලා ගනිමු | Page 3 | සිළුමිණ

ඇ‍ඟේ ලේ රත් කර නොගෙන අපේ ළමයි ගැන බලා ගනිමු

“දැන් බලන්න වලව්කාරයො තමුන්ටම එපාවෙලා ඔය ඊනියා ගෞරවය අතෑරලා.. පුම්බපු ඒවයෙ හුළං ඇරලා.. මේ අපේ කීප දෙනෙක් විතරයි ඕවා ඔළු උඩ තියාගෙන බර කිර කිරා ඉන්නේ... හහ් හහ් හා...!”

විජේනායක මලයාගේ ඒ බාසාව කොහොමත් හාමු මහත්තයාට ඇල්ලුවේ නැති බව කවුරුත් දැන සිටියේ පුරුද්දටමය. ඒත් ඒ කතාබහෙන් පස්සේ හාමුගේ ගති සිරිත් ටිකක් අමුතුවෙලා වගේ නිර්මලා මැණිකේට නම් තේරේ.

“එක අතකට මැණිකෙ දරුවො වුණත් ඕනෑවට වඩා ඔළුව උඩ තියාගෙන ඉන්න නරකයි. දැන් බලන්න රත්නපුරේ මලයලාට වෙච්ච දේ... මයෙ නගා කොහොම වදවෙනවද මන්දා.. ගෑනු දැරිවියක්නේ ඉතිං ඒ විදියට තමුන්ගෙ අම්මා අප්පා දාලා ගියේ.. හහ්!” දැන් නිර්මලා මැණිකේටත් කතා කරන්න මාතෘකාවක් ඇවිල්ලාය.

“අපෙ මහත්තයා ඔය සමන්ති දුව කසාද බැන්ද අර හාදයා ජයතිස්සගෙ ලොකු පුතාලු නේද? ඒ ළමයා ඉඳලා තියෙන්නෙ අම්මයි නංගියි එක්ක ගමේලු නේද?”

විල්ප්‍රඩ් හාමු කෙළින්ම හාන්සි පුටුවේ වාඩිවෙන්නේ මැණිකෙගෙ හරස් ප්‍රශ්නවලින් ටිකක් ගැස්සිලා වගේය.

“හ්ම්...! මේ කුමාර අද පත්තරේ මෙහාට ගෙනාවනං..”

“ඒ ළමයා ඔය ජයතිස්සයා වගේ කාලගෝල පෙනුම නැතිලු. හරිම ලස්සන වැදගත් පෙනුමලු.. නේද? සමහරවිට අම්මා වගේ ලස්සන ඇති.. ඇයි චන්ද්‍රලතාත් හොඳ ඇහට කනට පේන ගෑනි නෙවැ..”

“අනේ මං දන්නෑ මැණිකෙ කොහෙන් මේවා හොයාගන්නවද කියලා.. හහ්හා.. කෝ.. කුමාර කොලුවො මයේ කණ්ණාඩි දෙක මෙහෙ ගෙනාවනම්...!”

ආයෙත් හාමු පත්තරයට කරබාගෙනය. මැණිකෙට ටිකක් තරහාය. දැන් සති ගාණක් ගිහිල්ලත් මේ සිද්ධිය ගැන කතා කරනකොට මගහරින එක පුරුද්දක් වෙලාය.

“අනේ මන්දා අපෙ මහත්තයාමයි ඒ ළමයා පැනලා ගිය දවස්වල ඉසගිනි අරගෙන වගේ දැඟලුවෙ.. කෙල්ලව කුදලාගෙන එන්නම් කිය කියා.. දැන් අපෙ මහත්තයාම තමා ඒ ගැන ගල්ගිලලා වගේ නිස්සද්ද...”

සති ගාණක් තිස්සේ හිතේ හිරකරගෙන හිටිය දෙයක් ඇය මුදා හැරියේ එසේය. දැන් විල්ප්‍රඩ් හාමු කණ්ණාඩි දෙකට උඩින් මැණිකෙ දිහා බලන්නේ ටිකක් තරහින්ය.

“අනේ.. අනේ මැණිකෙ.. නතර කරගන්න ඔය කතාව! නිකං මොටද අපි ඇ‍ඟේ ලේ නරක් කරගන්නෙ.. ඔන්න ඔහේ අපි ‘අපේ දරුවො’ ගැන බලාගම්මු..”

මැණිකෙ ගස්සාගෙන කුස්සිය පැත්තට යන්නේ බරපතළ කතාවක් කියාගෙනය. ඒත් ඒ කියන්නේ කටින් නොව හිතින් විතරය.

“අනේ මං දන්නෙ නෑ මට නම් තේරුම් ගන්න බෑ මේ හාමුලගෙ වෙස් පෙරලිල්ල... දෙයියොම තමයි දන්නෙ.. පිරිමි ජාතිය මහ අමුතු ජාතියක්.. අපේ ආතම්මලා කියාපු කතා නම් හරිම ඇත්ත තමා...!”

********

අම්මා අප්පච්චිලාගේ මති මතාන්තර ද වලව් පැලැන්තියේ විවිධාකාර කතන්දර ද පට්ටන්දර ද අතරින් කාලය ගලාගෙන ගලාගෙන ගියේ ගංගාවක් වගේ යැයි ශ්‍රීමාල්ට සිතෙයි. ඇත්තට ම ගංගාවකට වඩා එය සුළඟක් වගේය...! ජල දහරක වේගයට වඩා සුළං පහර කොහොමත් වේගවත්ය. එක තැන ගුලිවී සිටින වලව් මානසිකත්වය හරියට කොදෙව්වක සිර කළ වහලුන්ගේ මානසිකත්වය වගේය.

මේ දේවල් ගැන හිතුවාට තමාට ඒවා හරියට ම ප්‍රත්‍යක්ෂ වන්නේ දැන්ය. අතීතයේ සිට වර්තමානයට සිතුවත් වර්තමානයේ සිට අනාගතයට සිතුවත් සියල්ලම මොනතරම් පුහු දේවල්ද?

“මොකෝ බං... බෝඩිමේ කෑම උඹට අල්ලලා නෑ වගේ.. කාපුවෙලේ ඉඳන් කම්මුලේ අත තියාගෙන ජනේලෙන් එහා බලාගෙන ඉන්නේ..”

තම කාමර සගයෙකු වන උදාර එසේ කියද්දි ශ්‍රීමාල් පොළවට එයි.

දැන් තමා සිටින්නේ සරසවියේ නේවාසිකාගාරයේය! ඇත්තටම හැම දේම හීනයක් වගේය. අප්පච්චි.. අම්මා... මල්ලී.. ඔවුන්ගේ ඇසුරින් මිදිලා.. දැන් අලුත් ම ජීවියෙක් වගේය. සිරිනාතත් තමා සමඟ ම නොසිටින්නට ඇත්තටම තමා ග්‍රහලෝකයකින් ආවා වගේ මානසිකත්වයකට බඳුන් වෙනවා සත්තය.

“මොකෝ හාමු මහත්තයා කල්පනාව..!”

සිරිනාත ආවේ එහෙම කියාගෙනය.

ශ්‍රීමාල්ගේ ඇස්වලට ආවේ රකුසු බැල්මකි. ඔහු වට පිට බලද්දී උදාර තුවාය රැගෙන නාන කාමරයට යමින් සිටිනවා පෙනුණි.

“මචං මං උඹට කියලා තියෙනවා.. ඔය විහිළුව නවත්තපං..”

“ආනේ සොරි මචං.. මට පුරුද්දට එහෙම කියවුණේ..”

“මං උඹෙන් එක ඉල්ලීමක් කරනවා.. ඔය පට්ටන්දර මෙහෙ ඇද බාලා.. මාව රැග් කරවන්න එපා.. මට වහකන්නයි වෙන්නෙ.. දැනටමත් කාපු රැග් හොඳටෝම මදෑ... හහ්..”

“හරි.. හරි.. ආයෙ මං ඒ විහිළුව කරන්නෙ නෑ බං.. මං ඉතිං සොරි කිව්වානේ..”

සිරිනාත මිත්‍රයාගේ පිටට තට්ටු කළේ අසීමිත කරුණාවෙනි. දුප්පත්කමේ දරිද්‍රතාවයෙන් පෙළෙන තමුන්ට ශ්‍රීමාල් වගේ මිත්‍රයෙක් පෙනෙන්නේ දෙවියෙක් දේවතාවෙක් ගානටය.

“මල්ලි කෝල් කළා උදේ.. මට හරි දුකයි මල්ලි ගැන. එයාට හොඳටම පාළු ඇති.. අම්මත් ඒ එක්කම කතා කළා. ඒ එක්කම අප්පච්චිත් පසුබිමින් ඉඳගෙන ගායනාවක් කළා.. හහ්හා...”

“වලව් ස්තෝත්‍රයක් වෙන්න ඇති!”

“හා.. හා නවත්තගනිං.. ඔන්න උදාර එනවා..”

“අපි පොඩි ට්‍රිප් එකක් ලෑස්ති කරනවා.. දැන්ම නෙමේ.. හරිද.. උඹලා දෙන්නත් එනවා නේ..” උදාර කෑගෑවේ උනන්දුවෙනි.

සිරිනාත මූණ ඇඹුල් කරගෙන වගේ පසෙක බලනවා ශ්‍රීමාල්ට පෙනෙයි.

“අන්වා.. අන්වා..! මචං අපි දෙන්නම එනවා!”

ශ්‍රීමාල් තුවායත් රැගෙන නාන කාමරයට දිව්වේ එක හැල්මේය.

“ඌ හරි හොඳ එකා...!”

උදාර එසේ කීවේ සිරිනාතටය.

හිස වනා එය අනුමත කළ සිරිනාතට දුකය. ඒ මිතුරාගේ කීම සනාථ කිරීමට ඒ හිස වැනීම ප්‍රමාණවත් නොවන බව හිතිලාය

“මචං.. ශ්‍රීමාල් කියන්නෙ පුදුමාකාර හොඳ හිතක් තියෙන කොල්ලෙක්.. අපි අවුරුදු ගාණක් තිස්සෙ එක ඉස්කෝලෙට ගියෙ. ඕනෑම කෙනෙකුගෙ දුකක් කරදරයක් හොඳට තේරුම් ගන්න ඒ වගේ අය හරිම අඩුයි..”

සිරිනාතට ඒ ටික කියද්දිත් ඇහැට කඳුළු පිරෙයි. මේ බෝ‍ඩිමට ඇවිත් ගතවුණු සති දෙක තුන වගේ කාලෙදිත් ඔහු තමාට මොන තරම් හයියක්දැයි කියාගත නොහැකිකම මහම දුකකි.

ශ්‍රීමාල්ගේ පවුලේ විස්තර තරාතිරිම ආදිය ගැන කතා නොකරන ලෙස තමුන්ට කලින්ම උපදෙස් ලැබී නොතිබුණා නම් තම කතාව එතැනින් නතර වන්නේ නැත.

“මෑන්ට අඩමානයක් නෑ කෙල්ලෙක් ඇති!”

හිනාවෙවී තම ඇඳ මතට වී පොතක් අතට ගන්නා උදාර ඒ වැකිය කියද්දිම ශ්‍රීමාල් එතැනය.

“කාටද මටද...?” ශ්‍රීමාල් අසන්නේ ඔළොක්කුවෙන් වගේය. ඊට සිරිනාත පාන කයිරාටික හිනාවෙන් ශ්‍රීමාල් විනෝදවෙයි.

“තාම නෑ බං.. හොයලා දීපංකො..!”

“බොරු නැතිව හිටිං මචං... උඹේ ඇස් දෙකම කියනවා කෙල්ලො තුන්හතර දෙනෙක්වත් ඇති කියලා..”

ශ්‍රීමාල් ඊට මහා හයියෙන් හිනාවෙයි.

ඇස් දෙක...! ඒක නම් පුදුම කතාවකි. තමාට ඇත්තේ හරිම ‘මනමාල ඇස් දෙකක්’ යැයි මුලින්ම කීවේ කවුද?

‘හප්පා... අද නම් ඇති වෙන්නම දුන්නා.. මාරම බෝරිං....!” කාමරයට ආ අනෙක් මිතුරා, සංජය පරිසරයේ නිහඬ බව එකපැහැර බිඳ දමයි.

“අනේ අනේ.. උඹට ඉතිං එක විදියකට ඉඳගෙන පාඩමකට ඇහුම් කන්දෙන්න පුළුවන් එකෙක්යැ. කොහේද නාට්‍ය පිස්සුව ඉහට ගහලනෙ.. මචං.. ඔය නාට්‍ය කෙරුවාවට කලින් හරියට ඉගෙනගෙන හිටපං..” ඒ උදාර ගේ අවවාදයයි.

ශ්‍රීමාල් ඇඳට ගොඩවුෙණ් පොතක් අතට අරගෙන වුණාට පාඩමක් කරන්න හිත ඉඩ දෙන්නේ නැති බව හිත කියා සිටියේ මොහොතකට කලින් ඉඳන්ය... ඒ අතීතය පුරා සැරිසරන්නට තමුන්ගේ සිතට ඇතිවෙලා තියෙන මහා වුවමනාව නිසාය.

හෙට දිනයට සකස්කරගෙන යා යුතු නිබන්ධනය ගැන කටයුතුත් පසෙක තබා ශ්‍රීමාල් හිතට ඔහේ ඇවිදින්නට හරින්නේ ඇ‍ඳේ හාන්සිවී බිත්තිය පැත්තට හැරී ඇස් පියාගෙනය.

“ශ්‍රීමාල්ට නම් නින්ද ගිහිල්ලා වගේ...!”

එහෙම කිව්වේ සිරිනාත හෝ උදාර වෙන්නට ඇත.

වසර ගණනාවක එපිට අතීතයකට ශ්‍රීමාල් තම සිත මුදා හරියි.

ඒ සුගතානන්ද දහම් පාසලය.

විශාල බෝගස වටා බැඳ ඇති බැම්ම මත මල් වට්ටි පෙළ ගැහිලාය.

ඒ මල් වට්ටිවලට අයිතිකාරයෝත් ඇත. අයිතිකාරියෝත් ඇත.

තමා මල් ගෙනිච්චේ නැතත් ලොකු හාමුදුරුවෝ තමාටත් සුජාත පොඩි හාමුදුරුවන්ටත් රාජකාරියක් පවරා තිබුණි.

තමාට එවැනි බැරෑරුම් රාජකාරියක් දෙන්නට හේතුවුණේ අප්පච්චි ඒ පන්සලේ මහා දායකයකු වීම නිසා ඔහුට කරන ගෞරවයක් විදියට වෙන්නත් පුළුවන්ය.

ළමා සාරිවලින් සැරසී මල් වට්ටිවලට ලකුණු දාගන්නට පොරකන යුවතියන් අතරේ එක්තරා යුවතියක දිහා තමාට නිකමට බැලුණේ ඇගේ මල් වට්ටිය පුරාම තිබුණේ නිල් කටරොලු මල් නිසාය.

මල් වට්ටියට ලකුණු දාන ගමන් අත දිහා බැලූ බැල්මට ඒ ළමයාද එකවරම ගැස්සුණා වගේ මතකය.

තමාට එකවරම මතක් වුණේ කවි පදයකි. ඒ සීගිරි කවකි.

‘නිල් කට්රොල් මලෙක ඇවුණු වැට්කොල් මල සේ...”

ඒ ගැස්සිල්ලත් ඒ දැකීමත් එතැනින් ම කෙළවර වුණේ ඊට පස්සේ සතියේ පටන්ම තම දහම් පාසල් ගමන ඇනහිටිය නිසාවෙනි. එසේ වුනේ දහම් පාසලේ උගන්වමින් සිටිය තම අප්පච්චිගේ නෑදෑයෙකු වන ජයමන්ත මාමාට කොළඹට මාරුවීමක් ලැබී රැකියා කටයුතු සඳහා කොළඹ යන්ට සිදුවූ නිසාය.

“ඔන්නොහෙ ඕන නෑ අපේ ළමයා තවදුරටත් දහම් පාසල් යවන්න.. ජමන්ත මලයා හින්දා තමා මම එයා යැව්වෙත්.. මං කැමැතිත් නෑ අපේ ළමයා ඔය ගම්මැදෑවෙ එක එකා එක්ක පෑහෙනවටවත් පයිරුපාසානමේ යෙදෙනවටත් ඕං..”

එහෙම කිව්වේ අප්පච්චිය.

“ආන්න හොඳයි.. ඒක මං මේ අපේ මහත්තයාටත් කියන්නම තමා හිටියෙ.. ජයමන්ත මලයා කියන විදියට අපේ දරුවා ළඟදීම ධර්මාචාර්ය විභාගෙත් පාස් කොරාවි.. ඒත් මොකටද නිකම් පන්සල් ගානෙ උගන්නන්න යවන්නෙ.. ඊටත් දරුවගෙ සාමාන්‍ය පෙළ විභාගෙත් අත ළඟ‍මනේ..”

එසේ අත්වැල් පදය ගායනා කළේ අම්මාය!

දහම් පාසලට සමුදෙන්නට සිදුවුණේ ඒ විදියටය.

ඊට අවුරුදු ගාණකට පස්සේ උසස් පෙළ පුනරීක්ෂණ පංතියේදී ආයෙත් දවසක ඇස ගැටුණේ ඒ ඇස් දෙකමය. ඒ ඇස් දෙක තමාව දැකලා ගැස්සුණු හැටිත් යාළුවන්ගේ විහිළුත් මතකය. නිල් කටරොලු මල් වට්ටිය ආයෙම කැරකිලා හිතට ආහැටි පුදුමය! ඒ ‘මේඛලා’ පිළිබඳ මතකයයි.

පස්සෙ දවසක “අස් දෙකෙන් එවූ ලියුමක්” ගැන කවියක් කුරුටු ගා යහළු යෙහෙළියන්ගේ අප්‍රමාණෙට සමච්චල් කෙණහිලි ලැබුවෙත් ඒ මේඛලාමය...!

ඇයත් පේරාදෙණි සරසවියටම ඇතුළුවී ඇති බව දූෂමානව ආරංචියක් ලැබී තිබේ. ඒත් තවම ඇය තමුන්ට හමුවුණේ නැත. මේ නම් කාගේ හෝ උපකාරයක් අවශ්‍යම කාලයයි.

ශ්‍රීමාල් එකවරම ඇස් අරියි.

කාමර සගයන් දෙදෙනෙකු ම නින්දේය.

සිරිනාත විතරක් මේසයට වාඩිවෙලා සටහන් ලියමින් සිටියි.

“මොකක්ද බං උඹේ ඔය හොර නින්ද?.. ආ..”

ශ්‍රීමාල්ගේ මුවගට නැගෙන්නේ කෝල හිනාවකි.

“දවල් හීනෙන් කවුරු හරි දැකලා වගේ.. මූණ.. හහ්හා..!”

ඊළඟට කාමරේ දෙක වෙන්න ම හිනාවක්.

කෙටි නින්දේ හිටපු දෙන්නාද ඇහැරෙන්නේ ඒ සද්දෙටය.

“හා.. හා. උඹලා නැගිට්ටද යං.. යං.. තේ බොන්න.. අද මගේ ගානේ ඕං දෙනවා වඩේ පාටියක්..!”

යහළුවන්ගේ ගිගුම් දෙන හිනා හඬ මැද්දේ ශ්‍රීමාල්ට හිතුනේ තමා මනුස්සයෙකු වශයෙන් නිදහස ලබා ඇත්තේ දැන් නොවේදැයි කියාය.

********

ජයමාල් ලියන මේසයට වාඩිවී පාඩම් කළේ කම්මැළි කමිනි. වෙනදා නම් හදිසියකටවත් අමාරු ප්‍රශ්නයක් අහගන්න අයියා ළඟ සිටියි. ඒත් දැන් නම් මහා මුස්පේන්තු පාළුවක් ඇති වෙලාය. ඇත්තටම තමා පාඩම් වැඩ වගේම ජීවිතේ ඉගෙන ගත්තෙත් අයියාගෙන්ය.

අයියා විසින් තැන තැන කුරුටු ගාන පුංචි පුංචි කවි සටහන් ජයමාල්ට කියවන්නට ලැබුණේ අහම්බෙනි. එක පොතක පසුපිටෙහි සටහනක් නෙත ගැටී ජයමාල් එය කියවයි.

“ඔබේ දරුවන් ඔබේ නොවේමය

ඔවුන් ජීවිතය ඉල්ලන දූ පුතුන්ය

උපත ලද මුත් උන් ඔබෙන්

ඔබේ දරුවන් නම් නොවේ

ලබනමුත් උන් ඔබෙන් පෝෂණ

ඔබේ සිතුවිලි හිමි නොවේ

උන් සිතුම් උන් සමඟ වේ...”

ඒ සටහන කියවද්දී ජයමාල්ට තම ගෙල වටට උණුසුම් සුසුමක් වැටෙනු දැනෙයි. පිටුපසින්.. අම්මාය!

“මොකක්ද පුතේ.. ඒ.. කවියක්ද?”

“මේ මං කියෙව්වෙ අයියා ලියපු එකක් අම්මේ..”

“දෙයියනේ..!”

අම්මාගේ මුවින් පිටවූ සුසුම ජයමාල්ට තදටම දැනෙයි. එනිසාම ඔහු කවියේ අග කෙළවර පිරික්සයි.

“හා.. අම්මේ මේක අයියාගෙ අදහසක් නෙමේ.. මේක ‘ඛලීල් ජිබ්රාන්’ කියලා දාර්ශනිකයෙකුගේ කියමනක්..!”

“හා.. ඒක මිසක්කා..! අනේ පුතේ මං බය වුණා.. මගේ හිත ගැස්සුණා.. අන් දෙමවුපියො ගැන කිසිම විදියක අහිතක් දරුවො හිතන්න නරකයි. අප්පච්චිලා.. අම්මලා.. පවු පුතේ...”

නිර්මලා මැණිකේ ඒ එක්කම තවත් වාක්‍යයක් කියයි. ඒක කියන්නේ හිතින් විතරකි.

“අප්පච්චිලා කොහොම වෙතත් අම්මලා... පවු පුතේ...!”

හොරෙන් පැනලා ගිය රත්නපුරේ සමන්ති දුව සහ ඇගේ පෙම්වතා පිටරටක පදිංචියට ගොස් නැති බවත් දුර පළාතකට ගොස් ජීවත්වෙන බවත් ආරංචි වුවත් රත්නපුරේ දෙමාල්ලන් වැඩිමනත් කලබලයක් කරන්නට ගියේ නැත. සියල්ලටම වඩා විල්ප්‍රඩ් හාමුගේ ඒ තරම් කලබලයක් නැතිවීම ඊට හේතු වන්නට ඇත.

රත්නපුර වලව්වේ සුදු මැණිකේ, නිර්මලා මැණිකේ සමඟ ඒ ගැන වැඩිපුර කතාකරන්න ගියෙත් නැත.

රියැදුරු කරුණාදාස මේ සියල්ල දිහා උපේක්ෂාවෙන් බලා සිටියා මිස අතීත සිද්ධි හා වර්තමාන සිද්ධි ගළපන්නට ගියේ නැත්තේ ස්වාමි භක්තිය නිසාය. එදා විල්ප්‍රඩ් හාමු තමා සමඟ ජයතිස්සලාගේ ගෙදර ගියාට පසු ඇතිවූ මේ විපර්යාසය ගැන තම හිතලු ගෙතිල්ල නතර කර ගන්නට කරුණාදාස වගබලා ගත්තේ දශක ගණනාවක් තිස්සේ වලව්වට පාන ලද හිතේසිවන්තකමත් විශ්වසනීයත්වයත් රැක ගැනීමේ අරමුණින්ය.

නමුත් නිර්මලා මැණිකේ හාමු නගන යම් යම් ප්‍රශ්නවලින් හැකි තාක් මඟහැර සිටින්නට ඔහු ඉටාගත්තේ වලව්වේ සමගිය රැක ගැනීම තමාගේ යුතුකමක් කොට සලකමින්ය.

“ලොකු පුතා ගියා විතරයි මුළු වලව්වම පාළුවුණා වගේ නේද මයෙ මැණිකෙ...”

විල්ප්‍රඩ් හාමු ආලින්දයේ හාන්සිපුටුව අරා වැතිරෙන ගමන් කියන්නේ පුරුද්දට වගේය.

“අනේ ඇත්තමයි ලොකු හාමු... ලොකු එළියක් පත්තුකරලා තිබිලා ඒක අඩු වුණා වගේ.. තමා! පොඩි බේබි හාමුත් හරිම තෝන්තුවෙන් වගේ තමයි ඉන්නේ.. දැන් නම් කාමරේ ඉන්නත් එපා වෙලාලු ඕං...!”

ජන්තු එහෙම කියන්නේ ආලින්ද තරප්පුව උඩ වාඩිවී පොඩි බේබි හාමුගේ සපත්තු මදින ගමන්ය.

නිර්මලා මැණිකේ දුක්බර හිනාවක් පායි. ශ්‍රීමාල් පුතා ලියලා තිබුණු ‘සටහන’ මතක් වී ඇගේ දෑසට කඳුළු පිරෙයි. ඒ කඳුළුවල මහා ගැඹුරක් ඇති බව දන්නේ විල්ප්‍රඩ් හාමු විතරය. කොහොම වුණත් වලව්වට වාසනාව අරගෙන ආවේ ශ්‍රීමාල් පුතාය. කන්ද නැගගෙන එන මොකක්දෝ වාහනයක හඬින් එකවරම හැමදෙනාම තිගැස්සෙයි.

ලබන සතියට

Comments