එදා නොමඟ ගියත් අද යහ මඟට ආ තරු­ණයෝ | Page 5 | සිළුමිණ

එදා නොමඟ ගියත් අද යහ මඟට ආ තරු­ණයෝ

මතට, සොරමැරකම්වලට විලංගු ලූවෙකුට සියුම් නිමැවුම් මැවිය හැකිද? ලී කැබැල්ලකට, ගල්පතුරකට,මැටිපිඩෙකට ජීවය දෙමින් අපූර්ව නිමැවුම් කරන්නට ඔවුනට හැකි වෙතැයි එදා ඔවූන් මෙන්ම සමාජය ද දැන නොසිටින්නට ඇත. කිසිවිටෙක නොසිතන්නට ද ඇත. සමාජ සම්මතයට එරෙහිව ගොස් සිරදඬුවමට ලක් වන ඒ තාරුණ්‍යය යහමඟට යොමු කොට ඔවුන් නොසිතූ, නොදුටු ඔවුන්ගේම නිර්මාණශීලී හැකියාවන් පිටතට ගෙන සාමාජ ගත කරන්නට හැකි නම් එය කෙතරම් වටිනා මෙහෙවරක්ද? වසර ගණනක් පුරා එකී මෙහෙවරට උරදෙමින් නිහඬ සේවයක නියැළෙන වටිනා සමාජ ආයතනයක් ලෙස ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හැඳින්විය හැක්කේ නොමඟ ගිය වුන් යහමඟට ගෙන ඔවුන්ගේ සහසක් අපූර්ව නිර්මාණ මෙන්ම යහපත් පුද්ගලයන් ලෙස ඔවුන් ද සමාජගත කරන්නට කටයුතු දියත් කරමින් සිටින බැවිනි.

තවමත් තාරුණ්‍යය පහව නොගිය ඔහු 'සඳුන්' ලෙස හඳුන්වමු. 'සඳුන් මට මුණ ගැසුණේ මිනුවන්ගොඩ ප්‍රජා පාදක විශෝධන ප්‍රාදේශීය මධ්‍යස්ථානයේදී ය. සඳුන් ගේ කතාව දුක්බරය. වේදනාකාරීය. මම ඔහුගේ කතාවට සවන් දුනිමි. 'මගේ අම්මා විදේශ ගත වුණේ මම කුඩා කාලයේදියි. අම්මා රට ගියාට පස්සේ මට ආදරයක්, රැකවරණයක් කාගෙන්වත් ලැබුණේ නැහැ. මම හැදෙන්නන්වාලේ හැදුණා. ජීවිතේ ඉබාගාතේ ගියා. ඉගෙන ගන්න ලැබුණෙත් නැහැ. මං ගැන හොයලා බලන්න කවුරුවත් හිටියෙත් නැහැ.

මට හුඟක් යාළුවො හිටියා. ඒ අයත් එක්ක රස්තියාදු ගැහුවා. විනෝද වුණා. මත්පැන් බිව්වා. පසුව මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. මත්ද්‍රව්‍ය ගන්න සල්ලි හොයා ගන්න බැරි වුණු දවසක යාළුවොත් එක්ක මහ රෑක ගෙයක් බින්දා. ගෙදර බඩු හොරකම් කළා. ඒ වරදට අහුවෙලා පොලීසියෙන් රිමාන්ඩ් කළා. බන්ධනාගාරයේ සිර දඩුවම් වින්දා. පසුව අධිකරණයෙන් මා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට යොමු කළා. එයින් පුනරුත්ථාපනය ලැබුවා. ඒ සමඟම එයින් ලැබුණු වෛද්‍ය ප්‍රතිකාර,උපදෙස් නිසා මගේ ජීවිතේ මම නොදුටුව පැත්තක් මට දැක ගන්නට ලැබුණා. අද මිනුවන්ගොඩ ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයේ මඟපෙන්වීම මත මම ලී කැටයම් ශිල්පය හදාරනවා. මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ මට මේ නිර්මාණ කලාව පුළුවන් කියලා.

මේ වන විට මම මේ නිර්මාණ ඔස්සේ මගේ ජීවිකාව ගෙන යනවා. එමඟින් මට ආදායමක් ලැබෙනවා. අද ජීවත්වෙන්න සැලකිය යුතු මුදලක් උපයාගෙන පෙර මෙන් වැරැදි නොකොට මගේ දරුවාටත් බිරියටත් යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමටයි මට අවශ්‍ය. ප්‍රජා විශෝධක දෙපාර්තමේන්තුවට මම පින් දෙනවා සමාජයෙන් කොන්වෙලා නොමඟ ගිය අපි වගේ තරුණ තරුණියන් යහ මඟට ගැනීමට මේ විදිහට කටයුතු කිරීම ගැන. අද අපිව කොන් කළ සමාජයම අපිට සලකනවා. එදා මිනිස්සු අතමාරුවකට රුපියලක්වත් අපිට දෙන්න කැමැති වුණේ නැහැ.

අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අපේ හැකියාවන්,නිර්මාණයන් දැකලා සමාජය අද සතුටු වෙනවා. අපිට සලකනවා. ඒ වගේම අපි ගැන කතා කරනවා. එය සතුටක්.' සඳුන් එදා තමා ගත කළ ජීවිතය ගැනත් අද ගත කරන ජීවිතයෙහි වෙනෙස ගැනත් පවසන්නේ එලෙසයි. මව් වරුන් විදෙස් ගත වීම, විරැකියාව, අධික දිළිඳුබව, අධ්‍යාපනය නොලැබීම, නොදැනුවත්කම හේතුවෙන් සමාජයේ විවිධ වැරදි වලට යොමු වූ සඳුන් ලා දහස් ගණනක් ලංකාව පුරා විසිරී සිටිති. ඒ හැම කෙනාගේම කතාව සඳුන්ගේ කතාවට සමානය.

සොරකම්, මත්ද්‍රව්‍ය,ගහමරා ගැනිම් නිසා බන්ධනාගාර ගත වීම් බොහෝ ප්‍රමාණයක් දිනපතා සිදුවන බව නොරහසකි. සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වීමට නියම වූ වරදකරුවන් සිරමැදිරි තුළ කොටු කර නොතබා ඔවුන් ළුලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරමින් නිවැරදිකරුවන් ලෙස සමාජ ගත කිරීමේ වැඩසටහන් මාලාවක් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ඔස්සේ ලංකාව පුරා දියත් කරමින් තිබීම සමාජයේ අවධානයට ලක්විය යුතු කරුණකි. මේ වැඩසටහන් මාලාවට ජවයක් ආලෝකයක් ලබාදෙමින් මේ සුළු වැරදිකරුවන් නිවැරදිකරුවන් ලෙස සමාජ ගත කරන්නට මේ වන විට ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් වන මිනුවන්ගොඩ ප්‍රාදේශීය මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින්නේ මේ වසරේ අවසානයේ මේ සුළුවරදකරුවන් වූ ආඥාලාභීන් අතින් බිහි වූ නිර්මාණ සමාජයට එළිදක්වා වඩාත් යහපත් හෙටක් ඔවුනට ලබාදීමේ අරමුණිනි.

මෙම වැඩසටහන් පිළිබඳව මිනුවන්ගොඩ අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරී ප්‍රියන්ති ධර්මසේන මහත්මිය අප සමඟ පැවැසුවේ මෙවැන්නකි.'ප්‍රජා පාදක විශෝධන පනත ස්ථාපිත කළේ 1999 වසරේදියි. 1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනතින් බන්ධනාගාරගත කර දඬුවම් නියම කිරීම වෙනුවට අධිකරණය මඟින් ප්‍රජා පාදක විශෝධන ආඥා නිකුත් කිරීම සිදු කරනු ලබනවා. සුළු වරදකරුවෙක් ප්‍රජා විශෝධන ආඥාවකට ඇතුළත් කළ පසු ඔහු හෝ ඇය ප්‍රජා විශෝධන ක්‍රියාවලියට අදාළ නීතිරීතිවලට , උපදෙස්වලට, විධානවලට අවනතව කටයුතු කළ යුතුයි. ඒ වගේම නියමිත පැය ගණනක් වාර්තා කළ යුතුයි. පළමුවෙන්ම මෙම වරදකරුවන්ගේ වරදේ ස්වභාවය හඳුනාගෙන ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර,වෘත්තීය පුහුණුව , උපදේශනය ලබා දීම සිදු වෙනවා. ඒ අය ගැන නිරන්තර අධීක්ෂණයෙන් සිටිනවා. ආඥාව අනුව ක්‍රියා නොකළොත් එය වරදක් සේ සළකා යළි කටයුතු කිරීමට සිදු වෙනවා.

අද වන විට ප්‍රජා පාදක විශෝධන ආඥාලාභීන්ට අප දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ශිල්පීය පුහුණු පාඨමාලා, වෘත්තීය පුහුණු පාඨමාලා, සමූහ උපදේශනය, වෛද්‍ය උපදේශනය හා ප්‍රතිකාර, අධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සද්කාර්යයන්, ශ්‍රමදාන, වැඩමුළු, නේවාසික ප්‍රතිකාර නිසා ඔවුන්ට යහපත් දිවියකට අඩිතාලම දමා ගන්නට හැකිව තිබෙනවා. මේ ඔස්සේ මේ අඥාලාභීන්ට තමාගේම ස්වයං රැකියාවකට අත්වැලක් ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීම සිදු වෙනවා. ඒ වගේම මේ ඔස්සේ දේශීය , විදේශීය රැකියා අවස්ථා හිමිකර ගැනීමටත් හැකි වෙනවා. ලී කැටයම්, මේසන්, මැටි, ධීවර කර්මාන්ත සඳහා පුහුණුව ලබා දෙනවා. මේ පාඨමාලාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට අවකාශ ලැබෙනවා.

 ඒ වගේම පුහුණු කාල සීමාවේ දී ආධුනික දීමනාවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය වෙන මේ නිර්මාණ , ඔවුන් සැකැසූ භාණ්ඩ අලෙවි කර ඒ ආදායමෙන් සියයට අනූවක් ඔවුනටම හිමිකර දෙනවා. අවසානයේ පිළිගත් සහතිකයක් ද පිරිනමනවා. ඊට අමතරව ස්වයං රැකියාවක් ඇරැඹු පසු තාක්ෂණික පහසුකම්, ණය පහසුකම් හා වෙළෙඳ පොළ පහසුකම් ලබා ගැනීමට සහායවීමට අප මධ්‍යස්ථානය කටයුතු කරනවා. මේ පුහුණුව ලබන පුද්ගලයෙකුට මසකට පහළොස් දහසකට වැඩි ආදායමක් හිමි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ජාතික මට්ටමේ ප්‍රදර්ශන සඳහා සහභාගිවීමට වගේම තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට සහාය වීමද සිදු වෙනවා. මේ යොමු කිරීම් නිසා වැරදිවලින් වැළකිලා ජීවිතය ජයගත් බොහෝ දෙනෙකු අද සාමාජයේ හොඳින් ජීවත් වෙනවා.

බොහෝ විට අද හුඟක් වැරදිවලට සම්බන්ධ වෙන්නේ තරුණ ළමයි. මේ ආඥාලාභීන්ගේ මව් වරුන් විදෙස් ගත වෙලා. අධ්‍යාපනය අතර මඟ නැවතිලා. අයාලේ ගිය මේ තරුණවරදකරුවන් යහමඟට ගෙන රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදීමට මං පෙත් විවර කිරීමට ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව ගෙන යන වැඩ පිළිවෙල අද සාර්ථක වී තිබෙනවා. ප්‍රජා විශෝධන නිලධාරිනියක ලෙස එයට දායක වෙලා කටයුතු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.' ප්‍රියන්ති මහත්මිය පවසයි. මෙම වැඩපිළිවෙල පිළිබඳ බස්නාහිර පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී තිස්ස කුමාර මහතා පවසන්නේ මෙවැන්නකි. 'සුළු වරදකරුවකුට විකල්ප දඩුවමක් ලෙසයි ප්‍රජා විශෝධන ආඥාවක් ලබා දෙන්නේ. එතැනදී අප ආයතනය වෙත යොමුවන වරදකරුවනට වි‍ශෝධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඇත්තටම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආයතන මට්ටමින් බොහෝ දෙනකුගේ දායකත්වය ලැබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. සුරේෂ් මහතා, ප්‍රජා විශෝධක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වී. ප්‍රේමචන්දිරන් මහතා, මිනුවන්ගොඩ දිසා මහේස්ත්‍රාත් කේ. ඒ. ඩී. ශිලනි පෙරේරා මැතිණිය, මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරුන් වන කේ. ඒ. පී. ලක්ශ්‍රිණී ගුණතිලක හා එච්.එම්. එල්. එස්. හේරත් මහත්මීන්,මිනුවන්ගොඩ මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකයේ වෛද්‍ය නිලධාරී චින්තන මහතා, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂවරුන්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් හා ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීන්, පුනරුත්ථාපන සංවර්ධන නිලධාරීන් , වැඩ පරීක්ෂකවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුනරුත්ථාපන කමිටු නිලධාරීන් මෙහිදී මතක් කළ යුතුයි. ඔවුන්ගෙන් මේ ආඥාලාභීන් උදෙසා ලැබෙන දායකත්වය ඉතා විශාලයි.

මේ අයගේ දායකත්වය මත තමයි මේ මෙහෙවර ලංකාව පුරා වගේම මිනුවන්ගොඩ වැනි ප්‍රාදේශීය මධ්‍යස්ථාන ඔස්සේ දියත් වීම සිදුවන්නේ. බොහෝ විට සුළු වරැදි සඳහා බන්ධනාගාර ගත වෙන්නේ කිසිම වෘත්තීය පුහුණුවක් හෝ ජීවිතයේ ඉලක්කයක්, අධ්‍යපනයක් නොමැති අවුරුදු 20 ත් 45ත් අතර තරුණ අය. මේ අයට දින 120කට වැඩි පුහුණුවක් වෘත්තීය පුහුණු අධිකාරියෙන් ලබා දෙනවා. මේසන් , ලීවැඩ, වඩුවැඩ, මැටි කර්මාන්තය, ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවලට යොමු කරනවා. ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මඟින් ගෙන යන මේ වැඩපිළිවෙළ ගොඩක් දුරට සාර්ථකයි. මීට අමතරව මේ ආඥාලාභීන්ගේ පවුල් සංවර්ධනය සඳහා රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙනන්නට ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වැඩපිළිවෙළ නිසා බන්ධනාගාර ගතවීමෙන් තවත් අපරාධකිරීමට ඔවුන් යොමුවීම වැළැකෙනවා වගේම සිරකරුවන් වෙනුවෙන් රජයට දරන්නට සිදුවන මුදල් ඉතිරි වෙනවා.

මේ හැම ආඥාලාභියකු සඳහාම ඔවුන්ගේ පවුල් පසුබිම, වරදට යොමු වීමට හේතුව ආදී විස්තර ඇතුළත් විශෝධන වාර්තාවක් සැකසීම සිදු වෙනවා. ඒ අනූව තමයි ඔවුනට බලපාන මානසික හා ආර්ථික ප්‍රශ්න හඳුනාගෙන ඔවුන්ව පුනරුත්ථාපනයට යොමු කරන්නේ. අදවන විට මේ ඔස්සේ තම ජීවිතය සාර්ථක කර ගත් තරුණ තරුණියන් දකින විට ලොකු සතුටක් දැනෙනවා.' කුමාර මහතා පවසයි.

යෝච පුබ්බේ පමජිත්වා -පච්ජා සො නප්පමජ්ජතී

සෝ ඉමං ලෝකං පභාසේතී - අබ්ගා මුත්තෝච චන්දිමා යනුවෙන් දේශනා කරනු ලැබුවේ අප ලොව්තුරා බුදුන් වහන්සේ විසිනි. එහි තේරුම යමෙකු වැරදි සිදුකර නොපමාව එම වැරදි නිවැරදි කර ගනී නම් , ඔහු වලාකුළින් මිඳුණු සඳක් සේ ලෝකය බබලවන බව යි. සමාජ අයහපතට ඉඩ සළසා නොදැනුවත්ව හෝ දැනුම්වත්ව අප අතින් සිදුවන කවර හෝ වැරැද්දක් නිවැරදි කරගෙන අනාගතය යහපත්කර ගනිමින් පුද්ගලයා ජීවත් වන්නේ නම් මේ සමාජයේ හෙට දවස කොතරම් නම් සුන්දර වනු ඇතිද?

ජායාරූප- තුෂාර ප්‍රනාන්දු

Comments