කොළඹ නගරේ කිඹුල් කර­දරේ | Page 3 | සිළුමිණ

කොළඹ නගරේ කිඹුල් කර­දරේ

‘මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා - තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා.....‘ එවන් කවියක් පටබැඳුණේ මාතර ගංඟාවන් කිඹුලන්ට වඩාත් ජනප්‍රිය වූ නිසාවෙනි. දැන් කිඹුලන් කොළඹ නගර මධ්‍යයටත් අරක් ගෙන ඇතැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක්වේද? දියවන්නාවේ, බොල්ගොඩ වැවේ කිඹුලන් සිටින කතා අප ඇසුවේ මතකයට නඟා ගත හැකි තරම් මෑතකදී ය. කොළඹ නගරාසන්නයෙන් තරමක් දුරස්බද ප්‍රදේශවල කිඹුල් කතාන්දර අසා තිබුණත් කොළඹ නගරයේ ඇළ පාරවල සැරිසරන කිඹුල් වතගොත බොහෝ දෙනෙක් අසා තිබුණේ නැත. දිනය පසුගිය සතියක ඉරිදාවකි. මා එදින උදෑසන 138 බසයෙන් ගොස් කිරුළපන පැරැණි රෙදිමෝල හන්දියෙන් බැස්සේ පෞද්ගලික කටයුත්තක් සඳහා යෑමටය‍. මම අලුතින් ඉදිකළ බුදුපිළිමයද පසුකරමින් කිරුළපන ඇළ පාලමට ගොඩ වූයෙමි.

දියවන්නාවේ වූ ජලයද එකතු කරමින් කිරුලපන ඇළ අනාදිමත් කාලයක සිට මේ ප්‍රදේශයෙන් ගලා බසින්නේ මුහුදටය. අනිකුත් ඇළ මාර්ග මුහුදට එක්වන්නේ දෙහිවලිනි. කිරුලපන ඇළ මාර්ගයෙන් බොහෝ විට ගලා බසින්නේ අපිරිසිදු ජලයද එක්කරමිනි. ලුම්බිණි විදුහල මෙන්ම ජාත්‍යන්තර පාසල් ඇතුළු පාසල් කිහිපයක් මේ අවට ස්ථානගතව ඇතත් මේ කුණු ඇළෙන් නිරන්තරයෙන් හමන්නාවූ දුගඳ ප්‍රදේශයේ ගැවසෙන අයට තරමක් හුරුව ඇත්තා සේය. අපිරිසුදු ජලය රැගත් මේ ඇළ මාර්ගය දකින්නට කිසිදු ප්‍රසන්නතාවක් නැති නිසා දිනපතා මේ හරහා යන එන දහස් ගණන් පිරිස ඒ දෙස නොබලාම මාරු වන්නේ මෙහි කිසිදු විශේෂත්වයන් නොමැති නිසාය.

පාලමට ගොඩවූ මම වික්ෂිප්ත වූයෙමි. කුණු වතුර ගලා බසින ඇළේ ඉවුරේ සිටියේ දැවැන්ත කිඹුලෙකි. දෑස් පිහා නැවතත් බැලුවේ මා දුටු දෙය තවත් තහවුරු කර ගන්නටය. කොළඹ කොහින්ද කිඹුල්ලු. එහෙත් කිරුලපන ඇළේ දැවැන්ත කිඹුලෙකි. ඉන් දින කිහිපයකට පසුව කොළඹ නගරයේ කුණු ඇළේ සැරිසරන කිඹුලන් සොයා මා කිරුළ ඇළේ බන්ට් එක දිගේ ගියේ මේ කරුණ වඩාත් සනාථ කරවන්නට හා ඔබ අසා නොතිබුණු කොළඹ නගරයේ කිඹුලන්ගෙන් ජනතාව විදින හිරිහැර පිළිබඳ තොරතුරක් ගෙනෙන්නටය.

කිරුළ ඇළ යනු කිඹුල් රජ දහනකි. සමහරුන්ගේ මතයට අනුව මේ ඇළේ කිඹුල්ලු 6 දෙනෙක් සිටිති. එයින් තිදෙනෙක් තඩි කිඹුලන්ය. ඒ අතර සුදු කිඹුලෙක්ද දැක ඇති අය වෙති. තවත් අය දැක ඇති පරිදි කිඹුලු පැටවුන් විශාල ප්‍රමාණයක් මේ ඇළේ වෙසෙන්නෝය. එහෙත් උන්ට වැව් බන්ට් එකට ගොඩවීමට නොහැකි වීමෙන් උන්ගෙන් වන අනතුරුද අවම වී ඇත්තේ ය. අඩි 7 ක් 8 ක් දිග කිඹුලන් නිතරම වැව් කණ්ඩි මත ගිමන් හරින ආකාරය මේ ප්‍රදේශයේ ඇත්තන්ට අරුමයක් නොවේ.

“ මම මේ පැත්තේ අවුරුදු 13 තුනේ ඉඳලා ජීවත් වෙන කෙනෙක්. මේ ඇළ මැද අඩි 15 ක් විතර ගැඹුරුයි. දෙපැත්ත එච්චර ගැඹුරු නැහැ. දන්න කාලේ ඉඳන් මේ ඇළේ අපි මාළු අල්ලනවා. සමහර වෙලාවට මේ ඇළේ මුහුදු මාළුත් ඉන්නවා. ඒ වගේම කිඹුල්ලුත් ඉන්නවා. වෙන ඇළවල කිඹුල්ලු නැහැ. ඒත් මේ ඇළේ ඉන්නවා. සමහර කිඹුල්ලු අඩි 7-8 ක් විතර විශාලයි‍. මම දන්න තරමින් විශාල කිඹුල්ලු 4 දෙනෙක් ඉන්නවා. එත් අපි උන්ට බය නැහැ. කිඹුලා ඉන්න පැත්ත බලලා නැති පැත්ෙතන් ඇළට බැහැලා මාළු අල්ලනවා.." එහි පදිංචි එනොක් පැවසීය.

සවස් යාමයේ නාවල තලකොටුව හරහා වඩදිය ගලන විට මුහුදු වතුර මේ ඇළට එක්වන්නේය. එවිට මුහුදු මාළුන්ද මේ ඇළට පිවිසීමෙන් මොවුන්ට අත කට පිරෙන්නට යම් මුදලක් උපයා ගතහැකි වන්නේය. මෙසේ හෙයින් සිය ජීවිත පරදුවට තබමින් ඔවුන් මාළු ඇල්ලිම කරන්නේ මිනීමරු කිඹුලන් ගැනද නොතකමිනි. කොළඹ ඇළ මාර්ගයන්හි සැරිසරන කිඹුලන් ගැන විවිධ කතා ඇත්තේ ය. බොහෝ දෙනෙක් පවසන්නේ ආරක්ෂාව තකා පසුගිය වසරවලදී කිඹුලන් ඇළට ගෙනත් දැමූ බවකි. පසුගිය කාලයේ වූ ත්‍රස්තවාදි කලබල සමයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන්නට මෙන්ම කොටින් මේ හරහා පිවිසීම් වළක්වා ගැනීමේ අරමුණින් මේවාට කිඹුලන් දැමූ බවකි. මන්ද මේ ඇළ සෘජුව සම්බන්ධ වන්නේ දියවන්නාවට වන නිසාය. එහි සත්‍යයක් කිසිවෙකුත් තහවුරු නොකළ අතර මේ සියල්ලම කටකතාදැයි අපි නොදනිම‍ු.

“ අපි පොඩිකාලේ මේවායේ පිහිනුවා. එ් කාලේ කිඹුල්ලු හිටියේ නැහැ. දැන් මේවායේ කිඹුල්ලු ඉන්නව වගේම වතුරට අශූචි පවා එකතු වෙලා. අපිට දුකයි අපේ ඇළට වුණු දේ ගැන.මේ කිට්ටුව පාසල් කිහිපයක් තියෙනවා. එකක් මේ ඇළ මායිමේම තියෙන්නේ. මේවායේ පුංචි දරුවෝ ඇළ බන්ට් එකෙන් පැන පැන එන්නේ. කිඹුලා කියන්නේ කාලයක් ගොදුරකට මාන බලමින් ඉන්න සතෙක්. රෑටත් මේ හරහා මිනිසුන් යනවා එනවා. ඒ නිසා කරදරයක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි...“ එසේ පැවසුවේ සුප්පයියාය.

සුප්පයියා පමණක් නොව දෙනෝ දාහක් දෙනා කෙටි පාරක් සේ නිතර නිතර එහා මෙහා යන්නේ මේ වැව් බැම්ම හරහාය. කිරුලපන ඇළේ වැව් බන්ට් එක ආසන්නයේ විහාරස්ථාන දෙකක්ද වන්නේය. පාළුකමින් රජයන මේ පාරේ කිඹුලුන් පෙනෙන්නට විවේක ගන්නේ පාන්දර යාමේ හෝ සවස් යාමේය. ඇළට මායිමේ වූ ධර්මාරාම විහාරස්ථානයේ බෝ මළුවට පහළින් වූ ගල් පොත්තද මේ කිඹුලන්ට විවේකය ගත කරන තෝ තැන්නකි.

“මේ ඇළ පාරේ කිඹුල්ලෝ ඉන්නවා. අපිට මතක ඇති කාලයක සිටයි කිඹුලෝ ඉන්නේ. පොඩි පැටවුන් වගේම ලොකු එවුනුත් ඉන්නවා. ඒත් ගොඩබිමට එන්න බැහැ. පන්සලේ බෝධිය ගාව වතුර බටයක් තියෙනවා. මෙතැන කොයි වෙලාවේත් කිඹුල්ලු එනවා. කරදරයක් නැහැ කියන්නත් බැහැ. මේ අවට පාසල්වල දරුවනුත් ඇළ බන්ට් එකට යනවා. සමහර විට අලුතින් දකින අය බයවෙලා ඡායාරූප ඇරගන්නවා. මේ කිඹුල්ලු ගැන අවස්ථා කිහිපයක්ම බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ගොඩාක් අය බිලීකොකු දාලා මාළු අල්ලනවා. නමුත් කුඩුකාරයින් හොයන්නේ බලන්නේ නැතිව වතුරට පවා බහිනවා. පසුගිය කාලයේ මේ ඇළ නිතර නිතර සුද්ද පවිත්‍ර කළා. ඒත් දැන් නිතරම සුද්ධ පවිත්‍ර කරන්නේ නැහැ. මේ නිසා හරීම අපිරිසුදුයි. ඒ වගේම ලෙඩ රෝගත් වැඩියි.....“ එසේ පැවැසූයේ මේ විහාරස්ථායේ නේවාසික භික්ෂූන් වහන්සේ නමකි.

මෙසේ කොළඹ නගරයේ සැරිසරන කිඹුලන් දැකීමට නම් පාන්දර යාමයේ මේ ඇළ ආසන්නයට යායුතු වන්නේය. එහෙත් එය විනෝදයක් නොවන බවද දත යුතු වන්නේය. මුහුදේ මෝය කටට ආසන්නයේ වූ මේ ඇළ සවස් යාමයේ තරමක් පිරිසුදු වන බව සමහරක් පවසති. ඒ වඩදිය ගැලීමෙන් මුහුදු වතුර එක්වන නිසාය. තවත් සමහරු පවසන්නේ කළුබෝවිල හරහා මේ ඇළ පද්ධතියට කිඹුලන් එක්වු බවකි. එහෙත් කොළඹ කිඹුලන්ට ගමේ කිඹුලන්ට තරම් දඩයමක් මානන්නට නිදහසක් නැත්තේය. හේතුව මේ ඇළ මාර්ගයන් ඉස්මත්තේ වූ සවිමත් ගැටිත්ත නිසාය. කෙසේ වෙතත් වන ජීවි නිලධාරීන් මෙන්ම නාවික හමුදාවෙන් මේ ඇළ මාර්ග සතිපතා පිරිසුදු වන්නේ අසීරු දුෂ්කර වෑයමකින් අනතුරුවය.

“අපි සතියකට දෙතුන් පාරක් මේ ඇළ සුද්ද කරනවා. මෝටාර් බෝට්ටුවෙන් තමයි සුද්ද කරන්නේ .මේ ඇළේ කිඹුල්ලු ඉන්න බව දන්න නිසා හරිම ආරක්ෂිතවයි මේ කටයුත්ත කරන්නේ. අපි සුද්ද කරනකොට මේ හරහා කිඹුල්ලු යනවා එනවා ඕන තරම් දැකලා තියෙනවා. ඒත් හිරිහැර කරන්න ළඟට එන්නැහැ. මෝටර් බෝට්ටුවේ සද්දයට මේ සත්තු බයයි. මිනිස්සු ඉන්න හරියට සද්ද තියෙන හරියට මේ අය එන්නේ නැහැ. ඒත් අපි මේ හැම දේම කරන්නේ හොඳ කල්පනාවෙන්. කාටද පුළුවන් මේ සත්තු විශ්වාස කරන්න..“ ඒ එදින මෙම ඇළ පිරිසුදු කිරීමේ කටයුත්තේ නියැළෙමින් සිටින ඉඩම් ගොඩකිරීමේ අමාත්‍යාංශ සේවකයකු පැවැසුයේ එසේය. එදා දිය නෑ මේ ඇළේ කිඹුලන් ගැවැසීම මේ අසල්වැසියන්ට මහත් වු හිසරදයකි. මේ නිසා ඔවුන් කිඹුලන් අල්ලන ආකාරය පවා බලධාරීන්ට පවසන්නේ යම් දිනක හිරිහැරයක් වන්නට ඉඩ ඇති නිසාය.

“මේ කිඹුලන් අල්ලන්න එක සරල විදියයි තියෙන්නේ. හොඳ හයි හත්තිය ඇති දැලක් තියෙන්න ඕන. ඒ දැලෙන් මේ ඇළ පාරේ තුන්මං හන්දිය ආවරණය කරන්න ඕන. පසුව හොඳ ශක්තිය තියෙන බෝට්ටුවක් දාලා දැළෙන් ඇළේ වතුර පාර ඇදගෙන එන්න ඕන. එහෙම කරලා මේ කිඹුලෝ ටික අල්ලගතහැකි....“ අවට වැසියන් පවසන්නේ එසේය.

කටක් ඇර දඩයමක් පැමිණෙන තෙක් බලා සිටින මිනිමරු කිඹුලන්ට බිය නැත්තෝ කවරහුද? මේ ඇළ මාර්ගවලට මිනිමරු කිඹුලන් ගෙනත් දැම්මෝ කවරහුද?

“අපේ අතීතයේ ඇළ මාර්ගවලට කිඹුලන් දැමූ බවට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. ඒත් ෙම් ඇළ මාර්ගවලට කවුරුවත් කිඹුලන් දැමූ බවට වාර්තා වෙන්නේ නැහැ. කිඹුලා කියන්නේ චල තාපියෙක්. මේ නිසා ජලය තිබේනම් කිඹුලන් ඒවායට සංචරණය කරන්න පුළුවන්. සමහර විට වතුරින් විතරක් නෙමේ මුහුදිනුත් කිඹුලන් සංචරණය කරන්න පුළුවන්. කොළඹ ඇළ මාර්ග වලත් මේ කිඹුලන් සිටින බවට අපිට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් දියවන්නාවේ අතු ඇල මාර්ග වල කිඹුලන් සිටිනවා, සැලකිය යුතු ප්‍රමාණයක්. නමුත් ඒ කොතරම්ද කියලා සංගණනයක් කරලා නැහැ......“ඒ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතාය.

දැන් ගමට පමණක් නොව කොළඹටත් අඩුවක් නැතුව කිඹුල්ලු සිටිති. එහෙත් ගමේ වැවට මිනිසුන් බැස්සත් නගරයේ කුණු ඇළ පාරවලට මිනිසුන් නොබසින නිසාවෙන් මේ ගැන වැඩි ආන්දෝලනයක් නැත්තේය. කෙසේ වෙතත් කිඹුලාගේ වැඩ කිඩ ගැන විශ්වාස කළ නොහැක්කේය. මේ නිසා දැනුවත් වීම මේ සියල්ලටම වැඩිය වටින්නේ ය.

සේයාරූ - විමල් කරුණාතිලක

Comments