
මෙය අපේ පුංචි රටේ තවත් එක් පාසලක් යැයි කවුරුන් හෝ පැවැසුවොත් මම ඊට එකහෙළා විරුද්ධ වෙමි. මෙරට පාසල් දස දහසකට ආසන්න අතරින් මෙයත් එකක් වුවත් මෙවැනි පාසල් ලංකාවේ තවත් නැතැයි අනුමාන කරන්නට බොහෝ කරුණු කාරණා ඇත්තේය. බලධාරීන්ට පවා ඇස නොගැටුණු මෙවැනි පාසල් අපේ රටේ තවත් ඇත්දැයි සිතාගත නොහැකිතරම්ය. එහෙත් අපි සත්‍යය හෙළිදරවු කළ යුතු වෙමු. ඒ රටේ අනාගතය වෙනුවෙනි. අප ලද පුංචි තොරතුරක් ඔත්සේ අපි මේ පාසල සොයා ගියේ බෝපේ කලටුවාව වෑවිල ප්‍රදේශයටය. නිරන්තරයෙන් ඇදහැළෙන වැහිදිය මේ පරිසරයට කිසිදා අඩුවක් නැත්තේය. ගම් දෙක තුනකට එහායින් අවු රැල්ලක් පෑයුවත් මේ ගමට කිසිදා වැහි අඳුරින් තොර පැහැදිලි අවුරැල්ලක් මතුවන්නේ නැත. ඒ ලස්සන පරිසරය මේ ගම්මානවලට ආභරණයක් වුවත් ඒ පරිසරය අතරේ මෙවන් කාරණාවලට සැඟවී යන්නට ඉඩදිය යුතු නොවේ.
හාත්පසින් මනස්කාන්ත පරිසරයක් දිස් වුවද මෙහි බොහෝ දෙනා ගත කරනුයේ දුෂ්කර ජීවිතය. එදිනෙදා ජීවත්වීම සඳහා පළාත පුරා විසිරි තේ හා රබර් වතුවල කුලියක් මලියක් කරනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි යමක් මේ පළාතේ එතරම් නැති තරම්ය. මේ ගම් පළාත්වල ජනතාව සිය දූ දරුවන්ගේ දෑස පාදන්නට උත්සාහ ගන්නේ එලෙස කුලියක් කර ලබා ගන්නා සොච්චමෙනි.
බෝපේ රාජසිංහ මහා විදුහල අද්දරින් වැටී ඇති මාවත දිගේ කඳු පල්ලම් නගිමින් බසිමින් යන විට හමුවන්නේ අති දුෂ්කර ගම් පෙදෙසක වූ රත්නපුර අධ්‍යාපන කලාපයේ වෑවිල සිංහල විදුහලයි. තේවතු රබර් වතුවලින් ගහන මේ පෙදෙසේ ජන පීවිතය බොහෝ සෙයින් දුෂ්කර වී ඇත්තේ ගමට පිවිසෙන්නට හරි හමන් පාරක් හෝ නොමැති නිසාය. තේවතුවල ලයින් කාමර වල දිවිගෙවන ඇත්තන් හැරෙන්නට මේ ගම්පියසේ රජයේ රැකියා කරන්නවුන් ඇත්නම් ඒ අතළොස්සකි. එදා සිට ගමේ දරුවන්ට අකුරු කරන්නට මේ පුංචි පාසල සැදී පැහැදී සිටියත් අද වන විට මේ පාසලට එන්නේ වතු ලයිම්වල දමිල දෙමවුපියන්ගේ දූ දරුවන් කිහිප දෙනෙකු පමණි. කිසිදු ලෙසකින් සිංහල කතා කරන්නට හෝ කියවන්නට නොහැකි කැඩුණු දෙමළ භාෂාව පමණක් කතා කරන මේ දරුවන්ට ඉගෙනීමට සිදුව ඇත්තේ සිංහල භාෂාවෙන් පමණි.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව තම මවු භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම ළමා අයිතිවාසිකමක් වුවද මේ දරුවන්ට දමිල බස උගන්වන්නට මේ පුංචි පාසලේ ගුරුවරුන් නැත. එසේම තම ආගම හැදෑරීමේ මෙන්ම පාසලේදී තම ආගම ඇදහීමේ අවස්ථාවද මේ දරුවන් වෙතින් ගිලිහී ගොස් ඇත්තේය.
දමිල දරුවන් මල් පහන් පූජාකර බුදුන් වැන්ඳත්, තම ආගම වෙනුවට කාල සටහනේ ඇති පරිදි බුද්ධ ධර්මය විෂය ඉගෙන ගෙන ආගමික සහජීවනය අපූරුවට ඔප් නැංවුවත් මේ හරහා ගලා හැළෙන්නේ කඳුළු කතාවකි.
“ මම හිතන්නේ මේ වගේ පාසලක් මේ රටේ
කොහේවත් නැතුව ඇති. මමත් කාලයක් මේ පාසලේ විදුහල්පති වෙලා හිටියා. ඉස්සර මේ පාසලේ සිංහල දරුවෝ වගේම වතුවල දෙමළ දරුවෝ ඔක්කෝම ඉගෙන ගත්තේ එකට. ඒත් කාලයකදි මේ පාසලේ පරිපාලනය බිඳවැටිලා දරුවෝ ටිකෙන් ටික අඩුවෙලා මේ පාසල වැහෙන තත්ත්වයට පත්වුණා. ඊට පස්සේ මේ පළාතේ සිංහල දරුවන් නුගදණ්ඩ, උඩුවක, කීනගහවිල වගේ ප්‍රදේශවල පාසල්වලට ගියා. මේක සිංහල පාසලක් වුවත් අවසානයේ මේකේ ඉතිරි වුණේ යමක් කරගන්න බැරි
වෑවිල වත්තේ වතු දෙමළ පවුල්වල අයගේ දරුවන් විතරයි. දැන් මේ පාසලේ දරුවන් 57 ක් ඉන්නවා. එකෙන් හතර දෙනෙක් හැර අනිත් සියල්ලම දමිල දරුවන්. ඒත් මේ පාසලේ උගන්වන්න ඉන්නේ සිංහල ගුරුවරු 10 දෙනෙක්. ගුරුවරුන්ට දෙමළ බැහැ. මේ දරුවන්ට සිංහල බැහැ. දරුවන් වෙනුවෙන් කිසිම දමිළ ගුරුවරයෙක් මේ පාසලට දීලා නැහැ. මේ දරුවන්ට සිංහල තියා දෙමළ අකුරක්වත් ලියන්න බැහැ. කතා කරන්නෙත් කැඩුණු දෙමළ. මේ දරුවෝ හරිම අසරණයි වගේම ගුරුවරුත් අමුතු වෙහෙසත් ගන්නේ මේ දරුවන්ට සිංහල අකුරක් උගන්වන්න..
ඒත් මේ දරුවන්ට ඒගොල්ලන්ගේ ජාතික භාෂාව ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ.” මේ පාසල ගැන අප හා තොරතුරු හෙළි කරමින් ගමනට අප හා එක්වූ ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී එන්.පී.ජේ හේවගේ මහතා පැවසීය. අප පාසලට යන විටත් මේ දරුවෝ මහත් ආයාසයෙන් අකුරු හදාරමින් සිටියහ. එහෙත් ඔවුන්ගේ මුහුණු මහත් වෙහෙසකාරීය. ඒ දරුවන් වෙහෙසෙනුයේ සිය මවුබසින් අධ්‍යාපනය ලබන්නට නොව දෙවැනි බසින් සියලු විෂයන් හදාරන්නටය. පාසලේ දෙවැනි බස උගන්වන්නට කලකට පෙර ගුරුවරියක සිට ඇතත් ඇය ස්ථාන මාරුවක් ලැබ ගොස් බොහෝ කල්ය. මේ දරුවන්ට සිංහල බසින් ගුරුවර ගුරුවරියන් කියන දේ හෝ ගණිත ගැටලුවක් හෝ නොදන්නා විට තේරුම් කර දෙන්නට මේ පාසලේ කිසිවෙකුත් නැත්තේය. එසේ හෙයින් මේ දරුවන් අපේක්ෂිත සාධන මට්ටමට ගෙන ඒමේ අපේක්ෂාව පාසලට සිහිනයක්ම වන අතර මෙහි භයානක ප්‍රතිපලය වී ඇත්තේ බොහෝ දරුවන් පාසල ප්‍රතික්ෂේප කිරීමය. ඊට හේතුව මේ දරුවන්ට ඉගෙනීම වදයක් වීමය.
“
මෙය සිංහල පාසලක්. ලංකාවේ අනිත් සිංහල පාසල් වල මේ වර්ග දෙකේම දරුවෝ එකට ඉගෙන ගන්නවා. එත් මේ පාසලට සිංහල ළමයි එන්නේ නැහැ. තමන්ගේ දරුවන් මේ වතුවල දෙමළ දරුවෝ සමඟ එකට ඉගෙන ගන්නවට සිංහල දෙමවුපියෝ කැමැති නැහැ. ඒක හරිම අවාසනාවක්. දෙගොල්ලෝ එකට හිටියනම් මේ වගේ ගැටලු එන්නේ නැහැ. එහෙම වුණානම් මේ භාෂා ප්‍රශ්නය විසදෙනවා. මේ නිසා මේ දරුවන්ට භාෂාව තේරෙන්නේ නැති නිසා පාසල් එනවා අඩුයි. ගෙදරක මඟුලක් මරණයක් වුණොත් මාස ගණනක් මේ දරුවෝ ගෙදර. ගොඩක් දරුවෝ වතුවැඩට යනවා. සමහර අම්මලා වත්තේ වැඩට යන්නේ මේ දරුවන් ගෙවල්වල තියලා. සමහර විට පොඩි දරුවෝ ඉන්නවානම් බලාගන්නේ මේ අය. මේ නිසා අඩු
වයස් විවාහ බහුලයි. දරුවෝ නිතරම පාසල් නොඑන නිසා මේ ගුරුවරුන්ට නිසි ලෙස පාඩම් කරගෙන යන්න අමාරුයි. සිංහල පෙළපොත කරවන්න අමාරුයි. සමහර වෙලාවට ලොකු පංතිවල දරුවෝ ඉන්නවා තාමත් අකුරු ඉගෙන ගන්න අය.
ගෙදර නතරවන ළමයි පාසල් ගෙන්වා ගන්න අපි සමහර වෙලාවට ඒ දරුවන් හොයා ගෙන වතුවලට යනවා. එහෙමත් බැරිවුණොත් අපි ගමේ පොලිස් මුර කුටියට ගිහින් පාසලට එන්නේ නැති දරුවන්ගේ නම් දුන්නහම පොලීසියේ අය දරුවන්ගේ ගෙවල්වලට ගිහින් දෙමවුපියන්ට කරුණු තේරුම් කරලා දරුවන් පාසලට ගෙන්වා ගන්නවා. මේ හැම දේම වෙන්නේ උගන්වන දේ දරුවන්ට නොතේරෙන නිසායි.” විදුහල්පති ගාමිණි දයානන්ද මහතා පවසයි.
දෙමළ භාෂාව නොදනිතත් පාසලේ ගුරවරුන් මේ දරුවන්ට අකුරු කරන්නට ගන්නේ අසීමිත කැපවීමකි. මෙහි වු බොහෝමයක් ගුරුවරු සිය සේවා කාලය වසර 15 ක් පමණ සම්පූර්ණ කර ඇත්තාහ. වතු රස්සාවටම කැපවූ මේ දරුවන්ගේ දෙමවවුපියන්ගේ අඩු උගත්කම් නිසා ගුරුවරුන් දරණ ඒ වෙහෙස අපතේ යන්නේය.
වෑවිල පාසල පිහිටා ඇත්තේ වැඩිපුර සිංහල ජනයා වෙසෙන ගමකය. පාසලේ අකුරු කෙරෙන්නේද සිංහලෙනි. එනිසා මේ පාසලට දෙමළ භාෂාවෙන් පෙළ පොත් ලැබෙන්නේ නැත.
“ මේ දරුවන් ඉගෙන ගන්නේ බුද්ධාගම. උදේට පැය භාගයක් විතර පන්සිල් ගන්නවා. ඒත් මේ දරුවන්ට ඒගොල්ලන්ගේ ආගම උගන්වන්න කෙනෙක් නැහැ. ආගම සිහිකරන්න තැනක් නැහැ. හේතුව මෙය බෞද්ධ පාසලක් නිසා. මේ වත්තේ අය අධ්‍යාපන මට්ටම අතින් ගොඩාක් අඩු නිසා මේ වත්තෙන්වන් දෙමළ ගුරුවරයෙක් බිහිවෙන්නේ නැහැ. ඉස්කෝලේ අකුරක් කියලා දුන්නොත් ඒක ගෙදර කරවන්න සිංහල දන්න කෙනෙක් නැහැ. පෙළපොතින් පවා අපට තෝරාගත් දේ පමණයි උගන්වන්න වෙන්නේ. විද්‍යාව වගේ විෂයයන් සිංහලෙන් මේ දරුවන්ට තේරුම් කරන්න හරීම අමාරුයි. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැතිකොට දෙමළ භාෂාවෙන් කියලා දෙන්න කෙනෙක් නැහැ. එක වසරේ ළමයින්ට සිංහලෙන් කතාකරන්න උගන්වන්න අවුරුද්දක් විතර යනවා. මේ නිසා අපි හවස් වරුවේ දරුවන් රඳවාගෙන සිංහල කියා දෙනවා. උදේ හවස ගාථා කියලා දුන්නට ඒ අයගේ ආගම සිහිකරන්න කියා දෙන්න අපි දන්නේ නැහැ. මේ දරුවන් විභාගයකට ලියන්න දන්නේ නැහැ. විභාගය නොලිව්වා කියා රටේ අධ්‍යාපන නීතියට අනුව අපි ට මේ දරුවන් ෆේල් කරන්නත් බැහැ. නමුත් පාස් කෙරුවොත් ගුරුවරු විදියට උගන්වන්න ගියහම අපි අසරණ වෙනවා.” ඉගැන්වීමේදී මතුවන දුෂ්කරතා පාසලේ ගුරුවරු අප හා එසේ විස්තර කළහ.මේ පුංචි පාසලේ ඉගෙන ගන්නා සරස්වතීලා, සරප්පුදීන්ලා උදේ හවස සැතැපුම් තුන හතර කඳුපල්ලම් බැස පාසලට ගාටන්නේ වදනක් හෝ ඉගෙන ගැනීමේ ආශාවෙනි. එහෙත් පාසලේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන බලධාරීන්ට හඩ නඟා පවසන්නට හෝ ඒ වෙනුවෙන් හඬක් නඟන්නට හෝ මේ දරුවන්ට හැකියාවක් නැත්තේය. කොළඹ හෝ තදාසන්න පාසලක හෝ මෙවැනි අඩුපාඩුවක් වූයේ නම් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ කරමින් මවුපියන් මුරගානු නිසැකය. එහෙත් මේ දරුවන්ගේ දෙමවුපියන්ට එවැනි දෙයකට යොමුවන්නට හයියක් නොමැත. එනිසා ඔවුන් පත්ව ඇති දුෂ්කරතාව නිතැතින්ම යටපත්ව යන්නේය.
“සිංහල ඉගෙන ගන්න වගේම අපි අපේ මවු භාෂාවෙන් ඉගෙන ගන්න ආසයි. එහෙම වුණොත් අපටත් ඉගෙන ගෙන ඉදිරියට යන්න පුළුවන්” වචන දෙක තුන එකතු කරමින් මේ දරුවෝ පැවසූහ. එදා වතු පාලනයට යටත්ව තිබූ මේ පාසල්වල අයිතිය අද ඇත්තේ රජයටය. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව දරුවන්ට තම මවුභාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව තිබිය යුතුය. අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුවද ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට දීය යුත්තේ සිය මවු භාෂාවෙන් පමණි. එමෙන්ම දරුවන්ට දෙවැනි තුන්වැනි බස ආරම්භ කළ යුත්තේ ද්විතියීක අවධියේදිය.
මේ පාසල දෙමළ මාධ්‍ය පාසලක් බවට පත්කර අවශ්‍ය පහසුකම් ලබා දීමේ හැකියාව රජයට ඇත්තේය. දේශපාලන උවමනා එපාකම් මත විවිධ පාසල් සංකල්ප ක්‍රියාවට නැංවෙතත් එමගින් මේ පාසල්වලට අත්වන සෙතක් නැත.
“පෝෂිත පාසල් සංකල්පය යටතේ මේ පාසල ආදර්ශ පාසලක් බවට පත් කළොත් වෙනත් පාසල් වගේ මේ පාසලේත් සිංහල දෙමළ දරුවන් එකට ඉගෙන ගනීවි.” මේ අඩුපාඩු මඟහරවා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරමින් හේවගේ මහතා පැවසීය.
මොනවා නැතත් මේ පාසල ඉදිරිපිට ‘ළඟම පාසල හොඳම පාසල' යනුවෙන් සඳහන් පුවරුවක් නම් ඇත්තේය. මීට වසර කීපයකට පෙර එක්වූ ඒ පුවරුව අදද එසේමය. ඒ සංකල්පය යටතේ පාසලට වැසිකිළි කිහිපයක් ලැබුණද තවත් පාසලේ තවත් නොවිසදුණු අඩුපාඩු බොහොමයකි. දුෂ්කර මඟ ගෙවා එන ගුරුවරියන්ට නවාතැන් ගන්නට ඇති ගුරු නිවාසය අබලන්ය. පාසල් වැට මායිම නිරවුල් නොමැති නිසා දරුවන්ගේ ආරක්ෂාව සඳහා පාසලේ වැට ගැසීමට නොහැකිව ඇත. ගොඩනැගිලි දෙකක් පමණක් ඇති මේ පාසලට ප්‍රධාන ශාලාවක්, පුස්තකාලයක් හෝ සෙල්ලම් මිදුලක් හෝ නැත්තේය. එහෙත් මේ සියලු අඩුපාඩු දරුවන්ට විඳ දරාගත හැකි වුවද සිය මවුබසින් කෙරෙන අධ්‍යාපනයක් නොමැති කල ඔවුන්ගේ අනාගතට කෙසේ තීරණය වේද යන්න ප්‍රශ්නයකි.