නෙළුම් විල | Page 3 | සිළුමිණ

නෙළුම් විල

සුපිරි වෙළෙඳසල

නගරයේ එක්තරා සුපිරි වෙළෙඳ සලකට යෑමට එහි ආරම්භයේ සිට ම මම පුරුදුව සිටිමි.

මාසයේ වැටුප අතට ගත් පසු ඉදිරි මාසයට වුවමනා වියළි බඩු සියල්ල එකවර මිලදී ගැනීම මගේ සිරිත ය.

‍එළවළු, මස්, මාළු, බිත්තර ආදිය පමණක් පිටින් ගතිමි.

මේ සුපිරි වෙළෙඳ සලේ මස්, මාළු අලෙවිය ඇරඹුණේ කලකට පසු ය. එවිට මම ඒවා ද ඉන් මිලදී ගැනීමට පුරුදු වීමි.

එහි එළවළු අලෙවිය ඇරඹුණේ ළඟදී ය. ඒවා පිට එළවුළු කඩවල එළවුළු මෙන් අපිරිසිදු ද නැත. පෙනුම නැවුම් ය. ඒවා තෙල් බෙහෙත් නොගසා තම වෙළෙඳ ආයතනයේ අධීක්ෂණය යටතේ විශේෂ ගොවිපොළක වවන බව ද හිතවත් වෙළෙඳ සේවකයෝ කීහ. ඉන් පැහැදුණු මම අපට වුවමනා එළවුළු ද එයින් ම මිලදී ගැනීමට පුරුදු වීමි.

මේ අතර දිනක් මම පවුලේ කටයුත්තක් ගැන දැනුම් දීමට තරමක් ඈත ඥාති ගෙදරක ගියෙමි. ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ඒ ගෙය මුළුමනින් වැසෙන පරිදි වෙළෙඳසල් දෙකක් ඉදිකොට තිබිණි. එකක් ග්‍රොසරියකි. අනෙක කෘෂි ආම්පන්න, මල් එළවළු ආදී පැළ වර්ග අලෙවි කෙරෙන්නකි. එහි වෙළෙඳාම් කරන්නේ ගෙදර වැඩිහිටියාය. ඔහු ජීවිතයේ සැදෑ කාලය ගත කරන්නෙකි.

සිය ජීවිත කාලය තුළ ලද අත්දැකීම් සෙස්සන් හා බෙදා හදා ගැනීමට කැමැති නිතර හිනාවෙන් පසුවන ඔහු ප්‍රියමනාප ය.

මා සුපුරුදු හිනාවෙන් පිළිගත් ඔහු කතා බහට වැටෙන්නට හදන විටම කඩ දොරකඩ නැවැත්තුවේ සැප වාහනයකි. ඉන් බැස ආවේ තරුණකම පහව නොගිය අයෙකි.

වැඩිහිටි ඥාතියා මොහොතකට මගෙන් සමුගෙන තම පාර‍ිභෝගිකයාගේ අවශ්‍යතාව ඉටු කිරීමට කඩය ඇතුළට ගියේ ය. ටිකකින් දෙදෙනාම පිටතට ආවේ හඬින් සිනාසෙමිනි.

අමුත්තා ගිය පසු ඔහු හඳුනන්නේ නැද්දැයි ඥාතියා මගෙන් ඇසුවේ ය. ‍මම නැතැයි කීමි. ඒ අහවල් සුපිරි වෙළෙඳ සලේ හිමිකරු යැයි ඔහු කීවේය.

“ඇත්තද? අපිත් බඩු ගන්නෙ ඒකෙන් තමා’ යි මම කීමි.

“මේ ළඟ පාත එයාගෙ ගොවි පොළක් තියනවනෙ. ඒකෙ වගා කරන එළවළු තමයි ඔය සුපර් මාකට් එකේ විකුණන්නෙ. කතාවට නං කියන්නෙ ‘වස විස නැති එළවළු’ කියල. දැන් ඔය අරන් ගියෙත් තෙල් බේත් තමයි. මං ඒත් විහිළුවට ඇහුව තෙල් බෙහෙත් නොගහ නේද ඔයා එළවළු හදන්නෙ කියල. එතකොට එයා අහනව “කොහොමද අංකල් මේ කාලෙ තෙල් බේත් නොගහ එළවුළු හදන්නෙ? කියල. ඒ කතාවට තමයි මට හිනා ගියේ” කියමින් යළිත් ඔහු හිනා වුණේ ය.

මම හිතින් කඩා වැටුණෙමි.

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

එදා මෙදා කන්තෝරුව

 

උදෑසනය.

ටවුමේ කන්තෝරු ගෙදරය.

විල්සන් කන්තෝරු දොරකඩ පඩිපෙළ මත ලේන්සුව එළා හිඳ ගත්තේය.

මේ සඳුදා නැවුම් කලිසම පිටින් වුව මෙහි හිඳ ගත්තට මේ බිම විල්සන්ට අපිරිසිදු නැත. ඔහුට මෙය ගෙදරට වඩා හුරු පුරුදුය.

විල්සන් ගේ දෑස යොමු වී තිබුණේ මහ පාර දෙසටය. උදේ බස් එක එන්නට තවම වෙලා වැඩිය. තැපැල් කන්තෝරු නෝනා එන්නේ එහිය. මේ සිරිත ඇරඹුණේ නෝනා සිය සැමියා ගේ නිවෙසේ පදිංචියට ගිය දා සිටය.

විල්සන් අත් ඔරලෝසුව දෙස බැලුවේ පුරුද්දටය. එහි හතයි කාල සටහන්ව තිබේ.

විල්සන් යළිත් පාර දෙසට දැස දැල්වුයේය. ඒ ටිකකින් ඔහුගේ හිත කල්පනාවකට වැටුණේය. ඒ මිහිරි කල්පනාවකි. ඔහුගේ දෙතොල හෙමිහිට පළල් වුයේ එහෙයිනි.

ඔහුට තැපැල් කන්තෝරුවේ අතීත උදෑසනක් සිහිපත් විය. අතීතයේ එක උදෑසනක් පමණක් ‍නොව හැම උදෑසනම එක වගේ මිහිරිය. ඒ අතීතයේ මේ තැපැල් කන්තෝරුව එක ම සෞන්දර්ය නිකේතනයක් විය.

මහ නෝනාගේ කාරුණික සිනාව ඔහු ඉදිරියේ මැවි ගියේය. මේ ගොඩනැගිල්ලෙහි හිමිකාරිය ඇය ය. තැපැල් කන්තෝරුව කරගෙන ගියේ ඇගේ නැගණිය කුසුම් නෝනා ය. මහ නෝනාගේ දියණිවරුන් පස් දෙනාම ඔහුට සැලකුවේ පවුලේ කෙනෙකු හැටියටය.

විටෙක ලොකු බේබි පැමිණ ඔහු ගෙතුළට ඇදගෙන යන්නට හදයි.

‘එන්නකො යන්න’

එක්කෝ සුදු බේබි පැමිණ බලෙන්ම ඇදගෙන යන්නට හදයි.

‘එන්නකො යන්න. බිස්කට් දෙන්න’.

ඇය හිටි හැටියේම ඔහුගේ මුවෙහි බිස්කට් ඔබයි.

විල්සන්ට බකස් ගා හිනා ගියේය.

ඔහුට හන්දියේ සපු ගහ පෙනෙයි. අතීතයේ මේ සපු ගස සියොළඟ මල් පුරවාගෙන මුළු ටවුමම සුවඳ කළා ඔහු‍ට මතකය.

ඒ මිහිරි අතීතය ගියා ගියාමය. විල්සන්ට සුසුමක් පිට විය.

පා පැදියක් දෙකක් පැමිණ විල්සන් ළඟ නැවැත්වීය. ඒ එන්නේ ඔහු සමඟ වැඩ කරන සගයන්ය.

‘විල්සන් අයියේ නෝන ඇවිල්ලැයි ?’

‘නෑ බං’ විල්සන් නැවතත් අත් ඔරලෝසුව දෙස බැල්මක් හෙළා උත්තර දුන‍්නේය.

‘කොහෙ එන්නද? තාම හතාමාරනේ’

සගයෝ එහා - මෙහා වුහ.

විල්සන් පිළිමයක් සේ ගල් විය.

වත්මත වියළිය. කතරක් වගේය. අතීතය කෙම්බිමකි. ඔහු ගේ හිත ඒ කෙම්බිමේ සිහිල සොය සොයා එහිම ඇදෙයි.

මතකය දිගේ තැපැල් නෝනා බසයෙන් බැස කන්තෝරුවට ගොඩ වුයේ හිනාකටක් පාගෙනය.

‘ගුඩ් මෝනිං’

කන්තෝරුව පිරී ගියේය.

උදැසන කෙටි සාකච්ඡාව ඇරඹින. මුලසුන හෙබවුයේ මහ නෝනාය. තැපැල් නෝනාගේ අක්කාය.

ප්‍රධාන මාතෘකාව වුයේ පෙරදා සිදු වීම්ය.

‘දන්නවැයි ? ඊයේ රෑ අර අකුණු වැදිල තියෙන්නෙ ස්වර්ණ මිස්ලයි මිදුලෙ කොස්ගහට!’

‘අනේ හැබෑට!’

අටේ කණිසම ළඟ එන විට සාකච්ඡාව නවතියි. කවුරු කවුරුත් තම තමන්ගේ කටයුතුවලට බසිති.

විල්සන් නැවතත් සිය අත් ඔරලෝසුව දෙස බැලුවේ ය. අට හමාරේ මේල් බස් එක දැන් නම් පුංචි පාලම පහු කර ඇති බව ඔහුට අත්දැකීමෙන් කිව හැකිය.

මම ලියුම් පෙට්ටියට දමා නැවතත් හැරී විල්සන් දෙස බැලුවෙමි. ඔහු පාර දෙසටම දෑස දල්වාගෙන සිටියි.

හැම තැපැල් කන්තෝරුවක්ම මේ වගේ විය යුතු යැයි මට සිතෙයි. ඊට උරුමව පැවති අතීත ප්‍රාණය සිඳී ගිය සේය. විල්සන් එහි සංකේතයක් බඳුය.

මම යාබද නිවෙස දෙස බැලුවෙමි. වියපත් ලොකු නෝනා මට සිනාවක් පා ගෙතුළට ගියාය.

හැම කෙනෙක්ම හැම දෙයක්ම වෙනස් වෙයි. ඒ ඒ යුගයට අයත් අද්දැකීම් සමඟ අපි තනි වෙමු. කාලය අප කිසිවකු ගණන් නොගෙන ඉදිරියටම යයි.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති දෙණියායේ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල

සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

Comments