අන් සරණ නොතකා තමා තුළින්ම බැබ‍ෙළන්න | Page 7 | සිළුමිණ

අන් සරණ නොතකා තමා තුළින්ම බැබ‍ෙළන්න

 වරෙක යුද බිමෙහි සටන් වැද සතුරු ප්‍රහාරයකට හෝ බිම්බෝම්බයකට බිලි වී දෑත්-දෙපා අහිමි වූ වීරෝදාර රණවිරුවකුගේ සිඳී බිඳී ගිය චිත්ත ධෛර්යය යළි වර්ධනය කරගන්නට දිරිදෙන දයාබර ‘අක්කා’ වූ ඇය තවත් වරෙක යුද්ධයෙන් පීඩාවට පත්ව නෑ සියන් ද උන්හිටිතැන් ද අහිමිව අනාථව අවතැන් වූ මවක, බිරියක හෝ දරුවකුට සවියක් ද අත්වැලක් ද සපයන කාරුණික ඥාතිවරියක වූවාය. තවත් වරෙක ලංකාවේ අස්සක් මුල්ක් පුරා යමින් එමින් දුෂ්කර පළාත්වල වෙසෙන දිළිඳු දරු දැරියන්ට ගුණ නැණ සතුට දනවන ඉගෙනුම් මඟක් සපයන මාර්ගෝප‍දේශිකාවක වන්නීය. අසීරුවෙන් උරුම වූ මිනිසත්භාවයෙහි අර්ථය ක්‍රියාවෙන් පසක් කරමින් සැමට ම කදිම ආදර්ශයක් සපයන ඇය ශිරෝමි මාසකෝරාළ නම් වන්නීය.

හේමාස් සමූහයේ තිරසාරත්වය සහ සමූහ සන්නිවේදනයේ සාමාන්‍යාධිකාරි සහ හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකාව වන ශිරෝමි සිය උපන් රටට ණය නැති, සමාජයට වැඩදායී දිරිය දියණියෙකි. 2015 වසරේ කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් වසරේ විශිෂ්ටතම සමාජ සත්කාරක වැඩසටහන ලෙස ශිරෝමි විසින් දියත් කරන ලද ‘පියවර’ මුල් ළමා විය සංවර්ධන වැඩසටහන තෝරා ගත් අතර 2015 විශිෂ්ටතම කාන්තාව ලෙස ඇය පිදුම් ලැබුවාය. 2016 වසරේදී විමෙන් ඉන් මැනේජ්මන්ට් (WIM) සංවිධානය විසින් වසරේ විශිෂ්ටතම සමාජ සන්නිවේදන නියමුවරිය ලෙස තෝරා ගනු ලැබූ ශිරෝමි එම වසරේදී ම ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වුණු ලෝක කාන්තා නායකත්ව සම්මාන උලෙළේදී ලෝකයේ කැපී පෙනෙන සමාජ සත්කාරසේවා නියමුවරියන් ‍සිය දෙනා අතරට තේරී සම්මානයට පාත්‍ර වූවාය. 2015 ජපානයේ ජස්ටිකා සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ හොඳ ම සමාජ සත්කාරක වැඩසටහන ලෙස ‘පියවර’ වැඩසටහන ස්වර්ණ මුද්‍රිකාවෙන් පුදන ලද අතර වියට්නාමය, සිංගප්පූරුව ඇතුළු විදෙස් රටවල් රාශියකින් පියවර වැඩසටහන හරහා ශිරෝමි විසින් ලාංකේය ළමා හා කාන්තා පරපුර වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර ඇගැයීමට ලක් විය. මේ සද්කාර්යයන් තුළින් ආත්ම තෘප්තිය හැර කිසිවක් ම ආපසු නොපතන ශිරෝමිගේ කතාව සමාජ හිතකාමී බොහෝ දෙනාගේ දැනුම් පිණිස ඵලදායී වනු නිසැකය.

ප්‍රවීණ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වූ බී. ජේ. මාසකෝරාළ සහ බන්දු වීරකෝන් යුවළගේ දෙටු දියණිය ලෙස අගනුවර දී උපත ලද ශිරෝමි කොළඹ මියුසියස් හා විශාඛා විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවාය. මවුපියන්ගේ ආභාසයෙන් කුඩා කළ පටන් ම ඇය රොහාන් මාසකෝරාළ නම් බාල සොහොයුරා ද සමඟ සරල චාම් දිවි පෙවෙතකට හුරු පුරුදු වූවාය. ඇති හැකි පවුලක උපත ලදද පොදු ජනතාව සමඟ මුසු වී පොළොවේ පය ගසා ජීවත් වන්නට සිය දෙමවුපියන් වෙතින් ලද පරිචය ඇයට සිය ජීවිතයේ බොහෝ අභියෝග හා දුෂ්කරතා මැඬගෙන ජයගන්නට උපකාරී වූ බව ඈ කියයි.

“ඕනෑම පුද්ගල‍යකුගේ ජීවිතයේ සාර්ථකත්වයට පදනම සකස් වන්නේ ඔහුගේ හෝ ඇයගේ ළමා කාලයේදීමයි. යහපත් සාර්ථක පුද්ගලයකු බිහි වන්නට නම් ඔහුගේ හෝ ඇගේ නිවෙසින්, දෙමවුපියන්ගෙන් ලැබෙන ආදරය, රැකවරණය හා හික්මීම ඍජුව ම බලපානවා. තමා හැදෙන වැඩෙන වටපිටාවෙන් උකහාගන්නා ආදර්ශ දරුවාගේ පෞරුෂය ගොඩනඟා ගන්නට මහෝපකාරී වෙනවා. මගේ පියා රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කළ කෙනෙක්. ලෝකයේ කොයි රටකට ගිහින් ඉගෙන ගත්තත් ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබා නොමිලේ ඉගෙන ගත් අපි ආපහු මවු රටට සේවයක් කළ යුතු බවට ඔහු මටත් මල්ලිටත් නිතරම අවවාද කළා. ඒ අනුව අපි දෙදෙනා ම අද අපේ රට ජාතිය, උරුමය ගැන සැබෑ ආදරයකින් කටයුතු කරනවා.” ශිරෝමි කියනවා.”

“ගෙදර වාහන දෙකක් ම තිබුණත් අපි පාසලට ගියේ බස් එකෙන්. නිවසේ වැඩට සහයකයන් සිටියත් අ‍පේ වැඩ අපිම කරගත්තා. කිසි කෙනෙකුට හිත රිදෙන්න කතා කිරීම තහනම්. රෑ කෑම මේසෙට පවුලේ හැමෝම එකට වාඩිවෙලා ආහාර ගන්නවා. ඒ වෙලාවට අපි දවසේ සිදුවීම් තාත්තාට වාර්තා කළ යුතුයි. රටතොට, විදෙස් තොරතුරු, පරිසරය, ආගම සංස්කෘතික උරුමයන් ගැන තාත්තා අපිට කියා දෙන්නේ ඒ වෙලාවට. හැම පාසල් නිවාඩුවකදීම අපි යාල, විල්පත්තු, යාපනය, මඩකලපුව, නුවර, අනුරාධපුර වැනි දුර බැහැර පළාතක ඇවිදින්න ගියා. රටතොට ගැන, ගහකොළ ගැන, සතා සීපාවා ගැන දැන ඉගෙන ගත්තෙත්, පරිසරයට මිනිසුන්ට මෙන් ම සතුන්ටත් දයාව කරුණාව දක්වන්නට අපි හුරු පුරුදු වුණේත් එයින්. හැම දෙමවුපියකුටම එවැනි අවස්ථාවන් තම දරුවන්ට ලබා දෙන්නට නොහැකි වුවත් තමන්ට පුළුවන් තරමින් දරුවන්ට උගන්වන්න, රැකවරණය ලබා දෙන්න. උපරිමයෙන් ආදරය කරන මෙන් මා ඉල්ලා සිටිනවා. වර්තමාන සමාජය මෙතරම් අදමිටු වී තිබෙන්නේ සාරධර්ම පිරිහුණු උගත්කමින් හා භෞතික සම්පත්වලින් පමණක් පරිපූර්ණ පුද්ගලයන් බිහි වී ඇති නිසයි. පුද්ගල ජීවිතයට පදනම සකස් වන්නේ උපතේ සිට වසර 5 - 10 අතර ළමා වියේදීමයි. එහිදී අධ්‍යාපනයට සමගාමීව කුසලතා සහ සාරධර්ම වර්ධනයට මුල් තැනක් දීම වැදගත්. අපේ රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම සකස් වෙලා තිබෙන්නේ විභාග ඉලක්ක කරගෙන. සැබැවින් ම විය යුත්තේ පෙර පාසල් අවදියේ පටන් ම ජීවිතයට ඵලදායී වන ආකාරයට විෂය ධාරාවන් සකස් කර ගැනීමයි. “පියවර” පෙර පාසල අපි සකස් කරන්නේ අන්තර්ජාතිකව පිළිගත් මුල් ළමා විය සංවර්ධන ආයතනයක් ලෙසයි” ශිරෝමි කියනවා.

විශාඛා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වන ශිරෝමි අනතුරුව ඇමෙරිකා උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය හා සංවර්ධන මනෝ විද්‍යාව හා උපදේශන ම‍නෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියක් ලබා ගත්තාය. 1983 දී ද ෆිනෑන්ස් සමාගමෙහි පරිගණක පද්ධති විශ්ලේශකවරියක ලෙස වෘත්තීය දිවියට පිවිසෙන ඇය අනතුරුව විදෙස් ගත වූවාය. 1996 වසරේදී පෙරළා මවුබිමට පැමිණි ශිරෝමි හේමාස් සමූහ‍යේ සභාපති හුසේන් එසුෆලි මහතා ගේ විධායක ලේකම්වරිය‍ ලෙස රැකියාව ඇරැඹුවාය. එම තනතුරෙහි කටයුතු කළ ද ශිරෝමිගේ හැකියාව හා කැමැත්ත වූයේ ජනතාවට, රටට දැයට දැනෙන මෙහෙවරක නියැළීමටය. ඇගේ අදහසට ගරු කරමින් එසුෆාලි මහතා හේමාස් සමූහයේ සමාජ සත්කාරක අංශයෙහි වගකීම ඇය වෙත පැවරුවාය. “ඒ වන විට රටේ ජනතාවට අවශ්‍ය කළ මෙහෙවර කුමක්දැයි මා සමාජ සේවා අමාත්‍යාංශය හරහා විමසා බැලුවා. 2001 වසර වන විට මෙරටට ගුණාත්මක මුල් ළමා විය අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පැන නැග තිබුණා. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාථ්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අංශයේ සහාය ඇතිව ඈත දුෂ්කර පළාත්වල දරුදැරියන් සඳහා උසස් ගුණාත්මක මුල් ළමා විය සංවර්ධන වැඩසටහනක් ඇරැඹීමට අපි කටයුතු කළා. මහාචාර්ය එල්සි කොතලාවල මහත්මිය ගේ සංකල්පයක් අනුව අකුරු ඉගැන්වීමෙන් ඔබ්බට ගිය ගුණ නැණ සතුට දනවන ප්‍රායෝගික ළමා අධ්‍යාපනික ක්‍රමවේදයක් පියවර මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවලින් ලබා දෙනවා.

2002 මුල් ම පියවර පෙර පාසල කුරුණෑගල ඇරැඹුවා. අනතුරුව ගම්පහ, පොළොන්නරුව, මාතර, රත්නපුර, මාත‍ලේ, බදුල්ල, ගාල්ල, මඩකළපුව, යාපනය යන දිස්ත්‍රික්කවල පියවර පෙරපාසල් 45 ක් දැනට ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු පෙර පාසල් ගොඩනැඟිලි, උපකරණවල පටන් ගුරු පුහුණුව දක්වා වියදම් හේමාස් ආයතනය විසින් දරනු ලබනවා. ගුරුවරුන් තෝරා ගන්නේ ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය සභා මඟින්. දැනට පියවර වැඩසටහන යටතේ මූලික අධ්‍යාපනය ලැබූ දරුවන් සංඛ්‍යාව 30,000 කට වැඩියි. ගුරුවරියන් 1000 කට වැඩි දෙනෙකුට පුහුණුව ලබා දී තිබෙනවා. පියවර වැඩසටහන සඳහා දැනට හේමාස් ආයතනය රුපියල් මිලියන 375 ක් වැය කර තිබෙනවා.” ශිරෝමි කියනවා.

පියවර වැඩසටහන සමඟ රට පුරා යන ගමනේදී ඇයට හමු වූ ආබාධ සහිත දරුවන්ගේ සුභ සාධනය උදෙසා ඉදිකෙරෙන ‘ආයති’ සුවතා මධ්‍යස්ථානය ද ශිරෝමි ගේ සංකල්පයකි. ආබාධ සහිත දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනික හා මනෝ සමාජීය කුසලතා සංවර්ධනය සඳහා අන්තර්ජාතික තත්වයෙන් නිමවෙන ආයති සුවතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉදි කෙරෙන්නේ රාගම වෛද්‍ය භූමියෙහි ය. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ හේමාස් සමූහය, මාස් හෝල්ඩිංග්ස් ආයතනය ඇතුළු සමාගම් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු පරිත්‍යාගශීලීන්ය.

යුද්ධයෙන් පීඩාවට පත්වූ රණවිරුවන්ගේ බිඳ වැටුණු මානසිකත්වය ගොඩනැංවීමෙහිලා ශිරෝමි විසින් දක්වන ලද අනුපමේය නිහඬ මෙහෙවර සැබැවින් ම පැසසුම් කටයුතුය. උතුරු නැගෙනහිර යුද ගිනි ඇවිළුණු සමයෙහි තුවාල ලබා කොළඹ මහ රෝහලට ගෙන ආ ආබාධිත සෙබලුන් ගේ මානසික සුවය වඩවන්නට සේවයෙන් පසුව රෝහල වෙත යන ශිරෝමි ඇතැම් දිනෙක රැය පහන්වන තුරුම ඔවුන්ගේ දුක් අ‍ඳෝනා අසා සිටිමින් උපදේශනයෙහි යෙදෙමින් ඔවුන්ගේ මනස සුවපත් කළාය. 1996 සිට 2005 දක්වා කාලය මුළුල්ලේ ම විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමඟ උතුරු - නැගෙනහිර සටන්බිම් වෙත යන ශිරෝමි පන්සලක පාසලක හෝ හමුදා කුටියක නවාතැන් ගනිමින් තුවාල වූ රණවිරුවන් සුවපත් කරන්නට දායක වූවාය. සිකුරාදා රාත්‍රියෙහි කාර්යාල සේවය නිම වී ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායමට එක්වන ඇය විටෙක සතුරු වෙඩි වරුසා මධ්‍යයේ රණවිරුන්ගේ සුවය වඩන්නට පිටත්ව ගියේ පණ පරදුවට තබා කාර්යාලයේ යතුරු මිතුරියක වෙත බාර දෙමිනි.

2004 සුනාමියෙන් විපතට පත් ජනතාවට සේවය කරන්නට මුලින් ම ඉදිරිපත් වූ කණ්ඩායම් අතර හේමාස් අවුට් රීච් පදනම පෙරමුණ ගනී. “2004 දෙසැම්බර් 26 වැනිදා අපි උතුරු - නැගෙනහිර ප්‍රදේශවලට ගිහින් විපතට පත් දූ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය හැකි ඉක්මණින් ම ලබා දෙන්නට කටයුතු කළා. මැණික්ෆාම් කඳවුරේ අපි ඇරඹූ පාසලේ අවුරුදු 3 - 5 අතර දරුවන් 11,000 ක් ඉගෙනීම ලැබුවා. ඒ අතර ම ඔවුන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික මට්ටම නංවන්නට කටයුතු කළා.” ඇය කියනවා.

යුද්ධයේ නිමාවත් සමඟම ආබාධිත රණවිරුවන්ගේ සුවය සඳහා ඉදිකෙරුණු ‘අභිමංසල’ ශිරෝමි ගේ සංකල්පයක් මත යුද හමුදා සේවා වනිතා ඒකකය මගින් දියත් කළ ව්‍යාපෘතියක්. රට වෙනුවෙන් අවයව කැප කළ ආබාධිත රණවිරුවන්ගේ මානසික සුවය සඳහා සිය කාලය, ශ්‍රමය සහ ධනය කැප කළේ සිය අනන්‍යතාව ඔවුන්ට හෙළි නොකර, සිය පියාගේ උපදෙස් හා ආදර්ශය අකුරටම පිළිපදිමින් උපන් රටට බරක් නො‍වී සේවය කරන ශිරෝමි මිනිසත් ‍බවෙහි මහිමය අරුත්ගන්වන්නේ සෑම දෙනාට ම ආදර්ශයක් වෙමිනි. වසර 2007 දී යුද හමුදාවේ කීර්තිමත් නිලදරුවකු වන මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා හා සමඟ ඇය යුග දිවි ඇරැඹුවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආඥාපතිවරයා ලෙස කටයුතු කරන සිය සැමියාගෙන් ද දැන් ඇගේ කටයුතුවලට නොමඳ සහයක් ලැබෙන බව ශිරෝමි පවසන්නේ ස්තූති පූර්වකව.

“සෑම කාන්තාවක් තුළම කිසියම් විශේෂ හැකියාවක් තිබෙනවා. කුඩා කාලෙදිම එය හඳුනාගෙන වැඩි දියුණු කර ගත යුතුයි. හැම කාන්තාවක් ම සිය පියාගේ හෝ සැමියාගේ නාමයෙන් බැබළෙනවා වෙනුවට තමා තුළින් ම බැබළෙන්නට සමත් විය යුතුයි.

මා තුළ සැඟවුණු සැබෑ ශක්තිය මා හඳුනා ගත්තේ මගේ සේවා ප්‍රධානියා වූ හුසේන් එසුෆලි මහතා මගේ කුසලතාව හඳුනාගෙන ඒ අවස්ථාව මට ලබා දුන් හින්දයි. ඒ ගැන මා හේමාස් සමූහයට කෘතඥ වෙන්නේ එමඟින් ජාති, ආගම්, උස්, පහත් භේදයකින් තොරව සමස්ථ ලාංකීය ළමා පරපුරටත් පොදු සමාජයටත් සේවයක් කරන්නට මට අවස්ථාව ලබා දුන් නිසයි. මගෙන් ඉටුවූ මෙහෙවර අගයමින් මා ලැබූ දෙස් විදෙස් සම්මාන සියල්ලටම වඩා මා අගයන්නේ දිවයින පුරා විසිරී සිටින පියවර මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරියන් විසින් ලබා දුන් අහිංසක උපහාර සම්මානයයි. ආබාධිත රණවිරුවන් අදටත් මා හඳුනන්නේ ඔවුන්ගේ හිත හදාගන්නට උදව් කළ “දයාබර අක්කා” ලෙස පමණයි. දේශ දේශාන්තරවලින් ලැබෙන දහසකුත් එකක් නම්බු නාම හා සම්මානවලට වඩා ඒ අහිංසක ජනතාවගෙන් මා ලද ඇගැයීම මගේ හදවතට වඩාත් සමීපව දැනෙනවා.” සැබෑ මානවහිතවාදිනියක ගේ තෘප්තිමත් හැඟීමක සේයාව ශිරෝමිගේ වදන්වැල්වල සැඟවී තිබුණා.

සාගරිකා දිසානායක ජයසිංහ
ඡායා‍රූප - තිලක් පෙ‍රේරා 

Comments

Shiromi Masakorala is one of the grate adviser and counselor who gives correct path to overcome your any issue, she is known to me since last 15 years, till now she is the same simple person respecting any type of person, she climbed the ladder from PA to Director post . I always say that she is an asset to the country who the help Government too. I wish her good luck and may triple gem bless her to have healthy and long life.

පිටු