
ඉන්දියානු කඹ විජ්ජාව ලොව ප්‍රකට අභිරහසකි. කඹ විජ්ජාව යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ ඉහළට විසිකරන ලද කඹයක් කිසිදු ආධාරකයක් නොමැතිව ගුවනෙහි රඳවා ඒ දිගේ ඉහළට යාම එහි ඉහළට යන පුද්ගලයා අතුරුදහන් කර වීම හා ඒ අන්දමේ ත්‍රාසය හා මවිතය දනවන අනෙකුත් හාස්කම් පෙන්වීමයි.
දැනට ශත වර්ෂ කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණි යුරෝපා සංචාරකයන් කඹ විජ්ජාව ගැන සඳහන් කර ඇත්තේ මවිතය පළ කරමිනි. එහෙත් මෑතක ඉන්දියාවේ තබා ලෝකයේ අන් කොතැනකවත් මේ අන්දමේ කඹ විජ්ජාවක් කර ඇති බවක් සඳහන් වී නැත.
මේ පුදුම එළවන විජ්ජාව ගැන කීර්තිය ලබා තිබුයේ ඉන්දියාවයි. එහෙත් ඉබන් බතූතා මෙය දැක ඇත්තේ චීනයේ ෂැංහයි නගරයේ දීය. ඔහු දිගු කලක් චීනයේ ජීවත් වූවෙකි. මුල්වරට කඹ විජ්ජාව දැකීමෙන් පුදුමයට පත් ඉබන් බතූතා ඒ පිළිබඳ විස්තරයක් සඳහන් කර තිබේ. ඔහුගේ විස්තරය අනුව විජ්ජාකරු ලීයෙන් කළ බෝලයක් වැන්නක් අහසට විසිකළේය. මේ ලී බෝලය අහසට නැගී අඳුරේ නොපෙනී ගියේ ඉහළට විසි කළ යමක් බිමට වැටීමේ ස්වාභාවික නීතියද කඩකරමිනි. ගෝලයට බැඳ තිබූ කඹයද ඒ සමගම අහසට ඇදී ගියේ ය. පසුව ඍජුව තිබුණ ඒ කඹය දිගේ විජ්ජාකරුගේ සහායක ළමයෙක් ඉහළට නැග්ගෙන් ටික වේලාවකට පසු ළමයාද නොපෙනී ගියේ ය. ළමයාට ආපසු බසින ලෙස විජ්ජාකරු කීපවරක්ම කී නමුත් ඵලක් නොවීය. මෙයින් කෝපාවිෂ්ට වූ බවක් ඇඟවූ විජ්ජාකරු පිහියක් ද ගෙන කඹය දිගේ ඉහළට නැග්ගේය.
ටික වේලාවකට පසු ළමයාගේ ලේ තැවරුණු අතක් බිමට වැටුණි. තව මොහොතකින් අනෙක් අතද ඒ සමඟම වාගේ අනෙක් කකුලද වැටුණි. මේ ආදී වශයෙන් ශරීරයේ කොටස් වැටෙන්නට වී අන්තිමට හිසද වැටුණි. ඉන්පසු ඇඟපුරා ලේ තවරා ගත් විජ්ජාකරු බිමට බැස වහ වහා ළමයාගේ සිරුරේ කැබලි ටික එකතු කර පෙට්ටියකට දමා වැසුවේය. ටික වේලාවකට පසු විජ්ජාකරු පෙට්ටිය විවෘත කරද්දී ළමයා එයින් එළියට පැමිණියේය.
මේ කඹ විජ්ජාව ඉන්දිවේ ගම්බද පෙදෙස්වල පවා 19වැනි ශත වර්ෂය අවසානය තෙක්ම දක්නට ලැබී ඇති බව ඒ ගැන ලියා ඇති සටහන්වලින් පෙනේ. මාර්කෝපෝලෝගේ ගමන් විස්තරයේ සඳහන් වන්නේ ලී බෝලය සිදුරු සහිත එකක් ලෙසයි. මේ කඹ විජ්ජාව ගැන දෙදෙනකු විසින් ම කර ඇති විස්තර බොහෝ දුරට එක සමානය. ඔවුන්ගේ විස්තරවලින් කඹ විජ්ජාව පිළිබිඹු වන්නේ පහත සඳහන් අයුරුනි.
මෙය අඳුරු වැටුණායින් පසුවම පටන් ගන්නා විජ්ජාවකි. ඉහළට විසි කරන සිදුරු සහිත ගෝලයට කඹය සවිකර තිබුණි. විජ්ජාව නැරැඹීම පිණිස පැමිණි අය වාඩිවී සිටින්නේ විජ්ජාකරු සිටින ස්ථානයේ සිට අඩි 50 පමණවූ දුරකිනි. කිසියම් ගුප්ත බලයකින් මෙන් අහසට විසිකළ ගෝලය ඉහළට ඇදී යයි. ඇතැම් අයගේ විස්තරයන්හි මේ විසිකරන ලද ගෝලය වලාකුළු අතරේ නොපෙනී ගියේයයි සඳහන් වේ. නොපෙනී ගියාවූ ගෝලයට යා කර තිබුණු කඹය අහසට නැගී ඍජුව සිටි. මෙවිට කෙට්ටු ළමයෙක් කඹය දිගේ අහසට යයි. ඉහළ යන ළමයා විජ්ජාකරු සමඟ බහින් බස් වේ. ඒ අනුව ප්‍රකෝපයට පත්වන විජ්ජාකරු පිහියක් ගෙන ළමයා ළමයා පසුපස පන්නයි. දෙදෙනාම අහසේ නොපෙනී යති. ටික වේලාවකට පසු ළමයා මරළතෝනි දෙනු ඇසේ. ඔහුගේ සිරුරේ කැබලි වරින් වර බිමට වැටේ.
තවත් සමහරුන්ගේ විස්තර අනුව ළමයා කඹය දිගේ ඉහළට ගොස් අතුරුදන් වන බව කියා ඇත. කැබලි කැපීමක් ගැන ඒවායේ සඳහන් නොවේ. තවත් විස්තරයක් අනුව ළමයා අතුරුදන්වූ පසු විජ්ජාකරු කඹය ගස්සා අදිත්ම එය බිමට වැටේ. 20 වැනි වර්ෂය ශත වර්ෂය ආරම්භයේ සිට මේ විජ්ජාව ඉන්දියාවෙන් අතුරුදන් වී ගියාක් මෙන් විය. සමහර විචාරකයන්ගේ අදහස වූයේ මෙය නියම ක්‍රීඩාවක් නොව ඇස්බැන්දුමක් මඟින් කරන විජ්ජාවක් පමණක් යන්නය.
1930 දී පමණ මේ විජ්ජා පිළිබඳ ප්‍රශ්නයට ඉතා වැදගත් තැනක් ලැබුණි. මෙයට මූලික හේතුව වූයේ ඉංග්‍රීසි ජාතික මනෝවිද්‍යාඥයෙකුගේ අභියෝගයයි. තමා මේ ක්‍රීඩාව චීනයේ දී දැක එය ඉගෙන ගත්තේ යයිද එහෙත් එය කළ හැකියයිද ඔහු කීය. මෙය බ්‍රිතාන්‍යයේ දී කර පෙන්වනසේ පුවත් පත් සහ සඟරා මඟින් ඔහු ගෙන් ඉල්ලීමක් කළේය. ඉන්දියාවේ වැලි හා එරට ඇති ආලෝකය ඇති කිරීම සඳහා අවශ්‍ය මුදල් හා කඹ විජ්ජාව පෙන්වීමේ වියදම වශයෙන් රන් පවුම් 5000 ක් ඔහු ඉල්ලා සිටියෙන් ඒ වැඩය එතැනින් නතර විය. ක්‍රමයෙන් මේ ක්‍රීඩාව පිළිබඳ උනන්දුව හීනවී ගිය අතර එය ජනප්‍රවාදයක් බවටද පත්වී අන්තීමේදි එය කළ නොහැකි එකකැයි කියන තැනට යළිත් පැමිණියේය.
ජෝ. ඒ. කිලර් නමැති විජ්ජාකරුට මේ ක්‍රීඩාව පිළිබඳ තොරතුරු කියවන්නට ලැබිණ. ඒ ගැන සොයා බැලීමේදී මේ අභිලාෂයයෙන් ඉන්දියාවට පැමිණි ඔහු පැරැණියන්ගෙන් හා යෝගීන්ගෙන් ද මේ ගැන කරුණු විමසමින් එක්තරා තවුසෙකු මුණ ගැසීම පිණිස ගියේය. දින කීපයක් තිස්සේ පයින් ගමන් කළ ඔහුට ගහක් යට වාඩිවී භාවනානුයෝගීව සිටින තවුසා හමුවිය.
කිලර් දෙස නිශ්ශබ්දව ටික වේලාවක් බලා සිටි තවුසා කිලර්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් අනාවරණය කරමින් ඔහු මවිතයට පත් කළේය. එමණක් නොව ඔහු කඹ විජ්ජාව ගැන සොයමින් ඇවිදන බව තමා දන්නා බවද ඒ නිසාම ඒ ක්‍රියාත්මක කරන අන්දම කියා දීමට සතුටු බවද කීය.
තවුසා කඹ විජ්ජාව කරන ක්‍රමය පිළිබඳ විස්තරයක් ඔහුට දුන්නේය. අවුරුදු දහස් ගණනක සිට මේ කඹ විජ්ජාව ඉන්දියාවේ පවත්වා ඇත. වර්තමානයේ එය පැවැත්වීමට නොහැකි හේතුව ඒ ක්‍රියාත්මක කිරීමේ පදනම පිළිබඳ රහස් දැන් ඇති නවීන උපකරණ නිසා පහසුවෙන්ම සොයා ගැනීමට හැකිවන හෙයිනි.
මෙම විජ්ජාව කළ හැක්කේ රාත්‍රී කාලයේ පමණකි. ගස් දෙකක් අතර අදින ලද කළු කඹයක් වෙයි. එහි මැද සිට එක් කොනක් බිමට වැටෙනසේ සවිකළ එක් හීන් කළු නූලක් වෙයි. ඒ නූලේ ඉතිරි කෙළවර විජ්ජාකරුගේ අතවැසියෙකු අත තබා ගැනේ. එහෙත් ඔහු නරඹන්නන්ට නොපෙනන සේ සැඟවී සිටී. බිමට වැටෙන නූලේ කෙළවර විජ්ජාකරු ඉහළට විසිකරන සිදුරු සහිත ගෝලයේ දවටනු ලැබේ. පසුව ගෝලය ඉහළට අදී. එය කළුවරේ නොපෙනී යයි. ඒ සමඟ ගෝලයට ඇමිණූ කඹයද අහසට නඟී. ගෝලය ගස් දෙක හරහා බැඳ ඇති කඹය කරා ගිය විට එහි ඇති කෙක්කක් කඹයට වැටේ. මේ අනුව කඹය ඍජුව අහසේ කෙළින්ව ඇති බව බලා සිටින්නන්ට පෙනේ. අද මෙය කළ නොහැක්කේ විදුලි පන්දමක් දැල්වූ පමණින් හොරය අසුවන හෙයිනි. එදා ආලෝකය සඳහා තිබුණේ ගිනි ගොඩක් පමණි. එහෙයින් බඹ දෙක තුනකට වඩා අහස අඳුරු විය.
කඹය කොක්කේ ඇමිණී ගත් පසු විජ්ජාකරුගේ සහායක ළමයා ඉහළට බඩගා ගොස් පසුව අනිත් කඹයට නැගී ඒ මගින් ගහට බඩගා යයි. ඉන්පසු ගහෙන් බිමට බසින ඔහු මහජනයාට අසු නොවනසේ විජ්ජාකරු අසල ඇති පෙට්ටියට රිංගයි. විජ්ජාකරු මේ අතර අතවැස්සාට බැණ වදිමින් කඹය දිගේ නගිමින් ඔහුගේ සාක්කුවල දමා ගෙන ඇති මරණ ලද වඳුරෙකුගේ අත්පා බිම හෙළයි. වඳුරාට ළමයා ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් අන්දවා ඇත. ඈත සිටින අයට බිමට වැටෙන්නේ වඳුරකු ගේ අවයව බව දැනගැනීමට ඉඩ නොතබා තවත් අතවැසියෙක් ඒවා එකතු කොට කලින් බිමට බට අතවැසියා සැඟවුණු පෙට්ටියට දමයි. පසුව බිමට බසින විජ්ජාකරු කඹය ගස්සා අදී. එවිට කඹය බිමට වැටේ. ඉන්පසු මොහු විවෘත කරන ලද පෙට්ටියෙන් කලින් එහි රිංගා සිටි අතවැසියා මහජනයා පුදුමයෙන් පුදුමයට පත්කරමින් එළියට එයි. මෙසේ කඹ විජ්ජාව අවසන් වන්නේය.
ජෝ. ඒ. කිලර් විසින් ඕස්ට්‍රේලියාවේ පළවෙන ‘පීපල්ස්’ සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙනි.
සේමාලි කැල්ලපත