
මේ අපේ රටට නව නිපැයුම් ඇවැසිම මොහොතකි. එවැනි අවස්ථාවක එකවර, එකම ස්ථානයකින් නව නිපැයුම් තුන්සියයකට අධික සංඛ්‍යාවක් බිහි වන්නේ නම්, එසේ බිහිවන්නේ තවමත් හිරිමල් ළමා වියේ පසුවන පාසල් සිසුන් අතරින් නම් එය ආශිර්වාදයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පසුගියදා මේ විශ්වකර්ම ප්‍රදර්ශනය දැක බලා ගැනීමට ලැබුණේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් භූමියේදීය. පාසල් සිසුන්ගේ විද්‍යා හා තාක්ෂණ විෂයේ අමතර ක්‍රියාකාරකමක් ලෙස වාර්ෂිකව සංවිධානය කෙරෙන මේ නව නිපැයුම් ප්‍රදර්ශනය මෙවර සංවිධානය කර තිබුණේ පස් වැනි වරටය.
පාසල් භූමිය පුරා, ක්‍රීඩා පිට්ටනිය පුරා මෙන්ම පන්ති කාමර තුළද පාසල් සිසුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනය කර තිබිණ. සැබවින්ම එය එක් දිනක් තුළ බලා නිම කළ නොහැකි තරම්ය. එක් ප්‍රදර්ශන භාණ්ඩයක් අසල පැය බාගයක්වත් අවම වශයෙන් ගෙවා දැමිය යුතු වූයේ එහි නිමාව, අදහස, අමුද්‍රව්‍ය, ක්‍රියාකාරීත්වය මෙන්ම වැඩිදියුණු කළ හැකි අන්දම යනාදී අත්‍යවශ්‍ය ප්‍රශ්න ඇසිය යුතුම වන නිසාය. එහෙත් ඒ සමගින් අසල ඇති ප්‍රදර්ශන භාණ්ඩ මග හැර යෑමට හැකියාවක් නොලැබෙන්නේ සෙසු ප්‍රදර්ශන භාණ්ඩ සමග ඒවායේ නිපැයුම්කරුවන් වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ නිපැයුම්ද විස්තර කිරීමට දැඩි ආශාවකින් බලා සිටින බැවිනි. ප්‍රදර්ශන භූමිය පුරා ඇවිද ගිය පසු සිතුනේ මේ නව නිපැයුම් ඉදිරිපත් කර ඇති සියලු දෙනාම අනාගතයේ අපේ රටට සම්පතක් වන පුරවැසියන් වනු ඇති බවයි.
ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායකවරයා වන ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් මහතා සහ පාසලේ විද්‍යා ගුරු මණ්ඩලය ප්‍රදර්ශනය තේමාවන් අටක් යටතේ සංවිධානය කර තිබිණ.
ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් නිපැයුම්, බලශක්ති සුරැකීමේ නිපැයුම්, පාරිසරික නිපැයුම්, මානව අාරක්ෂාව පිණිස වන නිපැයුම්, සෞඛ්‍ය සහ පෝෂණ නිපැයුම්, ආබාධිතවූවන් වෙනුවෙන් වන නිපැයුම්, ප්‍රවාහන නිපැයුම් සහ පොදු නිපැයුම් යනුවෙන් එකී තේමාවන් සකස් වී තිබිණ.
මේ එකිනෙක තේමාවන් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රදර්ශන කුටි ඔස්සේ ඇවිද යන විට සිතුනේ මේ සිසුන් කොතරම් දියුණු අදහස් ඇත්තවුන්ද යන්නයි.
එක් ප්‍රදර්ශන කුටියක අමුතු, තරමක් උස් පැතලි අඩියකින් යුත් පාවහන් දෙකක් විය. මේ පාවහන් පොදු තේමාව යටතේ ඉදිරිපත් කර තිබිණ. අටවැනි වසරේ සිසුන් තිදෙනකු විසින් ඉදිරිපත් කර තිබූ මේ පාවහන් යුගළය සැබවින්ම කුතුහලය උපදවන සුළු විය.
තම භාණ්ඩය නැරඹීමට මොහොතක් නතරවන සෑම දෙනාටම එකසේ නොඅඩුව භාණ්ඩය පිළිබඳ විස්තර ලබා දෙන සිසුන් පවසා සිටියේ මේ පාවහන් යුගල තණකොළ කැපීම වෙනුවෙන් භාවිත කිරීමට නිපදවා ඇති බවයි.
පාවහන් පැළඳ ඇවිදින විට ඇතිවන චලන මගින් උපදින බලයෙන් පාවහන් ඉදිරිපස සවි කර ඇති යකඩ තල ක්‍රියාත්මක වී ඇවිද යන බිම මත ඇති තණකොළ කැපී වෙන්වේ. සිසුන් පවසා සිටියේ මේ පාවහන් අදහසක් හෝ අනුරුවක් පමණක් නොව ක්‍රියාත්මක මට්ටමේ ඇති නව නිපැයුමක් බවයි.
පොදු තේමාව යටතේ ඉදිරිපත් කර තිබූ තවත් නව නිපැයුමක් සම්බන්ධව සඳහන් කළ යුතුමය. එය නම් දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන පාසල් බෑගයකි. අද දවසේ පාසල් සිසුන්ගේ ඉතා බරැති පාසල් බෑගය අධ්‍යාපන බලධාරීන්ගේ පවා කතාබහට ලක් වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවා ඊට විසඳුම් සෙවීමට කටයුතු කළද මේ මොහොත වන විටත් පාසල් සිසුන් ඉතා බරැති පාසල් බෑග ඔසවාගෙන යති. බරැති පාසල් බෑගයට විසඳුම් ලෙස හත් වැනි වසරේ ශිෂ්‍යාවක් මේ දුරස්ථ පාලක පාසල් බෑගය නිර්මාණ කර තිබිණි. ඒ සඳහා අමතර කොටස් මිලදී ගෙන තිබුණද ඇයගේ අදහස අගය කළ යුතු යැයි සිතිණි.
ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අංශය යටතේ මෙන්ම ප්‍රවාහන අංශය යටතේද ශිෂ්‍යාවන්ට වඩා වැඩිපුර නිපැයුම් සංඛ්‍යාවක් පාසල් සිසුන් ඉදිරිපත් කර තිබෙණු දැක ගත හැකි විය. නිවසේ නිශ්පාදිත වායු සමීකරණයක්, රැහැන් රහිත දුරකථන ආරෝපණයක්, ඩයිනමෝවක් මගින් බලය ලබා ගන්නා විදුලි බල්බ සහ පංකාවක්, කප් කේක් සාදන යන්ත්‍රයක් ඇතුලු තවත් නිර්මාණ රාශියක්ම විය.
පාරිසරික තේමාව යටතේ ඉදිරිපත් කර තිබූ පිරිසිදු කිරීමේ රොබෝ යන්ත්‍රය සුවිශේෂ විය. මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වන මානව ආරක්ෂාව පිණිස වන නිපැයුම් අංශය යටතේ ඉදිරිපත් කර තිබූ හදිසි අනතුරු වළක්වන මෝටර් රථය, නාය යෑම් අනතුරු ඇඟවීම් පද්ධතිය මෙන්ම ගුවන් යානා ගොඩ බෑමේ ආරක්ෂක ක්‍රමවේදයද වර්ධනය කර භාවිතයට ගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු වන නව නිපැයුම් ලෙස හඳුන්වා දිය යුතුය.
වැඩිහිටියන්ට, රටට වැඩදායී වන මෙවැනි නව නිපැයුම් අතර පාසල් සිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ස්වයංක්‍රීය ශිෂ්‍ය වාර්තා අනාවරකය වැනි නව නිපැයුම්ද මේ ප්‍රදර්ශන භූමියේ වූ බව සඳහන් කළ යුතුය.
මේ ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දක්වමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
මේ ප්‍රදර්ශනය පවත්වන්නේ වසරකට වරක්. පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපන කටයුතුවලට අමතරව දියුණු ලෝකයත් සමග එක්ව තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව ලබා දීමේ අරමුණෙන් යුක්තව තමයි මේ ප්‍රදර්ශනය අපි සංවිධානය කරන්නේ.
මේ ප්‍රදර්ශනය මගින් විෂය මාලාවේ අඩංගු නොවන එහෙත් පාසල් ශිෂ්‍යයකුට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වන ප්‍රායෝගික දැනුම ලැබෙනවා. අපේ පාසලේ මේ ප්‍රායෝගික දැනුම ලබා දීම ප්‍රාථමික පන්තිවල සිටම සිදු කරනවා. දැනට අපේ පාසලේ සිසුන් අට දෙනෙක් පේටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා.
මේ ප්‍රදර්ශනය සංවිධානය කිරීම අප ආරම්භ කරන්නේ ප්‍රදර්ශනය පවත්වන දිනෙන් මාස තුනකට පෙර සිටයි. ආරම්භයේදී අපි වැඩමුළු පවත්වමින් සිසුන්ට දැනුම ලබා දෙනවා. නව නිර්මාණ කිරීමට සිසුන්ව පොළඹවනවා. ඇත්තටම මේ ප්‍රදර්ශනය මහා ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය. මෙහි සැබෑ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදී රටට තිළිණ වනු ඇති.
ප්‍රදර්ශනයේ සංවිධායක ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් මහතා ප්‍රදර්ශනය සම්බන්ධව තම අදහස් මෙසේ පවසා සිටියේය.
මෙවර ප්‍රදර්ශනය පවත්වන්නේ පස් වැනි වරට. මෙවර ප්‍රදර්ශන භාන්ඩ තුන්සියයක් පමණ ඉදිරිපත්ව තිබෙනවා. මේ ප්‍රදර්ශනය පැවැත්වීමේදී අපට විශේෂ අරමුණු කිහිපයක්ම තිබෙනවා. ඒ තමයි විද්‍යාව පොතේ දැනුමට පමණක් සීමා නොකොට ඒ තුළින් ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම. පෞරුෂ වර්ධනය කිරීම, සමාජයේ සහයෝගයෙන් ජීවත් වීමට පුරුදු කිරීම. මේ නිර්මාණ කිරීමේදී ඇතැම් විට සිසුන්ට කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් අප බලාපොරොත්තු වන්නේ අනෙකා ඉවසීමට, සහයෝගය ලබා දීමට සහ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට දරුවන් පුහුණු කිරීමයි. එමෙන්ම එකිනෙකාට ගරු කිරීමට ඉගෙන ගැනීමේ අවස්ථාවත් දරුවන්ට හිමි වනවා. මේ මගින් නිර්මාණශීලීත්වය, නොපසුබට උත්සාහය දිරි ගැන්වෙනවා. එමෙන්ම අහක දමන දේ ප්‍රයෝජනයට ගැනීමේ, භාවියතට ගැනීමේ පුරුද්දක් දරුවන්ට මේ තුළින් ඇතිවනවා. මෙවැනි අරමුණු රාශියක් මත මේ ප්‍රදර්ශනය ක්‍රියාත්මක වනවා. එහි ප්‍රගතිය දැකීමෙන් ගුරුවරු වශයෙන් අප මහත් සතුටක් ලබනවා.
ටිරෝනි වෑවලගේ