'කැලෑ පාළුවන්' නැති පන්නල | සිළුමිණ

'කැලෑ පාළුවන්' නැති පන්නල

 පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීහු හා ආර්ථික සංවර්ධන නිලධාරීහු එකතුව වන වැස්ම පුළුල් කිරීමට අපූරු, තිරසර, සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරති. ගස් කැපීම හා ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය හිමි වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාටය. රජය මගින් ඔවුන්ට ලබා දී ඇති මෙම බලය ප්‍රයෝජනයට ගෙන තම බල ප්‍රදේශයේ ගසක් කැපීමට බලපත්‍රයක් ඉල්ලන සෑම පුද්ගලයෙකුම ග්‍රාමසේවා වසමේ කලින් හඳුනාගත් ස්ථානයක ග්‍රාම නිලධාරීන්ගේ සුබසාධක සංගමය විසින් නඩත්තු කරන පැළ තවානෙන් ලබාගත් පැළ දෙකක් රෝපණය කළ යුතුය. එම පැළ රෝපණය බලපත්‍ර ඉල්ලුම්කරු විසින් සිදු කළ යුතු අතර එම ක්‍රියාව ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සනාථ කළ යුතුය. එලෙස පැළ රෝපණය කිරීමෙන් අනතුරුව එම වන ආවරණය ගමේ ප්‍රජා සංවිධාන විසින් වසර 02 ක කාලයක් නඩත්තු කිරීම සිදු කරනු ලබයි. මෙවැනි වැඩපිළිවෙළකට පන්නල නිලධාරීන් යොමු වීමට හේතුවක් තිබේ. ඒ ඔවුන් අද ලොව පුරා සිදුවන වන විනාශය සහ එය අපේ රටට බලපාන ආකාරය පිළිබඳ මනා අවබෝධයකින් පසුවීමයි.

ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වගාබිම්, තෘණභූමි, නාගරීකරණය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ක්‍රීඩා භූමි ආදී විවිධ වූ සංවර්ධන ක්‍රියාදාමයන් මෙන්ම ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් භාවිතයට ගැනීම වනාන්තරය ක්ෂය වීමට හේතු වී ඇත. එය රටෙහි ජෛව විවිධත්වය විනාශයට පත් වීමට මෙන්ම ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි ද බලපායි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මහා පරිමාණයෙන් කැලෑ කැපීම කරගෙන යන අතර ඒ හේතුවෙන් භූ විද්‍යාත්මක පරිසරය හා දේශගුණික තත්ත්වය වෙනස් වීම අපට නොදැනුවත්වම සිදු වේ. වන විනාශයෙන් අහිමි කරන්නේ වනාන්තරය පමණක් නොව අපේ ආර්ථිකය, ස්වභාව සෞන්දර්ය, වනාන්තරය හා බැඳුණු සිරිත් විරිත්, සංස්කෘතිය හා අනාගත පරම්පරාවේ අපේක්ෂාවන් ආදී මේ සියල්ලයි.

මෑතක දී පැවැති ලෝක ආර්ථීක සංසදය ප්‍රකාශ කරන ලද තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් 75% ක් මෙරට ජෛව විවිධත්වය හා ස්වභාව ධර්මය විඳින්නන් බව අනාවරණය විය. විදේශ සංචාරක ආකර්ෂණය තවදුරටත් තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ ගහකොළ සතා සිවුපාවුන් විනාශ වීමෙන් වළක්වා ගත යුතුය. වන විනාශය ලෙස හඳුන්වන්නේ කපා හෙලන ගසක් වෙනුවෙන් තවත් ගසක් හෝ දෙකක් රෝපණය නොකිරීම නිසා සිදුවන වනාන්තර ක්ෂය වීමයි. ගැමි සමාජයේ ‘කැලෑ පාළුවා‘ නම පටබැදෙන්නේද වන වගාවකින් තොරව ගස් කපන්නාටය. එය පුද්ගලයකු සිදු කළ ද, රජයකින් කළද වෙනසක් නැත. 19 වන සියවසේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් ඓතිහාසික ස්වභාවික වනාන්තරවලින් විශාල ප්‍රමාණයක් විනාශයට පත් විය. ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අලුතින් ඉඩම් අස්වැද්දීම, ජනාවාසීකරණය, ගංවතුර පාලන සඳහා වනාන්තර එළි කෙරිණි. අනාගත තිරසර බව පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව සිදු කරන ලද මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සිදු කරන ලද වන විනාශයේ අහිතකර ප්‍රතිවිපාක වර්තමානයේ අප මුහුණදෙන අක්‍රමවත් දේශගුණික රටාවට නිදසුන් සපයයි. මෙය ශ්‍රී ලංකාවාසී අපට පමණක් නොව පෘතුවිවාසී බොහෝ මිනිසුන්ට අත්විඳින්නට සිදුව ඇති ඉරණමකි.

අම්ල වැසි හේතුවෙන් යුරෝපයේ වනාන්තර රාශියක් විනාශයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ වනාන්තරවල ඇති ගස්වලින් විශාල සංඛ්‍යාවක් කිසිදු හේතුවකින් තොරව මැරී ගොස් ඇත. ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් නොමැති වීමෙන් ඊට බලපා ඇති හේතු කිසිවෙක් නොදනී. ශ්‍රී ලංකාවේ වනාන්තර පිළිබඳ විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වුවද වන වැස්මේ ප්‍රමාණය කොතෙක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. 2016 වර්ෂයේ භූගෝලීය දත්ත තොරතුරු පද්ධති ආශ්‍රයෙන් ලබාගත් තොරතුරු මත නිර්මාණය කරන ලද සිතියම දෙස බැලූ කළ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව කාන්තාරකරණය කරා ගමන් කරන බව නම් පැහැදිලිව කිව හැකිය.

ලෝක වන වියන කි.මී. 39, 000, 000 වන අතර එය ලෝකයේ මුළු බිම් ප්‍රමාණයෙන් 26.01% කි. එක් අවස්ථාවක දී ලෝකයේ මේරූ උෂ්ණ කලාපීය වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් බිලියන 1.5 සිට බිලියන 1.6 ක මට්ටමේ පැවතුණි. එයින් හෙක්ටයාර් මිලියන 750 - 800ක පමණ වන ගහණයක් මේ වන විට කපා දමා ඇත. ලෝකයේ වන විනාශයේ තරම මෙයින් පැහැදිලි වේ. 70 - 80 දශකයේ සිට මෙම වන විනාශය දිගින් දිගටම සිදු වේ. එය වැළැක්වීම රටවල් මට්ටමෙන් හුදකලාව සිදු කරන ව්‍යාපෘති මගින් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකිය. ඒ සඳහා සමස්ත ලෝකවාසී ජනතාව සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ල එකමුතු විය යුතුය. එසේ නොවුන විට 2030 දී අප බලාපොරොත්තු වන තිරසර සංවර්ධන ඉලක්ක කරා යොමු වීම අති දුෂ්කර වනු ඇත. ඒ සඳහා අද සිටම ක්‍රියාත්මක නොවුනහොත් 2030 වන විට ඉතිරි වන්නේ 10% ක පමණ වන ආවරණයකි. ඒ අනුව 80% පමණ වනාන්තර විනාශ වී ආවේණික සත්ත්ව හා ශාක වර්ග මේ ලෝකයෙන් තුරන් වී හමාර වනු ඇත. එය ජෛව ක්‍රියාවලිය විකෘති කිරීමට හේතුවන අතර මානව පැවැත්මට ද තර්ජනයකි.

1880 වර්ෂයේ 84% පැවැති වනාන්තර ප්‍රමාණය 1900 පමණ වන විට 70 දක්වා අඩු විය. උඩරට වතු වගාව සඳහා කඳුකර වනාන්තර එළිපෙහෙළි කිරීම මේ කෙරෙහි තදින්ම බලපා ඇත. 1900 -1956 අතර කාලය තුළ වනාන්තර ප්‍රමාණය 30% පමණ අඩු විය. 1956 වර්ෂය වන විට මෙරට වනාන්තර ප්‍රමාණය 50% වූ අතර වර්ෂ දෙකක් පමණ කාලයක් තුළ වනාන්තර ප්‍රමාණය 6% කින් අඩු වී එය 44% දක්වා පහත බැස ඇත. ආහාර බෝග වගාව සඳහා වියළි කලාපීය ප්‍රදේශයන්හි කැලෑ එළි කිරීම ජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ කෙරෙහි බලපාන ලද ප්‍රධානතම හේතුවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1972 පමණ වන විට වන වැස්ම 27% දක්වා අඩු වී ඇත. අනතුරුව එය ක්‍රමයෙන් අඩු වී 2014 - 15 වන විට එය 19% දක්වා අඩු වී ඇති බව වාර්තා වේ. 1958 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය ඉතා ශීඝ්‍ර ලෙස පහත බැසීමක් සිදුව තිබෙන බව දක්නට ලැබේ. පරිසර සංවිධාන කොතෙක් කතා කළ ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආවරණය වන වනාන්තර හා දැඩි ස්වාභාවික රක්ෂිත හැරුණු විට සෙසු ස්වාභාවික රක්ෂිත වනාන්තර ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින බව රහසක් නොවේ.

බහරේන් වැනි කාන්තාර ආශ්‍රිත රටවල මීට දශක 2 - 3 ට පෙර වනාන්තර දක්නට නොලැබුණ අතර ගස් දේවත්වයෙන් සළකනු ලැබීය. කෙසේ හෝ 2016 වන විට එහි වන වැස්ම 2.5% දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ. එහෙත් වනාන්තරෙවලින් වැසී තිබුණු රටවල් අද කාන්තාරකරණය වී තිබීම දෛවයේ සරදමකි. 2016 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.2 ලෙස වාර්තා වී ඇත. 1970 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය හත් ගුණයකින් පමණ වැඩි වී ඇති මුත් මේ කාලය තුළ ස්වාභාවික පරිසරය විනාශ වූවා මිස වර්ධනය වූ බවක් කිසිදු වාර්තාවක සඳහන් නොවේ. ජනගහනය වර්ධනයත් සමඟ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට සංවර්ධන ක්‍රියාවලිය සඳහා කැලෑ හෙළි කිරීම, ආහාර නිෂ්පාදනය, ඉන්ධන දැව, වැවිලි වගාව සඳහා කැලෑ හෙළි කිරීම සිදු කරන ලදි. 70 - 80 දශකයේ දී මෙරට සිදු වූ නවෝදය සමඟ වාරිමාර්ග ඉදි කිරීම හා කුඹුරු අස්වැද්දීම, මංමාවත් පුළුල් කිරීම සඳහා මහා පරිමාණ වශයෙන් වනාන්තර එළි කරන ලදි. මේ කාලයේ දී හරිත විප්ලවය ආර්ථික සංවර්ධනයේ එකම ක්‍රියාදාමය ලෙස සැලකීම මෙයට හේතුවයි. මේ තත්ත්වය 2014 -15 වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 19% දක්වා අඩු වීමට හේතු වූ මූලික සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. එපමණක් නොව කපා හෙලන ලද වනාන්තර වෙනුවට නැවත වන වගාව නොකිරීම මෙන්ම නැවත වන වගා ප්‍රදේශ ද ආර්ථික අවශ්‍යතා මත කපා දැමීමද වන විනාශයට හේතු වී තිබේ.

මේ සියල්ල සලකා බලන කළ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් හුදකලාව ගෙන යන ඉහත වැඩසටහන ජාතික මට්ටමේ කටයුත්තක් ලෙස ව්‍යාප්ත කිරීමට පුර්ණ රාජ්‍ය මැදිහත් වීම නෛතික වශයෙන් ලබා දුනහොත් මෙරට වන විනාශයට යම් තිරසර පිළියමක් ලබාදීමට හැකිවනු බව අපේ විශ්වාසයයි.

සී.සී. හිදැල්ල ආරච්චි
අධ්‍යක්ෂ ශ්‍රී ලංකා වනජීවී භාරය

Comments