දසවසකට පෙර අපට අහිමි වූ ජෙයරාජ්... | Page 2 | සිළුමිණ

දසවසකට පෙර අපට අහිමි වූ ජෙයරාජ්...

 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 10 වන ගුණ සමරුව අප්‍රේල් මස 06 වන දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

 

“අද ඔය ගමන යන්න එපා... නිවාඩු දවස නේ... දරුවො දෙන්නත් එක්ක නිවීසැනසිල්ලේ ගෙදර ඉන්න...”

“නිවීසැනසිල්ලේ..? අපිට නිවීසැනසිල්ලේ ඉන්න පුළුවන්ද මිනිස්සුන්ගේ ඉල්ලීම් අමතක කරලා...? මං ඉක්මන්ට එනවා... දොස්තර නෝනා.....”

“මං දන්නව නේ ඔයාගේ ඉක්මන!”

“සිංහල අවුරුදු වැඩක් නේ... අපිත් ඒවට උදවු වෙන්න එපායැ...”

“ඉතින් මේ පාන්දරම?”

“නැතුව... මැරතන්-එකයි... බයිසිකල් රේස්-එකයි ආරම්භ කරලා මං අනිත් පැත්තට එන්නං...”

“ඔය කිව්වට... ඔයාට නොගිහින් ඉන්නම බැරිද?”

“මැරතන් කරුලගේ වැඩක් නේ... නොගිහින් කොහොමද?”

වෙනදා මෙන්ම සිනා පිරි මුවින් හා දෑසින්, බිරිය දෙස බලා කී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ගෙයින් එළියට බටුයේය.

ඔහු ඒ වන විට ශ්‍රීලනිපය විසින් තනා තිබුණු ජාතික නායකත්ව හිණිමඟේ සිව්වැනි පියගැට පෙළෙන්ද ඉහළට පා ඔසොවා තිබිණි. එහෙත් ඒ අවාසනාවන්ත දවසේ උදේ හතයි කාල වෙද්දී රුදුරු එල්ටීටීය ඔහු බිලිගෙන හමාර කර තිබිණි. ඒ දැනට දස වසරකට පෙරය... හරියටම කිව හොත් 2008 අප්‍රේල් 06 දාය.

ඔහුගෙන් පසු දේශපාලනයට පිවිසෙන්නට හා දේශපාලන විද්‍යාව හදාරන යෞවනයන්ට, පරමාදර්ශී දේශපාලනයේ හැඩරුව හඳුන්වා දෙන්නට, ජෙයරාජ් චරිතය ඇසුරෙන් ග්‍රන්ථයක් රචනා කරමුද යන යෝජනාව අපට ඉදිරිපත් කළේ, සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. ග්‍රන්ථය සැකසීම සඳහා මම ඔහුගේ සමකාලීනයන් හා ඔහු ඇසුරු කළ තැන් සොයා ගියෙමි. ඔවුන්ගෙන් හා ඒ තැන්වල භාරකරුවන් ගෙන් මා ඇසූ ප්‍රශ්නයක් විය.

“ජෙයරාජ් යනු කෙවැන්නෙක්ද?”

“එතුමා ජය අනන්‍ය කරගත් එඩිතර මිනිසෙක්... ඔහු කිසිම ජන්දයක් නොපැරදුණු ජනප්‍රිය දේශපාලකයෙක්... කිසිම නඩුවක් නොපැරදුණ දක්ෂම නිතිඥයෙක්... ඔහුගේ ජයග්‍රහණවල මූලික ලක්ෂණය වදනිසුරු බවයි. හුරුබුහුටි ලෙස තෙබසින්ම නිවැරදිවත් වේගවත්වත් කථා කළ හැටි! සරසවි බැල්ම පිහිටා තිබුණ කෙනෙක්...” (වි.ජ.මු. ලොකුබණ්ඩාර - එදා සබරගමු පළාත් ආණ්ඩුකාර)

“කිසිම වැඩක් ප්‍රමාද නොකළ... කාගේ වුණත් ඇමතුමකට වහා ප්‍රතිචාර දැක්වු... ඕනෑම ප්‍රශ්නයකට චකිතයකින් තොරව තර්කානුකුලව පිළිතුරු සැපයු ඔහු අපේ කාලයේ අප රැකගෙන පෙරමුණේ සිටි තැනැත්තායි.”

(එදා යෞවන කටයුතු ඇමැති, ඩලස් අලහප්පෙරුම)

“77 මහ මහමැතිවරණයෙන් පැරදුණු ශ්‍රීලනිපය යළි නඟාසිටුවීම පසු දිනම අරඹමුයි යෝජනා කළ තැනැත්තා තමා ජෙයරාජ්.”

“ඔහු ප්‍රශ්න හා ගැටලු තමා වෙත වාර්තා වන තුරු බලා සිටි දේශපාලනඥයෙක් නෙවේ... ප්‍රේමදාස උඩුගම්පොළ.... ජේආර්ගේ බලය අතට ගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ භීෂණය මුදාහරිද්දි ඊට එරෙහිව පෙරමුණ ගත්තේ තරුණ ජෙයරාජ්...”

(එදා ආපදා කළමණාකරණ ඇමැති, මහින්ද අමරවීර )

“ඇමැති කෙනෙකුව සිටියදීම ඔහු එල්ටීටීඊ ප්‍රදේශවලට ආව-ගියා... එල්ටීටීයේ දරදඬු මිනීමරු අදහස්වලට ඔහු පිළිතුරු දුන්නේ ඒ ගොල්ලන්ගෙම භාෂාවෙන්... ඔහුට ද්‍රවිඩ මූලයක් තිබුණත් ජීනිවා නුවරදී ඔහු ආණ්ඩුවේ මතය බියෙන් තොරව ඍජුව හෙළි කළා...”

“එතුමාගේ චරිත ලක්ෂණ බෙහෙවින්ම සිත් ගන්නාසුලු වුණා... සෑම මොහොතකම ඔහු සිටියේ පිරුණු මුහුණින්... සතුටින් ප්‍රිය වචන තමා ඔහුගේ මුවින් පිටවුණේ... කිසිදාක බාල හැසිරීම් රටාවක් අපි එතුමා කෙරෙන් දුටුවේ නෑ...” (එදා සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා)

“චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මගේම මහින්ද රාජපක්ෂගෙත් වැරදි අඩුපාඩු පටස්ගාලා නැගිටලා පෙන්වා දෙන්න, ඔහු මොහොතක් කල් ගත්තේ නෑ... ඒක තමා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන දේශපාලනඥයාගේ ප්‍රධාන චරිත ලක්ෂණය...”

“සමහර වේලාවල පාර්ලිමේන්තුවේ අගමැති රෝල් එක කළේ ජෙයරාජ්... මම විරුද්ධ පක්ෂ නායක වුණෙත්... අගමැති වුණෙත්... ජනාධිපති වුණෙත්... ජෙයරාජ් කළ යම් යම් වැඩපිළිවෙළවල් නිසයි...” (හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. මහින්ද රාජපක්ෂ)

“94 පොදු ජන එක්සත් පෙරමුණ පිහිටුවා ආණ්ඩුවක් පිහිටුවන වැඩපිළිවෙළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වයට සිටි සමීපතම දේශපාලනඥයා ජෙයරාජ්... ඔහු තම දැනුම... කථිකත්වය... අත්දැකීම් පමණක් නොව, පෞද්ගලික ධනය පවා ශ්‍රීලනිපය වෙනුවෙන් වැය කළ නායකයෙක්...”

“ඔහු මීගමුවේ නීති වෘත්තියේ යෙදුණේ නොමිලයේ... අපරාධ නඩු පිළිබඳ ඔහු අතිවිශාල කීර්තියක් දිනා සිටියා... ඔහු ගිනි කන නීතිඥයෙක් වුණේ නෑ... කීර්තිමත් නීතිඥයකුව සරු අදායමක් ලද හැකි නීතිඥයකුව සිටියදී ඔහු සතු සියලු දක්ෂතා කැප කළේ පක්ෂය දිනවීමටයි...”

“ඔහුගේ කතා කෙතරම් දීර්ඝ වුවත් පාක්ෂිකයන් හීන් කෙඳිරියක් නොනඟා අසා සිටි හැටි අපටත් පුදුමයක් වුණා...!”

“ඔහු කිසිම ප්‍රතිවාදියකු අවමානයට පත් කළේ නැහැ...”

“2001 මැතිවරණයෙන් ශ්‍රීලනිපය පරාජය වූ පසු පොලොන්නරුවේ ප්‍රතිවාදීන් බොරු චෝදනා රාශියක් ඉදිරිපත් කරමින් මා උසාවි ගෙන ගියා... මගේ විරුද්ධවාදීන් නිරුත්තර කර මගේ නිර්දෝෂි බව උසාවිය ඉදිරියේ හෙළි කරන්න හැම නඩු වාරයකදීම ජෙයරාජ් පොලොන්නරු ආවා... මං වෙනුවෙන් පමණක් නොවේ... අනුරයාපා... ඩිලාන් පෙරේරා... වෙනුවෙනුත් ජෙයරාජ් උසාවි ගිය බව මං දන්නවා...”

(වත්මන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා)

සිරිල් එ‍ඬේරමුල්ල

Comments