මල්වරය පමා වුණොත් පිරිමි ළමයින්ටත් අතුරු ආබාධ | සිළුමිණ

මල්වරය පමා වුණොත් පිරිමි ළමයින්ටත් අතුරු ආබාධ

 ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණීමේ සංසිද්ධිය මුළු මහත් සමාජයක් තුළ පිළිගැනීමකට ලක් වන්නකි. එසේ වුවත් ශ්‍රී ලාංකීය සමාජය තුළ පිරිමි දරුවකු වැඩිවියට පත් වීමේ සංසිද්ධිය සුවිශේෂී ලෙස පිළිගැනීමකට ලක් නොකරයි. පිරිමි දරුවන්ගේ බාහිර ස්වරූපය ක්‍රමයෙන් විවිධ විපර්යාසයන්ට බදුන් වීම ඔවුන් වැඩිවියට පත් වන කාල සීමාවේ හදුනා ගත හැකි වීශේෂ ලක්ෂණ අතර වේ.ඒත් සමගම ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් ද වෙනස් වීම්වලට ලක් වීම ද දැක ගත හැකි ය. වර්තමාන සමාජයේ පිරිමි දරුවන්ගේ වැඩිවිය පත් වීම ප්‍රමාද වීම සහ ඉක්මන් වීම යන අවස්ථාවලදී සිදු කළ යුත්තේ මොනවාද යන්න පිළිබදව බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැත. එවැනි අවස්ථාවලදී නිසි කාල සීමාවට සිදු කළ යුතු ප්‍රතිකර්ම ඉක්මනින් සිදු නොකළහොත් එය පිරිමි දරුවාගේ මුළු ජීවිත කාලයටම බලපායි.

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?,පිරිමි දරුවකු වැඩිවිය පැමිණීම හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?,පිරිමි දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද? යනාදී කරුණු පිළිබදව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,කොළඔ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න මහත්මිය පළකළ අදහස් මෙසේ ය.

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම යනු පිරිමි දරුවකු වැඩිහිටි පිරිමියෙකු බවට පත් වීමට සිදු වන ශරීරික, මානසික හා සාමාජීය වෙනස්කම් වේ. මෙහි දී ප්‍රධාන වශයෙන් ඉස්මතු වී පෙනෙන්නේ ද්වීතික ලිංගික ලක්ෂණ වර්ධනය වීම ය.වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය හෝමෝන මගින් පාලනය වන්නකි.ළමා වියේ දී අක්‍රීය තත්ත්වයක පවතින වෘෂණ කෝෂ සක්‍රීය වී ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ස්‍රාවය වේ.මෙම මගින් පිරිමි දරුවකුගේ ද්වීතික ලිංගික ලක්ෂණ වර්ධනය වේ. එමෙන් ම එමගින් දරුවාගේ හැසිරීමේ හා ශරීර වර්ධනයේ ද වෙනස්කම් ඇතිවේ.

පිරිමි දරුවකු වැඩිවිය පැමිණීම හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?

බොහෝ විට පිරිමි දරුවකුගේ වැඩිවිය පත් වීම ආරම්භ වූ බව හෙළිදරව් වන්නේ ඔවුන්ගේ කටහඬ වෙනස් වීම ,මුහුණේ දැළි රැවුල වර්ධනය වීම වැනි ලක්ෂණ මඟිනි.වෛද්‍යමය වශයෙන් වැඩිවිය පත් වීමේ මුල් ලක්ෂණය වන්නේ වෘෂණ කෝෂ ප්‍රමාණයෙන් වර්ධනය වීම ය.

සාමාන්‍යයෙන් පිරිමි දරුවකු වැඩිවිය පත් වීම සඳහා නිසි වයස් සීමාවක් තිබෙනවා ද?

ඔව්, සාමාන්‍යයෙන් වෘෂණ කෝෂ වර්ධනය ආරම්භ විය යුත්තේ වයස අවුරුදු 9-14 අතර කාලය තුළ ය.මෙසේ ආරම්භ වීමෙන් පසු වැඩිවිය පත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමට වසර 03 ක් පමණ ගත වේ.

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද?

වැඩිවිය පත් වීමේ ක්‍රියාවලියට ජානමය බලපෑම් මෙන් ම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෝෂණ තත්ත්වය බලපායි.නමුත් පිරිමි දරුවකුට 14 සම්පූර්ණ වූ විට වැඩිවිය පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වී නැත්නම් මීට හේතු සොයා බැලිය යුතු වේ .මීට ප්‍රධාන හේතු සාධක 02 ක් තිබේ.මෙයින් පළමුවැන්න නම් , සාමාන්‍යයෙන් වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමයි. ( Constitutional delay )

මෙහි දී දරුවා තමාගේ නිසි වයසට වඩා පරිණතබවින් වසරක් දෙකක් පමණ පසුබට වී සිටී.පවුලේ අන් පුරුෂයන් ද මේ හා සාමාන තත්ත්වයකට මුහුණ දී තිබිය හැක.මෙවන් දරුවන්ගේ වැඩිවිය පත් වීම ප්‍රමාද වුව ද එය නිසියාකාරව ස්වභාවයෙන්ම සම්පූර්ණ වේ.

දෙවැනි කරුණ වන්නේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ හෝමෝන අවස්‍රාවය හෝ වෘෂණ කෝෂවල ගැටලුකාරී තත්ත්වයන් වේ. වෘෂණ කෝෂවල ගැටලුකාරී තත්ත්වයන්වලට ශල්‍යකර්ම,විකිරණ ප්‍රතිකාර,පිළිකා ඖෂධ සමහරක් හේතු විය හැකි ය.මීට අමතරව තැලිමීසියා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ පිටියුටරි ග්‍රන්ථියේ හෝ වෘෂණ කෝෂවල යකඩ තැන්පත් වීමේන් ද මෙම තත්ත්වය වැඩි වේ.

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වීම නිසා අනාගතයේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මොනවා ද?

වැඩිවියට පත් වීම ප්‍රමාද වන්නේ ඉහත පළමුවෙන් සඳහන් කළ ප්‍රමාදය ( Constitutional delay ) හේතුවෙන් නම් බොහෝ විට දීර්ඝ කාලීන ප්‍රශ්න ඇති නොවේ.එනම් ඔවුන්ගේ සරුබව, උස සහ ද්විතික ලිංගික ලක්ෂණ නිසි පරිදි ස්ථාපිත වේ.නමුත් මෙම දරුවන්ගේ ගැටවර වියේ දී ඔවුන් සම වයසින් යුත් අනෙක් දරුවන්ට වඩා උසින් , බාහිර පෙනුමෙන් සිතුම් පැවතුම් සහ ගතිපැවතුම්වලින් ළාබාල ලෙස පෙනී යයි.

මේ නිසා මෙම දරුවන් විහිළු තහළුවලට භාජනය වේ.තව ද ඔවුන් සමවයස් දරුවන්ට වඩා වෙනස්බව හේතුවෙන් මානසික පීඩාවට ලක්වේ.

දෙවන කරුණ හේතුවෙන් එනම් හෝමෝන ඌනතාවයක් හෝ වෘෂණ කෝෂවල ගැටලුවක් නිසා වැඩිවිය පත් වීම සිදු නොවේ නම් බොහෝ විට එම දරුවන්ට වැඩිවිය පත් වීමේ ක්‍රියාවලිය සිදු වීම සදහා බාහිරින් හෝමෝන ඖෂධ වශයෙන් ලබා දීම අවශ්‍ය වේ.‍ මෙහි දී සමහර රෝග තත්ත්වයන්වල දී දරු එල අඩු විය හැක.

පිරිමි දරුවන් වැඩිවිය පත් වීම ප්‍රමාද වූ විට ඖෂධ ලබා ගැනීම සුදුසු ද?

පිරිමි දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වීමට හේතුව වෛද්‍ය උපදෙස් අනුව නිර්ණය කර ගැනීම ඉතා වැදගත් වේ. දරුවාගේ හෝමෝන ස්‍රාවයේ හෝ වෘෂණ කෝෂවල ගැටලුවක් ඇත්නම් එම දරුවාට වැඩිවිය පත් වීම සදහා බාහිරින් ටෙස්ටොස්ටරෝන් හෝමෝනය දීර්ඝ කාලීනව ලබා දීමට අවශ්‍ය වේ. මෙය බොහෝ විට අපේ රටේ ටෙස්ටොස්ටරෝන් එන්නත් මගින් ලබා දේ. මෙය වෛද්‍ය උපදෙස් අනුව නිසි අයුරින් භාවිතා කිරිම අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව ( Constitutional delay ) නිසා දරුවකු මානසික පීඩාවකට පත්ව ඇත්නම් වෛද්‍ය උපදේශනය අනුව මාස 3- මාස 6 ත් අතර කාලයක් මාස් පතා ටෙස්ටොස්ටරෝන් එන්නත ලබා දීම මගින් එම දරුවාගේ වැඩිවිය පත් වීම ඉක්මන් කළ හැක.

පිරිමි දරුවන් වැඩිවිය පත් වීම හා සම්බන්ධව සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවා ද?

පිරිමි දරුවන්ගේ වැඩිවිය පත් වීම ගැහැණු දරුවන්ගේ වැඩිවිය පත් වීම මෙන් අප සමාජයේ දැඩි අවධානයකට යොමු නොවේ.එම නිසා වැඩිවිය පත් වීම ප්‍රමාද වුවත් වෛද්‍ය උපදෙස් පැතීම සඳහා නැඹුරු වීම අඩු ය.මෙම නිසා සමහර විට මෙම දරුවන්ට වෛද්‍ය උපදේශ නිසි වේලාවට නොලැබී යාමට පුළුවන.

පිරිමි දරුවකුගේ වැඩිවිය පත් වීම ඉක්මන් වීමට බලපාන සාධක මොනවා ද?

බොහෝ වේලාවට පිරිමි දරුවන්ගේ වැඩිවිය පත් වීම අවුරුදු 09 ට කළින් ආරම්භවේ නම් මෙය භයානක රෝගී ලක්ෂණයක් වි හැක.මෙවන් දරුවන්ගේ මොළයේ ගැටිති තත්ත්ව, වෘෂණ කෝෂවල හෝ අධිවෘක්ක ග්‍රන්ථිවල පිළිකා තත්ත්ව හට ගැනීමට පුළුවන.එම නිසා වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වේ.බොහෝ විට මොළයේ සහ උදරයේ ස්කෑන් පරීක්ෂණවලට දරුවා යොමු කළ යුතු ය.

නිසි වයසට වඩා වේලාසනින් වැඩිවිය පත් වීම මගින් පිරිමි දරුවාගේ අනාගතයට බලපෑමක් ඇති විය හැකි ද?

බොහෝ වේලාවට නිදන්ගත රෝගය නිර්ණය කිරීම හා ඒ සදහා නිසි ප්‍රතිකාර ලබා දීම මුල් තැන ගනී.මීට අමතරව අවශ්‍ය නම් වැඩිවිය පත් වීම නිසි වයස තෙක් ප්‍රමාද කිරීමට ඹෟෂධ වර්ග ද භාවිතා කළ හැක.

යොවුන් වියේ දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය ආහාර මොනවා ද?

වැඩිවිය පත් වන වයසේ දී පිරිමි දරුවන් සීග්‍රයෙන් උස වැඩි වීම.මාංශපේශී වර්ධනය වීම සිද්ධ වේ.මෙම නිසා මාංශපේශී වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සහිත ආහාර අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් D බහුල ආහාර ගනීම වැදගත් ය.තව ද වැඩිවියට පත් වන සමය දරුවන්ගේ වර්ධනය සීග්‍රයෙන් සිදුවන අවධියක් නිසා ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය ද වැඩි වන සමයක් ලෙස හැඳින්විය හැකි ය.

මදාරා මුදලි‍ගේ

Comments