මහවැලියෙන් ගොඩ ගිය නෑසියන් සොයා ගිය ගමනක් | සිළුමිණ

මහවැලියෙන් ගොඩ ගිය නෑසියන් සොයා ගිය ගමනක්

 මේ ගොවිපොළේ නිකම් ඇවිද්දත් තුනුරුවන්ගේ සරණින් දවසට තුන් හාර දහසක් හොයා ගන්න පුළුවන්.

එදා මෙදාතුර මෙරටේ දියත්වූ සුවිසල්ම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස පිළිගැනෙන මහවැලි සංවර්ධන ව්‍යාපාරය රජරටට පිවිසියේ 1970 දශකයේ

අග භාගයේ දීය. 1976 වර්ෂයේ ජනවාරි මස අටවන දින එවක අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මහවැලි ව්‍යාපාරයේ පළමු වෑයම ලෙස පොල්ගොල්ල

වේල්ල විවෘත කරනු ලැබීය. ධාතුසේන රජදවස ඉදිවු කලාවැව තෙක් එමගින් දියවර ගලා ආයේ මහවැලි එච් කලාපය බිහිවීමේ ඉඩ හසර සදමිනි. එතැන් පටන් කලාවැව් නිම්නයේ ගොවි පවුල් දහස් ගණනකගේ බලාපොරොත්තු දල්වමින් නව ගමනක පෙරමඟ සලකුණු සටහන් විය. මහඉලුප්පල්ලම, තඹුත්තේගම, එප්පාවල, නොච්චියාගම, ගල්නෑව සහ මීගලෑව යන මහවැලි කොට්ඨාසවලින් සමන්විතව මහවැලි එච් කලාපය කලාවැවේ නිල් දිය දහරින් අද යල මහ දෙකන්නය අස්වද්දනුයේ වී සහ අතිරේක බෝග අප කෘෂි ආර්ථිකයට එක් කරමිනි.

මහවැලි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිවු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් ඉකුත් දා ජනසතු වුයේ මහවැලි ව්‍යාපාරය මගින් ඉදිකළ අවසන් ජලාශය වශයෙනි. නමෝ විත්තියෙන් මහවැලි දියවර ගලා ආ මහවැලි එච් කලාපය දැන් දශක හතරකින් වියපත්ව ඇත. හතළිස් වසරක ඇවෑමෙන් අපි පසුගියදා මහවැලි නෑසිය සොයා ගියේ ඔවුන් අද ගෙවන ජීවිත ගැන සොයා බැලීමටය. ඩී. ජයන්ත මහතා මහවැලි එච් කලාපයේ පුර්වගාමී නගරය සේ සැලකෙන තඹුත්තේගම ආසන්නයේ පිහිටි තෙල්හිරියාව ගම්මැද්දේ පදිංචි වූයේ මුල් අවධියේය.

“ඒ කාලේ ඉඩම් දෙන්න කලින් මහවැලියෙන් මහා විශාල ගබඩා හැදුවා. ඉඩම් දීලා ගෙවල් හදාගන්නකන් මිනිස්සු තාවකාලිකව පදිංචි වෙලා හිටියේ ඔය ගබඩාවල. ගෙවල් හදාගන්න පොල් අතු, පොල් ලී වගේ දේවල් දුන්නා. ඔය කැති, පොරෝ, උදලු තල, යකඩ ඉනි, පිහි වගේ ඕන කරන ආම්පන්න එහෙමත් දුන්නා. මට මතකයි කුඹුරු අස්වද්ද ගන්න රුපියල් හත්සිය පනහක් දුන්නා. ගොවිතැනක් බතක් කරගෙන ආදායමක් හොයාගන්නකන් ආණ්ඩුවෙන් ආහාර සලාකයක් දුන්නා. වතුර බවුසර්වලින් ගෙනල්ලා ටැංකිවලට පුරවලා තිබ්බා. ඒවා තමයි මිනිස්සු හැම ඕනෑ එපාකමකටම පාවිච්චි කළේ.”

මහවැලි එච් කලාපයේ වාරි හා ගොඩ ඉඩම් 1976 වර්ෂයේ දී ප්‍රතිලාභීන් අතර බෙදාදීම සිදුකොට ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත යටතේය. ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් කලාවැව හා බළලුවැව යන ජලාශ යටතේ වාරි ඉඩම් හෙක්ටයාර් 20205 ක් සහ වාසස්ථාන සාදා ගැනීම උදෙසා ගොඩ ඉඩම් කට්ටි 15092 ක් ප්‍රතිලාභීන් 30184 කු වෙත සින්නක්කර අයිතිය සහිතව පවරා දී ඇත. එසේම රජයේ ඉඩම් ආඥා පනත මගින් ගොඩ ඉඩම් කට්ටි 4332 ක් ප්‍රතිලාභීන් 4332 කු අතර බෙදා දී ඇත. ඉන් ඉඩම් කට්ටි 1700 ක් රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට වෙන්කොට ඇති අතර, සෙසු භුමි ප්‍රමාණය එනම් ඉඩම් කට්ටි 2632 ක් විවිධ ව්‍යාපාර හා කර්මාන්ත ආරම්භ කිරීම සදහා ප්‍රතිලාභීන් වෙත ලබාදී ඇත.

අධිරාණිගම මහවැලියේ මුල් ගම්මාන කිහිපය අතර එකකි. සුරවීර රණතුංග මහතා මහවැලි ඉඩම් ලැබූ මුල් පදිංචිකරුවෙකි.

“ඉස්සර ඔය එප්පාවල - තඹුත්තේගම පාර තිබුණේ පොඩි ගුරු පාරක් විදිහට. දැන් ලොකුවට හදලා තියෙන නල්ලච්චිය වැව මැද්දෙන් තමයි පාර වැටිලා තිබුණේ. එතකොට වැව තිබුණේ පොඩියට. මේ පළාතම මහ ගන කැලෑව. ඉස්සර කිට්ටුවපාත ටවුමකට කියලා තිබුණේ තඹුත්තේගම ටවුන් එක. කඩකෑලි පහ හයක් විතරයි මුළු ටවුමටම තිබුණේ. ඒකත් පොඩි කඩමණ්ඩියක්. හරිහමන් විදිහට බඩුවක් මුට්ටුවක් ගන්ඩ ගල්ගමුවට යන්ඩ ඕන. නැත්නම් අනුරාධපුරේට යන්ඩ ඕනෑ.”

එවක කුඩා ගුරු පාරක්ව පැවැති ඇති තඹුත්තේගම එප්පාවල පාර අද තාර අතුළ ජනාකීර්ණ මාවතකි. ගුරු පාර වැටී තිබු නල්ලච්චිය ගම්මැද්ද අවුරා බැඳි නල්ලච්චිය වැවය. ඝන කැලෑව පසුබා මතුව ආ ඇළ වේලිය. කෙත්වතුය. ගෙවතුය. ගොඩනැගිලිය. හැම අහුමුල්ලකම සිදුව ඇත්තේ පරිවර්තනයකි.

මහවැලියේ මුල් පදිංචිකරුවන් අතර රැඳෙන ගල්නෑව, ඉහළ බුල්නෑව ගමේ ඩී.එම්. කරුණාවතී මහත්මියට එදා මහවැලියට මුලින්ම පදිංචියට ආ දා ගැන තවමත් ඇත්තේ හොඳ මතකයකි.

“ඉස්සර ඔය කිලෝ ක්‍රමයක් තිබුණේ නෑනේ. රාත්තල් වලින් තමයි ගනුදෙනු සිද්ධ වුණේ. කුරක්කන්, බඩඉරිඟු, වී වගේ දේවල් වික්කේ බුසල්වලින් ගණන් හදලා. එළවළු වගේ දේවල් වික්කේ රාත්තල් විදිහට. ඒ කාලේ සත වලින් තමයි ගනුදෙනු කෙරුවේ. දැන්නම් සතයක් දකින්ඩවත් නෑ. මගේ මතෙකේ හැටියට ඒ කාලේ බටු රාත්තලක් සත 10 යි. ඔය අවුරුදු කාලෙට එහෙම සත හැටට විතර නගිනවා. වැටකොළු රාත්තල සත දෙකයි. බණ්ඩක්කත් එහෙමයි. බඩඉරිඟු බුසලක් රුපියල් 20 ක් විතර වුණා. තල වපුරන කොට අක්කර පහ හයක් එක යායට වපුරනවා. මිරිස් හදනකොටත් එහෙමයි. ඉස්සර මෙහේ මිරිස් විමානයක්. දවසට රුපියල් දෙකයි ඒ කාලේ දවසේ පඩිය හැටියට දුන්නේ. ඒක ලොකු ගාණක් ඒ කාලේ හැටියට.”

එවක ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ලබාදී ඇති වාරි ඉඩම් ප්‍රමාණය දශක තුනක් ඇවෑමෙන් අද වන විට හෙක්ටයාර් 25363 ක් දක්වා වැඩි වී ඇති අතර එය ආසන්න වශයෙන් අක්කර 63407 කි. වාසස්ථාන සාදා ගැනීමට පිරිනමා ඇති ගොඩ ඉඩම් කට්ටි සදහා හිමිකම් ලැබු ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවද 39145 ක් දක්වා මේ වන විට වර්ධනය වී ඇත.

වර්තමානය වන විට මහවැලි එච් කලාපයේ වගා කන්නයක් වගාව සඳහා අක්කර අඩි 254810ක ජලය ප්‍රමාණයක් අවශ්‍ය බව මහවැලියේ නිගමනයයි. මෙම ජල අවශ්‍යතාව තවත් ආකාරයකින් පවසතොත් එය කලාවැව දෙවරකුත් තවත් අඩකට මදක් වැඩි ප්‍රමාණයක් පුරවාලීමට සමාන තත්ත්වයකි.

හා හා පුරා මහවැලියට පැමිණි අධිරාණිගම ගම්මැද්දේ ඉන්ද්‍රා පද්මිණි මහත්මියට මහවැලිය ගැන ඇත්තේ කෘතවේදි මතකයකි.

“මට මතකයි ඒ කාලේ මහවැලියෙන් දාපු ට්‍රැක්ටර් එක යායට පෝලිමේ වැඩ. ඇළ වේලි, කුඹුරු පාරවල් හදන්ඩ, පස් පටවන්ඩ, කට්ටි කපන්ඩ වගේ දේවල්වලට මිනිස්සු කුලියට ගත්තා. ඒ කාලේ හිටපු නායකයො මේවායේ වැඩ කෙරෙන හැටි නිතර හොයලා බැලුවා. ගාමිණි දිසානායක මහත්තයා අධිකාරි මහත්තයා එහෙම ගම්වලට ඇවිල්ලා මිනිස්සුන්ගේ දුක සැප හොයලා බැලුවා. ඒ මිනිස්සු කරපු දේවලට පින්සිද්ධ වෙන්ඩ අදත් අපි කරදරයක් නැතිව ජීවත් වෙනවා.”

ගොවිතැන වස විසෙන් මුදමු - ගොවියන් රජවරුන් කරමු යන තේමාව පෙරදැරිව දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව 2016 වර්ෂයේ දී පවත්වා ඇති මහවැලි මහ ගොවියා තරගයෙන් දෙවැනි තැන ලබා ඇත්තේ ද මහවැලි එච් කලාපයේ ධෛර්ය සම්පන්න ගොවියෙකි. ඔහු අධිරාණිගම ගම්මැද්දේ ඒ. ඒ. සෝමදාස මහතා ය. මහවැලි කලාප අටක ගොවීන් එක්ලක්ෂ හාරදහසක් දෙනා අතරින් එම ජයග්‍රහණය සෝමදාස මහතාට හිමිව තිබේ. මනාව වවන ලද වසර පුරා ඵල දරන ගොවිපොළක හිමිකරුවෙකු වන සෝමදාස මහතාගේ හඬේ ඇත්තේ ආඩම්බරයකි.

“මෙතැන අක්කර තුනක විතර ඇඹරැල්ලා, කෙසෙල්, පේර, ජම්බු, දෙහි, දොඩම්, පොල්, පුවක් වගේ දේවල් වගා කරලා තියෙනවා. අක්කර දෙකක යල මහ දෙකන්නේ වී වපුරනවා. මේ දවස්වල මං දෙයියනේ කියලා හොඳ ඇඹරැල්ලා අස්වැන්නක් ගන්නවා. මං නැති කාලෙක වුණත් ඕනෑම කෙනෙකුට නඩත්තු කරන්ඩ ලේසිවෙන විදිහට තමයි මේ ගොවිපළ හදලා තියෙන්නේ. ඕන හදිසියකට පැය බාගයක් නිකං මේ ගොවිපළේ ඇවිද්දත් තුනුරුවන්ගේ සරණින් රුපියල් තුන්හාරදාහක් හොයාගන්ඩ පුළුවන් පිළිවෙළට තමයි වගා කරලා තියෙන්නේ. ගොවිතැන කොයිතරම් නිදහස් රස්සාවක් ද කියන එක මට දැනෙන වාර අනන්තයි. කාගෙන්වත් බලපෑමක් ඇත්තෙත් නෑ. කාටවත් කරදරේකුත් නෑ. හිතේ දහිරියයි ඇගේ පතේ හයි හත්තියත් තියෙනවනම් මේ රත්තරං පොළොවේ වවන්ඩ බැරි දෙයක් නෑ.”

පානීය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සදහා කලාපය තුළ ද ඉන් බැහැරව ද සිදුවන කලාවැව මගින් ජලය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙහිදී අවධානයට ලක් වන්නකි. ගල්නෑව, කැකිරාව, තඹුත්තේගම, එප්පාවල හා නොච්චියාගම නගරවාසීන් සහ තදාසන්න ප්‍රදේශවාසීන් කලාවැවේ නිල් දිය දහරින් දෛනිකව සිය පානීය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතා පිරිමසා ගනුයේ මහවැලියේ තවත් ප්‍රතිලාභයක් ලෙසය.

එච් කලාපයේ එවක අක්කර බාගයක ගොඩ ඉඩමේ තිබු එකම එක නිවෙස වෙනුවට දැන් නිවෙස් කිහිපයක් ඉදිවී ඇත. ඒ ඉඩම් දරු මුනුපුරන් අතර බෙදීයෑම හේතුවෙනි. මහවැලි ජානපදික සනුහරේ තෙවන පරම්පරාවේ ජන්ම දායාදය ලද ගයාන් සංජීව, උපතිස්ස බණ්ඩාර වැන්නවුන්ට මෙන්ම යන්තමින් බහ තෝරන පොඩ්ඩන්ට ද දැන් මෙබිම රජදහනක්ව ඇති බව නම් නොකියමනාය.

අක්කර අඩි ලක්ෂයක් ජලය දරා හිඳින, අක්කර පහ‍ළොස් දහසක් පුරා නිශ්චිත මායිමක් නිසි සේ නොපෙනෙන අන්දමින් සළු, පිළි ලා ඇති කලාවැව මෙබිමෙහි හදවත ය. මේ විසල් ජලකඳ කොපමණක් නම් දුක්ඛ දෝමනස්සවල ජයග්‍රාහි හසරැලිවල නිහඬ සාක්ෂිකරුවකු නොවේදැයි මට සි‍තේ.

තඹුත්තේගම විශේෂ
ඩබ්ලිව්. ප්‍රදීප් 

Comments