
මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටයන් සය දෙනෙකු එකවර බිහිකරමින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. අන් වසරවලට වඩා තරමක් වෙනස්ව මෙවර සම ලකුණු ලබාගත් සය දෙනෙකු ප්‍රථම ස්ථානයට පත්වූයේ රටේ ප්‍රධාන පාසල් කිහිපයක් නියෝජනය කරමිනි. කසුනි හංසනා තත්සරණි හා චමෝදි රවීසා සුබසිංහ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින්ද, නවෝද්‍යා ප්‍රභාවි රණසිංහ මහනුවර උසස් බාලිකා විදුහලින්ද, ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර මහනුවර මහමායා බාලිකා විදුහලින්ද, රන්දි ලක්ප්‍රියා මාතර සුජාතා බාලිකාවෙන්ද, කවීශා ප්‍රතිභාත් රත්නපුර සීවලි මහා විදුහලින්ද දිවයිනේ ප්‍රථමයන් අතරට එක් වුහ. මුළු රටෙන්ම දෙවැනි තැන ගත් නම දෙනෙකු බිහිවීමද මෙවර විශේෂත්වයකි. කොළඹ දේවි බාලිකාවෙන් නිපුනි ඉන්දීවරී හේරත්ද, කොළඹ සී.එම්.එස්. බාලිකාවෙන් අනීෂා ගීතාංජලි ගුණවර්ධනත්, කොළඹ සමුද්‍රදේවි බාලිකාවෙන් රිසිනි දිනාරා කුමාරසිංහත්, කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් කවීන් සන්දිප සිරිවර්ධනත්, ගම්පහ බණ්ඩාරනායකයෙන් තිමන්ත සමාධි වික්‍රමසිංහත්, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලෙන් සෙනුරි දිල්රූ මල්ලිකාරච්චිත්, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් මිරූති සුරේෂ් කුමාර් ද, මහනුවර හිල්වුඩ් විදුහලෙන් නිසංසා කසුන්දි ගොකරැල්ලත්, මාතර සුජාතා විදුහලෙන් අමන්දි නයනතරා ජයසූරියත් දෙවැනි ස්ථාන ලබා සමත් වූහ.
ජයට හේතුව අධිෂ්ඨානයයි - මහනුවර මහමායා බාලිකාවේ ලිමාෂා
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු ස්ථානය ගත් සිසුන් අතරින් මහනුවර මහමායා බාලිකා විදුහලේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර අධිෂ්ඨානය සිය ජීවිතයේ එකම ජයග්‍රහණය බවට පත්කරගත් සිසුවියකි.අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක්‍රියා වලටද එකසේ දක්ෂතා දක්වන ඇය පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලකුණු 185 ක් ලබා ගනිමින් සමත්ව වයඹ රාජකීය විද්‍යාලයේ සිට මහනුවර මහමායා විද්‍යාලයට ඇතුළත් වූවාය. සමස්ත ලංකා වර්ණලාභී ක්‍රීඩිකාවක වන ලිමාෂා අමන්දි පාසල් විද්‍යා සංගමයේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර ඇය ‘පෙන්ටතලන්, දැනුම මිනුම තරගයට සහභාගි වෙමින් දක්ෂතම සිසුවිය සම්මානය පවා දිනා තිබෙන බව නියෝජ්‍යය විදුහල්පති විශාඛා හේරත් මහත්මිය පැවසුවාය.
“මම ක්‍රීඩා කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළ නිසා අධ්‍යාපන කටයුතු අතපසු වූ අවස්ථා රැසක් තිබුණා. ඒත් මම ඒ හැම පාඩමක්ම මගේ පන්තියේ යහළුවන්ගෙන් ඉල්ලා ගෙන ආවරණය කර ගත්තා. මගේ විදුහලේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, දෙමවුපියන් ඇතුළු හැමෝම මේ ජයග්‍රහණය පසුපස සිටිනවා. විශේෂයෙන්ම මගේ පාසල් මිතුරියන් මට මේ ජයග්‍රහණය ලබා ගන්න විශාල ශක්තියක් වුණා. ඔවුන් මට අතපසුවූ වැඩ ආවරණය කර ගන්න පුදුම සහයෝගයක් දුන්නේ. මම ක්‍රීඩාවල යෙදෙන නිසා ගොඩක් වෙලාවට ගෙදර යනකොට රෑ වෙනවා. මහන්සියට නිදා ගන්නවා. මාවතගම ඉඳලා නුවරට එන්න උදෙන්ම ගෙදරින් එනවා. මේ නිසා අමතරව පාඩම් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. ඒත් පන්තියේ වැඩ හොඳින් කළා. ගුරුවරු කියා දෙන දේ හොඳින් අසා සිටිමින් අවාබෝධ කර ගත්තා. මම හිතුවා මේ වගේ ජයග්‍රහණයක් වෙත යන්න පුළුවන් වෙයි කියලා. අධිෂ්ඨානය තමයි ඉතාම වැදගත් වන්නේ. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ලිමාෂා පැවසුවාය.
ලිමාෂාගේ පියා උදිත විමලවීර ව්‍යාපාරිකයෙකි. මව කුරුණෑගල ශාන්ත ජෝන් කොතලාවල විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරියයි. එකම සහෝදරයාද එම විදුහලේ අට වැනි වසරේ අධ්‍යාපනය ලබයි. “දුව පුංචි කාලේ ඉඳලා අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් එක වගේ දක්ෂයි. එයා ක්‍රීඩාවෙන් කුඩා කල සිටම විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. වයස අවුරුදු 11 න් පහළ වයඹ පළාත් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හා මධ්‍යම පළාත් වයස අවුරුදු 15 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයත් දිනා ගත්තා. දුවට සමස්ත ලංකා වර්ණ හිමිවුණා. එයා ගිටාර් හා තබ්ලා වාදනයටත් දක්ෂයි.” ලිමාෂාගේ මව අනෝමා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
ඉන්ජිනේරුවෙකු වීම මගේ අරමුණයි - රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ කවිශ
සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු ස්ථාන හිමිකරගත් හය දෙනා අතර සිටින එකම සිසුවා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ කවිශ ප්‍රතිභාත් හරිස්චන්ද්‍රය. වැඩිදුර ඉගෙනගෙන ඉන්ජිනේරුවෙකු වී රටට සේවය කිරීම තම අරමුණ බව කවිෂ පැවසීය.රත්නපුර ලෙල්ලුපිටිය පීක්වීව් ප්‍රදේශයේ පදිංචි කවිෂගේ මව සහ පියා රත්නපුර මූලික රෝහලේ හෙද නිලධාරීහු වෙති. රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය.
“මගේ ජයග්‍රහණය පිටුපස මගේ පාසලේ විදුහල්පතිතුමාත් ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමවුපියනුත් සිටිනවා. ඉගෙනීමට පාසලේ හොඳ වටාපිටාවක් තිබීම තවත් හේතුවක් වුණා. මං පෞද්ගලික පන්තිත් ගියා. මං රෑට පාඩම් කරද්දී අම්මා තාත්තා උදව් කළා. එදිනෙදා පාඩම් සටහන් කරගෙන එම සටහන් නැවත සියයට පනහක් කෙටිකර පසුව නැවත එම සටහන් සියයට පහ දක්වා කෙටි කරගෙන පාඩම් කළා.” කවිශ පැවසීය. සිය පුතා ලංකාවෙන්ම පළමුවෙනියා ලෙස සමත්වීම රත්නපුර මුලික රෝහලේ හෙද නිලධාරී කේ. එම්. ඒ. හරිශ්චන්ද්‍ර මහතාට ඉමහත් සතුටකි. ඔවුනට දරුවන් දෙදෙනෙකි. එයින් දෙවන දරුවා කවිෂ ප්‍රතිභාත්ය. කවිෂ කුඩා කාලයේ පටන්ම ඉගෙනීමට දස්කම් දැක්වුයේය.
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කමල් ආරිය සිංහ මහතා සිය පාසලේ සිසුවාගේ දස්කම් සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“අපි මේ ජයග්‍රහණය බලාපොරොන්තු වු එකක්. ඕනෑම ශිෂ්‍යයෙකුට තමන් ඉගෙන ගන්නා විද්‍යාලයේ හොඳ වටා පිටාවක් හොඳ පරිසරයක් තිබෙනවා නම් මේ වගේ උසස් මට්ටමින් විභාග සමත්වන්න පුළුවන්. අපේ විද්‍යාලයේ ශිෂ්‍යයින්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් හදා තිබෙනවා. ගුරු මහත්ම මහත්මීද දරුවන්ගේ දක්‍ෂතා අනුව ඉගෙනුම් කටයුතු කරන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් උනන්දුවෙන් තම ඉගෙන ගැනීම් කිරීම මෙවන් උසස් ප්‍රතිඵල ලැබීමට හේතුවයි.”
ජනප්‍රිය ගුරුවරුන් සොයා ගියේ නෑ - මහනුවර උසස් බාලිකාවේ නවෝද්‍යා
මහනුවර උසස් බාලිකාවේ නවෝද්‍යා ප්‍රභාවි රණසිංහ ශිෂ්‍යාවද විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් අතරින් කෙනෙකි. පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 174ක් ලැබ ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය.
නවෝද්‍යා පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි නවෝද්‍යාගේ පියා මිනිපේ වාරි ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයකු වන ඩී.එම්.රණසිංහ හා නාවලපිටිය මුලික රෝහලේ වෛද්‍ය රෝහිණී දිසානයක යුවළගේ බාල දියණියයි. ඇගේ වැඩිමහල් සොහොයුරිද පසුගිය වසරේදී මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් විශිෂ්ට දස්කම් දක්වමින් අ.පො. ස. සාමාන්‍ය පෙළ ඒ - නවයක් සහිතව සමත් වීම විශේෂයකි.
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව 2012 වසරේදී උසස් බාලිකාවට පැමිණි දිනයේ සිටම සෑම වසරකම පංතියෙහි පළමු වෙනියා වූ ඇය වර්ෂාවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයන්හිදී ද විවිධ අංශයන්හි පළමු ස්ථානය දිනා ගත්තාය.
“මට කුඩා කාලයේ සිටම ගෙදරින් අම්මා තාත්තාගෙන් විශාල මඟ පෙන්වීමක් ලැබුණා. ඒ අය කවදාවත් මට අනවශ්‍ය පීඩනයක් දුන්නේ නෑ. මං එදිනෙදා ගෙදර පාඩම් වැඩ ටික නිවැරැදිව කළා. ඒ නිසා වාර විභාග සඳහා මං සැමවිටම හොඳින් මුහුණ දුන්නා. මං මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවූවත් දිස්ත්‍රික් කුසතාවක් වැනි දෙයක් බලාපොරොත්තු වුණා. මං පාසලේ දැනුම මිනුම කණ්ඩායමේ කමිටු සාමාජිකාවක් වගේම බටහිර සංගීතය හා නර්තනය ද හදාරනවා.
සාමාන්‍ය පෙළ විභාගය සදහා මා මුහුණ දුන්නේ ඉතාම සරල ආකාරයෙන්. විභාගයේදී මට දැනුණේ වාර විභාගයකට මුහුණ දෙනවටත් වඩා පහසුවක්. විද්‍යාව විෂය මට ඉතා ලෙහෙසි වුණා. විදුහල්පතිතුමිය වන එම්. අබේගුණසේකර මහත්මියද, මගේ පංති භාර ගුරුතුමිය වන නවෝදිකා මානෙල්ගම මහත්මිය වගේම පාසලෙන්ද අපට විශාල සහයෝගයක් හා මඟපෙන්වීමක් ලැබුණා.
අපේ පාසලෙන් වාර්ෂිකව සියයකට වඩා ශිෂ්‍යාවන් පිරිසක් සාමාන්‍ය පෙළ ඒ-නවය සාමාර්ථ ලබා ගන්නවා. පාසලෙන් අප අධ්‍යාපනය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සමබරව යොදවනවා. සැමවිටම අප සැහැල්ලුවෙන් තබනවා. අනවශ්‍ය බරක් පීඩනයක් කොහෙමත් දෙන්නේ නැහැ.
අනෙක් ළමයි වගේ මමත් අමාරු විෂයන් සඳහා උපකාරක පංති ගියා. ඒ ගියේ ජනප්‍රිය ගුරුවරුන් ළඟට වඩා මට ගැළපෙන ගුරුවරුන් වෙතටයි. මගේ මව මා කුඩා කල සිටම පොත් පත් කියවන්නත් එමගින් දැනුම ලබා ගන්නත් හුරු කළා. පේරාදෙණිය සරසවි උයන විදුහලේ ගුරුවරුනුත් මෙහිදී මතක් කළ යුතුයි.
ඉදිරියේදී වෛද්‍යවරියකවීමත් එම ක්ෂේත්‍රයෙන් තව තවත් ඉදිරියට යෑමත් මගේ බලාපොරොත්තුවයි.” නවෝද්‍යා පවසන්නීය.
රටට සේවය කිරීම බලාපොරොත්තුවයි - ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් චමෝදි රවීසා සුබසිංහ
කෙදිනක හෝ ඉංජිනේරුවරියක් වී රටට සේවය කිරීමේ බලාපොරොත්තුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් චමෝදි රවීසා සිසුවියද ගම්පහ රත්නාවලී බාලිකාවට අතිකර දුන්නේ කීර්තියකි.
“මම මේ වගේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා. විශේෂයෙන් මම මේ මොහොතේදී මට අධ්‍යාපනය ලබා දුන් සැම ගුරුවරයෙකුටම ස්තූතිවන්ත විය යුතුයි. ගොඩාක් මහන්සි වුණොත් මේ වගේ ලොකු ජයග්‍රහණයක් ලබන්න කාටත් වුණත් පුළුවන්. මම පාසලේ සෑම විෂයකදීම එක වගේ උනන්දුවෙන් වැඩ කටයුතු කළා.. එසේම මගේ එකම අරමුණ වෙලා තිබුණේ කවදා හෝ ඉංජිනේරුවරියක් වීමයි. ඒ අපේක්ෂාව මගේ සිත තුළ සැමදා තිබුණා. මේ නිසා මම කවදාවත්ම මගේ පාඩම් වැඩ අතපසුකර ගත්තේ නැහැ. එදිනෙදා දෙන වැඩ එදාම කළා. මෙවැනි ජයග්‍රහණයක් ලබන්න මට හැකිවුණේ ඒ නිසායි..“
විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය තම සිසුවියන්ගේ ජයග්‍රහණයෙන් සතුටට පත්වන්නේ දයාබර මවක පරිද්දෙනි. “අපි සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දහදෙනා අතරට අපේ පාසලේ සිසුන් කිහිප දෙනෙක් එයි කියලයි බලාපොරොත්තු වුණා. අද දෙදෙනෙක්ම ප්‍රථම ස්ථානයේ ගෞරවය මේ පාසලට ලබා දී තියෙනවා. රත්නාවලි බාලිකාව කියන්නේ පිං බිමක්. අද මේ පිං බිමේ අසිරිය විඳගන්නට අපිට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ දරුවන් පාසලට අඛණ්ඩව ආ සිසුවියන් දෙදෙනෙක්. මේ නිසා මේ දරුවන්ගේ ජයග්‍රහණයට මම සුබ පතනවා...“
ලකුණක් ගත්තහම තෑග්ගට දුන්නේ පොතක් - මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා
සිය ජීවිතයේ කෙදිනක හෝ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා ලංකාවෙන්ම පළමුවැනියන් අතරට එක්වූයේ ඇය කිසිදා අපේක්ෂා කළ නොකළ ආකාරයෙනි. ඇයගේ අපේක්ෂාව වූයේ සෑම විෂයකටම ‘ඒ‘ සාමාර්ත 9 ක් ලබා ගැනීමට වුවත් එය කිසිදා මෙවැනි ජයග්‍රහණයක් ලෙස සටහන් වේයැයි ඇය අපේක්ෂා නොකළාය.
“මම හිතුවා කොහෝම හරි සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ නමයක් ලබා ගන්නවාමයි කියලා. ඒ ගැන ලොකු විශ්වාසයක් පවා තිබුණා. අමතර විෂයන් තුනට මම කළේ දෙමළ, ඉංග්‍රීසි සාහිත්‍ය හා තොරතුරු තාක්ෂණ විෂයය. මේ විෂයයන් ටිකක් අමාරු නිසා පොඩි බයකුත් තිබුණා. ඒත් එදා රෑ අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලද්දි මම දැනගත්තා මට ‘ඒ‘ 9 ක් ඇති බව. නමුත් ලංකාවෙන්ම පළමුවැනියා කියලා දැනගත්තේ නැහැ. පාසලේ ගුරුවරයෙක් කතා කරලා කිව්වා පළමුවැනියන් වූ තොරතුරු අන්තර්ජාලයේ දමා ඇති බව. මට පුදුම සතුටක් දැනුණා. මමත් පළමු හයදෙනාගෙන් කෙනෙක් අතරට එක්වීම ගැන....“රන්දි පවසන්නී ය.
රන්දිට බාල සහෝදරයෙක් හා සහෝදරියක් සිටින අතර මව මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කරන අතර පියා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකාරකවරයෙක් ලෙස සේවය කරන්නේය. දික්වැල්ල විජිත මහා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගනිමින් පාසලේ පළමුවැනියා විය.
“දුව සාමාන්‍ය පෙළ විභාගය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එයාට කුඩා කාලයේ පටන්ම හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. ශිෂ්‍ය නායක, බාලදක්ෂ, දහම් පාසල් තරග විභාගවලින් ඉහළ ජයග්‍රහණ ලබා ගත්තා. දුව ලකුණක් ගත්තොත් අපි එයාට පොතක් තෑගි දෙන පුරුද්දක් තිබුණා. මේ නිසා නිතරම එයාගේ කාමරය පුස්තකාලයක් වගේ. දුව පාඩම් කළේ හරිම විවේකයෙන්. විභාගයට අනවශ්‍ය බරක් ගෙන දුන්නේ නැහැ. එයා එදා දෙන වැඩ එදාම කළා. හැම විෂයයටම පංති ගියා. ඒ වගේම කාල සටහනකට අනුව වැඩ බෙදාගෙන කළා. ...“ පියා පවසන්නේය. අනාගතයේ ජීව විද්‍යාව විෂයය හදාරා වෛද්‍යවරියක් වීම රන්දිගේ එකම බලාපොරොත්තුවයි.
මෙවැනි ජයක් අපේක්ෂා කළේ නැහැ - ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ කසුණි හංසනා තත්සරණි
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට අත්වූයේ විශිෂිට ජයග්‍රහනයකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනි සිටි කසුනි හංසනා තත්සරණි ගම්පහ රත්නාවලියට ගෙන දුන්නේ අභිමානයකි. පළමු වසරේ සිට පහ වසර දක්වා ගම්පහ සුමේධ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර කටයුතු වලට එකසේ උන්න්දුවක් දැක්වූ සිසුවියකි.
“මම කවදාවත් මේ වගේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණේ නැහැ. විශේෂයෙන් මගේ මේ ජයග්‍රහණයට මගේ අම්මයි තාත්තයි වගේම හැමෝම උදවු වුණා. අපේ විදුහලේ විදුහල්පතිනිය පාසලේ හොඳ පාලනයක් ගෙන ගියා. ගුරුවරු පවා විශේෂ උනන්දුවකින් අපිට ඉගැන්වීම් කළා. එහි ප්‍රතිඵලයකි විදියටයි අපිට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ. මම ඉදිරියේදී සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටිනා නංගිලා මල්ලිලාට කියන්නෙ විභාගයට බය නොවී දැන් සිටම යම් සැලැස්මකට වැඩ කරන්න කියා. මම විභාගයට අමතර පන්ති පවා ගියා. ඒ ගුරුවරුත් මගේ මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්. විශේෂයෙන්ම මගේ බලාපොරොත්තුව ඉංජිනෝරුවරියක් විදිහට රටට සේවය කිරීමටයි...“ කසුනි පවසන්නී ය.
සුභාෂිණි ජයරත්න, අමිල මලවිසූරිය, අසේල කුරුළුවංශ, ඉන්දික පොල්කොටුව, එන්.පී. රාජදොරෙයි (රත්නපුර විශේෂ), නිමල් ජයසිංහ (ගම්පහ සංචාරක) සහ කැලුම් බෝධිමාන (තිහගොඩ සමූහ)