කරුණාදාසගේ පෙනීම අඩුවෙලාද? | Page 2 | සිළුමිණ

කරුණාදාසගේ පෙනීම අඩුවෙලාද?

 ජයමාල්ට එකවරම කෑගැසුණි! ඔහුගේ හිස තව පොඩ්ඩෙන් වාහනයේ ඉදිරිපස තට්ටුවේ වැදී මහා විනාසයක් වෙන්නට ගොස් වැළකුණි.

කරුණාදාස වේගයෙන් හුස්ම ගත්තේ සිදුවුණු දේවත් සිද්ධවෙන්න ගියදේවත් හිතාගන්නට බැරිව ය.

“මොකද කරුණාදාස වුෙණ් ඇස් පෙනීම අඩු වෙලාවත්ද?”

එකවර ම ජයමාල්ගේ මුවින් කියැවුෙණ් තිගැස්සුම් ස්වරයෙනි.

“අනේ සමාවෙන්න ‍‍‍බේබිහාමු.. මට එක සැරේට ම ඉස්සරහින් ආපු වාහනේ නොපෙනී ගියා..! හා..”

“පුදුමයිනෙ කවදාවත් මං දැකලා නෑ කරුණාදාසට ඔහොම වෙනවා.. බලන්න තව පොඩ්ඩෙන් වාහනේ හැප්පෙනවා. ඒ මදිවට ඒක මිස් වුණා නම් අර විශාල අඹ ගහට තමා අපේ වාහනේ ගිහිල්ලා හේත්තු වෙන්නේ..”

දැන් කරුණාදාස ගෙ මූණ හොඳටම ව්‍යාකූල ය. බය වැදුණා ම මුහුණක තිබෙන පෞරුෂය ගිලිහිලා යන හැටි.. ජයමාල්ට හොඳට ම ප්‍රත්‍යක්ෂ ය.

“අනේ බුදු බේබි හාමු.. ලොකු හාමුට නම් කියන්න එපා ඕං.. දන්නවනේ...”

“හරි හරි.. මං එහෙම කියන්නෑ අපි යමු දැන්!”

ආයෙත් වාහනය පණගන්වද්දි ජයමාල්ට අයියා මතක්වෙයි.

“කරුණාදාස, අප්පච්චි කිව්ව ද ලබන සතියෙ අයියාව කැම්පස් එකෙන් එක්කරං එන්න යන බවක්.!”

දැන් කරුණාදාසගේ හිත නිවිලා ය. කට කොනට හිනාවකුත් එන්නේ ඉබේට ම ය.

“අනේ.. මට තාම නං කිව්වෙ නෑ බේබිහාමු.. ශ්‍රීමාල් බේබිහාමුව දකින්නත් ආසයි.. හා..!”

අම්මෝ ඇති යාන්තම් අර ප්‍රශ්නෙන් මගෑරුණා.. කරුණාදාසගේ හිතට නම් දැනෙන්නේ අපරිමිත සැනසිල්ලකි... ඒ එක්කම නො සැලකිල්ලෙන් පාර පනින්න ආ බල්ලෙක් ‘ක්‍රෑස්’ ගාගෙන බයවී පැන්නේ ය.

“හහ්හා.. ඌ මේ වතාවට බේරුණ.. නේද කරුණාදාස..!”

ක‍රුණාදාසගේ අහිංසක හිත ආයෙ ගිඩි ගිඩි ගා ගැහෙයි. කොයිම වේලාවක හරි පුංචි බේබි හාමු තමාගෙන් අර මාරාන්තික ප්‍රශ්නය අහනවා නිසැක ය. තමා ඊට සුදුසු උත්තරයක් දැන් ඉඳන් ම සූදානම් කර තබාගත යුතු ය. ඒ උත්තරය තමාටවත් වළව්වේ කිසිම කෙනකුටවත් හානිකර නොවන දෙයක් වීමට වගබලා ගැනීම තමා සතු භාරදූර වගකීමක් වගේ ය.

“මට හිතෙන හැටියට නම් අපේ අයියට දැන් ගෙවල් පැත්ත අමතක ම වෙලා ගිහින්. බෝඩිම් කෑම රහ වැටිල ඇති.. ෂුවර් එකටම..”

“අනේ පුංචි හාමු එහෙම කියන්න එපා.. මායි ලොකු හාමුයි ඒ පැත්තෙ ගියානෙ බේබි හාමුව නවත්තලා සතියකට විතර පස්සේ.. අනේ ඇත්තමයි බේබි හාමු උන්නයිං බාගෙ වෙ ලා හිටියෙ..!”

ජයමාල්ට හිතයටින් හිනා ය. අයියා හිටියේ කොයි වේලාවේ මේ වළව් හිරෙන් පැනගන්නවා ද කියන චේතනාවෙනි. දැන් එයා නම් ඇති ඉබ්බා දියේ දාලා වගේ... කොල්ලො එක්ක කඩචෝරු කකා.. අපේ අයියා ඉතින් කඩ‍චෝරු දෙයියානේ.. හහ්..!

“මොකෝ පුංචි හාමු හිනාවෙන්නෙ.. මං කීවෙ බොරුවක් කියලද හිතන්නෙ හා.. ඇයි.. හා..!”

“හා.. ඇයි.. හා.. නෙමේ කරුණාදාස.. ඔයා කිව්වෙ සම්පූර්ණ ඇත්ත තමා. තිස්සෙ දෙවේලෙ මතක් වෙනවා ඇති. ඒක නෙමේ.. කරුණාදාස මට පොඩි උදව්වක් කරන්න ඕනෑ.. මම අද හවස යනවා පාඩම් වගයක් අහගන්න අර වික්‍රම සර්ලගෙ ගෙදර.. කරුණාදාසත් නිකම් එහේ ඇවිත් කට්ට කකා ඉන්න ඕනෑ නෑනෙ.. අප්පච්චි කිව්වොත් කරුණාදාසටත් මාත් එක්ක ම ඒකට යන්න කියලා.. ඔයා කියන්න වාහනේ පොඩි රෙපෙයාර් වැඩක් තියෙනවා.. ගරාජ් යන්න තියෙනවා කියලා.. හරිද..?”

“සූ.. අපෙ අප්පෝ.. ඒ වැඩ හොඳ නෑ.. ඔන්න ඒ වැඩ නම් හොඳ නෑ හරිය.. බේබි හාමු.. ඕන්න අපි වළව්වටත් ආවා දැන් ඔන්න ඔය ඕන්නැති කතා නවත්තලා දාමුකො..! හා.. ඇයි.. හා..!”

ජයමාල් මිදුලේ නතර කළ වාහනයෙන් බැස්සේ කරුණාදාස එක්ක කේන්තියෙනි. මේ මනුස්සයො නං කවදාවත් හදන්න බෑ.. ‘හා ඇයි හා..’ ගගා ඉතිං වළව්වටම කඹුර කඹුර ඉන්නවා.. එයා හැදෙන්නෙත් නෑ.. අපිට හැදෙන්න දෙන්නෙත් නෑ..!

***********

“මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි ය. අනර්ථ සිදුවිය හැකි ය. එසේ වෙනවා ය කියා කිසිත් නොකර සිටිය යුතු නැත. තමා නිවැරදි යයි සිතන දෙයක් වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරයි නම් පිරිසුදු ජලයෙන් පිරුණ ඒ ගංගාව හැමදාම ගලා බසිනු ඇත. ඉවුරු බිඳී යතැයි බියෙන් ගඟ එක තැන නවතා තැබුවොත් එය මහා ම මහා විනාශයකට අත වැනීමකි...” අඩ්ඩඩ්ඩා...! මොකක්ද ශ්‍රීමාලයො මේ හරුපෙ තේරුම...?”

උදාර කෑගසන්නේ පොත් මේසයට වාඩිවුන ගමන් ම ය.

“ඕක.. හරුපයක් නෙමේ බං.. මං ඕක මගේ පොතක ලියාගත්තෙ ඒක වැදගත් කියමනක් නිසා.. උඹලා වගේ හාල්පාරුවන්ට ඒක හරුපයක් වුණාට ඕවා රටක් වටින කියමන්.. ඕක කියලා තියෙන්නෙ රවීන්ද්‍රනාත් තාගෝර්.. හහ්..!”

ශ්‍රීමාල් තුවායෙන් හිස පිසදමමින් කියන්නේ ටිකක් කේන්තියෙනි.

“ඒකනෙ බං.. මූට.. ඒවා මැජික්.. අනෙ ඇත්තට ඒකට මොකෝ ඒ ලෙවල් වලදි සිංහල සාහිත්‍යයට කප්පිත්තෝ. කනාෂොට් ද මංදා”

“අනේ නිකා හිටපං බං.. මං දන්නෙ කොහොමද ඉතිං ඕක කිව්වේ තාගෝර් ද නැත්නම් මුංගෙ මුත්තා ද කියලා..!”

උදාර අපහාසය මැඬගෙන තරහින් පිපිරෙන්නේ සංජයට ඇහෙන් ඉඟියක් ද කරමිනි.

“උඹ ඉතිං අනුන්ගෙ ලියකියවිලි අවුස්සන්නෙ නැතිව හිටියාම ඉවරනෙ. උඹ මොකද ශ්‍රීමාල්ගෙ පොත් ඇවිස්සුවෙ..?” එවර සිරිනාත ය. දැන් උදාරට ලැජ්ජා ය. මූණ රතු කරගෙන ඔහු හෙමිහිට කොඳුරන්නේ වචන කීපයකි.

“නෑ බං.. මං ඒවා බැලුවේ.. ලස්සන ලස්සන කවි කෑලි තියෙනවානේ පොඩ්ඩක් කොප්පරයක්වත් ගහගන්න පුළුවන්ද කියල බැලුවේ.. මේ ලියුං කෑල්ලක් නෙමේ.. එස්.එම්.එස්. ගහද්දි කාරිය...”

“හා.. හා.. හා.. දැන් වැඩේ හරි එහෙනං.. ආ.. බලපංකො.. දැන් මේකෙ මනමාලයො පිරිල නේ.. අනිච්චේ දුක්කේ..!”

ශ්‍රීමාල් මහා හිනාවක් නංවයි. ඒ හිනාවට අනිත් තුන්දෙනාත් එකතුවෙන්නේ පුරුද්දටම ය. හිනාවෙලා පපුව සැහැල්ලු වුණාම ඒක පාඩම් කෙරිල්ලට උදව්වකි.

“ඒක නෙමෙයි.. ශ්‍රී.. උඹව දැක්කා නේද ඊයෙ මේඛලා..! එයාලගෙ ලෙක්චර්ස් ඉවරවෙලා යන අතරෙ...”

දැන් සිරිනාතත් ශ්‍රීමාලුත් කාමරයෙන් එළියට ඇවිත් කෙටි බිත්තියේ වාඩිවෙලා ය.

“දැක්කා නම් තමා.. ඒත් නොදැක්කා වගේ ගියේ.. ඇයි එහෙනම්.. ඒත් දැක්කෙ නැද්ද කියලත් මට සැකයි.”

“හා.. ඒකද උඹ අර රවින්ද්‍රනාත් තාගෝර්ගෙ වාක්‍යයක් ලියලා හිත සැහැල්ලු කරගත්තේ.. අනේ.. අනේ.. හිටපං සෙකන්ඩ් ඉයර් අක්කා කෙනෙක් ඉන්නවා මං දන්න. කෝම හරි හොයාගනිමු. එතකල් උඹ ටිකක් ඉවසිල්ලෙන් හිටපංකො..!”

අතේ ඇති පොතෙන් මූණට පවන් ගසාගන්නා ශ්‍රීමාල් දිහා බලන සිරිනාතට දුක ය. කොහොම වුණත් ශ්‍රීමාල්, ‘හාමු කෙනෙක්’ කියා හිතන්න අමාරු තරමට ආදරය නම් විෂයයෙහිදී හිත එකම අරමුණක එල්බවාගෙන ඉඳියි. ඒ ගුණයටවත් ඔහුට උදව්කරන එක තමුන්ගේ යුතුකමක් වගේ ය. එහෙම කොල්ලන් හිඟ ය.

“මචං මම ලබන සතියෙවත් ගෙදර යන්න බලන්නෝන.. අතේ සල්ලිත් හිඳිලා හොඳට.. අපි කට්ටියට තෝසෙ පාරක්වත් දාන්න තරම්වත් අතේ නෑ.. බං..”

“හා.. හා.. අපි ඒවා සම්මාදමෙං කරගම්මුකො. අපි දැන්මම නිදි මරන එකත් හරි නෑ බං.. මේ තරමට.. බලපං උමේ ඇසුත් රතුවෙලා..” සිරිනාත කියද්දිම උදාර එළියට ඇවිත් කෑ ගසයි.

“හා. හා. මුගේ ඇස් රතුවෙලා තියෙන්නෙ නම් පාඩම් කරලා නෙමේ ලව්සික් ගහලා.. අන්න අර පූර්ණිමා.. මූට තදේටම වැටිලා.. ඊයෙ පණිවිඩේකුත් එවලා තිබුණා ලාල් අතේ..”

“අනේ නිකා හිටපං බං.. මට එහෙම උණක් නෑ උඹලට වගේ.. මට ඕන ඇති පූර්ණිමෙක් නෑ..”

“හා.. හා.. එහෙම කියන්න එපා බං.. යකා වගේ හිටියට ඒකි මහා සල්ලිකාරියක්.. දැන් කාලෙ සල්ලි තමා ඕනේ බං ජීවත්වෙන්න..”

“මේ උඹට ඕන නම් යකෙක් බැඳගෙන තොවිල් නටපං.. මට එහෙම ආයෙ ඕක ගැන කියනවා නෙමේ හරිද? හ්ම් යමල්ලා එහෙනං වඩේ පාරක්වත් දාලා එන්න.. මාරම අහේනියි බං..!”

යාළුවෝ හතරදෙනා විහිළුවෙන් ම එළියට එන්නේ සියල්ලම අමතක වෙච්ච ගානට ය.

“එක අතකට අපි කොල්ලො පවු.. බං..! එහේ අම්මලා තාත්තලා පණ දාගෙන නැහෙනවා.. අපේ ඉගෙනීමට.. අපිට ඉතිං තව ඉස්සරහට මොනවා කරන්න වේවිද කවුද බං දන්නේ...” සිරිනාත කියන්නේ පුරුදු දුගී දුප්පත්කම මතක් කරගෙනය.

එවෙලේ ශ්‍රීමාල් තොල සපාගනියි. දුගී දුප්පත්කම කියන්නේ මොකක්ද කියා තමන්ට දැනෙන්නේ නැතිවා ඇත්ත ය. ඒ මේ සාමාන්‍ය මිනිසුන්ට වඩා මොකක්දෝ මහා දුප්පත්කමක් තමා වගේ අය අතර තිබෙන බව කිසි කෙනෙක් දන්නේ නැත. හිතන්නේත් නැත.

යමුනා මාලිනී පෙරේරා

ලබන සතියට

Comments