කොන්ක්‍රීට් ඇනීම | සිළුමිණ

කොන්ක්‍රීට් ඇනීම

කරෝලිස් වනාහි ප්‍රදේශයේම ප්‍රසිද්ධ මේසන් බාස් කෙනෙකි. ගමේ ඇති ගෙවල් වලින් වැඩි කොටසක් ඔහුගේ ප්‍රධානත්වයෙන් නිම වූ ඒවාය. ඔහුට නියමිත වූ ගෝලයෙක් සිටියේ නැත. වැඩක් ලැබුන විට කවුරුන් හෝ ගෝලකමට යොදා ගනී. මෙදා මෙන් එදා නියමිත දෛනික වැටුප් ක්‍රමයක් නොවීය. කෑම් බීම් බුලත්විට ආදිය දී සවසට වැඩ අවසන් වූ පසුව වැඩ කළ අයට මුදල් කීයක් හෝ දීම සිරිත විය.

එක් දිනක ගමේ නිවසක කොන්ක්‍රීට් වැඩක් සඳහා කරෝලිස් බාස් උන්නැහැ අඬගසා ගත්තේ සාදිරිස් නමැති ගමේ දුප්පත් කොලු ගැටයෙකි. උදේ වැඩ ආරම්භ කිරීමට පෙර වැඩ බිමේ නූල් ඇදීම ආදී මූලික වැඩ කොටස් නිම කිරීමෙන් පසුව නිවැසියන් විසින් උදේ ආහාරය පිළියෙල කොට බාස් උන්නැහැට ඒ සඳහා ආරාධනා කළ විට හා.. හා හොඳයි මම එන්නම් කියූ බාස් උන්නැහැ “සාදිරිස් මම තේ ටික බීලා එනකම් අර බදාම ටික අනල තියාං ඒකට මම වැලියි සිමෙන්තියි දාල තියෙන්නෙ. තව ගල් තුනක් දාල අනාපං යැයි කියා ගෙතුළට ගොස් තේ බී බුලත් විටක් හෙම හපා මිදුලට ආවේ කොන්ක්‍රීට් බදාම දැමීම සඳහාය. එහෙත් තමා කීව කොන්ක්‍රීට් ගල් කැට තාච්චි තුනක් වෙනුවට ලොකු ගල්ගෙඩි තුනක් දමා බදාම අනා තිබෙනු දුටු කරෝලිස් බාස් ඔළුවේ අතගසා ගත්තේ සාදිරිස් කොලුවාට හොඳ වචන වැලකින් දොස් පවරමිනි.

මෙම සිද්ධියේ නම් මනඃකල්පිත ඒවා වන අතර, කරෝලිස් බාස් මේ වනවිට මිය ගොස් ඇති අතර සාදිරිස් අදටත් වයෝවෘධව ජීවත් වෙයි. එදා සිද්ධිය නිසා ඔහුට කොන්ක්‍රීට් සාදිරිස් නමක් පට බැඳුන අතර කොලුකුරුට්ටන් කොන්ක්‍රීට් සාදිරිස් යනුවෙන් විහිළු කර බැණුම් අසනවාර අනන්තය.

මුගුණුවල
පියල් දේශප්‍රිය ප්‍රේමදාස
වැලිහෙලතැන්න

Comments