
ඒක වත්තක් නොවේ, නෝනා අපායක්. මිනිස්සු ජීවත්වෙන්නේ හරක් මඩුවලටත් අන්ත විදිහට. ගෙයි පොළොවේ අඩියක් ගහන්න බෑ. කරුමේ කියන්නේ ඒ බිමට කවුරුත් පයක් ගහන්නේ නෑ නෝනා. හොයලා බලන්නෙත් නැහැ"
වෙනත් වැඩකටයුත්තකට ඇහැළියගොඩට ගිය අපට හමුවූ වනරාජාගේ කතාව අපට මහත් කුතුහලයක් විය. ඒ ඔස්සේ පෑරුණු හිත් ඇති අප වනරාජා සමඟ තව දුරටත් කතාබහට යොමු විණි.
"ගමට යන්න එන්න විදිහක් නැහැ. වාහනයක් කවදාවත් ගිහින්ලා නැතිව ඇති මගේ හිතේ. ත්‍රීවීල් කාරයොත් යන්න බැහැ කියනවා. මේ මිනිස්සුන්ට තියෙන එකම පිහිට ටැක්‍ටරෙයි කකුල් දෙකයි තමයි ඉතින්." ඔහු හුස්මක් කටක් නොගෙන දිගටම කියාගෙන යන්නට විය.
ඔහු නමින් පූච්චි වනරාජා ය. මානව හිතවාදියකු වන හෙතෙම ජාති, ආගම් කිසිදු භේදයක් නොමැතිව මිනිසත්කම ජීවිතයේ ලද එකම ආභරණය කරගත් අයෙකි. එක්තරා අවස්ථාවක වෘත්තීය සමිති නායකයෙකි. පසුගිය දිනක අපට මුණ ගැසෙන විට ඔහු හිටියේ ත්‍රීවිලරයෙන් කරක් ගසමිනි.
වනරාජාගේ ප්‍රකාශයත්, සිතට ඇතිවුණු කුහුලත් අප නො දැනවත්වම වාගේ වෑවිල වත්තේ දහසයේ කෑල්ලට කැදවාගෙන යන්නට විය.
රත්නපුර දිස්ත්‍රීක්කයේ ඇහැළියගොඩ ආසනයේ උතුරු කරඳන ග්‍රාම සේවක වසමේ වැවිල වත්තේ දහසයේ කෑල්ල පිහිටා තිබේ.
ත්‍රීවිලරයක් වත් යාමට නොහැකි අබලන් මාවතේ වනරාජා සිය ත්‍රීවීලරය පදවන්නට විය. තේවතු මැදින් වැටුණු පාරෙන් දුෂ්කර කදු මුදුනකට අවතීර්ණ වූ අපට හාත්පස පෙනෙන්නට වූයේ ගෙයක් දොරක් නොමැති ඝන වනාත්තරයෙන් පිරි තේ වතු ය. ගමන බොහෝ සෙයින් දුෂ්කර ය. දශමයකට අඩතියමින් ත්‍රීවීලරය ගමන් කරන්නේ කොයි මොහොතේ හෝ අනතුරක් සිදුවේදැයි යන බියෙනි. මහා විසාල ගල් ගොඩ මතින් අති දුෂ්කර මාවතක වනරාජා සිය වාහනය පදවන්නේ ඔහුගේ සිතේ ධෛර්ය පිළිබිඹු කරමිනි.
"බය වෙන්න එපා. ඩ්‍රැයිවින් ෂුවර්. මේ තියෙන්නේ දහයේ කෑල්ල. දහයේ කෑල්ල පහුකරමින් තවත් කිලෝ මීටර් තුනක් යන්න ඕන දාහතේ කෑල්ලට. හැබැයි මේ කිලෝ මීටර් තුන යන්නත් පැය එකහාමාරක් විතර යයි. ඡන්ද කාලයේදි ගමේ ඡන්ද හත් අට සියක් වැටෙනවා. ඒත් බලන්න මිනිසුන්ට යන්න පුළුවන් පාරක් ද මේ..? මේ දුෂ්කරතාව විඳගෙනත් ගිහින් දකින්න ලැබෙන්නේ හරක් මඩුවල වගේ ජීවත්වෙන අපේම මිනිසුන් පිරිසක්. එදා මේ තේ වතු වල පාලනය තිබුණේ සුද්දන්ට. සුද්දෝ මේවා පාලනය කළාට මේ පාරක්වත් හැදුවේ නැහැ අපේ මිනිස්සුන්ට යන්න එන්න. එදා මේ වත්තේ සුද්දෝ තමන් යටතේ වැඩ කරන සේවකයන්ට ගෙවල් හදලා දුන්නා. අදත් මේ වත්තේ වැඩ කරන මිනිසුන් ජීවත් වෙන්නේ ඒවායේ. අද මේ වතු අයිති පුද්ගලික අයට. ඒ මිනිසුන් සේවයට ගත්තු මිනිසුන් අදටත් ජීවත් වෙන්නේ අවුරුදු සියයකටත් වඩා පැරණි සුද්දෝ හදපු මේ ගෙවල් වල. අද මේ ගෙවල් බලුකූඩු වගේ. වහලේ හිසමතට කඩා වැටෙන්න ඔන්න මෙන්න. ගෙවල් ගණනටම තියෙන්නේ එක වැසිකිළියයි. මේ මිනිසුන්ට පාරකට යන්න විදියන් නැහැ. ගෙදර පය ගහලා ජීවත් වෙන්න බැහැ. පොළොව ගිලා බහිනවා. දරුවන්ට පාසල් යවා ගන්න විදියක් නැහැ. වත්තේ ඉස්කෝලෙට යවන්න නම් හැතැප්ම තුන හතරක් මේ දුෂ්කර ගමන ගාටන්න ඕන.." වනරාජා පවසන්නේය.
සුපිරි පාසල්, සුපිරි මාංමාවත් ඉඳිවෙන මෙවන් යුගයක සිහිනයක් දකින්නටත් සිහිනයකට වරම් කියන්නටත් අයිතියක් නැති පිරිස් සිටීදැ යි සිතන්නට උත්සාහ කළෙමි. එහෙත් බොහෝ දේ මායාවක් පමණි. සිහින දකින්නටත් අයිතියක් නැති බොහෝ පිරිස් ඇස් මානයෙන් තුරන් වූ මෙවැනි පළාත් වල ජීවත් වෙති. මේ ද එවැනි තෝතැන්නකි.
සුද්දන්ගේ අයිතියෙන් ගිලිහුණු පසු මේ වතුවල අයිතිය පසුකාලීනව එක්තරා පරම්පරාවක් සතුවන්නට විය. පසුව ඒවා විකිණු අතර අනතුරුව එම වතු මිලට ගත් පිරිස් විසින් සිය වත්තේ වැඩට සිටි සේවකයන්ට සිය ස්ථීර නවාතැන් කර ගන්නට මේ අවුරුදු සියයක් පැරණි නිවාස ලබා දුන් බව වාර්තා වෙයි. එහෙත් අවුරුදු සියයක් පැරණි මේ නිවාස කිසිදා පිළිසකර වූයේ නැත.
දහ හතේ වත්ත වූ කලි යම් ඓතිහාසික වටිනාකමක් තිබුණ ද මේ නිවාස ඇත්තන්ගේ ජීවිතයන් මහා බියකරු සිහිනයක් සේ ය. එහෙත් ඔවුන් දකින්නේ සිහිනයක් නොවන බව පමණක් ඔවුහු දනිති. ගතේ සවි ශක්තියෙන් නිමවූ මේ නිවාස බොහෝමයක් ‘අබලං‘ යන වචනයටවත් සීමා කරන්නට බැරි තරමේ දුක් ගොඩකි. අප දකින්නේ මිහිපිට අපායක්දැයි සිතුණු වාර අනන්ත ය. අබලං නිවෙස් වල වු මේ අයගේ ජීවිත ද අබලං ව ගොසිනි.
“එදා මේ ගමේ ගොඩාක් පිරිස් හිටියා. ඒත් මේකෙන් ඒ අය පිටමං වුණා. කිසිවක් කරකියා ගන්න බැරි අපි ඉතිරිවුණා. වැස්ස කාලයට අපි මේ ගෙවල් ඇතුළේ පණ බයෙන් ජිවත් වෙන්නේ. මේ වත්ත තමයි ඇහැළියගොඩ වසමේ දුෂ්කර ම ගම. දවසේ කුලී වැඩ කළා ම අපිට ලැබෙන්නේ සොච්චම් මුදලක්. දවස් කිපයක්ම වත්තේ වේළි වේළි වැඩ කරලා එකතු වෙන මුදල අරගෙන සති අන්තයේ මේ දුෂ්කර පාරේ අපි පයින් ගාටනවා, උයන්න පිහන්න බඩු ගේන්න. මේ ගෙවල් වල ඉන්න අපිට බැහැ. අපිට මේ ඉඩම් වලින් එක බිම් අඟලක්වත් නැහැ. වත්තේ හැමෝටම තියෙන්නේ එක වැසිකිළියයි. අපේ දුක බලන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ....“ ඒ මාරියම්මාගේ අඳෝනාවයි.
පෞද්ගලිකව මේ ඉඩම් අත්පත් කරගත්තෝ බහුතරයක් සිය යටත් සේවකයන්ට සලකන ආකාරය ඛේදනීය ය. දහසයේ වත්තේ ද ඇත්තේ මෙවැනි ම දුක්ගොඩකි. අද මේ වත්තට අයිතියක් පවසන්නන්ට සිය සේවකයන් වෙනුවෙන් දෙනෙතේ කඳුළක් නො නැගෙන අතර වහල් සේවයට වඩා අන්ත ආකාරයෙන් ජීවත් වන ඔවුන්ගේ යහපත වෙනුවෙන් කිසිදු රැකවරණයක් දෙන්නේ නැත. අවුරදු සිය ගණනක් පැරණි මේ ගෙවල් තම හිසට කඩා වැටුණ ද අතු පැලක් හෝ තනා දෙන්නට ඔවුන් කිසිදා උත්සාහ ගන්නේ නැත.
"අපිට බොන්න වතුර නැහැ. පහළින් ගලා බසින ඇළේ ජරා වතුර විතරයි බොන්නේ. ගෙයක් හදා ගන්න තැනක් නැහැ. දරුවෙක් පාසලකට යවා ගන්න විදියක් නැහැ. වත්ත එළිපහලියකට බහින්න බැහැ. සතා සර්පයා හැම තැන ම. අපිත් ආසයි පොල් අතු පැලක හරි ජීවත් වෙන්න. එහෙම නොවුණොත් අපි කවදා හරි මේවටම යටවෙලා මැරිලා යයි...." ඒ පාර්වතී ය.
මේත් ජීවිත ය. එහෙත් ජීවත් වන්නට ඔවුන් බොහෝ සේ වෙහෙසෙන්නේ අවදානම් දහසක් දෝතින් දරා ය. පාර්වතීලාගේ මාරියම්මලාගේ ජීවිත සුවපත් කරන්නට මේ අතීත ගම්පියසෙන් බැහැරට කැන්දන්නට වනරාජා වැනි හිත හොඳ මිනිසුන්ට ඇවැසි ය. අවුරුදු සිය ගණනකට වඩා පැරණි අතීත උරුමය යටතට ගැනෙන දේ කඩාබිඳ දැමීම නො කළ යුතු වුවත් මේ ජීවිතවලට ආලෝකයක් කැන්දවන්නේ කවුරුන්ද? ඔවුහු බලා හිඳිති.
සේයාරූ - විමල් කරුණාතිලක
සුභාෂිණි ජයරත්න