වාසනාව සොයා අහිංසකයන් මැරීම | සිළුමිණ

වාසනාව සොයා අහිංසකයන් මැරීම

වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත හෝ බව අනුවත් කටුවේ ඇති රේඛා පැහැය ආදී සලකුණු නිසාත් බර නමැති සාධකයත් හේතු කර ගෙන ඒවායෙහි මිල උච්චාවචනය වේ.

• වාලම්පුරිය මිනිසාට වාසනාව ගෙන එන බවට තිබෙන්නේ දැඩි විශ්වාසයකි. මේ විශ්වාසය නිසාම එක්තරා සත්ත්ව කොට්ඨාසයකට අත්වී ඇත්තේ කනගාටුදායක ඉරණමකි. ඒ පිළිබඳ ඉන්දියාවේ ‘ෆ්‍රරන්ට් ලයින්’ සඟරාවේ පළවූ ලිපියක් පාදක කරගනිමින් කරන විමසුමකි මේ.

මිනිසා වාලම්පුරි ළඟ තබාගෙන වතාවත්, පුදපූජා පවත්වන්නට පටන් ගත්තේ ඉතිහාසයේ කිනම් කාලයකදී දැ යි කියා කිව නො හැකි ය. එසේ වුවත් අසුරයන්, සුරයන් නසමින් ගිය කාලයේදී විෂ්ණු දෙවියන් අසුරයන් දමනය කර ලෝකයට වාසනාව උදාකර දෙන්නට ස්වකීය බලගතු වාලම්පුරිය සුරතට ගත් බව සඳහන් වේ. එදා පැවති සුර - අසුර යුද්ධය මෙන් නො වෙතත් නරයන් ජීවත්වීම සඳහා අද ගෙන යන්නේ සුළු පටු යුද්ධයක් නො වේ. ඒ නිසා තම තමන් කරන කියන රැකී රක්ෂාදී කටයුතු සාර්ථක කරගනු වස් වාලම්පුරි ළඟ තබාගෙන වතාවත් පවත්වන්නවුන් මේ සමාජය තුළ ද දුලභ නැත.

මේ කොයි කවුරුත් වාලම්පුරියක් සමඟ කරන ගනුදෙනුව සරලව ම විස්තර කළ හැකි වන්නේ සත්ව ලෝකයේ මෘද්වංශික ජීවියකු සමඟ කරන ගනුදෙනුවක් හැටියට ය. මෘද් වංශිකයන්, මොලුස්කාවන් නමිනුත් හැඳින්වේ. මොලුස්කාවන්, අපෘෂ්ඨවංශිකයන් හෙවත් කොඳු ඇට පෙළක් නැති ජීවින් ය. ඔවුන්ගෙන් ඇතැමෙක් ගොඩබිමත්, තවත් සමහරු මුහුදේත් ජීවත් වෙති. මිරිදියෙහි මෙන් ම භෞමික පරිසර පද්ධතිවල ජීවත් වන මොලුස්කාවන් ද හිඟ නැත. කියමනට කියන්නේ සාගරය සරසන ජීවින්ගේ විශාල ම ප්‍රමාණයක් මෘද් වංශිකයන්යැයි කියා ය. ගොළුබෙල්ලන්ගේ සිට ජෙලි ෆිෂ්, දැල්ලන්, බූවල්ලන් දක්වා ජීවීන් විශාල සංඛ්‍යාවක් මේ යටතේ වර්ග කර තිබේ. විද්‍යාඥයන් නම් සඳහන් කරන්නේ ජීවී විශේෂ 85,000ක් පමණ මෘද් වංශයට අයත් බවකි. අප කලින් කියූ සැබෑ වාලම්පුරි නිපදවන්නේ ද අසූ පන්දහසක් වූ ඒ ජීවී විශේෂ අතරින් එක් විශේෂයකි.

මෘද් වංශික ජීවින්ගෙන් සෑහෙන සංඛ්‍යාවක් බාහිර කබොලක් දරන්නෝ ය. ඒ පිට කටුවෙන් ආරක්ෂාව පතන දුර්වල ජීවියකු, කටුවෙන් වටවුණු කුටීරය තුළ ජීවත් වේ. ඌට ඒ කටුව නිවහන ය; එකම ආරක්ෂක මෙවලම ය. ඌ යන එන තැනෙක යන්නේ එන්නේ ද ඒ කටුවෙන් වටවුණු පුංචි ලෝකයත් කරපින්නා ගෙන ය. ඊටත් වඩා වැදගත් ම කාරණය ඒ පිට කටුව ඔවුන්ගේ දේහයේ ම කොටසක් වීමයි. පරක් තෙරක් නැති නිල් කරදියේ වසන මේ මෘද් වංශික කවචධාරීහු ජලයෙන් ඉවතට ගත් පළමු නිමේෂයේ සිට සිය අවසන් ගමන යෑම අරඹති. එය, ටර්බිනෙල්ලා පයිරම් විශේෂය සම්බන්ධයෙන් ද සත්‍යයකි.

මේ කියන ටර්බිනෙල්ලා පයිරම් විශේෂයේ බෙල්ලන් වැඩිපුරම හමුවන්නේ ඉන්දියන් සාගරයෙන් බව සඳහන් වේ. එහිත් මන්නාරම් බොක්ක සහ පෝක් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ඔවුන් බහුලව දක්නට ලැබේ. ඒ නිසා පළමුව කී බෙල්ලන් සොයා කෙරෙන “මෙහෙයුම්” වැඩිපුරම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ උතුරු, නැඟෙනහිර සහ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමනාත්පුරම් ආදී ප්‍රදේශවල ය. “ෆ්‍රන්ට්ලයින්” සඟරාවට ලිපියක් සපයන ආරතී ශ්‍රීධර් පවසන්නේ ඉන්දියාවේ රාමේශ්වරම් පූජා නගරය කේන්ද්‍ර කරගත් ප්‍රදේශය, විවිධ විධියේ මුහුදු බෙල්ලන් අලෙවි වන පාරාදීසයකැයි කියායි. නොයෙකුත් විශේෂවලට අයත් මුහුදු බෙල්ලන් අමුණා සකස් කරගත් මාල කරෙහි ලාගෙන ද සාප්පුවල සහ නිවෙස්වල එළිපත්තෙහි එල්ලා තබමින් ද වාහනවලින් ප්‍රවාහනය කෙරෙමින් ද බෙල්ලන් වෙ‍ෙළඳාම එහි ජයට ම කෙරේ. ඒ අතර බිසිකොන් පර්වර්සම් (Busycon perversum) විශේෂයට අයත් මූදු බෙල්ලන්ගේ කබොල ද ඇත. අනෙක් විශේෂවල එවැනි බෙල්ලන්ගේ කබොල නිසා නියම වාලම්පුරිත්, ව්‍යාජ ඒවාත් සොයාගන්නට බැරිවන අවස්ථා එමට ය.

සංස්කෘතයෙහිදී “සංඛ” හැටියටත් ද්‍රවිඩ බසෙහිදී “චන්ග්ගු” වශයෙනුත් හැඳින්වෙන වාලම්පුරිය තවත් තැනෙක දැක්වෙන්නේ “පූජා සංඛ” හැටියට ය. කවර නමකින් හැඳින්වුව ද පූජා සංඛ යනු ටර්බිනෙල්ලා පයිරම් (Turbinella pyrum) මෘද් වංශික ජීවියාගේ පිටත කබොල ය. කෙටියෙන් ම කිවහොත් පිට කටුව ය. මේ පිටකටුව නිර්මාණය වී ඇති ස්වභාවය මත ටර්බිනෙල්ලා පයිරම් ජීවී විශේෂයේ එක් එක් ජීවියාගේ වටිනාකම අඩු වැඩි වේ. සමහර ජීවින්ගේ පිටත කටුව දක්ෂිණාවර්ත ය. තවත් සමහර ජීවියකුගේ පිටත කටුව වාමවර්ත ය. වැඩිම වෙළෙඳ වටිනාකම තිබෙන්නේ දක්ෂිණාවර්ත සංඛවලටයි. බර, රේඛා සහ පැහැය ආදිය හේතු කරගෙන එම දක්ෂිණාවර්ත සංඛවල වටිනාකම තවදුරටත් අඩු වැඩි වන බව ජ්‍යෝතිෂවේදීහු සහ මැණික් ආදී සම්පත් ගැන දන්නෝ සඳහන් කරති. දක්ෂිණාවර්ත සංඛයක යට පෙදෙස ග්‍රයින්ඩ් කිරීමකට හෝ සංඛය ඔප දැමීමකට හෝ ලක්කර ඇත්නම් එයින් ඵලක් නැති බවත් ඔවුහු පෙන්වා දෙති. මුහුදෙන් ගොඩ ලෑ ටර්බිනෙල්ලා පයිරම් ජීවියාගේ කටුව ඒ සැටියෙන් ම වෙළෙඳපොළට රැගෙන ආවොත් සෑහෙන මුදලක් උපයාගන්නට පුළුවන. වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත හෝ බව අනුවත් කටුවේ ඇති රේඛා පැහැය ආදී සලකුණු නිසාත් බර නමැති සාධකයත් හේතුකර ගෙන ඒවායෙහි මිල උච්චාවචනය වේ. කොහොම වුණත් වෙළෙඳපොළේ ඉහළ ම අගයකට අලෙවි වන දක්ෂිණාවර්ත සංඛ ස්වභාවිකව තිබෙන්නේ ටර්බිනෙල්ලා පයිරම් විශේෂයේ බෙල්ලන්ගෙන් ලක්ෂ දෙකකට එක් ජීවියකුට පමණක් බව සඳහන් වේ. නියම වාලම්පුරියක් මේ තරම් හිඟ වස්තුවක් වී තිබෙන්නේත් රුපියල් මිලියන ගණන්වලින් එවැන්නකට මිල නියම කෙරෙන්නේත් ඒ අතිදුර්ලභ බව නිසාම ය.

ඒ අනුව අපට කියන්නට වන්නේ වාලම්පුරි හෙවත් පූජා සංඛ මූදු පතුලෙන් මතු කරගැනීම ජීවියකු මරා දමා උගේ ශරීරයේ කොටසක් ගලවා ගැනීමක් බවයි. මිනිසුන්ට ලක්ෂ්මිය ළඟා කරගන්නට තමන්ගේ බාහිර සැකිල්ල “දන් දී” අවසන් ගමන් යන ටර්බිනෙල්ලා පයිරම් බෙල්ලන්ගේ අවශේෂ දේහ කොටස් ද ආහාර පිණිස ඉන් මතු යොදා ගැනේ. කිසිවකු ඔබේ සිරුරෙන් කොටසක් ගලවා ගන්නට පැමිණියහොත් ඔබ එයට එකහෙළාම විරුද්ධ වනවාට සැකයක් නැත; ඊට එරෙහිව කැරලි ගසනවාට ද ප්‍රතිවාදියා පරාජය කරනවාට ද සැකයක් නැත. ටර්බිනෙල්ලා පයිරම් මූදූ බෙල්ලන්ට ඒ ටික කරන්නට හැකියාවක් නැත. මනැසින් උසස්යැයි කියන මිනිසුන් වූ අපි ටර්බිනෙල්ලා පයිරම් විශේෂයේ ජීවියකු අල්ලාගෙන උගේ දේහයෙන් කොටසක් ගලවා ගන්නවා පමණක් නොව උගේ මසින්ද සන්තර්පණය වන්නෙමු. එය හිංසාවක් නොවේයැයි කියා කෙසේ නම් සාධාරණීකරණය කරන්නද?

කොහොම වුණත් මූදු බෙල්ලන්ගේ බාහිර කබොල වාසනාවේ නාමයෙන් අලෙවි වීම දැන් ගිනි කන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ඒ තුළ එක් තර්කයක් නැඟිය හැකි ය. එනම්, වාලම්පුරි හෙවත් පූජා සංඛ සංකල්පය, දකුණු ආසියාතික අප තුළ ඇති කර තිබෙන බලපෑමෙන් ලක්ෂ සංඛ්‍යාත මුහුදු බෙල්ලන්ගේ ඉරණම තීරණය නො වන්නේ ද යන්නයි. එය විශේෂයෙන්ම එල්ල විය යුත්තේ අවිහිංසාව අගයන බැතිමතුන් වෙත ය; එමෙන් ම ජෛන, හින්දු සහ තවත් ආගම් රැසක සඳහන් අෂ්ට මංගල පූජනීය භාණ්ඩ තබා වතාවත් කරන පිරිස වෙතය. 

Comments