
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා ඇති වුණේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමටත් පෙර සිටම බව ඉතිහාසය දිහා බැලුවහම අපට ඉතාම පැහැදිලියි. තපස්සු භල්ලුක වෙළෙඳුන්ගේ ශ්‍රී ලංකා ගමන දෙස බලන විට ඒ බව අපට තවත් පැහැදිලි වනවා. එවන් දීර්ඝ කාලීන සබඳතාවකින් යුත් ඉන්දු ලංකා සබඳතා අතීතයේ සිට ඇරැඹී ඇත්තේ මුහුදු ගමන් මාර්ග ඔස්සේ බවද අපට පසක් වනවා. මේ මුහුදු මාර්ග ඔස්සේ ඇතිවුණු සබඳතා ක්‍රමයෙන් වර්ධනය කර ගන්නටද අපට හැකි වුණා.
ඒ අනුවයි ඉන්දු ලංකා නැව් සේවාව පවා තලෙයි මන්නාරම හා රාමේශ්වරම් අතර ඇති වුණේ.
මේ සබඳතාවල අලුත්ම පෙරළිය වශයෙන් සිදු වන්නේ ඉන්දු ලංකා වෙරළාරක්ෂක නැව් සේවාවයි. ඉන්දියානු වෙරළ ආරක්ෂක නෞකා (ICGS Shoor) පසුගිය වසරේදීත් ලංකාවට පැමිණියා. මේ නෞකා විසින් ඉන්දු ලංකා මුහුදු සීමාවන් ඇතුළු ඉන්දියන් සාගරයේ බොහෝ ආරක්ෂක සේවාවන්හි නිරතව සිටීම අපටද ඉතාම වැදගත් වනවා.
විශේෂයෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව කොළඹ වරාය අසල නැවක ඇති වූ ගින්න පවා මැඬ පවත්වන්නට අපට මේ නෞකා සේවාව උපකාරී වුණා. එවන් ආපදාවන් පවා දුරලන්නට අපට දායක වූ තවත් ඉන්දු ලංකා වෙරළාරක්ෂක නෞකාවක් පසුගියදා කොළඹ වරායට සේන්දු වුණා. ඒ පසුගිය මාර්තු මස 30වැනිදා එය අප්‍රේල් මස 3 වැනිදා දක්වා කොළඹ වරායේ නවතා ගෙන සිටියා.
දෙරටේ සොහොයුරු දම වැඩි කරන්නට ආ මේ නෞකාවට ගොස් එහි කටයුතු සම්බන්ධව නිරීක්ෂණය කරන්නට මෙරට මාධ්‍යවේදීන්ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරාධනා කළා. දිගින් මීටර්105 හා පළලින් මීටර් 14කින් යුක්ත මේ නෞකාව හුදෙක් වෙරළාරක්ෂක කටයුතු සඳහාම වෙන් වූවක්. කාර්ය මණ්ඩලය සිය දෙනකුගෙන් සමන්විත මේ නෞකාව ප්‍රධාන වශයෙන්ම සිදු කරනුයේ ඉන්දීය ධීවරයන්ට ආරක්ෂාව සැපයීමයි. එමෙන්ම වෙරළාක්ෂක කටයුතු ලෙසින් ඉන්දියානු සාගරයේ මත්කුඩු ජාවාරම මැඬලීමටත් මේ නෞකාව හරහා කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාවටද එයින් සැලසෙන්නේ මහඟු සේවාවක්.
මේ නෞකාව විශේෂිත අධිවේගී ප්‍රහාරක බෝට්ටු 4ක් සහ තවත් කුඩා බෝට්ටුවක් සහිතව බෝට්ටු 5කින් සමන්විත වනවා. හදිසි අවස්ථාවලදී ක්ෂණිකව මුහුදට යොමු කරනු ලබන මේ බෝට්ටුවලට නාවික සැතපුම් 40ක අධිවේගයකින් (එනම් පැයට කිලෝමීටර් 74.08ක) ගමන් කළ හැකි වනවා.
එමෙන්ම මෙහි ඇති අධි සන්නිවේදන රේඩාර් උපකරන හරහා නාවික සැතපුම් 96ක දුරක් නිරීක්ෂණය කිරීමටද හැකියාව තිබෙනවා. මේ නිසා ඉන්දියානු සාගරයේ මත්කුඩු ප්‍රවාහනය කරනු ලබන්නන්ට මේ නිසා විශාල බාධා එල්ල වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
එමෙන්ම නෞකාව සතු මිලිමීටර් 30 ප්‍රමාණයේ ගිනි අවිය මඟින් විනාඩියට උණ්ඩ 300ක් නිකුත් කිරීමේ හැකියාවක්ද තිබෙන නිසා ප්‍රහාරක යාත්‍රාවක් ලෙසින්ද එක් අතකින් මෙයට කටයුතු කළ හැකි වනවා.
සාගර ආරක්ෂා නිලධාරී කොමාන්ඩර් රෝහිත් චෞද්රි අපට පැවසුවේ හෙලිකොප්ටර් යානා පවා මෙහි ගොඩ බැස්සවිය හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙහි අන්තර්ගත කර ඇති බවත් ඔහු පැවසුවා. නියමු කුටියේ සිට පැහැදිලිව සාගර නිරීක්ෂණයන් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම මේ නෞකාවේ ප්‍රධානම කාර්යයක් වන්නේ ඉන්දියානු ධීවරයින්ට ආරක්ෂාව සැලසීමයි. එසේ වුවත් නෞකාව හරහා පෙර පැවසූ පරිදි මත් කුඩු ජාවාරම්කරුවන්ට වැට බැදීමටත් මුහුදු මඟින් සිදු කරනු ලබන අනෙකුත් වංචනික ක්‍රියා නීතියට හසු කර ගැනීමටත් කටයුතු කරනු ලබනවා.
පසුගිය දිනවල මෙරටට ගොඩ බට මේ නෞකාව හරහා අපේ රටටද සේවාවන් රැසක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ නැවේ කපිතාන් බී. මුරුගන් මහතා පැවසුවේ මේ නැවෙහි සංචාරයේ අරමුණු අතර දෙරටේ වෙරළ ආරක්ෂාවත් සහයෝගිතාව ආරක්ෂා කර ගැනීමත් දෙරටේ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමත් තිබෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ ධාරිතාව ඉහළ නැංවීමට සහාය දීමද තවත් අරමුණක් බව ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම පසුගිය වසර දෙක තුළ ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නැව් 4ක් මෙරටට පැමිණි බවත් ඒ හරහා දෙරටේ සබඳතා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් කපිතාන් බී. මුරුගන් මහතා අපට පැවසුවා.
මීට අමතරව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෘත්තිය කරුණු සම්බන්ධයෙන්ද දෙරටේ අදහස් හුවමාරු කර ගැනීමේ වැඩ සටහන් මාලාවක් සිදු කරනු ලැබ තිබෙනවා. එහිදී අනෞන්‍ය සබඳතා වැඩි දියුණු කිරීම දෙරටේ වෙරළ ආරක්ෂකයින් අතර සිදුවන මෙහෙයුම් හුවමාරුව සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
CGS Shoor යනු ඉන්දියාවේ නිර්මාණය කරන ලද සහ ඉදිකරන ලද නවීනතම යාත්‍රාවක්. වේගවත් මෙහෙයුම්, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම , නීතිය බලාත්මක කිරීම සහ නාවික කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉතා වේගවත් බෝට්ටු රැගෙන යාම සඳහා සැලසුම් කර ඇති නෞකාවක්. මෙම නෞකාවේ 120 කට වැඩි පිරිසකගේ කාර්ය මණ්ඩලය සමඟ නාවික සැතපුම් 7,000 ක් මුහුදු තීරයේ එක දිගට දින 20ක් ගමන් කළ හැකිවනවා. මුහුදේ ඔක්සිජන් දූෂණය වැළැක්වීම සඳහා ද දූෂණ ප්‍රත්‍රික්‍රියා උපකරණ රැගෙන යාමත් නවීන ගිනි නිවන උපකරණවලින් නෞකාව නිරතුරුවම යාවත්කාලීන කිරීමට කටයුතු කිරීමත් නිසා ඉන්දියානු සාගර සීමාවේ ආරක්ෂාවට මෙය විශාල ලෙසින් ඉවහල් වනවා.
එසේම නෞකාවේ කාර්ය මණ්ඩලයට ඉන්දියානු රූපවාහිනී ඉන්දියාවේ සිට නාවික සැතපුම් 200ක් දුරට නැරැඹීමේ පහසුකම් තිබීමත් කලා රසිකත්වයට රුචියක් දක්වන සේවකයන්ට මහත් සතුට දනවන්නක් වනවා.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් සහ නාවිකයින් සඳහා අභ්‍යාසයක් නෞකාව තුළම පැවැත්වීමටද පසුගියදා කටයුතු යොදනු ලැබුවා. එය අපේ රටට ඉතාම වැදගත් අභ්‍යාසයක් වුණේ එතෙරදී ලබා ගත යුතු දැනුම අපේ රටටම පැමිණ ලබා දුන් නිසයි.
මුහුදේ පුහුණුවීම් තුළදී ගවේෂණය සහ විපතට පත් වූවන් ගලවාගැනීම, ගිනි නිවාරණ, දූෂණය පිළිබඳ ප්‍රතිචාර ආදිය ආදිය සිදු කෙරුණා. මීට අමතරව, නැව් කාර්ය මණ්ඩල සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකාය අතර සිදු කර ගන්නා වෘත්තීය හුවමාරු හා විශේෂිත ක්‍රීඩා පුහුණු පාඨමාලාවක් ද සිදු කරනු ලැබුවා.
හදිස් අවස්ථාවලදී හෙලිකොප්ටර් යානා ද මේ නෞකාවට ගොඩ බැස්සවීමට හැකි පරිදි නෞකාව සකස් කර තිබීමද අපට වැදගත් වනවා. ගිනි නිවීම් සඳහා වන අධිවේගී ජල ප්රහාරකයන්ගෙන් සමන්විත මේ නෞකාව ඇත්තෙන්ම නිහඬව නොමිලේ ශ්‍රී ලංකාවටද විශාල සේවයක් සපයනු ලබන බව කිව යුතු වනවා.
තාරක වික්‍රමසේකර
ඡායාරූප- විමල් කරුණාතිලක