ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ දමන එළවළු මිල | සිළුමිණ

ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ දමන එළවළු මිල

 මෙවර සිංහල අලුත් අවුරුද්ද ළං වනවිට අපේ රටේ එළවළු නිපදවන ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල හා රටේ අගනුවර මහනුවර ආදී ප්‍රධාන නගරවල එළවළු මිලේ විශාල පරස්පර විරෝධයක් පවතී.

ඒ අනුව එළවළු නිෂ්පාදන හා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල මෙන් හතර ගුණයකට වඩා වැඩි මුදලක් දී එළවළු මිලදී ගන්නට නගරයේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවට සිදුවී තිබේ. මේ නිසා එළවළු වවන ගොවියාත් එළවළු අනුභව කරන පාරිභෝගිකයාත් බලවත් අසීරුතාවට පත්වී සිටිති. මේ පිළිබඳව අපි ගවේෂණයක යෙදුණෙමු.

අප්‍රේල් මාසේ මුල් සතිය වනවිට ආර්ථික මධ්‍යස්ථානවල එළවළු කිලෝවක් රුපියල් 10 කට වත් විකුණාගත නොහැකි වුවත් කොළඹ, මහනුවර නගරවල එළවළු කිලෝවක් රුපියල් 100 ටත් වඩා ඉහළ නැඟ ඇත.

අප්‍රේල් මුල් සතිය වෙනකොට අපේ රටේ දඹුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය වැනි ප්‍රදේශවල එළවළු මිල අඩුවෙනවා. කොළඹ, මහනුවර, ගාල්ල, මාතර නගරවල එළවළු මිල ඉහත ප්‍රදේශවල මිල මෙන් හතර පස් ගුණයක් වැඩිවී තිබේ. මේ ගැටලුව හැමදාම තිබේ. විසදීමට පැලැස්තරයක්වත් නැත. අන්තිමට දුක් විඳින්නේ ගොවි ජනතාව හා ඔවුන්ගෙන් යැපෙන්නන්ය.

මෙවර මාර්තු මාසයේ හා අප්‍රේල් මුල සතිය වනවිට දඹුල්ලේ එළවළු මිල ඉතා අඩු වී තිබිණි. පිටකොටුවේ බෝංචි කිලෝවක් මේ දිනවල රුපියල් 100 – 110 අතර වුවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 25 කටවත් අලෙවිකර ගන්නට නොහැක‍. පිටකොටුවේ ගෝවා කිලෝ 1 ක් රුපියල් 60 – 80 අතර ගියත් දඹුල්ලේ රුපියල් 10 ටත් අඩුයි. ගෝවා තක්කාලි හා නෝකෝල් රාබු වැනි එළවළු විකුණා ගැනීමට නොහැකිව අලින්ට කන්න දෙන බව ද දඹුල්ලේදී අපට හමුවූ ගොවීහු පැවසූහ.

මේ ගැටලුව විසදීමට කෘෂිකර්ම බලධාරීන් නිලධාරීන් මේ පිළිබඳව හරි අධ්‍යයනයක් කළ යුතුයි. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ක්ෂේත්‍ර කළමනාකරුවන් රජයෙන් ලබාදුන් වාහනවලින් පාරේ එහාට මෙහාට ගියත් අවුරුදු කාලයට මේ ගැටලුව ඇතිවේ. අපේ රටේ හැම තැනම අහස පොළොව වගේ වෙනත් එළවළු මිලක් තිබේ. ගොවියාට ලැබෙන මිල වගේ හතර ගුණයක් නගරවල සිල්ලර එළවළු මිල වැඩි වී තිබේ.

මේ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව අප කළ ගවේෂණයේදී පැහැදිලි වූයේ කැප්පෙටිපොළ දඹුල්ල වැනි වැඩිපුර එළවළු විකුණන ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල තීරණය කිරීමේ යම් ඒකාධිකාරයක් හා මාෆියාවක් ඇති බවයි. මෙහිදී ගොවියාටත් පාරිභෝගිකයාටත් බලවත් අසාධාරණයක් සිදුවූවත් අතරමැදියාගේ මල්ල තරවී තිබේ.

එළවළු මිල අඩුවීම නිසා වැඩි වශයෙන් ම අසහනයට ලක්වී ඇත්තේ බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය වැනි ප්‍රදේශවල ගොවි ජනතාවය. අලුත් අවුරුද්දේ වැඩි ආදායමක් ගන්නට ඔවුහු වැඩි ලෙස වගා කළත් යාපනයෙන් හා පුත්තලමෙන් දඹුල්ලට එළවළු ඒම නිසා තම එළවළු විකුණා ගැනීමට අපහසුවී තිබේ. මේ ගැටලුවට විසඳුමක් ගොවි ජනතාවම සරල ලෙස පෙන්නුම් කර තිබේ. එකම කාලයට අස්වැන්න නොලැබෙන පරිදි එළවළු වගා කිරීමට උපදෙස් ලබාදෙන ලෙස ඔවුහු කෘෂි උපදේශකවරුන්ගෙන් ඉල්ලා සිටිති.

“මේ ප්‍රදේශවල අය තමන්ට හිතුණු හිතුණු විදියට විශාල ප්‍රදේශවල එළවළු වවනවා. ඒවා කළමනාකරණය කිරීමට කවුරුවත් නැහැ‍. කවුරු හරි කිව්වොත් බෝංචි ගණන් යයි කියලා සේරම බෝංචි වවනවා. එතකොට බෝංචි සැපයුම වැඩියි. ඒ‍ෙක මිල අඩුවෙනවා. ගමේ ගොවියාට හා වැඩි ආදායමක් ලබාගන්න නම් වැවිය යුතු එළවළු හා ඒවා වැවිය යුතු කාලය පිළිබඳව ගමේ ගොවියාට උපදෙස් දීමට කෘෂිකර්ම උපදේශකවරු නැහැ. කෘෂි විද්‍යාත්මක තාක්ෂණික හා වෙළෙඳ පොළ පිළිබඳව අපිට කවුරු හරි උපදෙස් දෙනවා නම් මේ මිල අඩු වැඩිවීම් වළක්වා ගොවියාටත් වැඩි ආදායමක් ලබන්න පුළුවන්” බණ්ඩාරවෙල ලියන්ගහවෙල කේ. ලොකු බණ්ඩාර ගොවි මහතා පවසයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික ඩබ්ලිව් එස්.ආර්. ජයසිරි මහතා පැවසුවේ මෙවර එළවළු තොග මිල අඩුවීමට යාපනයේ හා පුත්තලමේ එළවළු වැඩි වශයෙන් දඹුල්ලට ලැබීම ප්‍රධාන හේතුවක් වූ බවයි.

ඒ සමඟම එළවළු තොගවල පිරිසිදු බව ප්‍රමිති මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවත් ඒ අනුව එළවළු තොගවලින් සමහර විට සියයට 30 – 40 ක් ඉවතට දැමීමට සිදුවෙන බවත් ජයසිරි මහතා පැවසීය. ඒ මහතා පවසන පරිදි පසුගිය බදාදා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය බෝංචි කිලෝවක මිල රුපියල් 25 – 30 ක් අතර විය. නමුත් කොළඹ, පිළියන්දල, කඩවත ප්‍රදේශවල බෝංචි සිල්ලර මිල රුපියල් 100 - 110 අතර විය.

ඒ අනුව කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝ 1 ක් රුපියල් 10 කි‍. නෝකෝල් මිලදී ‍ගත්තේ කිලෝවක් 20 – 25 අතරය.‍ ගෝවා රුපියල් 10.00 ක් අඩු ය. බීට්රූට් කිලෝවක් 30 ක් ව‍ූ අතර කැරට් කිලෝවක් රුපියල් 50 ක් විය.

එසේ වුවත් මේ දිනවල කොළඹ, පිළියන්දල, කඩවත ප්‍රදේශවල මේ එළවළුවල සිල්ලර මිල තොග මිල මෙන් හය හතර ගුණයක් වැඩිය.

මේ අතර දඹුල්ලේ එළවළු මිල අඩුවීම නිසා දඹුල්ලේ එළවළු විශාල ප්‍රමාණයක් අලින්ට කන්නට දමන බව ද වාර්තාවේ. මාස 3 – 4 ක් දහදිය දමා දුක් විඳ එළවළු වැව්ව ගොවියට මේ තත්ත්වය කෙතරම් දුක්ඛදායකද?

මේ පිළිබඳව ඌව පරණගම හා වැලිමඩ ගොවි ජනතාව තම අදහස දැක්වූයේ ඉතා කනගාටුවෙනි.

වැලිමඩ - ඌවරණගම ගොවිජන එකමුතුවෙහි සභාපති ඩබ්ලිව්.ඇම්. ගුණවර්ධන මහතා පැවසුවේ එළවළු ගොවීන් තරම් අවාසනාවන්ත පිරිසක් තවත් නැති බවයි. එළවළු ගොවීන් දිවා රාත්‍රී වෙහෙසුණාට තම අස්වැන්නට නිසි මිලක් ගන්න නොහැකිව හැම වගා කන්නයක දී පසු තැවෙන බව රහසක් ද නොවෙයි. බීජ ඇට - කෘෂි රසායනික පොහොර සහ රසායනික බෙහෙත් වලින් ගොවියා බහුජාතික සමාගම් සහ ව්‍යාපාරිකයන් විසින් ගසා කන බව රහසක් නොවෙයි. මොකද ගොවියාගේ මුහුණ බලා ඇතැම් විට 25% ටත් අඩුවට මෙම බීජ රසායනික බෙහෙත් අලෙවි කරනවා. අනික එකම නගරයේ එකම බහුජාතික සමාගමෙහි බීජ ඇට - කෘෂි රසායනවල මිලේ වෙනස්කම් ද දකින්නට පුළුවන්. මෙයින් හැ‍ඟෙන්නේ මෙම ව්‍යාපාරයෙන් බහුජාතික සමාගම් සභ ව්‍යාපාරිකයන් ගොවියන් ගසා කන බවයි.‍

අනික කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ප්‍රදර්ශනය කළ ද එම මුදලට එළවළු මිලදී නොගන්නා බවත් කියන්න ඕන. මෙයට නිසි වැඩපිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථාන භාරකරුවන් කටයුතු කළ යුතුයි. ගොවියා සංවිධාන නොවීමත් වෙළෙඳ පොළ සූරාකෑමට වාසියක්ව ඇති බව කිව යුතුයි ගුණවර්ධන මහතා කීය.

වැලිමඩ හාගිලි ඇල්ල පදිංචි ඩබ්ලිව්.ඇම්. සුගත් වීරසිංහ ගොවි මහතා (56) පැවසුවේ

අපි පාරම්පරික ගොවියෝ. එනිසා අපේ ජීවිත රැඳී තියෙන්නේ ගොවිතැනත් සමඟ බවයි.‍ “නියඟය නිසා මම කුඹුරේ කැරැට් වගා කළා. මට කැරැට් වගා කරන්න රුපියල් 30000 විතර වැය කළා. කැරැට් බීජවලට රුපියල් 6000 යි. පොහොර කිලෝ 50 ක් රුපියල් 1300 තිබුණත් අද රුපියල් 3150 යි. කෘෂි රසායන මිලත් වැඩියි. මාස 03 ක් වගා කාලයට පසුව මම අස්වැන්න කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට අරගෙන ආවා. ප්‍රවාහනය කරන්න ලොරියට රුපියල් 2000 ක් දුන්නා. උදේ 10 ට ආවත් දැන් දහවල් 12 ත් පසුවෙලා. තවම විකුණා ගන්න බැරිවෙලා‍. කැරැට් කිලෝව රුපියල් 35 – 40 කියනවා. නමුත් 2017 අප්‍රේල් මාසයේදී අපි කැරැට් කිලෝව රුපියල් 100 විකුණුවා. එම වගා කන්නයෙන් මම රුපියල් එක්ලක්ෂයක පමණ ආදායමක් උපයා ගත්තා. අද මිල ගණන් අනුව මට වගා වියදම වත් උපයා ගන්න බැරි වේවි කියා බයක් ඇතිවෙලා.

කැප්පෙටිපොළ විදුරුපොළ කොකටිය රොද ගොවි සංවිධානයේ සාමාජික එල්.ඇම්. කුමාරසිංහ ගොවි මහතා (62) මෙසේ පැවසීය. මම රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන අද වනවිට පූර්ණ කාලීන ගොවිතැනේ නියැලෙනවා.‍ අද වනවිට වැලිමඩ සානුවෙහි වගා කර ඇති සෑම එළවළුවකම මිල පහත වැටීම නිසා ගොවියා අසීරුවට පත්වෙලා. අද වනවිට බෝංචි කිලෝව රුපියල් 20 – 30 ක් වෙලා. නමුත් බෝංචි කිලෝවක් වගා කරන්න මාස 03 ක් එය රැකබලා ගන්න වශයෙන් ගණනය කළොත් රුපියල් 15000 විතර වැය වෙනවා. මෙම වගා ප්‍රමාණයෙන් බෝංචි කිලෝ 250 – 300 අතර අස්වැන්නක් ලබා ගන්න හැකි වෙන්නේ. එහෙම නම් අද රුපියල් 20 – 30 මිලකින් කොතරම් පාඩුවක් සිදුවෙනවාද කියා කාටත් සිතා ගත හැකියි.

කැප්පෙටිපොළ බෝංචි කිලෝව රුපියල් 20 – 30 යි වැලිමඩ සිල්ලර මිල රුපියල් 80 යි. ලීක්ස් කිලෝව කැප්පෙටිපොළ රුපියල් 120 යි. වැලිමඩ රුපියල් 200 යි‍. කැප්පෙටිපොළ වම්බටු කිලෝව රුපියල් 35 – 40 යි. වැලිමඩ නගරයේ සිල්ලර මිල රුපියල් 80 යි. මේ වගේ බරපතළ මිල වෙනසක් දකින්න ලැබෙනවා. එළවළු වගා කරන වැලිමඩ පාරිභෝගිකයාට මෙතරම් වැඩි මිලක් ගෙවන්න වෙනවා නම් ඈත පළාත්වල පාරිභෝගිකයාට එළවළුවලට කොතරම් වැඩි මිලක් ගෙවන්න වෙනවාද කියා හිතාගන්න බෑ. ගොවියාට නිසි මිලක් නොමැති වුවත් පාරිභෝගිකයාට ඉහළ මිලකට එළවළු ගන්න සිදුවෙලා. එහෙම නම් අතරමැදි වෙළෙන්දා කොතරම් වාසියක් ගන්නවාද කියා සිතාගත හැකියි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලකවරයකු වත් එළවළු ගොවියා ගැන කථා කරන්නෑ‍. පෙනී සිටින්නේ නෑ. අර්තාපල් වලට ආනයන බද්ද පනවන විට වෙළෙඳපොළේ පිටරට අර්තාපල් අසීමිතව ගොඩ ගසලා. එයින් වාසි අත්වෙන්නේ ව්‍යාපාරිකයන්ට පමණයි. එනිසා මෙම සියලුම ගැටලුවලින් ගොවියා සහ පාරිභෝගිකයා රැකගන්න රජය පියවර ගතයුතු වෙනවායි එල්.ඇම්. කුමාරසිංහ ගොවි මහතා පැවසීය.

“මෙයට විසඳුමක් නැද්ද?“ අපි මේ පිළිබඳව විමසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර හා ප්‍රතිපත්ති සැලසුම් අංශාධිපති දුමින්ද ප්‍රියදර්ශන මහතායි. ඒ මහතා පවසන්නේ මෙවර එළවළු අස්වැන්න වැඩි නිසා යාපනයේ පුත්තලමේ එළවළු දඹුල්ලට ලැබීම් නිසා තොග මිල අඩුවූ බවයි.

“දඹුල්ලට කැප්පෙටිපොළට අලුත් එළවළු ශීතාගාර පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඒ සමඟම බෝග විවිධාංගීකරණය හා කන්න තුනේ වගාව වැනි දේ ජනප්‍රිය කිරීමට අපි පියවර ගන්නවා. ඒ අනුව සියලු ගොවීන් එක්වරම එළවළු අස්වැන්න වෙළෙඳ පොළට දැමීම අඩු වී එළවළු හිඟ කාලයටත් යම් එළවළු ප්‍රමාණයක් වෙළෙඳ පොළට එන ලෙසත් වැඩ කටයුතු කරනවා.

විශේෂයෙන් හරිතාගාරවල මාසයක් දෙකක් එළවළු ගබඩා කර එළවළු හිඟ කාලයට ඒවා වෙළෙඳ පොළට මුදාහැරීමට අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව ප්‍රවාහනයේදී එළවළු තැළීම් පොඩිවීම් හා සූර්යාලෝකය නිසා එළවළු වියළීම වැළැක්වීමට‍ නව පර්යේෂණ අනුව කටයුතු කරන්නත් අපි අපේක්ෂා කරනවා“ දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

නිහාල් පී. අබේසිංහ
වැලිමඩ ආර්. රාජමන්ත්‍රී
සේයාරූ - වැලිමඩ සමූහ

Comments