දෙයියන්ට ලවුඩ්ස්පීකර් ඕනෙ නෑ | Page 2 | සිළුමිණ

දෙයියන්ට ලවුඩ්ස්පීකර් ඕනෙ නෑ

 'කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු' බවට අපේ පරණ කියමනක් තියෙනවා. එයින් අදහස් කරන්නේ කියන්නා කන් අඩි පැළෙන්න කියන දේ හෝ මහ හඬින් කනට නෑසෙන පමණින් හෝ කියන දේ හොඳින් අවධානයෙන් අසාගෙන සිටිමින් ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම ගැනයි. එසේ වුවත් මෙහිදී පැවසිය යුතු තවත් යමක් තිබෙනවා. ඒ අසන්නාට අදාළ හඬ නිසි පරිදි ඇසෙන සේ සැලැස්වීමයි. කන් අඩි පැළෙන්නට කෑ මොර දීමෙන් සිදු වන්නේ ඝෝෂාවක් සිදුවීමෙන් කනට අහිමිරි තත්ත්වයක් උදාවීම සහ පරිසර දූෂණයට එනම් ශබ්ද දූෂණයට මඟ පෑදීමයි. එසේම කනට නෑසෙන පරිදි යමක් පැවසීමෙන් සිදුවන්නේ අසන්නාට එය නිසි පරිදි නෑසීමෙන් අවබෝධ කර ගැන්ම අපහසුවීමයි.

එසේ නම් අපි කළ යුත්තේ අසන්නාට ඇසෙන මානයට හඬ නිකුත් කිරීම බව මෙයින් පැහැදිලි වනවා. ධර්ම දේශනා පැවැත්වීමේදී පවා මේ ක්‍රමය අනුගමනය කළ යුතු බව බුද්ධ දේශනාවේද සඳහන් වනවා. එසේ නම් අප කතා කළ යුත්තේ මෙන්ම ශබ්දය පිට කළ යුත්තේ අනෙක් අයට ප්‍රසන්න ලෙසින් මෙන්ම අනෙක් අයට ඇසෙන මානයට මෙන්ම අනෙක් අයට බාධාවක් නොවන පරිද්දෙන්ය.

නමුත් අපේ රටේ මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේද යන්න ගැන මෙහිදී අප සිහි ගැන්විය යුතු වෙනවා. අනෙක් අයට බාධාවන පරිදි දුම්රියේ බස් රියේ පවා අධික හඬින් ජංගම දුරකතනවලින් කතා කරන අය අප කොතෙකුත් දැක තිබෙනවා. තමන්ගේ අයිතිය අනෙක් තැනැත්‍තාගේ අයිතිය අභිභවා යැවීමට නොහැකි බව අප දැන ගත යුතු වැදගත්ම කරුණක්.

අප මේ කියන්නට යන්නේද අනෙක් තැනැත්තන්ට අවහිර වන සේ ශබ්දය භාවිත කිරීම නිසා අධිකරණයට පවා යන්නට සිදු වූ කතාවක් ගැනයි. පසුගිය දිනවල යාපනය පුරාම හා හූවක් සේ පැතිර ගිය මේ කතාව දැන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පවා ප්‍රචාරය වි අවසන්.

යාපනය නායන්මාර්කන්ඩු කෝවිලේ අධික ශබ්දයෙන් යුක්තව පූජාවන් පැවැත්වීම එහි ප්‍රදේශවාසීන්ට මහත් හිරිහැරයක් හා බාධාවක් වුණා. ඒ සම්බන්ධව ඔවුන් කොතෙක් දැනුවත් කළත් කෝවිලේ පූසාරිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙළේ නැහැ. පසුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට ප්‍රදේශවාසීන් පැමිණිලි කළා. එහෙත් මේ පූසාරිවරයා ඒ ගැනත් කිසිදු ආකාරයක මායිම් කෙළේ නැහැ.

අවසානයේ ගම්වාසීන්ට පොලිසියට යන්නට වුණා.

තමන් අදහන ආගම වුවද අනෙක් අයට බාධා නොවන ලෙසින් ඇදහිය යුතු බවයි මේ ජනතාවගේ අදහස වුණේ. පොලිසියෙන් අවවාද කළත් පූසාරිවරයාගේ ක්‍රියාව නතර වුණේ නැහැ. පාසල් දරුවන් මෙන්ම රෝගී පිරිස්ද කෝවිලේ අධික ශබ්දය නිසා දැඩි අපහසුතාවන්ට පත් වන බව නිරීක්ෂණය වී තිබුණා. අවසානයේ මේ සිදුවීම සම්බන්ධව අධිකරණය දක්වා යන්නට සිදු වුණා. ප්‍රදේශවාසීන් විසින් ගොනු කරන ලද පෙත්සම සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු කේ. ඉලන්චේරියන් මහතා විසින් මේ සම්බන්ධයෙන් ජනතාවට පීඩා නොවන පරිදි ආගමික කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නා. එපමණක් නෙමෙයි ග්‍රාම නිලධාරිවරයාට වාර්තාවක්ද අධිකරණයට සපයන ලෙස දැනුම් දී තිබුණා.

පුන්ගුඩුතිව් විද්‍යා ඝාතනයේ නඩුවේ තීන්දුව ලබා දුන් මේ විනිසුරුතුමා සාමාන්‍ය ‍ජනතාව දෙස වැඩි අවධානයක් යොමු කරන අයකු බවට ජනතාව අතර මතයක් තිබෙනවා.

කිහිප දිනකින් යළිත් නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ ග්‍රාම නිලධාරිවරයා වාර්තා දෙකකින් පවසා තිබුණේ පූසාරිවරයා ශබ්ද විකාශන හඬ අඩු කර නොමැති බවයි.

මේ සම්බන්ධව නඩුව විභාග කිරීමේදී විනිසුරුතුමා පූසාරිවරයාගෙන් විමසා සිටියේ අධික හඬින් යුක්තව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නේ ඇයිද යන්න ගැනයි?

මෙහිදී පූසාරිවරයා පවසා තිබුණේ දෙවියන් උදෙසා පවත්වනු ලබන පූජාව අධික ශබ්දයෙන් යුක්තව පැවැත්වීමෙන් දෙවියන්ට හොඳින් ‍ඇසෙන බවයි.

එහෙත් විනිසුරුවරයා මෙහිදී තීන්දුව ලබා දෙමින් පවසා තිබුණේ. දෙවියන් මිනිසුන්ට වඩා බලසම්පන්න බවින් යුක්ත බවත් එම නිසා දෙවියන්ට තබන පූජාව භක්තියෙන් යුතුව පවත්වන ලෙසත්ය. දෙවියන්ට අධික ශබ්දයක් අවශ්‍ය නොවන බවත් තමන් විසින් කරනු දේ දෙවියන්ට පෙනෙන හෙයින් අධික ශබ්දයෙන් ජනතාව පීඩාවට පත් නොකර පූජාව සුදුසු පරිදි පවත්වන ලෙසත් පැවසුවා.

මේ නඩු තීන්දුව එම කෝවිලේ පූසාරිවරයාට පමණක් බල පාන්නක් නොවේ. එමෙන්ම එම ජනතාව විඳින පිඩාව තවත් බොහෝ ජනතාවක් විඳින බවද අපි හොඳාකාරවම දනිමු.

අධික ශබ්දයෙන් යුතුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට ආගමික ස්ථානයන්ට අවසර ලබා දී නැහැ. අවසර ලබා දී ඇත්තේ ජනතාවට බාධා නොවන පරිද්දෙන් ආගමික කටයුතු කර ගැනීමට පමණයි. ආගමික ස්ථානයක අධික ජනතාවක් එක් රොක් වන හෙයින් ශබ්ද විකාශන යන්ත්‍රයකින් තොරව එහි කටයුතු කළ නොහැකි නිසා ශබ්ද විකශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා දී ඇතත් එයින් කිසිදු ආකාරයක ජනතා පීඩාවක් පත් නොකිරීමට වග බලා ගත යුතු බවට නීතියෙන්ම සඳහන්ව තිබෙනවා.

එහෙත් මේ දිනවල පාසල්වල පළමු වාර විභාග පවත්වමින් තිබියදීත් ඇතැම් දිනවල අධික ශබ්දයෙන් යුක්තව ආගමික කටයුතු සිදු කරනු ලබන බවක් දක්නට ලැබෙනවා. දිවා කාලයේ මෙසේ අධික ශබ්දයෙන් යුක්තව ආගමික කටයුතු සඳහා ශබ්ද විකාශන භාවිත කිරීම කෙතෙක් දුරට සුදුසුද යන්න ගැන ආගමික නායකයින් මෙන්ම මේ සම්බන්ධව දේශපාලන අධිකාරියද කල්පනා කළ යුතු වෙනවා.

අධික ශබ්දයෙන් යුක්තව දිනපතා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම හේතුවෙන් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බෙල්ලන්තර ආශ්‍රමයට විරුද්ධව ප්‍රදේශවාසීන් නඩු පැවරූ අතර එහිදීද ප්‍රදේශවාසීන්ට අවහිර නොවන සේ ආගමික කටයුතු අධික ශබ්දයෙන් නොකළ යුතු බවට ගල්කිස්ස අධිකරණයෙන් නඩු තීන්දුවක් ලබා දෙන දුන්නා.‍

මේ තත්ත්වය අප සැලකිල්ලට ගත යුතු වන්නේ ආගමික ස්ථානයක ආගමික කටයුතු මෙහෙය වන්නේ ආගමික නායකයන් නිසාය‍. කිසිදු ආගමක අනෙක් අයට හිංසා පීඩා වන ලෙසින් කටයුතු කරන්නැයි පවසා නැහැ. යාපනයේ පූසාරිවරයාට මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මෙන්ම සිකුරාදා දිනවල පාසල් දරුවන්ගේ විභාග පවා නොතකා අධික ශබ්දයෙන් ආගමික කටයුතු මෙහෙයවන මෞලවිවරුත් මේ ගැන අවබෝධයෙන් කල්පනා කළ යුතුය.

නැත්නම් සිදු වන්නේ ආගමික සංහිඳියාව වෙනුවට ආගමික ගැටලු නිර්මාණය වීමකි.

වවුලන්ට අපට වඩා සංඛ්‍යාතයෙන් අධික ශබ්ද ඇසෙන්නාක් මෙන්ම බල්ලන්ට අපට වඩා සංඛ්‍යාතයෙන් අඩු කුඩා ශබ්ද පවා ඇසෙනවා. අප තීරණය කළ යුත්තේ මිනිසුන් ලෙසින් ජීවත් වනවාද එසේත් නැත්නම් සත්ත්ව ලෝකයට යනවාද යන්නයි. ඒ ගැන සිතීමට යාපනයේ විනිසුරුතුමන් විසින් ලබා දුන් මේ නඩු තීන්දුව අප පූර්වාදර්ශයට ගත යුතු වනවා.

සේයාරූ - අන්තර්ජාලයෙනි
තාරක වික්‍රමසේකර

 

Comments