පාතාල මෙහෙයුම් ඉදිරියටම... | සිළුමිණ

පාතාල මෙහෙයුම් ඉදිරියටම...

 පසුගිය මාස තුනක පමණ කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි නැතිනම් පාතාල කණ්ඩායම් අතර ගැටුම්වල ‘රැල්ලක්’ හමා යනු පෙනෙන්නට තිබුණේ සිදුවූ ඛේදවාචක සිද්ධි දුටු විටය. එම ඝාතනයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ඉහළ පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ක්‍රියාත්මක වෙමින් පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය දිවා-රෑ කැපවෙමින් පාතාල සාමාජිකයන් කීපදෙනෙක්ම නීතියේ රැහැනට කොටුකර ගැනීමට පසුගිය සතියේ සමත් විය.

විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේ ඝාතන වැලක්ම සිදුවූයේ පිටරටවල සිටින පාතාල නායකයන්ගේ මෙහෙයවීමෙන් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. එම නිසා පාතාල ගැටුම් වැළැක්වීම සඳහා පිටරටවල සිටින පාතාල නායකයන් කොටුකර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු සිදුවෙද්දී මෙරට සිටින පාතාල නායකයන්ගේ ගෝලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පාතාල මර්දනයට කැපවී සිටින සියලුම විශේෂ පොලිස් ඒකක කටයුතු කරමින් සිටී.

පිටරට සිටින්නන් කොටු කරගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව පාතාල මර්දනය සඳහාම වෙන්වූ විශේෂ ඒකකවල උසස් පොලිස් නිලධාරීහු පවසා සිටියෝය.

එලෙස පාතාලය මර්දනයටත් ඉදිරි දින කීපය තුළදී රටේ පවතින උත්සව සිරිය නිසාත් පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පසුගිය 05 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ පිටකොටුවේ පිහිටි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී පරිදි පසුගියදා මාලඹේ ජෝතිපාල මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වන රනිල් ආටිගල මහතාගේ නිවෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකොට පලා ගිය අපරාධකාරයා සන්තකයේ තිබී ගිනි අවියක්, පතොරම් මැගසිනයක්, කඩු, පිහියා, වගේම ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක් සමඟ මත්ද්‍රව්‍යද පොලීසියට හසු වී තිබේ.

එසේම එදින මාධ්‍ය ප්‍රකාශකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධව සිට පසුගිය දින කිහිපයේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කළ සුවිශේෂ මෙහෙයුම් මඟින් අත්අඩංගුවට පත්වූ අයගේ නාමලේඛනයක්ද ඉදිරිපත් කළේය. අංගොඩ ලොක්කාගේ ගෝලයන් වූ ගයාන් සිල්වා නොහොත් රොබා, සරත් කුමාර රණසිංහ, ප්‍රදීප් කුමාර, ක්‍රිෂාන් නිලංග (බබා) යන අපරාධකරුවෝ එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අතර ගිය සතියේදී අත්අඩංගුවට පත් දකුණේ පාතාල ප්‍රබලයකු වන දැනට රටින් පැනගොස් ඉන්දියාවේ වෙසෙන ජගමුනි සුජීව ද සොයිසා නොහොත් කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලැකෙන අගහස්පුර සරත් වසන්ත නොහොත් සරා මල්ලීද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිණි. බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් සරා මල්ලි වරින්වර විදෙස්ගත වෙමින් එලෙස නැවතත් මෙරටට පැමිණීමෙන් පසුව කුමන හෝ අපරාධයක නිරත වී ඇති අපරාධකරුවෙකි. එසේ ඔහු විදෙස්ගත වනුයේ පිටරට සිටින පාතාල ප්‍රබලයකු හමුවීමට බවත් එහිදී ලැබෙන උපදෙස් අනුව මෙරටට පැමිණීමෙන් පසුව සරා මල්ලි විසින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්හි ගජරාමෙට නිරත වී ඇති බවයි. පසුගිය දිනවල සිදුවූ පාතාල අපරාධවලටද මොහුගේ සම්බන්ධයක් තිබේදැයි පොලීසිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එසේම ගෙවුණු දින කීපයේදී අත්අඩංගුවට පත්වූ තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙක් ලෙස හැඳින්විය හැක්කේ ඩුබායිහි සිටින අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු සේ සැලැකෙන ‘අංගොඩ චීටි’ නමැත්තාය. කොටිකාවත්තෙ සිය නිවෙසේ සිටියදී පසුගිය 3 වැනිදා එම නිවෙසට කඩා වැදුණු පොලිස් විශේෂ කාර්ය බළකාය කළ විශේෂ මෙහෙයුමකින් ඔහුව අත්අඩංගුවට ගැනිණි. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ඔහු අත්අඩංගුවට පත්වන මොහොතේත් නිවෙසේ තිබී හෙරොයින් ග්‍රෑම් හයක් සහ අත්බෝම්බයක්ද විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ට සොයා ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවැසීය.

පසුගියදා මාලඹේ විජය කුමාරතුංග මාවතේ පිහිටි ඇවිදින මංතීරුවේ ව්‍යායාම කරමින් සිටියදී ඝාතනයට ලක්වූ පොලි රොෂාන් නොහොත් රොෂාන් ප්‍රේමලාල්ගේ ඝාතනයට චිටිගේ සම්බන්ධයක් තිබේදැයි යන්න විමර්ශනය කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

අංගොඩ ලොක්කාටත් පෙර පාතාලයට පැමිණි චිටී අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත ඇතුළු පෙදෙස්වල අපරාධ රැසකටම සම්බන්ධ වූවත් පසුව කොන්ත්‍රාත් වැඩ කටයුතු කරමින් ජීවිකාව ගැටගසාගෙන ඇත. ඒ අතර කාලය තුළදී අංගොඩ ඇතුළු පෙදෙස්වල පාතාලයේ කෙරුමෙක් වීමට අංගොඩ ලොක්කා සමත් වී තිබේ. එහෙත් රණාලේ සමයාගේ හිස එසවීමත් සමඟ ලොක්කාගේ වැඩ කටයුතු අඩපණ විණි.

ඉකුත් සමයේ දිනෙක අංගොඩ චීටිට අයිඩීඑච් හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසලදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බවටද වාර්තා වේ. ඒ පසුගියදා අමානුෂික වධ විඳ පාතාලයේම කොටස්කරුවන්ගේ ගොදුරක් වෙමින් ඝාතනය වූ කොස්මල්ලි විසිනි. කොස්මල්ලි සමයාගේ හිතවතෙක් නිසාත් චීටි අංගොඩ ලොක්කාගේ ගජමිතුරු ගෝලයෙක් නිසාත් එලෙස ඝාතනය කිරීමට තැත් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

මෙලෙස පාතාලය මැඬ පැවැත්වීමට වෙහෙසෙන විශේෂ බළකා සාමාජිකයන් කළ තවත් මෙහෙයුමකදී කෙසෙල්වත්ත, පිටකොටුව ඇතුළු පෙදෙස්වල පාතාල නායකයා යැයි කියාගන්නා කෙසෙල්වත්තෙ දිනුකගේ පුංචි අම්මා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවිණි. පිටරට සැඟවී මාකඳුරේ මධුෂ් සමඟ සිටින බවට සැක කරන කෙසෙල්වත්තෙ දිනුක පිටකොටුව, කෙසෙල්වත්ත පෙදෙස්වල සියලුම වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් එකතු කරන බවට සැල වේ. ඔහු පිටරටක සිටියත් ඔහුගේ නියෝග ක්‍රියාත්මක කරමින් කප්පම් එකතු කිරීම් සියල්ල සිදුකරන්නෙ දිනුකගේ මෑණියන් වන පොඩි අම්මා ලෙසින් ප්‍රකට කාන්තාව බව පිටකොටුව, කෙසෙල්වත්ත පෙදෙස්වල සෑම ව්‍යාපාරිකයෙක්ම දනී. පොඩි අම්මාට කප්පම් නොදුන්නොත් ඊළඟට සිදුවන්නෙ කුමක්ද යන්න කඩ හිමියන් සියලු දෙනාම දන්නා කාරණයකි. එලෙස කප්පම් නොගෙවීම නිසා මෑත දිනෙකදී දිනුක සමඟ ගැටුමක් ඇතිකරගත් කෙසෙල්වත්තෙ චානා ඇතුළු පිරිසකට සිදුවූයේ දිනුකගේ කල්ලියේ ගොදුරක් වීමටයි. පසුගිය මාර්තු 8 වැනිදා කොටහේනේදී සිදුවූ එම වෙඩි ප්‍රහාරයෙන් චානා සහ ඔහුගේ යහළුවකු බරපතළ තුවාල ලබා ජිවත්වීමට වාසනාව ලැබුවත් එදින සිදුවූ එම වෙඩි ප්‍රහාරයෙන් චානාගේ සොහොයුරා වූ ඩිලාන් මෙලොව හැර ගියේය.

එවැනි දරුණු ගණයේ කප්පම් අපරාධකරුවෙක් වන දිනුකගේ කෙසෙල්වත්තෙ පිහිටි නිවෙසක් පිළිබඳව ලැබුණු ඔත්තුවක් අනුව සෝදිසියට ගියේ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ය. එහිදී නිවෙස පරීක්ෂාවට ගිය විශේෂ කාර්ය බළකා සාමාජිකයන් දැකීමෙන් කලබලයට පත්වූයේ නිවෙසෙහි සිටි දිනුකගේ පුංචි අම්මාය. ඇය කෙතරම් කලබල වීද යත් දෙවන මහලේ සිට යමක් විසි කළත් එය නිසි පරිදි විසි කිරීමට නොහැකි වීමෙන් එම බෑගය වැටුණේ විශේෂ බළකා සාමාජිකයන් සිටින අසලටමයි. බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී මි. මි. 9 වර්ගයේ පිස්තෝලයක ජීව උණ්ඩ රාශියක්ම හමු වී තිබේ. ඒ අනුව එම උණ්ඩ තවත් පාතාල බිල්ලක් වෙනුවෙන් පාවිච්චි කිරීමට සඟවාගෙන සිටින්නට ඇතැයි පරීක්ෂණ නිලධාරීන්ගේ සැකය වී තිබේ.

මෙලෙස පාතාලය මර්දනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, සියලුම විශේෂ අපරාධ විමර්ශන ඒකකයන් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය සුවිසල් වැඩ කොටසක් කරමින් සිටී. පසුගිය දා සිදුවූ අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පවසා සිටියේ, අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට සූක්ෂ්ම වැඩපිළිවෙළක් දියත් කොට තිබෙනවා. ඉදිරියේදී පාතාලයට කිසිසේත්ම නැගිටින්න ඉඩ දෙන්නෙ නැහැ. අපේ සියලු ඒකකයන් පැය විසිහතරේම ඒ වෙනුවෙන් කැප වී සිටින්නෙ. පසුගිය දිනවල අපි කළ වැඩවල ප්‍රගතිය දකින්නට ලැබුණ බව”යි.

ඒ අතරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය පාතාල මර්දනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසේ. එම බුද්ධි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන දක්ෂ නිලධාරියකු වන ධර්මප්‍රිය මහතා අප කළ විමසීමකදී පැවැසුවේ, “පාතාලය හකුළා දමන්න සියලු වැඩ කටයුතු සූදානම් කර ඇති බව”කි.

ගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බන්දු නමැත්තාගේ ගෝලයකු අත්අඩංගුවට ගැනිණි. මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු ලෙස ප්‍රකට හෝකන්දර දකුණේ වෙසෙන 26 හැවිරිදි ලසන්ත මධුශංඛ නමැති ඔහුව හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර මහතා ඇතුළු පිරිසක් සමත් විය.

හෙරොයින් ඇතුළු ගංජා මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් ‘ඊසී කෑෂ්’ ක්‍රමයට මුදල් ලබාගෙන බෙදාහරින බවත් එම නිසා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එරෙහිව වැට බැඳීම පාතාලය මර්දනයේදී අත්‍යවශ්‍යම පියවරකි. එලෙස අපරාධකාරයන්ට වැඩිපුරම මුදල් ලැබෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය. එම නිසා උත්සව සමයේ රට-තොට බහුලව ගැවසෙන ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ දියත්කොට අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද පසුගියදා මාධ්‍ය හමුවකදී පැවැසීය. අපරාධකාරයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කොට ජනතාවට සාමයෙන් සතුටෙන් එළැඹෙන නව අවුරුද්ද සැමරීමට අවස්ථාව සලසා දීම වගකිවයුත්තන්ගේ යුතුකමකි.

අමිල මලවිසූරිය

Comments