
අද දිනට යෙදෙන පාස්කු මංගල්‍යය පිළිබඳව කොළඹ සහායක රදගුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි මේ.
ප්‍රශ්නය - කතෝලික ධර්මය තුළ පාස්කු මංගල්‍යය පිළිවෙත වැදගත් වන්නේ ඇයි?
පිළිතුර - කතෝලික අපේ ධර්මය ගොඩනැඟිලා තියෙන්නේ සම්පූර්ණයෙන් ම පාස්කුව මගිනි. අද ජනතාව නත්තල සැමැරුවාට එහි පදනම වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයයි. උන්වහන්සේ උත්ථාන නොවන්නට පාස්කුවක් නැහැ. කතෝලික සභාවකුත් නැහැ. දේව ජනතාවක් නැහැ. මේ ආකාරයෙන් එකතුවන්නෙත් නැහැ.
කිතුනු සභාවේ මවු සභාව ‘කතෝලික සභාවයි’ පේදුරුතුමන්ට, ජාකොබ් තුමන්ට පවරාදුන් සභාව වන්නේ කතෝලික සභාවමයි. මෙය ආරම්භ වන්නේ උන්වහන්සේ උපතට වඩා උත්ථානයෙනුයි. ඉන්පසුවයි මාර්ක්, ලුක්, මතෙව්, ජුවාම්, පාවුළු තුමන්ලා ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය හා දේවත්වය කතා කරන්නට පටන්ගත්තේ. උත්ථානයෙන් පසු ගෝලයින්ට ආඥාවක් දෙනවා” යනු සකල ලෝකයට ස්වාමින් වහන්සේගේ නාමය පතළ කරන්න. මාගේ නාමයෙන් ජනතාව කැඳවන්න. එම විධානය උන්වහන්සේ අපට ලබාදෙන්නේ උන්වහන්සේගේ උත්ථානය තුළිනුයි. එනිසා කතෝලික සභාවේ වැදගත්ම මංගල්‍යය වන්නේත් මෙයමයි. වත්පිළිවෙල් සියල්ලම ආරම්භ වන්නේ උන්වහන්සේගේ උත්ථානයෙනුයි. මේ චතාරික කාලයේදී ආගමට හැරෙන හැරෙන අය, වැලඳ ගන්නා අය ක්‍රිස්තියානි කරන්නේ ආලේලුයා සෙනසුරාදා දවසෙයි. මන්ද එහි ආරම්භය උත්ථානය නිසාය. ප්‍රසාද ස්ථාපනය, දිව්‍ය සත්ප්‍රසාදය යනාදියත් එලෙසමයි.
ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රි භෝජනයේදී තමයි පූපය කඩා බෙදා ගෝලයන්ට කිව්වේ “මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න. අනුභව කරන්න” කියලා. එයමයි දිව්‍ය පූජාව තුළිනුත් කියන්නේ. එනිසායි සෑම සක්‍රමේන්තුවක්ම ආරම්භ වන්නේ පාස්කුවෙන් කියන්නේ. “පාස්කුව” අන් සෑම දෙයකටම වඩා අවධානය යොමු කරන්නේ මේ නිසායි. මර්දන ක්‍රියා, ධර්මදූත ක්‍රියා, පශ්චාත්තාපික ක්‍රියා වැනි සෑම ක්‍රියාවක් ම අන් ජීවිත පදම් කරනවා, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාපනය භාර ගන්න. එයයි පාස්කු මංගල්‍යය කියන්නේ.
ප්‍රශ්නය - එය සනාථ කිරීමට ඇති සාධක හා එහිදී මුහුණ දීමට ඇති අභියෝග මොනවාද?
පිළිතුර - මතෙව් තුමාගේ සුවිශේෂයට අනුව “සකල ලෝකයට යන්න. ස්වාමීන් වහන්සේගේ වචනය දේශනා කරන්න. මාගේ නාමයෙන් ජනතාව රැස් කරන්න” කියලා උන්වහන්සේ ගෝලයින්ව පිටත්කර යැව්වා. ඒ වගේම ඉරු දිනක උන්වහන්සේගේ උත්ථානය සිදුවූ නිසායි, සෑම ඉරිදාවක්ම අපේ සභාවේ වන්දනා කරන දිනයක් බවට පත්වන්නේ කිතුනුවන් වත්පිළිවෙත්වලට, දේව වාක්‍ය දේශනා කරන්න සෑම කටයුත්තක්ම අනෙක් කවදා නොකළත් ඉරුදින සහභාගිවන්නේ මෙන්න මේ හේතුව නිසායි.
ඉරිදා දවස දෙවියන් වහන්සේගේ දිනයක්, ‘සබත’ කියන්නේ... නමුත් සබත සෙනසුරාදා පටන් ඉරිදායි අවසන් වන්නේ. අපේ ජන වන්දනාවේ උතුම් ම දවස වන්නේ මේ ඉරිදා දවසයි. එය උන්වහන්සේගේ උත්ථානය හා පාස්කු අභිරහස සම්බන්ධ වෙනවා. විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු විශේෂයෙන් ම පළමු ශත වර්ෂ තුන හතර තුළ අලුතින් ක්‍රිස්තියානියට පැමිණි අයවයි පුහුණු කළේ. ඔවුන් ප්‍රසාද ස්ථාපන අපේක්ෂකයින් ලෙස හඳුන්වනවා. චතාරික කාලය තුළ ඔවුන් සූදානම් කරනවා. උතුම් පාස්කු මංගල්‍යයට සූදානම් කිරීම මෙන් සක්‍රමේන්තු ලැබීම සිදුවූයේ එම පසුබිම තුළයි.
ඉරුදින ඔවුන්ගේ විශ්වාසය තුළ ජීවත්වීමේදී රෝම අධිරාජයා නීරෝ ක්‍රිස්තියානිය ඇදහූ අය මරා දැම්මා. දියෝක්ලේසියානු, අයිරේලියන් මාර්ක් ට්‍රාජන් යන අධිරාජයන් ක්‍රිස්තියානි වත්පිළිවෙත් ඇදහූවන්ට පහර දුන්නා. මරා දැම්මා, සතුන්ට ආහාර සඳහා දැම්මා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් දිවි දුන්නා. එයින් ගම්‍ය වනවා. උන්වහන්සේගේ දුක්විඳීම, මරණය හා උත්ථානය වෙන් කරන්න බැරි බව. ඒ තුනම අපේ ජීවිතයේ අප ලැබූ ජයග්‍රහණ ලෙස කතෝලික අප භාරගන්න ඕනෑ.
ප්‍රශ්නය - පාස්කුවේ සමාජ වගකීම් බැහැරවී ඇති බවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා කිතුනුවන් පෙළ ගැසිය යුත්තේ කෙසේද?
පිළිතුර - ඇත්තටම ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට පැමිණියේ අපව පාපයෙන් ගලවා ගෙන දේව රාජ්‍යය උදා කරන්නටයි. උන්වහන්සේ තම ජීවිතය පවා කල්වාරි කුරුසියේදී අප වෙනුවෙන් පූජා කළා. එනිසා කිතුනුවන් වන අපටත් ලොකු වගකීමක් පැවරෙනවා. අපි කිතුනුවන් ලෙස හඳුන්වා ගන්නේ නම් ඒ ජීවිත පරිත්‍යාගය තුළ ජීවත්වන්න ඕනෑ. උන්වහන්සේ කරන ලද උත්තුංග ජීවිත පරිත්‍යාගයත් කරන්නට බැරිවේවි. නමුත් අපේ ජීවිතයේදී ක්‍රිස්තුස් වහන්සේ දෙසූ දහම තුළ අපි ජීවත්වන්න උත්සාහ ගත යුතුයි.
උන්වහන්සේ ජීවිතය පූජා කළේ පළමුව සාධාරණත්වය විඳින්නටයි. කිතුනුවන් වන අප අපේ රට තුළ සාධාරණත්වයෙන් යුතුව ජීවත්වෙනවාද, පැවැරුණු වගකීම් හා කාර්ය භාරයන් අවංකව ඉටු කරනවාද? එම ඉටුකිරීම තුළින් පාස්කු අභිරහස ඉටුවෙනවා.
දෙවනුව එකමුතුවේ පණිවිඩයයි. එකමුතුකමට අතහිත දෙනවාද, එකමුතුකම බිඳී යන අයුරින් කටයුතු කරනවාද, එනිසා අද වගේ දවසක අපේ රටේ එකමුතුකමට දායක විය යුතුයි. අපිට පක්ෂ, ජාති කුමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අපගේ සහෝදරයාය යන අදහසිනුයි ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය පූජා කළේ.
අපේ රට වාසනාවන්ත රටක්. විවිධාකාර ජාතීන් ඉන්නවා. විවිධාකාර ආගම්වලින් පෝෂණය වෙලා තියෙනවා. ආගම් වශයෙන් බොදු, කිතුනු, හින්දු, ඉස්ලාම් අය ඉන්නවා. ජාතීන් වශයෙන් සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් අය ඉන්නවා. එසේ නම් අපි එකිනෙකාට ගෞරව කළ යුතුයි. අන් අයට අප ගරු සරු කිරීම කළ විටයි අපිට ඔවුන් ගරු සරු දක්වන්නේ. ඒකයි එකමුතුකම, සාධාරණත්වය.
එලෙසින් ම දෙවියන්ගෙන් අප ලද වරප්‍රසාදයන් බෙදා හදා ගත යුතුයි. එකිනෙකාට විවිධාකාර වූ හැකියාවන් දෙවියන්ගෙන් ලැබී තිබෙනවා. තමන්ට බෙදාගන්න නොවෙයි අන් අය සමඟ බෙදා ගන්නටයි. ඒ බෙදා ගැනීම අපේ හදවත්වල තියේ නම් අපට රටේ සාමය ඇති කරගන්න පුළුවන්. “කවුරු වුවත් ඔබ කොතැන වුවත් ඔබ මගේ සහෝදරයාය” එයයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදීත් අපට කිව්වේ. කිතුනුවන් වන අප එලෙසින් ජීවත්වන්න ඕනෑ. කටින් බතල පැළ කරලා වැඩක් වෙන්නේ නැහැ.
ප්‍රශ්නය - කිතුනුවන් වන අප පාස්කුවේ අත්දැකීම අපගේ ජීවිතවලට බද්ධ කරගන්නේ කෙසේද?
පිළිතුර - අපේ මීසම්වල චතාරිකයේ දින 40 ක වැඩසටහන් බොහෝ සංවරව පවත්වනු ලබනවා. එය ප්‍රායෝගික ක්‍රියාවලියක්. ජනතාව අධ්‍යාත්මිකව එම පිළිවෙත්වලට සම්බන්ධ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ගේ දුක් විඳීම, මරණය හා උත්ථානය යන වචන තුන නැතිව පාස්කුව ගැන කතා කරන්න බැහැ. මරණයේ ප්‍රතිඵලයක් ලෙසයි උත්ථාපනයේ විජයග්‍රහණය අත්වන්නේ.
ශුද්ධ වූ සභාව හඳුන්වා දී තිබෙනවා. මර්දන ක්‍රියා, එක්වරු ශීලය වැනි භක්ති අභ්‍යාසයන්. විශේෂයෙන් පාද නමස්කාරය පොදු ව්‍යායාමයක් වශයෙන් චතාරික කාලය තුළ සෑම සිකුරාදාවකම පවත්වනවා.
එක්වරු ශීලය මඟින් අප පෙන්නුම් කරන්නේ හුදෙක් නොකා නොබී සිටීම නොවෙයි. එතුළින් දුගී සහෝදරයන් හා සමඟ බද්ධවීමයි, එකමුතුවීමයි, එය පාස්කුවේ වැදගත් පැතිකඩක්. අපි පාස්කු අරමුදලක් පිහිටුවා දෙවියන්ගේ නාමයෙන් පරිත්‍යාග කොට එකතු කර පුද කරන්නේ දුගී සහෝදරයින් අතරේයි. කාදිනල් හිමිපාණන් මෙවර විශේෂයෙන් මහරගම පිළිකා රෝහලට පැමිණෙන රෝගීන්ගේ දෙමාපියන්ට, දුර ඈතින් එන අයට නැවැතුම් පහසුකම් සපයන්නට ස්ථානයක් ගොඩනඟන්න, සැලසුම් කරනවා. එය ධර්මදූත ක්‍රියාවක්. අර්ථාන්විත එක්වරු ශීලයක් වන්නේ එය දුගියන්ට දීමෙන් පමණයි. හුදෙක් එය මහා සිකුරාදාවටත්, අළු බදාදාවටත් සීමා වන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිත අත්දැකීමට අපි එකමුතු වෙනවා. ජීවිතවලට බද්ධ කරගන්නවා.
ප්‍රශ්නය - සැබෑ ජීවිත උත්ථානයක් සඳහා අප කළ යුත්තේ කුමක්ද?
පිළිතුර - උන්වහන්සේ මරණය පරාජය කර ලබාගත් ජයග්‍රහණයේ උත්ථානය අපේ ජීවිතවලට අපි ලබාගත යුතුමයි. දයාවේ ක්‍රියා, පරිත්‍යාගශීලීබව මර්දන ක්‍රියාවලින් එක් පියවරක් බැඟින්වත් දෙවියන් වෙතට ළඟාවන්නට ඕනෑ. හොඳම උදාහරණය කුරුසියයි. එය කිතුනුවන් වන අපට වාසනාවන්ත සලකුණක්. එය පරාජයේ ලකුණක් නොවෙයි. උන්වහන්සේ මරණයට පත්වූ බව සැබෑවයි. නමුත් එය පරාජය කර උත්ථානය අත්දකින්නේ කුරුසියක් මඟින්.
කිතුනුවන් වන අපට විවිධ කුරුස හමු වෙනවා. ජීවිත කුරුස කියන්නේ නරක පෙර නිමිත්තක් නොවෙයි. අපේ ජීවිත ලස්සන කරන පිරිසිදු කරන දෙයක් තමයි ‘ජීවිත කුරුස’ එම ජීවිත කුරුස විශ්වාසයෙන් දරාගෙන පාස්කුවට සූදානම් වෙන. ක්‍රිස්තුස් වහන්සේ දුක්විඳීම තුළින් මරණය ළඟාකර උත්ථාන වූවා සේ ම අපිත් අපේ ජීවිතවලදී මුහුණ දෙන දුක් කම්කටොළු, කරදර බාධක අබිබවා යමින් විශේෂයෙන් අපේ සහෝදරත්වය අන් අය හා සමඟ බෙදා හදා ගැනීමෙන් උත්ථානවූ ක්‍රිස්තුස් වහන්සේ වෙතට ළඟාවෙන්න ඕනෑ.
එදා පේදුරු තුමාට කිව්වේ “ඔබ කිතුනුවන් බව දැනගන්නේ ඔබ කරන ක්‍රියාවලිනුයි.” එම නිසා අපි ඉවසීම, එකමුතුකම, බෙදා ගැනීම, සමාව, පරිත්‍යාගය වැනි ගුණාංග අපේ ජීවිතවලට වපුරාගන්නට මේ චතාරිකය අවස්ථාවක් කරගන්න. අනිවාර්යයෙන් ම පාස්කු ඉරිදා ජයග්‍රහණයේ දිනයක්, උන්වහන්සේගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයක්.
ජාතියක් වශයෙන්, දේශයක් වශයෙන් සමරන්න පුළුවන්. ළඟ එන ‘සිංහල - දෙමළ අලුත් අවුරුද්ද’. එයත් ආලෝකයේ මංගල්‍යයක්. එනිසා පාස්කුවටත්, සිංහල දෙමළ අලුත් අවුරුද්දටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ‘අලුත් අවුරුද්ද’ මීන රාශියෙන් මේෂ රාශියට ළඟාවීමයි. පාස්කුව පාපයෙන් විමුක්තිය වෙත ගමන් කිරීමයි.
සාකච්ඡා කළේ වත්තල විශේෂ වාර්තාකරු
ජෝශප් පයස්