ලෝකයේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් අටදෙනකු අතේ | සිළුමිණ

ලෝකයේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් අටදෙනකු අතේ

 ලෝක ජනගහනය මේ වෙද්දී බිලියන හත ඉක්මවයි. ඉන් අඩක් එනම් බිලියන 3.6 ක ජනතාවක් දුප්පතුන්ය. එසේ තිබියදී 2016 වසරේ මුළු මහත් ලෝක ධනයෙන් වැඩි ප්‍රමාණයක් තිබුණේ බිලියනපතියන් අට දෙනකුගේ අතේය. එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පසුගිය ජනවාරියේ නිකුත් වූ අලුත්ම වාර්තාවලින් හෙළිවන්නේ ලෝක ධනයෙන් සියයට 82ක් ම ගොස් ඇත්තේ ලොව ජනගහනයෙන් සියයට එකක් පමණක් වන එම බිලියනපතියන්ගේ මල්ලට බවය. මෙලෙස ලොව සියලු ධනය සුපිරි ධනවතුන් කරා ඇදී යන වේගය කෙතරම් ද යත් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ අයුරින් ලොව ඩොලර් බිලියනපතියන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ. එලෙස වැඩි වීම කෙතරම්ද යත් සෑම දෙදිනකට වරක්ම ලොවට අලුතින් බිලියනපතියකු බිහිවන බව වාර්තා වෙයි.

ජනවාරි මස නිකුත් වූ ෆෝබ්ස් වාර්තාව පෙන්වා දෙන පරිදි මේ වෙද්දී ලෝකයේ රටවල් 72කින් බිලියනපතීහූ 2208ක් බිහිවී සිටිති. ඔක්ස්ෆෑම් වාර්තාවලට අනුව නම් එම සංඛ්‍යාව 2043කි. සංඛ්‍යාව කුමක් වුව ඔවුන් සතු මුළු ධනයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 9.1කි. එයද පසුගිය වසරට වඩා සියයට 18ක වැඩිවීමකි. එම බිලියනපතියන් අතර ඇමෙරිකානුවෝ 585 දෙනෙකි. චීන ජාතිකයෝ 373කි. මෙහිදී වඩාත් අවධානය යොමුවිය යුත්තේ එම බිලියනපතියන් අතරින් 259 දෙනෙකුම අලුතින් බිහිවූ ධනපතියන් වීමය. ඒ සියල්ලන්ම සිය ධනය උපයාගෙන ඇත්තේ මංගල ඇඳුම් නිෂ්පාදනය, කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩු සහ විද්යුත් මෝටර් රථ නිෂ්පාදනයෙනි. මේ බිලියනපතීන් අතරිනුත් ලොව ධනයෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ පුද්ගලයන් 47 දෙනකු අත බව වාර්තා වේ. ඔවුන් සතු ධනයද ලොව දුප්පතුන් සංඛ්‍යාව වන බිලියන 3.7ක ජනතාවක අත රැඳි ධනයට වඩා වැඩි ධනයකි.

මෙසේ තිබියදී පසුගිය වසර පුරා ලොව දුප්පතුන්ගේ ධනය සතයකුදු වැඩිවීමක් සිදුවී නොමැති බව ද එම වාර්තා පෙන්වා දෙයි. දුප්පතුන්ගේ වාර්ෂිකව සිදුවන වේතන වැඩිවීමේ ප්‍රතිශතය වූයේ සියයට දෙකකි. එහෙත් 2010 වසරේ සිට ලෝක බිලියනපතියන්ගේ ධනය වාර්ෂිකව සියයට 13කින් වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. එය දුප්පතුන්ගේ වේතන වැඩිවීමේ ප්‍රවණතාවට වඩා සය ගුණයක වැඩිවීමකි. මේ ධනය ඉපයීමේ වේගය කෙතරම් ද යත් බංගලාදේශයේ ඇඟලුම් සේවිකාවක සිය මුළු ජීවිත කාලය පුරා උපයන මුදල ඉපයීමට ලොව ඉහළ පෙළේ වෙළෙඳ සන්නාමයක් සහිත ඇඟළුම් නිෂ්පාදන ආයතනයක ප්‍රධාන පරිපාලන නිලධාරියකුට ගත වන්නේ සිවු දිනක් පමණි. මෙලෙස බිලියනපතියන් අතට යන මුදල් කන්දරාවෙන් ලෝකයේ අන්ත දුප්පත්කම හත්ගුණයකින් තුරන් කළ හැකි බව ද එම වාර්තා පෙන්වා දෙයි.

මේ ලිපිය ලෝක ආර්ථික තත්ත්වය සමාලෝචනය කරන්නක් නොවේ. හුදෙක් ලෝකයේ ධනය යන්නේ කොයිබටද යන්න ගැන කෙරෙන සාමාන්‍ය හැඳින්වීමකි. එසේම මේ මුදල් කන්දරාවේ හිමිකරුවන් කවුරුන්ද යන්නත් ඔවුන් එම මුදල් හරිහම්බ කරගත් අන්දම හා ඒවා වියදම් කරන ආකාරයත් ගැන පාඨකයන්ට ගෙන එන සරල විස්තරයකි.

මෙතෙක් ලොව සුපිරි බිලියනපතියා ලෙස වාර්තා වූයේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 90කි. එහෙත් මේ වෙද්දී ඔහු දෙවැනි තැනට පත් කරමින් ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පළමු තැනට පැමිණ ඇත්තේය. බෙසොස් ගේ වත්කම ඩොලර් බිලියන 112කි. ඔහු මේ ශත වර්ෂයේ බිලියනපතියා වූයේ ලොව බිලියනපතීන්ගේ ලයිස්තුවේ ප්‍රථම වරට ඩොලර් බිලියන 100ක ධනයක් උපයා ගත් පුද්ගලයා ‍ලෙස වාර්තාවක් තබමිනි.‍ ෆෝබ්ස් සඟරාව ලොව මිලියනපතියන් හඹා යෑම ආරම්භ කළ 1987 වසරෙන් පසු ඔවුන්ට හමුවූ එක් වසරකින් ලොව පළමු තැනට පත් පෙහොසතා ද මොහුය.

බෙසොස් ජීවිතය ආරම්භ කළේ 1994දී සියැට්ල්හි ගරාජයක් ආරම්භ කරමිනි. ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ උපාධිධරයකු වන ඔහු මුලදී කළ රැකියාව අත්හැර විද්යුත් මාර්ගයෙන් පොත් අලෙවි කිරීම ආරම්භ කළේය. වත්මනෙහි ‍ඔහුගේ ව්‍යාපාරයන්හි මූලස්ථානය පිහිටා ඇත්තේ සියැට්ල්හිය. ශීඝ්‍රයෙන් දියුණු වූ ඔහුගේ ව්‍යාපාරයන්හි උච්ච්තම තැනට පත්වෙමින් ඔහු පසුගිය වසරේ පමණක් ඩොලර් මිලියන 39ක මුදලක් උපයා ගැනීම වාර්තාවක් ලෙස සැලකේ. බිල් ගේට්ස් බිලියනපතියන්ගේ ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වූයේද බෙසොස් පසුගිය වසරේ උපයාගත් මේ මුදල් කන්දරාව නිසාය.

මේ බිලියනපතියා සිය බිලියන ගණනක මුදල් වියදම් කරන ආකාරය අපූරුය. අභ්‍යවකාශයේ සංචාර කෙරෙහි මොහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. ඔහු සතුව Blue Origin නමින් අභ්‍යවකාශ සමාගමක් වෙයි. එම සමාගමෙන් සිදු කෙරෙන්නේ කෙටි අභ්‍යවකාශ චාරිකා සඳහා සංචාරකයන් රැගෙන යෑමට භාවිත කළ හැකි රොකට් වැඩි දියුණු කීරීමය. ඔහුගේ මේ කැමැත්ත කෙතරම් ද යත් අත්ලන්තික් සාගරයේ ගිලී ඇති ඇපලෝ 11 යානයේ කොටස් ගොඩ ගැනී‍ම සඳහා බෙසොස් 2013 වසරේ සිට මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් යොදවයි. ඔහු සතුව විශාල වතුයායවල් මන්දිර මෙන්ම කෞතුකාගාර ද බොහෝය. මේ දිනවල ඔහු ටෙක්සාස් සිහිවටනයෙහි වසර 10000ක් පවතින අඩි 500ක් උස යෝධ ඔරලෝසුවක් තැනීමේ වැඩ කටයුතුවල නිරතව සිටී.

2013 වසරේදී ඔහු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ වොෂිංටන් පෝස්ට් පුවත්පත ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලකට මිලදී ගත්තේය. අද ලොව ඉහළම ධනවතා වුවද ඔහු ජීවත් වන්නේ කුලියට ගත් මහල් නිවාසයකය. තවමත් පාවිච්චි කරනුයේ පැරැණි ලී දොරකින් ඉතා ඉහතදී තමාම තනාගත් මේසයයි. එපමණක් නොව ඔහු සෑම ග්‍රීෂ්ම ඍතුවකදීම සිය ගොවිපොළට ගොස් එහි ඇති පැරැණි ට්‍රැක්ටර් අලුත්වැඩියාවේ යෙදෙන්නේය.

අනෙකුත් බිලියනපතියන් වන බිල් ගේට්ස් හා වොරන් බුෆේ මෙන් නොව මොහු පුණ්‍යාධාර සඳහා දෙන මුදල් ඔහු‍ගේ ධනය හා බලද්දී සීමාසහිතය.

පසුගිය වසරේ ලොව සුපිරි ධනවතුන් අතර පළමු තැන සිටියත් දැන් ලොව ධනයෙන් දෙවැනි තැනට පත්ව සිටින්නේ බිල් ගේට්ස්ය. මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් විකුණා දැමූ ඔහු සිය බිරිය සමඟ එක්ව බොහෝ පුණ්‍ය කටයුතුවල නිරතව සිටී. ලොව විශාලතම පෞද්ගලික පුණ්‍යායතනයේ නිර්මාතෘ ද ඔහුය. ලොව ජීවිත සුරැකීම හා සෞඛ්‍ය නැංවීම ඔහු‍ගේ මූලික අභිප්‍රායන්ය.

බිලියනපතියන් අතර තෙවැනි තැනට පත්ව සිටින්නේ වොරන් බුෆේය. ඩොලර් බිලියන 84ක වත්කමක් හිමි ඔහුද ඇමෙරිකානුවෙකි. ඉතා පුළුල්ව පැතිරි විශාල සමාගම් සමූහයක් ඔහු සතුය. ඔහු සතු ආයතන අතර බැටරි නිෂ්පාදන කම්හල් හා ලොවපුරා විසිරි ආපන ශාලා ජාලයකි.

බුෆේගේ ව්‍යාපාරික ඥානයේ තරම කෙතරම් ද යත් ඔහු පළමු කොටස් මිලදී ගැනීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 11දීය. ඔහු වෙනුවෙන් පළමු බදු ලිපි ගොනුවක් විවෘතවී ඇත්තේ වයස අවුරුදු 13දීය.

මේ බිලියනපතියා සිය ආදායමෙන් සියයට 99ක්ම පුණ්‍යායතන සඳහා පිරිනමා ඇත්තේය. මේ වෙද්දී ඔහු එලෙස පිරිනමා ඇති මුදල ඩොලර් බිලියන 32කි. 2010 වසරේදී බුෆේ සිය මිතුරු බිල් ගේට්ස් හා එක්ව පුණ්‍යාධාර ආයතනයක් ආරම්භ කළ අතර තම වත්කමෙන් බාගයක් එම ආයතනයට පුණ්‍යාධාර ලෙස පරිත්‍යාග කරන ලෙස අනෙකුත් බිලියනපතීන්ගෙන් ද ඉල්ලා සිටියි.

අලුත්ම වාර්තා අනුව ලොව සල්ලිකාරයන් අතරින් ‍සිවුවැනි තැන ගන්නේ බර්නාඩ් ආර්නෝල්ට් ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 72කි. ‍ඔහු පිළිබඳ ඇති විශේෂත්වය වන්නේ 2012 වසරේ සිට මේ දක්වාම යුරෝපයේ පළමු බිලියනපතියා ලෙස සිය ස්ථානය රැක ගැනීමට සමත් වීමය. ප්‍රංස ධනපති ව්‍යාපාරික බලකණුවක් වන ඔහු එරටේ ඉහළම ධනපතියාද වන්නේය. ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ වෙළෙඳ ආයතනය ඔහු සතුය. ආර්නෝල්ට් සතු සුපිරි ආපන ශාලා ජාලය හඳුන්වන්නේ ලෝකයේ අත්‍යන්ත රුචිකත්වය සපයන්නා ලෙසය.

මාර්ක් සකර්බර්ග්, ඇමෙන්සියෝ ඕටේගා, කාලෝස් හෙලු, චාල්ස් කොච්, ඩේවිඩ් කොච් සහ ලැරී එලිසන් ද මෙවර ලොව බිලියනපතියන් මුල් දස දෙනා අතරට එති. ඔවුහූ පෙර වසරේද මුල් දසදෙනා අතරට පමිණියහ.

‍ෆෝබ්ස් වාර්තා අනුව බිලියනපතියන් අතර කාන්තාවෝ 256ක් ද වෙති. ඔවුන් සතු මුළු ධනය ඩොලර් ට්‍රිලියනයකි. මේ අතරින් ලොව ධනවත්ම කාන්තාව ගැන ද සඳහන් කළ යුතුය. ඇය ඇලිස් වොල්ටන්ය. ඇමෙරිකාවේ ධනවත්ම කාන්තාව ද වන ඇගේ මුළු වත්කම ඩොලර් බිලියන 46කි. ලොව පුරා පිහිටි සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන වොල්මාර්ට් හි හිමිකාරියයි. එම වෙළෙඳ ජාලයේ නිර්මාතෘ සෑම් වොල්ටන් පියාගේ ඇවෑමෙන් ඔහුගේ එකම දියණියට ව්‍යාපාර සමූහය උරුම වූයේය. ලොව අගනා කලා කෘති එක්රැස් කිරීමට හා උසස් ගණයේ අශ්වයන් අභිජනනය සඳහා ඇය සිය මුදල් යොදවන්නීය. ඊට අමතරව ඇය සතුව ලොව අගනා කලා කෘති රැගත් කෞතුකාගාර ද වෙයි.

මීට පෙර ලොව ධනවත්ම කාන්තාව ලෙස වාර්තා වූයේ ලොව ඉහළ පෙළේ රූපලාවණ්‍ය නිෂ්පාදන ලෙස නම් දරා ඇති ලෝරියල් නිෂ්පාදන පෙළේ හිමිකාරිය වන ලිලියන් බෙට්න්කෝට්ය. වයස අවුරුදු 94ක් වූ ඇය පසුගිය වසරේ මිය යෑමත් සමඟ ඒ‍ තැන ඇලිස් ට හිමිවිය.

ලොව බිලියනපතියන් ගැන මෙලෙස වාර්තා නිකුත් කිරීම සඳහා පාදක කරගන්නේ ස්විස් බැංකු වාර්තාය. පසුගිය ජනවාරි මාසයේ නිකුත් කෙරුණු අලුත්ම ‍ඔක්ස්පෑන් වාර්තාවෙන් හෙළි වන්නේ ලෝකයේ ඇති නැති පරතරය එන්න එන්නම වැඩිවන බවය. එසේම ලෝකයේ ධනය සීඝ්‍රයෙන් තනි පුද්ගලයන් කීපදෙනකු කරා ඇදී යන බවයි. මෙම අලුත්ම වාර්තා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැති ලෝක ආර්ථික සැසියට ඉදිරිපත් කෙරිණි. එම සැසියට ලොව දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටයෝ සහභාගි වූහ.

සේමාලි කැල්ලපත

Comments