
හෝර්ටන් තැනිතලාව මත රජයන හරිත පැහැය පරයමින් දෝ ෂඩ් වර්ණ සංකලනයකින් පරිසරයම හැඩ වී ඇත. හාත්පසම රජයනුයේ බඹර “ගුමුගුමුව” පමණි. පරිසරයම අවදි වී මේ පවසනුයේ කුමක්ද?
කඳුකර වනපෙතේ ව්‍යාප්තව ඇති නානා මාදිලියේ ශාක හා මල් දතරට නෙලු මල් පූදින වාරය යනු වද බඳින මීමැස්සන්ට, බඹර මැස්සන්ට හා දඬුවැල් මැස්සන්ට කාර්ය බහුල සමයකි.
බඹරු නෙලු මල් රොන් ගෙන වනයේ අස්සක් මුල්ලක් නෑරම වද බඳිති. සෙසු පැණි වදවල ව්‍යාප්තියට සාපේක්ෂව මේ සමයේදී බඹර වද බහුලය. නෙලු කෙතරම් මනරම්ද යත් මේ නම් දෙවියන් දුන් තෑග්ගකැයි සිතෙන තරම්ය.
නෙලු බහුලව හැදෙන හෝර්ටන්තැන්න සිරිලක පියස්ස වශයෙන් හැදින්වුවද එහි වරදක් නැත. නෙලු වාරයට මුළු පරිසරයම රස ගුලාවකි. නෙලු යනු හෝර්ටන් තැන්න හා බැදුණු හුරු පුරුදු නමකි. මහඑළිතැන්නට මතක ඇති කාලයක නෙලු වසන්තය උදා වුණේ 2013 වසරේදියි. එතැන් පටන් පරිසර රසකාමීහු යළිත් වසර දොළහකට පසු හෝර්ටන්තැන්නට නෙලු වසන්තය උදාවනතුරු දින ගනිමින් සිටියහ. වනයේ යටි ස්තරය ආක්‍රමණය කරමින් ආධිපත්‍යය පතුරුවා හරින නෙලු මලක් පූදිනතුරු වර්ධනය වීමට වසර 12කට ආසන්න කාලයක් ගත වේ. වර්ධනය වීමට දිගු කාල පරාසයක් ගන්නා නෙලු ශාකය තම ජීවන චක්‍රයේ අවසන් අදියරට සමීපවත්ම ආකර්ෂණීය මල් පිපීමේ අවධිය පසු කරයි. එයම ශාකයේ අවසානය ලෙස හැඳින්විය හැකියි. පොදුවේ ගත් කල නෙලු මල් දැරිමට නම් වසර දොළහකට ආසන්න වු කාලයක් ගත කළ යුතුය.
විවිධ වර්ණයෙන් යුක්ත වු මල් හට ගන්නා නෙලු ශාක විශේෂ 300ක් පමණ ආසියාතික රටවල ව්‍යාප්තව ඇත. ඒ අතරිනුත් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ව්‍යාප්තව ඇත්තේ අපේ රට හා ඉන්දියාව ආශ්රිත කලාපයේය. අපේ රටෙන් හමුවන නෙලු විශේෂ 31 න් 26ක්ම ආවේණිකය. එක් නෙලු විශේෂයක් පමණක් රිටිගලින් වාර්තා වේ. හෝර්ටන්තැන්නට සාපේක්ෂව පට්ටිපොළ, ඔහිය, කිරිගල්පොත්ත සහ තොටුපළ කන්ද ආශ්රිත කලාපය ද නෙලු මල් යායන්හි සුන්දරත්වයෙන් පිරි ඉතිරි යයි.
නෙලු මල් පීපිමේ අවධිය සිරිලක ජෛව විවිධත්වයේ සොඳුරුතාව කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වන සමයකි. ඒ අනුව අපට යළිත් නෙලු මල් දැක ගත හැකි වන්නේ 2025 දී හෝ ඒ ආසන්නතම කාල වකවානුවකදීය.
නෙලු වාරය වසර දොළහකට වරක් උදා වුණත්, ඒ අතරේත් ඉඳ හිට පූදින නෙලු මල්ද වෙයි. විශේෂත්වය වෙන්නේ නෙලු වාරයට එක වර සියලු නෙලු විශේෂයන් මල් බර වීමයි. මේ ද එවැනි නෙලු වාරයකි. යළිත් දැක ගන්නට නම් තවත් වසර 7ක් බලා සිටිය යුතුය. මේ අවාරයේ පිපී හිනැහෙන නෙලු වාරයකදී පරිසරයේ සහ සතා සිවුපාවාගේ බැඳීම කෙබඳුදැයි ඌවේ පැරැණි ගැමියෙක් මෙසේ විස්තර කළේය.
“මේ නෙලු මල් පූදින වාරෙට ඕසෙට බඹරු. අපේ ගම් තුලානේ බොහෝමයක් ගස් වල අතු අග්ගිසි බඹර වදවලින් බර වෙනවා. ඒ හැම වදයක්ම පිරෙන්නේ නෙලු මලේ පැණියෙන්. පංකාදු පැණි ටික ඕං. ඔන්න ඉතින් ටික දොහක් යද්දින් මල් වරලා නෙලු ඇට පීදිලා, මෝරලා බිමට වැටෙන සන්දියේදී බලන්න එපැයි වළි කුකුළෝ, හබන් කුකුළෝ, මයිල ගෝයෝ, නීල ගොයි වායේ කුරුල්ලෝ ඕසෙට එහෙ කොන
මේ කොන හක්කලන් කරන අපූරුව. නෙලු ඇටවලට මේ කුරුල්ලො එතරම්ම මනාපයි ”
නෙලු වාරයේදී වළි කුකුලා නමට සරිලන අයුරින්ම වළියට අර අදියි. මන්ද යත් පමණ ඉක්මවා නෙලු ඇට බුදීමෙන් මත්වීමය. බමන හිසින් චණ්ඩීන් හා සමව වේලාව අවේලාව නොතකා සැමත සරද්දී කළුකුස්සන් වැනි වු ගොදුරු පක්ෂීන්ට පහසු ගොදුරු බවට පත් වෙති.
ඉදින් මෙවර මඟ හැරුණොත් යළිත් නෙළු දැක ගත හැක්කේ තවත් වසර හතකිනි.
සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික
සේයාරූ - රෝහිත ගුණවර්ධන