
ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජන කොටස්හි නිවාස අවශ්‍යතාව සපුරා-ලීම අරමුණු කොට අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මැතිතුමන් නිවාස ඉදිකිරීම්, පළාත් පාලන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපත කළ අතර, එමඟින් අපේක්ෂා කළේ, එතෙක් ජාතික නිවාස දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලද නිවාස සංවර්ධන කාර්යභාරය වඩාත් ඵලදායිව හා ව්‍යාප්තව සමාජගත කර-ලීමයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමට ප්‍රථම පැවති ‘ජාතික නිවාස දෙපාර්තමේන්තුව’ බොහෝ දුරට සිදු කළේ අඩු-ආදායම්ලාභීන් හා මධ්‍ය-ආදායම්ලාභි සීමිත ජනකොටසගේ නිවාස අවශ්‍යතාව පූර්ණ රාජ්‍ය දායකත්වයෙන් ඉටු කර-ලීමයි. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ ප්‍රේමදාස මහතා එයට වඩා පුළුල් සමාජ මෙහෙවරක් ඉෂ්ට කිරීම උදෙසා ‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය’ ස්ථාපිත කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳ ප්‍රමුඛතම මතක සටහනක් ප්‍රථමයෙන් සටහන් වනුයේ නැති-බැරි ජනකොටසක් වෙනුවෙන් යාපහුව බඩල්ගම බිහි වූ උදා ගම ඇසුරෙනි. එය සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සඳහන් කළ හැකි වේ. දුගී-දුප්පතුන් සඳහා මෙතෙක් නිශ්චිතව නොපැවතුණු වඩාත් ඵලදායි හා ප්‍රායෝගික නිවාස සංවර්ධන වැඩසටහනක් මේ ‘උදා ගම්මාන’ වැඩපිළිවෙළ මඟින් ආරම්භ විය. පසු කලක දිවයින පුරා ‘නිවාස ලක්ෂයක් ඉදි කර-ලීමේ ජාතික නිවාස වැඩපිළිවෙළ’ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලැබුවේ එදා යාපහුවේ උදා ගමෙන් ලැබූ අත්දැකීම් පදනම්කොටය. 1983 වසරේ අවසන් කාලපරිච්ඡේදය වන තෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ලක්ෂයේ සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, එහි සාර්ථකත්වය හේතුවෙන් ඉදි වූ නිවාස ප්‍රමාණය ඉලක්කයද අබිබවමින් නිවාස එක් ලක්ෂ පනස් තුන් දහස දක්වා වැඩී-ගියේය. එයින් පසු ‘නිවාස දස ලක්ෂයේ වැඩසටහන’ ආරම්භ කළ අතර, පසුව ඒ වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලාංකික ජන සමාජයේ නිවාසකරණයේ නියුතු සියලු පාර්ශ්වයන්ගේ උනන්දුව උද්යෝගය සහ අවධානය වැඩි වැඩියෙන් යොමු වීම හේතුවෙන් නිවාසකරණයේ නියුතු සියලු ආයතනික පාර්ශ්ව ඒකාබද්ධ ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළකට යොමු වීමේ අවශ්‍යතාව පැනනැඟිණි. එය ‘පවුල් ලක්ෂ 15කට නිවාස පහසුකම් සැපයීමේ ජාතික නිවාස වැඩපිළිවෙළේ’ ආරම්භයයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරුණු ‘නිවාස පහළොස් ලක්ෂයේ වැඩපිළිවෙළ’ මඟින් නිවාස සංවර්ධනයේ නියුතු ක්‍ෂේත්‍රයේ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ වී නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ වඩාත් ඵලදායි අයුරින් ක්‍රියාවට නංවනු ලැබීය.
ප්‍රාදේශිය ගම් උදා, වැඩපිළිවෙළ හඳුන්වාදීමත්, එය දිවයින පුරා සාර්ථකව ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉටු කළ තවත් වැදගත් සංවර්ධන කාර්යයකි.
උදාගම් ව්‍යාපාරය වඩාත් ජනතාවට සමීප වූ සිදු වීමක් ලෙස වාර්ෂික ‘ගම් උදාව ප්‍රදර්ශනය’ හඳුන්වාදිය හැකි වේ. වරෙක සීමිත පාර්ශ්වයක් විසින් මෙය හුදු රාජ්‍ය අරමුදල් නාස්තියක් ලෙස හඳුන්වාදෙනු ලැබුවද, ගම් උදාව ප්‍රදර්ශනයෙන් සිදු කරනු ලැබුවේ නිවාස සංවර්ධනය ඇතුළු රට තුළ සිදු කෙරෙන විවිධ සංවර්ධන කාර්ය පිළිබඳ ඈත පිටිසර ජනතාවට ප්‍රදර්ශනාත්මකව දැකබලාගැනීමට අවස්ථාව සලසාදීමයි. එයටත් වඩා මෙහිදී අගය කළ යුත්තේ එදා ලෝකයේ නව තාක්ෂණ ජයග්‍රහණ ප්‍රදර්ශනාත්මකව ගම් උදාව ප්‍රදර්ශනයෙන් දැකබලාගැනිමට අවස්ථාව සලසාදීමයි.
එමෙන්ම ගම් උදාව ප්‍රදර්ශන භූමිභාගය ප්‍රදේශයට අත්‍යවශ්‍ය සංවර්ධන අවශ්‍යතා ඉටු කරන ආකාරයෙන් සැලසුම් විය. නිදසුනක් ලෙස පල්ලෙකැලේ ගම් උදා ප්‍රදර්ශන භූමිය පසුකාලීනව මධ්‍යම පළාතේ පරිපාලන ගොඩනැඟිලි සංකිර්ණය බවට පත් වීමත්, කඹුරුපිටිය ප්‍රදර්ශන භූමිය ප්‍රදර්ශනයෙන් පසු ප්‍රදේශයට අත්‍යවශ්‍ය වූ ආරෝග්‍යශාලා සංකීර්ණයක් බවට පත් වීමත්, මිහින්තලා ප්‍රදර්ශන භූමිය පසුව රජරට විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකාශයට පත් වීමත් පෙන්නුම් කළ හැකි වේ.
අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සංවර්ධන ක්‍රියාපිළිවෙත රාජ්‍ය මූල්‍ය දායකත්වයන් සිදු කිරීමට සමගාමිව රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ගැටලුවක්ව පැවති, දුගී-දුප්පතුන් සඳහා නිවාසකරණය වෙනුවෙන් දායකත්වයක් දුන් ‘සෙවණ’ අරමුදල් සංකල්පය බිහි වූයේද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංවර්ධන ක්‍රියාදාමයට සමගාමීවය. සෙවණ අරමුදලට පසුකලෙක දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් දායක වීමෙන් දිවයින පුරා දහස් සංඛ්‍යාත දුප්පත් ජනතාවට නිවාස සම්පාදනය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හැකිවිය. එයට අමතරව ශ්‍රී දළදා මැඳුරට රන් වියනක් පූජා කිරීමත්, ටවර් හා එල්ෆින්ස්ටන් රඟහල් පිළිසකර කිරීමත්, ආසියාකරයේ ප්‍රථම විදුලි ආලෝක ධාරාවෙන් යුත් ඛෙත්තාරම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රඩාංගණය නිර්මාණය වීමත්, සෙවණ අරමුදල මඟින් සිදු වූ අතිශය වැදගත් කාර්ය කිහිපයකි.
අසූව දශකයේ අගභාගයේදී ව්‍යාපෘති පහළොස් දහසේ වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නැංවූ අතර, එය පසුකලක ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ වඩාත් ප්‍රායෝගික හා ඵලදායි සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස හඳුනාගනු ලැබිණි.
ඕනෑම සංවර්ධන කටයුත්තක තිරසර භාවය රඳා පවත්නේ ඒ හා සම්බන්ධයෙන් සිදු කරන පසු-විපරම තුළයි. ඒ අනුව යමින් ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමන් උදාගම් ව්‍යාපාරය මඟින් ප්‍රථමවරට සංවර්ධන පසු-විපරම් වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර, එය ‘උදාගම් ජංගම සේවාව’ ලෙස හඳුන්වාදෙනු ලැබිණි. දින දෙකක් තුළ පැවැත්වෙන ජංගම සේවාවට ගමේ සියලු ජනකොටස් වෙත ජීවිත කාලයක් මුහුණදුන් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම මේ ජංගම සේවා මෙහෙවරේ සුවිශේෂ ලක්ෂණයයි. මෙහි සාර්ථක අත්දැකීම් පදනම් කොට පසුකලක විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන මෙන්ම ජනපති ජංගම සේවාව දක්වා මෙම වැඩපිළිවෙළ විහිදගොස් තිබේ.
ගමේ ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගම තුළින්ම ආරම්භ කිරීමට මුල පුරනු ලැබුවේ, ජාතික නිවාස සංවර්ධනඅධිකාරිය දායකත්වයෙන් ඉදි වූ ‘ආදර්ශ ගම්මාන’ මුල්කොටය. ඒ අනුව ආර් ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමන් විසින් ගමේ ආර්ථිකය ගම්වැසි තරුණ ශක්තියෙන් ශත්තිමත් කර-ලීම උදෙසා ගම මුල් කොට දිවයින පුරා ‘ඇඟලුම් කම්හල් 200ක්’ ඉදිකිරීමේ වැඩපිළිවෙළ දියත් කරනු ලැබීය. එහි සමාරම්භක අවස්ථාව සටහන් වනුයේද යාපහුවේ පිහිටුවනු ලැබූ ප්‍රථම ආදර්ශ ගම්මානය ආශ්‍රිතවය. මේ අතර නගරයේ අඩු-ආදායම් සහ අවම-ආදායම් ලාභීන් පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් වූ යුගයක පර්චස් කිහිපයක ඉඩම් කොටසක මූලික යටිතල පහසුකම් සහිත නිවෙසක් ප්‍රජා දායකත්වයෙන්ම ඉදි කර-ලීමේ ‘නාගරික නිවාස සංවර්ධන වැඩසටහන’ සාර්ථකව කොළඹ නගරය මුල් කොටගත් සෙසු නාගරික ප්‍රදේශවල ක්‍රියාත්මක විය. මෙහි ප්‍රථම පියවර ලෙස එදා කැලණි පාලම යට කීර කොටුවක් ආශ්‍රිතව දුෂ්කර දිවිපෙවෙතක් ගත කළ පිරිසට පිරිනැමුණු ‘නවගම්පුර’ ජනාවාසය හඳූන්වා දිය හැකි වේ.
ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමන්ගෙන් අනතුරුව ජාතික නිවාස වැඩසටහනට දායකත්වය දෙමින් කටයුතු කළ සියලු ඇමැතිවරුද කවර දේශපාලනික මතිමතාන්තර දැරුවද, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමාජගත කළ සහභාගිත්ව සංකල්පයෙන් බැහැර කොට එය වඩාත් ශක්තිමත් කරමින් තත්කාලීන සමාජ අවශ්‍යතා සපුරා-ලමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන-යමින් ශක්තිමත් කිරීමට දායක වූහ.
2015 වසර සමඟ ප්‍රතිනිර්මාණය වෙමින් යළි උදා වූ ‘උදා ගම්’ ව්‍යාපාරය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පුරෝගාමිත්වයෙන් වඩාත් ප්‍රායෝගිකව හා ඵලදායි ජනාවාස සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් ජාතික නිවාස වැඩසටහනට ජයග්‍රහණ රැසක් එක් කර-ලීමට හැකියාව ලැබිණි. මෙතෙක් මෙම ජනාවාස සංවර්ධන වැඩසටහන හුදෙක් ග්‍රාමිය ප්‍රදේශවලට පමණක් සීමාව පැවතියද, පසුගිය දෙවසරකට ආසන්න කාලයක් තුළ උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට සිය නිවාස අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා වඩාත් සාර්ථක ප්‍රායෝගික සංවර්ධන වැඩසටහනක් බවට වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන වැඩසටහන දායක කරගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අදහසක් පෙරදැරිකොට ක්‍රියාත්මක කළ ‘ග්‍රාමශක්ති’ සංකල්පය යටතේ ගමේ ආර්ථිකය හා සමාජීය මට්ටම වර්ධනය කිරිම උදෙසා විවිධ වැඩසටහන් මේ ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ක්‍රියාවට නැංවේ.
මේ සියලු ක්‍රියාකාරකම් මඟින් 2015 වසරේ සිට වර්තමානය දක්වා ආදර්ශ ගම්මාන 600ක ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ මඟින් නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් නිවාසලාභීන්ගේ අයිතියට පත් කරනු ලැබු ආදර්ශ ගම්මාන ප්‍රමාණය 50කි.
ලක්විජය සාගර පලන්සූරිය සභාපති,
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය