
“ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා.....වරෙල්ලා වරෙල්ලා වැල්ලේ පදිමු රං ඔංචිල්ලා....” සිංහලයාගේ ජනක්‍රීඩා කරළියට නැංවෙන අලුත් අවුරුදු උදාවට තව ඇත්තේ නොබෝ දිනකි. මේ වන විට ටිකෙන් ටික අලුත් අවුරුදු සිරිය රට පුරා පැතිරෙද්දි ගම්මැද්දේ පමණක් නොව නගරයේද මේ නව අවුරුදු සංක්‍රාන්තිය දෝතින් වැළඳගැනීමට කවුරුත් සූදානම් වෙති. කොහෝ නාදයෙන් ගම්මැද්ද පිබිදෙද්දී එරබදු මලින් මුළු පරිසරයම ඒකාලෝක වන්නේ වසරකින් අනතුරුව එළැඹෙන සිංහල අවුරුදු අරුණැල්ලෙන් ගත් සිත් පුබුදුවා ලන්නටය. පුංචි ළමා ළපටීන් පමණක් නොව සිය ජීවිතයේ සැදෑ සමය විඳින්නද්ද සිය ජීවිතයේ බොහෝ වූ දුක් කම්කටොලු මොහොතකට අමතක කරමින් තම ජීවිතය තවත් දිනකින් අලුත් කර ගන්නේද උදාවෙන මේ අවුරුද්දේය.
තකිට දොං දොං - තකිට දොං දොං
අපිට අරන් කැවුම් කොකිස් නැන්දා එනවා
දොං තරිකිට දොං දොං
අවුරුද්දයි රබාන දැන් හරි - හරි සද්දයි
තකිට දොං දොං - තකිට දොං
අවුරුද්ද පිළිගන්නට රටම සැරසෙද්දි සිත් පිනවන රබන් සුරල් දකුණු පුරවරයෙන් පසුගිය දිනක වැයෙන්නට වූයේ ජීවිතයේ සැදෑ සමය ගත කරන අයගේ අපූරු අවුරුදු උලෙළකිනි. අවුරුද්දේ සැබෑ අරුත මොහොතකට මතු කළ ඒ අවුරුදු උලෙළ අපේ නෙත ගැටුණේ දකුණු ලකේ ගෝණපීනුවල ග්‍රාම සේවා නිලධාරි වසමෙනි. ළමයින්ට නොව තරුණයින්ට නොව වැඩිහිටියන්ට නොව ජීවිතයේ සෑදෑ සමය ගෙවමින් පසුවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වූ මේ අවුරුදු උලෙළ සංවිධානය කර තිබුණේ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් මහතාගේ සංකල්පයකට අනුව දකුණු පළාත් සභා කාර්යාලයයි. එදා හැරමිටි වාරුවෙන් පැමිණි බොහෝ වැඩිහිටියන් සිය ජීවිතයේ එක් මොහොතක් දුබලබව සිතින් කටුගා හැරියේ වත්මන් තාරුණ්‍යයට කළ නොහැකි බොහෝ දේ තවමත් ඔවුනට කළ හැකි බව පසක් කරමිනි.
දෑතින් තාලයට රබන් සුරල් පද වයන්නට පමණක් නොව රබාන මත සිට දෙපයින් රබන් සුරල් පද වයන්නට, වේදිකාව මත සිය තාරුණයය යළිත් මතුකරමින් නවීන ගී පද තාලයට තාරුණ්‍යය අභිබවා ගිය රංගනයක යෙදෙන්නට මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැකිවූ ආකාරය අපූරුය.
“ මගේ වයස අවුරුදු 64 යි. අපි වයස්ගත වුණාට තවමත් හිතින් තරුණයි. ඒත් අපේ මේ හැකියාවන් පෙන්වන්න අපිට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ අවුරුදු උත්සවයක් අපි වෙනුවෙන්ම සංවිධානය වීම අපිට ලොකු ආඩම්බරයක්. මම මගේ තරුණ කාලයේ විවිධ රඟපෑම් කරලා තියෙනවා. අදටත් ඒ හැකියාව තියෙනවා. වයසට ගියත් ජීවිතයේ එකම දවසක් අපි ආසයි අපේම අය එක්ක විනෝදවෙලා සිංදු කියලා නටන්න....ගිය අවුරුද්දෙත් අපි මේ වගේම මේ අවුරුදු උත්සවයේදි විනෝද වෙලා නැටුවා. දකුණු පළාත් මහ ඇමැතිතුමාටත් මේක සංවිධානය කරපු අයටත් ගොඩාක් පිං..” රාණි මංජරී පැවසුවාය. බොහෝමයක් අවුරුදු උත්සවයන්හිදී වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙන්වන්නේ රබන් සුරල් ගැසීම හෝ පොල් ගෑමේ නැතිනම් පොල් අතු විවීමේ වැඩිහිටියන්ට පමණක් වෙන්වූ ක්‍රීඩාය. එහෙත් ගෝණපීනුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් වෙන්වූ මේ අපූරු අවුරුදු උත්සවයේදි ඔවුහු බැලුම් පිම්බුවෝය. ඇති පදමට ඔංචිලි පැද්දෝ ය. විවිධ ඇඳුමින් සැරසී විකට ඇඳුම් තරගවලට පෙනී සිටියේය. තවත් පිරිසක් අලියට ඇස තබද්දී පිරිසක් කොලු ගැටවුන් මෙන් කණා මුට්ටිය බිඳින්නට, හැන්දේ දෙහි ගෙඩිය තබා දිව යන්නට එක්වූහ. මේ හැම දසුනකම අපූරු ජීවයක් කැන්දු අතර සතුට පිරි කදුළක් දෙනෙතට එක් කළේය. සිය දූ දරුවන්ගේ ළමා ළපටීන් බැලීමේ කාර්යයෙන් මෙන්ම නිවෙස්හි හුදකලා බවින් මිදුණු ඔවුහු එදා ඇති පදමට විනෝද වූයේ තවත් යළිත් එවන් දවසක් ප්‍රාර්ථනා කරමිනි.
“මම අද මනමාලියෙකුට ඇන්දා.” අවුරුදු 86 ක් වයසැති රොසලින් අම්මා නැවතත් මනමාලියක වී සිටියාය.
“මම නැවත මනමාලියක් වෙලා අවුරුදු 35 ක් විතර ආපස්සට ගියා. මගේ මහත්තයා ඇඳේ. දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇඳේ. දැල් වියලා තමයි මම ජීවත් වෙන්නේ. අද මේ හැම දුකක්ම තියලා ආවා ටිකක් විනෝද වෙන්න හිතාගෙන. ගිය වතාවේ මම සුදු ගවුම ඇඳලා ඉස්කෝලේ යන ළමයෙක් වුණා. විකට ඇඳුම් තරගයෙන් එදත් දිනුවා. අදත් දිනනවා.”
වයස්ගත මේ මවුපියවරුන්ගේ සිය තරුණ අවදිය කෙසේ ගත කරන්නට ඇත්දැයි ඔවුන් එදින ගත කළ ප්‍රීතිමත් විලාසය දුටුවිට අපට සිත්විය. සිය විශ්‍රාම වැටුපෙන් මිලදී මසාගත් හැට්ටයෙන් හා අලංකාර රෙද්දෙන් සැරසී හිසේ මලක් ගසාගත් මේ මවුවරුන් ද සරමෙන් හා කමිසයෙන් සැරසුණු පියවරුන් ද සවස් යාමයේ අවුරුදු කුමර කුමරිය වන්නට පෙරුම් පිරුවේ දකුණු පළාතේ වසරේ සුන්දරිය හෝ සුන්දරයා වීමේ අභිලාශයෙනි.“ මම ගිය අවුරුද්දේත් ගෝණපීනුවල අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිට ඉඳලා දෙවැනියා වුණා.” ඒ. කේ. එම්. මුණසිංහ මාතාව පැවසුවාය. හැටනව හැවිරිදි වුවත් ඇය වෙතින් තවමත් තාරුණ්‍ය රත් අවුරුදු කුමාරිට ඉන්නවා. වෙනත් අවුරුදු උත්සවවල අපිට කවදාවත් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි දැන් ගෙවල්වලට වෙලා ඉන්නේ හරීම පාළුවෙන්. මෙතැන ඉන්න ගොඩාක් අය අද තනිවෙලා. දරුවෝ රස්සාවල. උදේ ඉඳන් රෑ වෙනකම් අපි ඉන්නේ පාළුවෙන්. දවසක් හරි මේ වගේ විනෝද වුණහම ඒ සතුට සෑහෙන කාලයක් අපේ ජීවිතවල රැඳෙනවා..” ඇය පවසන්නීය. දකුණු පළාත් සභාව සිදුකළ මේ කර්තව්‍ය සඳහා විශාල වැඩිහිටි පිරිසක් සහභාගී වූයේ දැඩි අවුරස්මිය පවා නොසලකාය. මහ ඇමැති ශාන් විජයලාල් මහතාගේ සංකල්පයක් අනුව වසරක් පාසා ක්‍රියාත්මක වන මේ වැඩිහිටි අවුරුදු උලෙළ දකුණු පළාතම නියෝජනය කරමින් පවත්වන්නකි.
“අපේ දකුණු පළාතේ මෙවැනි අවුදුරු උත්සව තුනක් සෑම වසරකම පැවැත්වෙනවා. ඒ අම්බලන්ගොඩ, ගෝණපීනුවල හා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනේම. මේ වතාවේ වැඩිහිටියන් 500 කට වැඩි පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපේ අරමුණ මේ අම්මලා තාත්තලාගේ මානසික සුවය ඇති කිරීමයි.” ගෝණපීනුවල ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ මහත්මිය පවසයි.
අපේ හෙළ සංස්කෘතියෙන් අභාවයට යන ඔළිඳ කෙළි, පංච දැමීම්, වළකජු ගැසිම් වැනි බොහෝ ක්‍රීඩාද එදා මේ අවුරුදු උත්සවයට එක්වූයේ ඔවුන්ගේ අතීත මතක අලුත් කරමිනි. “ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ සමාජයේ අත්දැකීම් බහුලව උරුම කරගත් පිරිසක්. ඒ අය සිය ජීවිතයේ මැදි වයසේ රටට ගොඩාක් සේවය කළ පිරිසක්. සමාජයට යුතුකම් ඉටුකළ මේ පිරිසට අපි සැලකිය යුතුයි. අද බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගත කරන්නේ ඒකාකාරී ජීවිතයක්. අපේ අරමුණත් මෙවැනි අවුරුදු උත්සව මඟින් මේ අයට හොඳ මානසික මට්ටමක් ළඟා කර දීමයි” අවුරුදු උලෙළේ සංකල්පය ඉදිරිපත් කළ මහ ඇමැති ශාන් විජයලාල් මහතා පැවසීය.
ගෝණපීනුවල පැවැති මේ වැඩිහිටි අවුරුදු උත්සවයට දායක වූ පිරිස බොහෝමයකි. අවුරුද්දට පෙර වැඩිහිටි මව්පියවරුන් අතින් වැයුණු ඒ රබන් සුරල් නාදය තවත් වසරක් පුරාවටම මේ වැඩිහිටියන්ගේ ලෝකය නැවුම් කරනු ඇත්තේය. ජීවිතයේ සෑදෑ කල ඔවුන් ලබා ගත් මේ වින්දනය තවත් කාලයක් ඔවුන් සැපවත් කරන්නට සමත් වන්නේ ය.
සුභාෂිණි ජයරත්න
සේයාරූ - විමල් කරුණාතිලක