විදර්ශනා භාවනාව | Page 2 | සිළුමිණ

විදර්ශනා භාවනාව

 බුදුරජාණන් වහන්සේ විසින් ලොවට ප්‍රකට කළ ධර්මයන් අතර විදර්ශනා භාවනාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ජීවිතයේ සහ ලෝකයේ යථා පැවැත්ම අවබෝධ කළ හැක්කේ විදර්ශනාව දියුණු කිරීමෙනි. සමත කර්මස්ථානයන් මගින් දියුණු කළ හැකි ඉහළම ස්තරය නම් නේවසඤ්ඤානාසඤ්ඤා නම් අරූපී ධ්‍යානය ඉපදවීම ය. භවාග්‍රය වශයෙන් එය හඳුන්වනු ලබ යි. එහෙත් එය සසර කෙළවර නොවේ. එම බ‍්‍රහ්ම ලෝකයේ උපන් කල්හි මහා කල්ප ගණනාවක් එහි වාසය කළ හැකි වූ නමුදු එම ධ්‍යාන බලය අවසන් වූ කල්හි නැවත කාම ලෝකයට පැමිණේ. එහි යම් රැකවරණයක් පැවතිය ද එය සදාකාලික නොවේ. බ‍්‍රහ්ම ලෝකයෙන් චුතවන සත්ත්වයා එක් වරම සතර අපායෙහි ප්‍රතිසන්ධි නොලබ යි. කාම ලෝකයේ සුගති භවයක ම ප්‍රතිසන්ධිය ලබයි. එහි දී තව දුරටත් කුසලයන් නොවඩා ප්‍රමාද වුවහොත් එයින් චුතව සතර අපායාදි දුක්ඛිත ස්ථානයන්හි ඉපිද නැවත සසරේ දුකට බඳුන් වේ. එහෙත් යමෙක් විදර්ශනා භාවනාව දියුණු කොට නාම රූප ධර්මයන් නුවණින් අවබෝධ කොට පිළිවෙළින් මාර්ග ඵල උපදවා අර්හත්වයට පත් වූයේ නම් එයින් භවය කෙළවර වේ. නැවත කිසිදු භවයක ප්‍රතිසන්ධිය නොලබ යි. නිවීමට පත් වේ. විදර්ශනාවේ ආවසාන ඵලය එය යි.

විදර්ශනා වැඩීම

සියලු දුකින් මිදීම සඳහා ඇති එක ම මාර්ගය විදර්ශනා වැඩීම ය. විදර්ශනා භාවනාව දියුණු කිරීම සඳහා ඒ පිළිබඳ දැනීමක් තිබිය යුතු ය. විදර්ශනා වැඩීම සඳහා තියුණු ඥානයක් අවශ්‍ය වේ. පෙටකෝපදේසයෙහි විදර්ශනා භාවනාව විග්‍රහ කරනුයේ පහත පරිද්දෙනි. ‘‘එහි විපස්සනා කවර යත්, ස්කන්ධයන්හි හෝ ධාතූන්හි ආයතනයන්හි - නාමරූපයෙහි - පටිච්චසමුප්පාදයෙහි - පටිච්චසමුප්පන්න ධර්මයන්හි - දුක්ඛසත්‍යයෙහි - සමුදයසත්‍යයෙහි - නිරොධසත්‍යයෙහි මාර්ගසත්‍යයෙහි - කුශලාකුශල ධර්මයන්හි - සාවද්‍යානවද්‍යධර්මයන්හි - කෘෂ්ණශුක්ල (සුදුකළු) ධර්මයන්හි - සෙවිතව්‍යාසෙවිතව්‍යයෙහි හෝ යථාභූත ව යම් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් වීමංසායෙක් පරිවීමංසායෙක් ගැනීමක් වෙසෙසින් ගැනීමක් හාත්පසින් ගැනීමක් සිතින් හාත්පසින් සිතීමක් තුලනයක් පරීක්‍ෂාවක්, ඥානයක් විද්‍යාවක් නුවණැසක් බුද්ධියක් මෙධායෙක් ප්‍රඥාවක් අවභාසයක් ආලොකයෙක් ආහායෙක්, ප්‍රහායෙක් ප්‍රඥාභංගයෙක් ප්‍රඥා නමැති හීයෙක් ධම්මවිචයසම්බොධ්‍යංගයෙක් සම්මාදිට්ඨියක් මාර්ගාඕගයෙක් වේ ද මේ විපස්සනා යි.’’ ‘‘කවර කරුණෙකින් මේ විපස්සනා යි කියනු ලැබේ ද යත්. (අනිත්‍යාදි විසින්) විවිධාකාරයෙන් දකී නුයි එකරුණෙන් මේ විපස්සනා යි කියනු ලැබේ.’’

අනිත්‍ය ධර්ම

විදර්ශනා වශයෙන් කිනම් ධර්මයන් අනිත්‍යාදි වශයෙන් වීමංසනය කළ යුතු ද යන්න මෙහි මනාව විග්‍රහ කොට ඇත. එක් එක් ධර්මයක් ගෙන අනිත්‍යයි අනිත්‍යයි ආදි වශයෙන් කටපාඩම් කිරීම විදර්ශනාව නොවන බව දත යුතු ය. විදර්ශනා වඩන යෝගාවචරයාට තමා වඩන හෙවත් දියුණු කරන ධර්මයන් පිළිබඳ මනා වැටහීමක් පැවතිම අත්‍යාවශ්‍යය යි. ඉහත දක්වන ලද ස්කන්ධ, ධාතු, ආයතන, නාමරූප, පටිච්චසමුප්පාද, ආර්ය සත්‍යය ආදි ධර්මයන්ගේ සියුම් ලක්‍ෂණයන් දත හැකි තියුණු නුවණක් තිබිය යුතු ය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු ස්කන්ධ පඤ්චකය යි. මෙහි රූප යනු පඨවි, ආපො, තෙජො, වායො යන මහා භූත සතර සහ උපාදාය රූප විසිහතර ඇතුළු අටවිසි රූපයන් ය. ඒ ඒ රූපයන් ලක්‍ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන යන සතර ආකාරයෙන් ම දත යුතු ය. රූපය යනු කවරේද යන්න ධර්මය තුළ කරුණු සහිතව දක්වා ඇත.

‘‘රුප්පතීති ඛො භික්‍ඛවෙ තස්මා රූපන්ති වුච්චති’’ යනුවෙන් ඉතා ගැඹුරු ස්වභාවයකින් රූපය විග්‍රහ කොට ඇත. රුප්පනය වන බැවින් රූප නම් වේ. රුප්පති යන වචනය විග්‍රහ කොට තිබෙනුයේ ‘‘ කුප්පති, ඝට්ටීයති, පීලියති’’ යනුවෙනි. කිපේ, විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබයි, විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළෙයි යනු එහි අර්ථය යි. එය තවදුරටත් මෙසේ විග්‍රහ කළ හැකිය. විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබන්නේ හෝ පෙළන්නේ කෙසේ ද? සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති ආදි වශයෙනි. එනම්, සීතලෙන් හා උෂ්ණයෙන් පහර ලැබෙයි. සීතල අධික අවස්ථාවේ ශරීරය වෙනස් වන අයුරු අත්දැකීමෙන් දැක ඇත.

චෛතසික ධර්ම

මෙහි දී සිදු වූයේ පවත්නා රූපය විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලැබ පවත්නා ස්වරූපය වෙනත් අයුරකට බඳුන් වීමකි. මේ එක් එක් රූපයන් හා එහි ස්වභාවයන් පිළිබඳ මනා වැටහීමක් විදර්ශනා වඩන යෝගාවචරයාට පැවතිය යුතු ය. රූපයන් පිළිබඳ පමණක් නොව වේදනා, සංඥා ආදි ධර්මයන් පිළිබඳ වැටහීම ද පැවතිය යුතු ය. වේදනා යනු චෛතසික ධර්මයකි. එය සබ්බචිත්ත සාධාරණ චෛතසිකය කි. එනම් එකසිය විසි එකක් (121) වූ හෝ අසූනවයක් (89) වූ සියලු සිත්වල යෙදේ. සංඥා චෛතසිකය ද එසේ ම සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයකි. සංඛාර ස්කන්ධය යනු චෛතසික පණස් දෙකයි. විඤ්ඤාණ යනු සිත යි. මේ එක් එක් කරුණක් පිළිබඳ මනා වැටහීමක් ඇති වීමට නම් අභිධර්මය පිළිබඳ ඥානය පැවතිය යුතු ය. යෝගාවචරයින් අභිධර්මය දැන සිටිය යුතු බව සැරියුත් තෙරුන් වහන්සේ පෙන්වා දී ඇත.

‘‘ආරඤ්ඤකෙනාවුසො භික්‍ඛුනා අභිධම්මේ අභිවිනයෙ යොගො කරණීයො’’ යනුවෙන් එය දක්වා ඇත. මේ අයුරින් ම ඉන්ද්‍රිය, බොජ්ඣංග, මාර්ගාංග, පටිච්චසමුප්පාද වැනි ධර්ම පිළිබඳ ඥානය පැවතිය යුතු ය. එසේම පිළිවෙළින් ඒ ඒ විදර්ශනා ඥානයන් ලැබෙන අයුරු සහ ඒවා සඳහා කර්මස්ථානයන් වැඩිය යුතු අයුරු, ඉන්ද්‍රියයන් සමව පවත්නා ගන්නා ආකාරය දැන සිටිය යුතු ය. ඒ සඳහා ඥානය මෙන්ම සුදුසු කාලයෙහි ගුරුවරුන් ආශ්‍රයෙන් ඥානය වර්ධනය කොටගත යුතු ය. විදර්ශනා ප්‍රඥාව ක්‍රමයෙන් දියුණු වන ආකාරය පිළිබඳ අවබෝධයක් පැවතිය යුතු ය. මෙසේ විදර්ශනා භාවනාව මනා අවබෝධයකින් යුක්තව ම කළ යුතු ය. නුතනයේ බොහෝ පිරිසකට විදර්ශනා භාවනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බව පෙනේ. එයට මූලික හේතුව වශයෙන් දැක්විය යුත්තේ අභිධර්ම ඥානය මද කම ය. බොහෝ පිරිස් සූත්‍ර දේශනා ඉගෙනීමට උනන්දුවක් දැක්වුව ද අභිධර්මයට එතරම් ප්‍රිය බවක් නොදක්ව යි. මිනිසුන් තුළ ධර්ම ඥානය හීන වීමට හේතුව අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම ය. අසූහාරදහසක් ධර්මස්කන්ධයෙන් හතළිස් දෙදහසක්ම අභිධර්ම පිටකය යි. අභිධර්මය ප්‍රතික්ෂේප කරන පුද්ගලයාට මේ වටිනා ධර්මස්කන්ධයන් මඟහැරී යයි. එවිට ඔහුට ධර්මය නිසිලෙස විග්‍රහ කළ නොහැකි ය. විදර්ශනා වඩන යෝගාවචරයාට නාමරූප ධර්මයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය යුතුම ය. ඒ සඳහා අභිධර්ම ඥානය අවැසිය.

තම උත්සාහය

සසරින් එතෙර වීමේ අවංක අදහසින් යමෙක් කටයුතු කරන්නේ නම් ඔහුට මෙම ගැඹුරු ධර්මයන් ඉගෙනීමට ද උත්සහය පැවතිය යුතු ය. එවැනි දෙයක් හැදැරීමට සිත උත්සහවත් නොවන්නේ නම් ඒ සඳහා වීර්යයෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතු ය. සසරින් එතෙර වීම යන කරුණ තමා වෙනුවෙන් වෙනත් අයෙකුට සිදුකළ නොහැකි ය. එය තම උත්සාහයෙන් ම සිදු කළ යුතු ය. අන් අයට කළ හැකි වන්නේ මාර්ගය පෙන්වා දීම පමණි. නිවන සඳහා දේශිත මාර්ගය පුරුදු නොකොට තමා වෙනත් මාර්ගයකින් එය අවබෝධ කළ හැකි යැයි සිතන්නේ නම් එය මුලාවක් බව දත යුතු ය. සිතේ ස්වභාවය නම් විවිධ ස්වරූපයෙන් වඤ්චාකොට පුද්ගලයා නොමඟට යොමු කිරීම ය. සිතේ මෙම ලක්‍ෂණයන් මනාව වටහාගෙන එයට හසු නොවී වීර්යයෙන් කටයුතු කොට ධර්මාවබෝධය සඳහා අවැසි ධර්මයන් දියුණු කිරීමට උත්සහවත් විය යුතු ය.

එක් භවයකින් ජීවිතය නිමා නොවී නැවත නැවත භවයෙහි ප්‍රතිසන්ධිය ලබනුයේ ලෝකයේ යථාර්ථය අවබෝධ කොට අවිද්‍යාව ප්‍රහාණය නොකළ හෙයිනි. අවිද්‍යාව සහ තණ්හා යන අංග දෙක පටිච්චසමුප්පාදයෙහි මූල දෙක වශයෙන් පෙර ලිපිවල දක්වන ලදි. මෙම ධර්මයන් ප්‍රහාණය කිරීමට නම් ධර්මතාවයන්ගේ සියුම් ලක්‍ෂණයන් තම විදර්ශනා ඥානයෙන් දැකගත යුතු ය. ලෝකයේ නිස්සාරත්වය, සිතේ ස්වභාවය, ජීවිතය හා එහි ස්වරූපයන්, සසර ආදි මේ සියලු තැන්හි ස්වභාවයන් සියුම්ව විමසීමට බදුන් කළ යුතු ය. සෑම මොහොතක ම අවධියෙන් සිටිය යුතු ය. ජීවිතය සෑම මොහොතකම එක ම ආකාරයකින් පවත්නේ නොවේ. ප්‍රතිසන්ධිය ලැබූ මොහොතේ සිට මරණය දක්වා ජීවිතය විවිධ වෙනස් වීම්වලට බඳුන් වේ. සසර පුරා අප විසින් අප්‍රමාණ ජීවිත ප්‍රමාණයක් පසුකොට පැමිණ ඇත. ඒ ඒ භවයන්හි දියුණු කළ ගුණධර්මයන්ට අනුරූපීව චිත්ත සන්තානය සකස් වී ඇත. අප මෙහිදි විග්‍රහ කරනුයේ ධර්මාවබෝධයට අදාළ පරිසරය ගොඩනැගීම පිළිබඳව ය. චිත්ත දමනය, ධර්ම ඥානය, ධර්මය විග්‍රහ කිරීමේ හැකියාව, ස්මරණය, සියුම් ධර්ම කරුණු වැටහෙන ආකාරය ආදි සියල්ල පූර්ව ජීවිත හා බැඳි පවති. නිවන අවබෝධ කිරීම එක් භවයක උත්සහයකින් කළ නොහැකි ය. ඒ සඳහා දියුණු කළයුතු ධර්මතාවයන් බොහෝ ඇත. නිවන් අවබෝධය සඳහා උපතින්ම ඒ සඳහා සුදුසු පුද්ගලයකු විය යුතු ය. එම ප්‍රතිසන්ධිය අපගේ කැමැත්තට අනුව සිදු වන්නක් නොව කර්ම විපාකයන්ගේ ප්‍රතිඵලයකි. කරුණු මෙසේ හෙයින් ජීවිතයේ අප විසින් ඒ සඳහා අවැසි ධර්මයන් දියුණු කොට තිබිය යුතු ය.

ධර්මයේ ඉගැන්වෙන ගැඹුරු වූ සියුම් කරුණු පිළිබඳ මනා ඥානයක් උපදවා විදර්ශනාව වැඩීම සඳහා උත්සහවත් විය යුතු ය. ඒ සඳහා යමෙක් වීර්යයෙන් කටයුතු කරන්නේ නම් තමා මේ ජීවිතයේ කිනම් ස්වභාවයකින් සිටින්නේ ද යන්න පිළිබඳ තමාට ම වැටහීමක් අති වේ. ඒ සඳහා උත්සහයෙන් කටයුතු කළ යුතු ය.

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
071-9861535

Comments