ඇයි අම්මේ ඇස්වල කඳුළු...! | සිළුමිණ

ඇයි අම්මේ ඇස්වල කඳුළු...!

චී අම්මේ ලජ්ජා නැද්ද ඔහොම පාච්චල් කොරගන්න.. අපි හිඟන්නොයැ... අපි හම්බ කරන් කන්නෙ ඩාදිය මාන්සියෙං ඉතිං කොහොමද හිඟන්නො වෙන්නෙ..

වත්ත මැද්දට ගොස් පොල් අහුල අහුලා තාප්ප අයිනට විසිකරන චන්ද්‍රලතාට හිතට මහා දුකක් වගේ ම පුදුමයක් දැනෙයි. ගල් ගෙඩියක් උඩ වාඩිවී, දුව චන්ද්‍රානි තේ බෝතලය රැගෙන එනතෙක් ඇය කල්පනාවේ නිමග්න වෙන්නේ බලාගත් අත බලාගත්වන ම ය.

එදා තම පුත්‍රයා ජයේන්ද්‍ර රත්නපුර වළව්වේ සමන්ති බේබි සමඟ පැනලා ගිය ආරංචියට තුවක්කු මානාගෙන ඇවිත් වාහනයෙන් බැස්ස විල්ප්‍රඩ් හාමුගේ රූපකාය ඇයට මැවී පෙනෙයි...!

ඔහු තම නිවෙසට ආවේ රා බී මත්වුණු නාලාගිරි හස්තියකු වගේ ය. කරුණාදාසත් එක්ක ඔහු වාහනයෙන් බැස ගේ පැත්තට එන හැටි ජනේලයෙන් බලා සිටිය තම සැමියා ජයතිස්ස, පස්සා දොරෙන් පැන දිව්වේ හරියට වෙඩි කෑ ඌරකු වගේ ය. එතකොට මොර තියාගෙන ආපු විල්ප්‍රඩ් හාමු ඉස්සරහට තමා ගියේ කවුරු වගේද? මර බයේ ගැහෙන මුවදෙනක් වගේ ය. ඊළඟට ජයේන්ද්‍රව මරණවා කියාගෙන ගුගුරාගෙන ගෙයි උළුවස්ස පැන්න විල්ප්‍රඩ් හාමුට... නාලාගිරි ඇතා වාගේ කිපීගෙන ආ විල්ප්‍රඩ් හාමුට... තමා ජප කළ වචන කීපය හරියට අලින්ව දපනය දමන මන්තරයක් වගේ ය! ඒ මන්තරය මතක් වෙලා චන්ද්‍රලතාට හිනා යයි. ඇගේ හිනා හඬ හුළ‍ඟේ පාවෙලා යද්දී ඇයට තමුන්ගේ ම උපමාවල් ගැන හිනායයි.

නාලාගිරි ඇත්තු, වෙඩි කෑ ඌරෝ, බයේ ගැහෙන මුව දෙන්නු ඒ ඔක්කොම ඉන්නේ මේ මනුස්ස වාසයේ ම ය. පුදුමය ඒක ය...! ඉස්කෝලේ ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා ඉගෙනගත්තු තමන්ට ඉහළට ඉගෙන ගන්න ඉඩ නොලැබුණේ පවුලේ දුප්පත්කම නිසා නම් නොවේ ම ය.

මේ පොල්වත්තෙ කංකානම් වැඩ කෙරූ ජයතිස්සගේ තදබල මනමාලකම හින්දාම ය...! ඒක මනමාලකමක් නොව පිස්සුවකි. හත් අවුරුද්දක් දැලි නාවර පෙරාගෙන පබාවතිය ලබාගන්නට දැලිවළං හෝදාපු කුස රජ්ජුරුවෝ වගේ ජයතිස්ස මොනතරම් වැරවීරියක් ගත්තාදැ යි හැමෝම දනිති.

“මොකෙක්ද බං උඹලගෙ දෝණිට බැල්ම දාන අර කාලගෝලයා...? ඌ හොඳයි කාලගෝල ජවුසම නටන්න.. උඹලගෙ දෝණි ඉටිරූපෙ වගේ.. ගැළපෙන්නෙ නෑ බං.. ඕක අතෑරලා දාපං..!”

මාමා අම්මලාට එසේ තරවටු කළා මතක ය.

කොහොම නමුත් අවුරුදු තුනක් විතර එක දිගටම මේ මඟුල් හටන කෙරීගෙන යද්දී ජයතිස්ස අන්තිමට තමුන්ගේ හාම්පුතාගේ මස්සිනා වන විල්ප්‍රඩ් හාමුගේ සහාය ලබාගත්තේ බැරිම තැන ය. අන්තිමට විල්ප්‍රඩ් හාමු මැදිහත්වීම නිසා ජයතිස්ස කංකානමට තම දෝණි චන්ද්‍රලතාව කාරබැඳ දෙන්නට චන්ද්‍රලතාගේ දෙමාපියෝ එකඟවූහ. චාමෙට මංගල්ලය කෙරුණේ ද විල්ප්‍රඩ් හාමුගේ ම වියදමින් ය. බලාගෙන ගියාම ඒක මහා පුදුමාකාර කතාන්දරයකි! ආයෙමත් චන්ද්‍රලතාට හිනා යයි. ගතේ මහන්සිය විඩාව ඕනෑතරම් ය. ඒත් ඒ අතරේත් තමාට හිනා යයි. ඒ මොන අරුමයක්ද?

“අම්මේ... ඇයි අම්මේ තනියම හිනාවෙන්නේ... පිස්සුද?”

චන්ද්‍රලතා දුවගේ හඬින් වහාම අවදි වෙයි. ඒ ගැස්සෙන ගමන් ම ය. දුව අම්මාගේ අල්ලට හකුරු කැටයක් දී කෝප්පයට තේ කහට ටික වක්කරන ගමන් අම්මා ළඟින් ම වාඩිවෙයි.

“අයියා පණිවිඩයක් එවලා තියෙනවලු අම්මේ...”

“හැබෑට.. අනේ දෙයියොම රස්සා කොරන්ට මයෙ කොල්ලා!”

“ඇයි කොල්ලා විතරක්? සමන්ති හාමු...ට දේවාරස්සාව අකැපද ආ!” චන්දානි ඔලොක්කුවට වගේ අසයි.

“හාමුලා..? හාමුලා නම් කෝම හරි ආරස්සා වෙයි.. අපේ හිඟන්නො තමා... අපි ආරස්සා කොරන්න ඕනෑ..”

“චී අම්මේ ලජ්ජා නැද්ද ඔහොම පාච්චල් කොරගන්න.. අපි හිඟන්නොයැ... අපි හම්බ කරන් කන්නෙ ඩාදිය මාන්සියෙං ඉතිං කොහොමද හිඟන්නො වෙන්නෙ..”

දුවගේ සැර කතාවලට අම්මා වාද කරන්නේ නැත. ඒ ඒවා බොරු නොවන බව ඇය දන්නා හින්දා ය.

“තාත්තා කොරටු කඩේ මුදලාලිට පණිවිඩේ දීලා තියෙනවා අපේ ගෙදර ඒවි කියලා කොයිවෙලාවක හරි..!”

“හත් දෙයියනේ..!”

දැන් චන්ද්‍රලතාට තේ ඕනැත් නැත. හකුරු ඕනැත් නැත.

“මගෙ කකුලුත් වෙව්ලනවා බං...”

“ඇයි අම්මේ හාමුලාට බයටද...”

“නෑ බං.. අයියා දකින සතුටට..!”

“අම්මා දැන් ඔය පොල්එකතු කළා ඇති. අපි රැපියෙල්ට කියමු පොල් ටික මඩුවට දාන්න කියලා.”

චන්ද්‍රලතා දුවගේ උරිස්සට අත තබාගෙන පොල්වත්තෙන් එගොඩවී ගෙදරට යයි. කුරුල්ලන්ගේ කාක්කන්ගේ කරච්චලය අතරින් ඇයට වෙනම හඬක් ඇසෙයි. ඒ හඬ හරිම ගුප්ත හඬකි. ඒ අතීතයේ හඬ ය..!

මොනතරම් රහසිගත දේවල් ඒ අතීත හඬ ඔස්සේ යටපත් වෙලා තියෙනවා ද? ඒ හඬ මේ තරම් ආදරණීය දුව ළඟදීවත් අවදි කරන්නේ කොහොමද?

විල්ප්‍රඩ් රත්නසේකර හාමුලා, ඩග්ලස් ගොඩලියද්ද හාමුලා, නිර්මලා මැණිකේලා, සුදු මැණිකේ හාමුලා... සියල්ල ඡායාවල් ය. අමතක නොවී මතුවෙවී හිත බියගන්වන ඡායාවල් ය.

දැන් ශ්‍රීමාල් බේබි විශ්වවිද්‍යාලයේ ය. සමන්ති බේබි විශ්වවිද්‍යාලයට සමත් වෙලාත් එහි යැව්වේ නැතිවාට... අගහිඟකම් නිසා විශ්වවිද්‍යාලයට නොගිහින් රස්සාවකට ගිය තම ජයේන්ද්‍ර පුතා සමඟ ඇය ප්‍රේම සම්බන්ධයකට පැටලී ඔහු සමඟ විවාහ වෙලා ය.

තම දියණිය චන්ද්‍රානි ද මේ වසරේ සාමාන්‍ය පෙළ ලියයි. ඇය ඉතා දක්ෂ සිසුවියක් බව ගුරුවරු හැමෝම අනාවැකි පහළ කරමින් ඇත. මොනතරම් කාලගෝල පෙනුමක් තිබුණත් ජයතිස්ස පුදුමාකාර ගුණයහපත් ආදරණීය මනුස්සයෙකි. ගොඩලියද්ද හාමුලාගේ සකල සේසතම බලාකියාගන්නා ප්‍රධානම විශ්වාසවන්තයා ය. චන්ද්‍රලතාගේ ඇස්වල කඳුළු පිරිලා ය.

“ඇයි අම්මේ මේ ඇස්වල කඳුළු..?” දුව අසයි.

අම්මලා බොහොමයක ගේ ඇස්වල කඳුළු කියවන්නට බොහොමයක් දූලාට කවදාවත්ම බැරි ය. සමහරවිට අම්මලා වළපල්ලට යනකම්ම... ඒ චන්ද්‍රලතා හිතන හැටිය...!

“අම්මේ සමන්ති බේබි හාමු... එතකොට මෙහේ නවතීවිද එක රැයක්වත්... අපි එයාලට නිදාගන්න දෙන්නේ.. අපේ ඇඳ ද අම්මේ...?”

දුව අහන ප්‍රශ්නවලට චන්ද්‍රලතාට කට උත්තර නැත.

“අම්මේ එතකොට ගොඩලියද්ද හාමු ඇවිත් සමන්ති හාමුව අරගෙන යන එකක් නැහැනේ..? නැත්නම් විල්ප්‍රඩ් හාමුවත් ඒවිද...?”

ආයෙත් ඇය අහයි.

මේවාට දෙන උත්තර කොහෙන් කාගෙන් ගන්නදැයි අහිංසක චන්ද්‍රලතා දන්නේ නැත.

*****

“මයෙ මැණිකේ... කෝ මේ පොඩි පුතා.. දැන් එයාගෙ ගමන් බිමන් වැඩියි නේද.. මං බලාගෙන... දැන් එයාගෙ හැසිරීමත් ටිකක් නෙමේ හොඳටම අමුතුයි!”

විල්ප්‍රඩ් හාමු ආලින්ද හාන්සිපුටුවේ ස්ථානගත වී කෑගසන්නේ පුරුද්දට ය.

“ඇයි මහත්තයා.. ඔයාට කියලනේ පුතා ගියේ.. අර සර්ලගෙ ගෙදර නේ... යනවය කිව්වේ.”

“ඒ වුණාට මට තේරෙන විදියට නම් එයා ඕනැවට වඩා ඕනෑ නැති අය ආස්සරේ කරනවා වගේ.”

“දැන් අයියත් නැති නිසා එයාට පාළු සාංකාව ඇති මහත්තයා කොල්ලෙක් නේ. පුංචි ළමයෙක් නෙමේනේ..”

“පුංචි ළමයෙක් නොවන හින්දා තමා තවත් ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ මැණිකෙ...එයා මට හවස කියපු කතාවකින් මගේ හිත රිදුණා.. කොච්චර වුණත් ලොකු පුතා කවදාවත් ඒ විදිහට හිත නරක්වෙන කතා මට කියලා නෑ..”

“පුතා වික්‍රම සර්ලගෙ ගෙදර ගියත් යන්නෙ කරුණාදාස එක්ක හරි කුමාර ළමයා එක්ක හරි නේද? ඉතින් කොහොමද මහත්තයා නුසුදුසු ආස්සරවලට වැටෙන්නෙ. ඉස්කෝලෙදි ඉතින් කවුරු කවුරු ආස්සරේ කරනවද කියලා අපිට පේන්නෙ නෑනේ..”

නිර්මලා මැණිකේ එහෙම කියද්දී විල්ප්‍රඩ් හාමුගේ හිත ආයෙත් දෙගිඩියාවකට ගමන් කරයි. රත්නපුරේ මලින්ද පුතාවත් ජයමාල් පුතාට මොනවා හරි කියලා ඔළුව නරක් කරලාද? කරුණාදාස...? නිතරම පුතා පාසල් යන්නේත් එන්නේත් කරුණාදාස එක්ක ය. ඒත් කරුණාදාස සුවච කීකරු සේවකයෙක් ය. එසේ සිතද්දී එකවර ම නොන්ඩි ගසමින් ආවේ ජන්තුවා ය.

“හාපෝ.. දෙයියනේ අන්න අපේ පුංචි බේබි හාමු.. ගමේ මනුස්සයෙක් එක්ක හරිහරියට වලියක් දාගෙන...!”

ලබන සතියට

Comments