උණ්ඩයට කලින් ඊතලය පෙරට | Page 5 | සිළුමිණ

උණ්ඩයට කලින් ඊතලය පෙරට

හිටිහාමි රටේරාලගේ ප්‍රතිමාව

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ විවිධ මතවාද ඇති අතර, එය වසර දෙදහස් ගණනාවක් ඉක්මවා යන බවට බොහෝ විද්වත්හු පිළිගනිති. ඒ ඉතිහාසය වැව, දාගැබ, ගම, පන්සල ආශ්‍රිතව ගොඩ නැගුණු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, කැරලි, කෝලාහල, ආක්‍රමණ ආදියෙන් පිරී පවතී. 1505න් ඇරඹෙන බටහිර ආක්‍රමණ ද 1815දී සමස්ත දිවයින ම ඉංග්‍රීසි පාලනයට නතුවීමෙන් පසු ලංකාවට ඇතිවූ තත්ත්වය ද විවාද සම්පන්න ය. කෙසේ වෙතත් ස්වාධීන ජාතියක් ලෙස යළි ගොඩ නැගීමට සිංහලයෝ අවස්ථා දෙකකදී අරගලකාරී මාවත තෝරාගත්හ. ඒ 1818 සහ 1848 වර්ෂවලදී ය. මේ අතරින් 1818 ඌව වෙල්ලස්ස පෙදෙසින් ඇරැඹෙන කැරැල්ල බොහෝ දෙනා හඳුන්වන්නේ සිංහලේ සැබෑ ජාතික සටන ලෙස ය. මේ වන විට වසර 200 සපිරෙන මේ අරගලයේ තීරණාත්මක තැන් සොයා සිළුමිණ කළ සංචාරයක සටහන් මෙලෙසින් අරඹමු.

සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මේ වන විට සිටි මානසික තත්ත්වය ගැන කනගාටුදායක වාර්තාවක් ද හමු වේ. ඒ අනුව විල්සන්ගේ භාර්යාව වූ 24 හැවිරිදි සොපියා ඊට මාස දෙකකට කලින් බදුල්ලේදී මැලේරියා රෝගයෙන් කලුරිය කර තිබිණි.

ඒ දේවාලයෙන් දැන් ඉතිරි ව ඇත්තේ පාදම පමණි. යෝධ බෝ ගස් සෙවණක ශේෂ ව පවතින එහිද කවුරුන් හෝ පහන් දල්වන බව පෙනෙන්නට තිබේ. එයින් ඔබ්බට වන්නට දෙපළු වී ගිය පොල් ගෙඩියකි. තාප්ප වැනි බිත්ති තිබෙන්නට ඇතැයි සිතිය හැකි සලකුණු, ගල් කණු කිහිපයක්, සහ විශාල වෘක්ෂ හැරෙන්නට භූමිය ම තෘණ වැල් රජයන්නට ප‍ටන් ගෙන ය.

“මේ ගහේ තමයි, විල්සන්ගේ බෙල්ල ගහලා තියලා තියෙන්නේ” ජයවර්ධනගේ ‍හඬත් සමඟ ම අපගේ ඇස් යෝධ හැම ගස වෙත දිව ගියේ ය. සියවස් කිහිපයක් පැරණි යැයි සිතිය හැකි මේ ගස මුළු අහස් තලය ම වසාගෙන සිටී. එක් අතකට එය අපට අමතක අපේ අතීත‍ය රැක ගන්නට වැරවීරිය දරන මුර සෙබළකු මෙනි.

මේ,මෙරට සැබෑ නිදහස් සටන ලෙස සැලකෙන 1818 වෙල්ලස්ස මහ සටනේ ආරම්භයට මුල්වූ ගම් පියස වන ඊතණ වත්ත ග්‍රාමයේ පත්තිනි දේවාල බිම ය.

1815 වර්ෂයේදී ඉංග්‍රීසිහු උඩ‍රට ගිවිසුම මගින් මෙරට පාලන බලය සම්පූර්ණ යෙන් ම නතු කරගත්හ. ගිවිසුමේ කොන්දේසි ගණනාවක් තිබුණු අතර එය ආරක්ෂා කිරීම සිංහලයෝ ඉංග්‍රීසීන්ගෙන් බලාපොරොත්තු වූහ. එහෙත් ටික කලක් යත්ම ඉංග්‍රීසීන්ගේ හැසිරීම යහපත් වුයේ නැත. තමන් ඉංග්‍රීසීන්ට රැවටුණු බව දේශීය ජන නායකයන්ට අවබෝධ විය‍‍. එමෙන්ම එතෙක් කල් තමනට ලැබෙමින් තිබූ වරප්‍රසාදවලට පහර වදින බව රදල ප්‍රධානීන්ට ද අවබෝධ විය. විශේෂයෙන් ම දළදා වහන්සේට සිංහල රජවරුන්ගෙන් ලැබුණු ගෞරවය හා පුද සත්කාර ඉංග්‍රීසීන්ගෙන් නො ලැබෙන බව දුටු උඩරට ජනයා අතිශයින් කම්පාවට පත්විය. මේ සමඟ ම තවත් සිදුවීමක් විය. එතෙක් වෙල්ලස්සේ දිසාව ලෙස කටයුතු කළ මිල්ලව දිසාව වෙනුවට ආදායම් එකතු කිරීමේ වගකීමට විජාතිකයකු ‍පත් කිරීම සිදුවිණි. ඔහුගේ පරිපාලන ක්‍රමය ස්වදේශීය ජනතාවට යහපත් ලෙස බලපෑවේ නැත.

මේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අප සමඟ එක්වූ ටැම්ගොඩ රජමහ විහාරාධිපති ඊතණවත්තේ අත්ථදස්සි නා හිමියෝ,

“පොතපතේ සහ ජනතාව අතර තියෙන මතවල හැටියට ‍වෙල්ලස්සේ දිසාව ලෙස හිටපු මිල්ලවරාල පළපුරුදු නිලධාරියෙක්. එතුමා නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලය දක්වා අනුශාසකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. මේ අලුත් මුහන්දිරම් පත්කරපුවා ම ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන හිටපු දිසාව වන මිල්ලව ඉංග්‍රීසීන්ට පැමිණිලි කරලා තියෙනවා. නමුත් බදුල්ලේ හිටපු ඒජන්ත ඒවා ගණන් ගත්තේ නැහැ. ඉතින් පැමිණිලි කරලත් ගණන් ගත්තේ නැතිවම ජනතාවට කලකිරීමක් ඇතිවෙලා තියෙනවා”

කලකිරීමට පත්ව සිටි බූටෑවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, කොහු කුඹුරේ රටේ රාල, ඉපලෝගම මොහොට්ටාල ආදීන් දිරිමත් කිරීමට මල්වතු මහා විහාරයේ සිටි ඉහගම රතනපාල නම් හිමි නමක් කටයුතු කළේය.

ඒ සමඟම සිංහලේ රජකමට උරුමකම් කියන කුමාරයකු සෙවීමට උන්වහන්සේ කටයුතු ක‍ළහ. මේ සියල්ල සූදානම් වත් ම ඒ සඳහා වෙල්ලස්සේ ජනතාවගේ සහය ද ලැබෙන බව පෙනෙ‍න්නට තිබිණි. ඇපලෝගම මෙ‍හොට්ටාල විසින් තල්පතක ලියා යවන ලද පණිවිඩයක් ඉංග්‍රීසීන්ට අසුවූයේ මේ අතර ය.

“කල්පනා කර කර සිටීමට දැන් කාලයක් නැත. ඉංග්‍රීසීන් ඔවුන්ගේ බලය තහවුරු කරගත් පසුව නම් කිසිවක් කර කියා ගන්නට අපට බැරි‍ වේවි. වහාම ක්‍රියාත්මක වෙමු” යන්න එම තල්පතේ සඳහන් ව තිබූ බව වාර්තා වේ. මේ තල්පත දුටු ඉංග්‍රීසීහු කෝපාවිෂ්ට වී කිවුලේ ගෙදර මොහොට්ටාලගේ නිවෙස ගිනිබත් කර තිබේ.

මේ සමඟ ම රජකම උරුම කුමාරයා හෙවත් දොරේසාමි නමැත්තා කොටගම ඉනාවැල්ල ප්‍රදේශයේ සිටින බවට ආරංචි විය. ඔහු ඇල්ලීම සඳහා නව විජාතික මුහන්දිරම්වරයා පැමිණියේ ය. අපේක්ෂිත කාර්ය කිරීමටත් කලියෙන් විජාතික මුහන්දිරම්වරයා හෙවත් හජ්ජි මුහන්දිරම් අල්ලා ගැනීමට බූටෑවේ රටේ රාල ඇතුළු පිරිස කටයුතු කළහ. පසුව ඔහු පින්නවැල්ල ප්‍රදේශයේ රදවාගන්න ලද අතර, අභිනව රජු ව‍ශයෙන් තේරී පත්වූ දොරේසාමි කුමරා ඉදිරියට පත්කර දඬුවම් ලබාදුණි.

හජ්ජි මුහන්දිරම් ඇතුළු පිරිස බූටෑවේ ‍‍රටේ රාල විසින් අල්ලාගන්නා ලද බව ආරංචි වූ බදුල්ලේ උප ඒජන්ත සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් ඉනාවැල්ලට පැමිණියේ ය. ඔහු සමඟ ලෙප්ටිනන් නිව්මාන් යටතේ සාජන්ට්වරු දෙදෙනකු සහ හේවායන් 20ක් පමණ සිට ඇත. ප්‍රදේශයේ කිසිවකු නොවූ හෙයින් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් බූටෑව රටේරාලගේ නිවෙස කරා ගියේ ය. පරිවර්තකයකු සහ ස්වදේශීය භ‍ටයන් දෙදෙනකු සමඟ ගොස් ඔහු බූටෑවේ රටේ රාල හමුවිය.

“මිත්‍රයකු වශයෙන් ඔබ හමුවීමට අපි සූදානම් නො වෙමු. එමෙන් ම සතුරකු ලෙස ඔබට මුහුණ දීමට අපි බිය නොවෙමු” යැයි බූටෑවේ රටේරාල විසින් විල්සන්ට එහිදී පැවසූ බව ඩග්ලස් විල්සන් විසින් පසුව එවන ලද ලිපියක සඳහන් ව තිබී ඇත. එදින එම ගැටලුව නිරාකරණය කරගැනීමට නො හැකිවූ අතර පසුදින ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විල්සන් එම ප්‍රදේශයට ගිය ද එම උත්සාහය ද වැරදිණි. මෙහිදී ආපසු යන විල්සන්ට සිංහල සටන්කාමීන් විසින් පහර දෙන්නට විය. එහිදී ද ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විල්සන් නතර විය. එහෙත් එහිද කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නො ලැබිණි. තම ගමනෙහි සාර්ථකත්වයක් නො ලබා ආපසු හැරුණු විල්සන් මත්පැන් ගැනීමට සැරසුණු බව 'කන්ද උඩරට සටන්' කෘතියේ ජෝර්ජ් පවෙල් සදහන් කරයි.

“ඒ ගමනේදී සිය පිරිස ඉදිරියට යැවූ විල්සන් මත්පැන් වඩියක් ගැනීම සඳහා මඳක් මඟ රැදී දෑතත් මුහුණත් සෝදා ගනින්දී උඩරැටියෝ සිය ගණනක් ඔහු අබියසට පැමිණියහ. ඔවුන් සමඟ යළිත් කතාබහක යෙදීමේ තැතක් දැරූ විල්සන් සාකච්ඡා පිණිස ඉදිරියට එන්නැ යි ඔවුනට සන් කළේ ය. එහෙත් ඉදිරියට එනු වෙනුවට ඔවුන් කළේ විල්සන්ගේ හිස සිදුරු කරගෙන යනසේ හී දෙකක් විදීම ය.' මෙහිදී ප්‍රහාරයට ලක්වූ හේවායකු පසුදින මරණය‍ට පත්වී තිබේ. සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මේ වන විට සිටි මානසික තත්ත්වය ගැන කනගාටුදායක වාර්තාවක් ද හමුවේ. ඒ අනුව විල්සන්ගේ භාර්යාව වූ 24 හැවිරිදි සොපියා ඊට මාස දෙකකට කලින් බදුල්ලේදී මැලේරියා රෝගයෙන් කලුරිය කර තිබිණි. ඒ නිසා ඔහු කිසි දෙයක් ගැන බරපතළ ලෙස නො තකන අවුල් වූ මානසික තත්ත්වයක සිටින්නට ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.

විල්සන්ට ඊතල පහර වදින විට ලෙප්ටිනන් නිව්මාන් සහ ඉතිරි පිරිස සිටියේ තරමක් ඈතට වන්නට ය. එයින් ප්‍රයෝජන ගත් සටන්කාමීහු විල්සන්ගේ දේහය පානාවල නම් ස්ථානයේ පිහිටි රජමාලිගයට ගෙන ගොස් රජු‍ට පෙන්වීය. පසුදින ඒ අසට ම ඇති ඊතණවත්ත පත්තිනි දේවාලයට ගොස්, මරාදැමුණු විල්සන්ගේ වෙන්කරගත් හිස දේවාල භූමියේ හැම ගසේ තබා පත්තිනි දෙවියන් වෙත බාරයක් ඔප්පු කළ බව සඳහන්වේ. මේ සිදුවීම සියැසින් දුටු පුද්ගලයෙක් විය. ඒ බදුල්ලේ දොන් බස්තියන් කොමසාරිස් අප්පුහාමි නමැත්තා ය. හෙතෙම විල්සන්ගේ භාෂා පරිවර්තකයා බවට විශ්වාස කෙරේ. සිදුවීමෙන් ටික දිනකට පසු ඔහු ස්වදේශීය සෙබළුන්ගේ අත්තඩංගුවේ සිට පැන ගියේ ය. සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ගේ සිදුවීම සම්බන්දයෙන් මතවාද ගණනාවක් ප්‍රදේශයේ පැතිරී පවතී. මේ පිළිබඳ අදහස් දක්වන ජනශ්‍රැති ගවේෂක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පැතුම් ජයසුන්දර මහතා.

“විල්සන් ඒජන්තට වැදුණු ඊතල පාර විද්දේ හිටිහාමි රටේරාල කියලයි විශ්වාස කරන්නේ. හැබැයි හිස ක‍ෙඳන් වෙන් කිරීම කරන්නේ වැදි ජනතාව විසින්. ඒකාලේ ඔවුන්ගේ නායකයා තමා අරුමා කියන්නේ ඔහු තමයි මෙතන්දී බාරය ඔප්පු කරන්න මැදිහත් වෙන්නේ”

ප්‍රදේශයේ තත්ත්වය දැනගත් ආණ්ඩුකාර‍ ඩොයිලි කපිතාන් ජෝර්ජ් ය‍‍‍ටතේ මඩකලපුවේ සිට වෙල්ලස්සට සේනා මෙහෙයවීමට කටයුතු කළේ ය. ඒ අනුව මැක්ඩොනල්ඩ් ය‍ටතේ ද, කපිතාන් රිවි යටතේ ද වෙල්ලස්සට සේනා පැමිණි අතර ඊතණවත්ත, ඌෂන්වැල්ල යන ගම් දෙක ම සම්පූර්ණයෙන් ම දවා අළු කරන ලදී. හරක බාන, දේපොළ පමණක් නොව ධාන්‍ය පවා ගිනි තබා විනාශ කරන ලදී. ඒ කැරලිකරුවන්ගේ සිත් කැලඹිල්ලට පත්කිරීමට ය. ඉංග්‍රීසි හමුදාව ආපසු ප්‍රතිප්‍රහාර දැක්වීමට දැක්වූ උනන්දුව නිසා ජනතාව සහ කැරලිකරුවන් බියවූ බව පසුව රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ලියන ලද ලිපියක සඳහන් වේ.

“බොහෝ මුලාදෑනිහු ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද සිය කැමැත්තෙන් ම මහ අධිකාරම් වෙත ආවාහු. ඔවුන්ට සමාව ලබාදී බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටින්නේ ය.”

ලබන සතියට

විල්සන් කුලුනටත් අපලයි

‍ඡායාරූප - සමන්ත වීරසිරි

Comments