ස්පර්ශයේ ප්‍රශ්නය | Page 2 | සිළුමිණ

ස්පර්ශයේ ප්‍රශ්නය

අපට ආසන්න ඉන්දියාවේ දලිත් සමා‍ජයේ ප්‍රශ්නය වඩාත් ඛේදජනක ය. ඔවුන්ට ඉහළ කුලයේ මිනිසුන්ගේ දෙයක් පවා ස්පර්ශය අකැප ය. සියවස් ගණනාවක් තිස්සේ තිබූ මේ ගැටුමේ අලුත් ම බිල්ල ගැන පසුගියදා එරටින් වාර්තා විය.

විසි එක් හැවිරිදි ප්‍රදීප් රතෝඩ් ගොවිපොළේ සිට සිය නිවෙස බලා එන්නට පසුගිය දා පිටත් වූයේ අසු පිටිනි. ඔහු අපේක්ෂා කළ පරිදි ගමනාන්තයට ළඟා වන්නට ඉඩක් ලැබුණේ නැත. අවි අමෝරාගත් පිරිසකගේ ප්‍රහාරයකට හසුව ඔහු අසු පිටින් ඇද වැටුණේය. එයින් මිනිත්තු කිහිපයක් ගත වත්ම මහමඟ දක්නට ලැබුණේ කැපුම් කෙටුම්වලට ලක්ව ලේ විලක් මැද මැරීවැටී සිටි ප්‍රදීප්වය.

ප්‍රදීප් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ භව්නගර්හි ටිම්බි නමැති කුඩා ගම්මානයේ ජීවත් වුණු 'දලිත්' කුල තරුණයෙකි. හෙතෙම අසකු අරා යෑමට බෙහෙවින්ම ආශා කළෙන් පියා ඔහු වෙනුවෙන් අසකු මිල දී ගත්තේය. අසු පිට නැඟී ප්‍රදීප් ගමේ එහා මෙහා ගියේ පුදුම හිතෙන තරමේ සංතෝෂයකිනි. 'දලිත්' පහළ කුලයක් ලෙස සැලකුණු බැවින් කුලයට තරම් නොවන ප්‍රදීප්ගේ උජාරු හැසිරීම ගමේ කුලවත් මිනිස්සු නොරිස්සූහ. ඉහළයැයි සම්මත රාජ්පුත්වරුන් කිහිපදෙනෙක් පැමිණ ප්‍රදීප්ට කිහිපවිටක්ම තර්ජනය කළහ. කුලවත් තරුණයන් ඉල්ලා සිටියේ අසු විකුණා දමන මෙනි. අසුන් පිට යෑමෙහි අයිතිය ඇත්තේ ඉහළ කුලවල අයට පමණෙකැයි කියා ඔවුහු ප්‍රදීප් ඉදිරියේ සාහසික ලෙස වංශය කබල් ගෑහ. අශ්වයකු අයත් කරගැනීමෙන් සංකේතවත් වන්නේ ධනය සහ බලය අත්පත් කරගැනීමකැයි යන විශ්වාසය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ජනයා තුළ අදටත් ඇත. අසු විකිණීමට අකැමැති වන්නේ නම් ප්‍රදීප්ව මරාදමන බවට රාජ්පුත් තරුණයෝ අනතුරු ඇඟවූවෝය. රාජ්පුත්ලාගේ තර්ජනය ප්‍රදීප් මායිම් කළේ නැත. එහි වාඩුව ඔවුන් ගත්තේ ප්‍රදීප් යන-එන මඟ රැකවල් ලා සිට ප්‍රදීප් පමණක් නොව අශ්වයාද ඝාතනය කිරීමෙනි.

ප්‍රදීප්ගේ පියා කියන්නේ තම පුතාගේ මරණය, කුලය පදනම් කරගෙනම සිදු වූ ඝාතනයක් බවයි.

“... සිද්ධිය වෙන්න සතියකට කලිනුත් මගේ පුතාට තර්ජන තිබුණා. තර්ජනය කරලා තිබුණේ මේ සිද්ධියට සැකයැයි කියන ක්ෂත්‍රිය කුලයේ අය. ඔවුන් කියා තිබුණේ දලිත් කුලයේ අයට අශ්වයෝ පදවන්න අයිතියක් නැහැ; අශ්වයන් පැදවීමේ අයිතිය තියෙන්නේ ක්ෂත්‍රියයන්ට පමණයි කියලා. ...”

එය මේ සියවසට නොගැළපෙන, අතිශයින්ම ම්ලේච්ඡ සිද්ධියකි. එසේ වුවත් කුලවතුන්ගේ ගෞරවයේ නාමයෙන් ඝාතනයන්ට ලක් වීමට හිතුවක්කාර දලිත් කුලයේ ඉන්දීයයන්ට සිදුව තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ශංකර් 2016දී මරාදමනු ලැබුවේද කුලවතුන්ගේ ගෞරවය රැකගනු පිණිස ය. එවක විසි දෙහැවිරිදි වියේ ඉංජිනේරු ශිෂ්‍යයකු වූ ශංකර්ගේ මරණය සිදු වුණේ උසස් කුලයක තරුණියකට පෙම් කර ඇයව විවාහ කරගැනීමේ වරදට හසුවයි. ශංකර්ටත් ඔහුගේ පෙම්වතියටත් විවාහ වන්නට පෙම්වතියගේ පාර්ශ්වයෙන් ආශීර්වාදය හිමි වුණේ නැත. මේ නිසා ඔවුහු ඔවුන්ගේ කැමැත්තට විවාහ වූහ. විවාහ ලියාපදිංචි කර අවසන් වූ මොහොතේ ඔවුන් ගියේද පොලීසියට ය. එහි පැමිණිල්ලක් කරමින් ඔවුන් කියා සිටියේ තමන් දෙදෙනාට ජීවිත තර්ජන ඇති බවකි. එය බලයක් රහිත තවත් එක් පැමිණිල්ලක් පමණක් විය. ඔවුන්ට විවාහ දිවියේ සතුට අත්විඳින්නට ඉඩ ලැබුණේ මාස අටක් වැනි කෙටි කාලයක් පමණි. ශංකර් කපා-කොටා පහර දී ඝාතනය කරන ලදි. මේ අපරාධයට ශංකර්ගේ බිරියගේ මව, පියා, මාමා සහ තවත් පිරිසක් හවුල්ව සිටියහ. ශංකර් මරාදැමීමට වරදකරුවන් වූ හය දෙනකුට පසුගිය දෙසැම්බරයේදී තමිල්නාඩු අධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරිණි.

දලිත් කුලය පංචම වර්ණ නමැති හීන කුල අතර එක් කුලයක් ලෙස සැලකේ. මේ කුලයේ අය කුලවතුන්ගේ ශරීරය ස්පර්ශ කිරීමට පවා නුසුදුස්සෝය. එනිසා ඔවුන් කුලවතුන් අතරට වද්දා නොගැනීමේ සම්ප්‍රදායක් ඉන්දියාවේ ඇත. එය මේ සියවසේදීත් එදා මෙන්ම ක්‍රියාත්මක වීම ඇදහිය නොහැකි තරමේ දෙයකි. කවර ආකාරයෙන් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම මරණ දඬුවම ලබන්නට හේතුවක් බව දැන දැනම කුලවතුන් ශංකර්වත් ප්‍රදීප්වත් මරාදැමුවේ කුල සම්ප්‍රදාය තවත් ඉදිරියට රැගෙන යෑමේ අරමුණ ඇතිවය. කුලය පදනම් කරගෙන මිනිසුන්ට මේ තරම් ම්ලේච්ඡ ලෙස සලකන රටක් තුළ සෙසු මානව අයිතීන් උල්ලංඝනය වීම් ගැන කුමක් කතා කරන්නද? 

 

Comments