ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ ඇත්ත කතාව | Page 3 | සිළුමිණ

ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ ඇත්ත කතාව

 ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව සංචාරක පාරාදීසයකි. ඇතැම් දිනවලදී ගාල්ල කොටුවට ගිය අයකුට තමන් පැමිණ සිටින්නේ විදේශ රටකට දැයි සැක සිතෙන තරමට විදේශිකයෝ එහි ගැවසෙති. සංචාරකයන් වෙනුවෙන් වෙන් වූ විවිධ ආකාරයේ කඩ සාප්පු අලෙවි සැල් ආපන ශාලා මෙන්ම නවාතැන් ගන්නා ස්ථාන ද ගාල්ල කොටුවේ බොහෝ වෙයි. ඔවුහු තමන්ගේ ව්‍යාපාර වඩාත් ප්‍රචලිත කිරීමටත් වැඩි වැඩියෙන් විදේශික ආකර්ෂණය ඇද ගැනීමටත් විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරති.

ගාල්ල කොටුව හා ඒ අවට මුහුද බොහෝ දිනවල දී නිසසලය. පෘතුගීසීන් විසින් ඉදිකිරීම් ආරම්භ කර ඕලන්ද ජාතිකයන් විසින් පුළුල් කර පසුව බ්‍රිතාන්‍යයන් විසින් වෙනස්කම් රැසක් සිදුකළ ගාල්ල කොටුව ඉදි කර ඇත්තේ දැවැන්ත කොරල්පරයක් මත බවට මතයක් පවතී. කොටුව වටා ඇති නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ කොරල් පර අදට ද ඊට දෙස් දෙයි.

දෙස් විදෙස් සංචාරකයෝ මේ කොරල් බැලීමට මහත් රුචිකත්වයක් දක්වති. මේ අතරින් ඇතැම් විදේශිකයෝ පැය ගණන් කොරල් පර අතර ඔබ මොබ කිමිදෙමින් ඒවායේ සිරි නරඹති. දේශීය සංචාරකයෝ ද එසේ කරන අවස්ථා අපමණ ඇත.

මේ කතාන්තරය දිග හැරෙන්නේ ගාල්ල කොටුව අසලින් මුහුදේ කිමිදුණු තරුණයන් දෙදෙනෙකුගෙනි. ඒ අතරින් අයකු ජස්ටින් කන්දේ පදිංචිකරුවෙකි. පතිරණගේ කමල් නමැති ඔහු පවසන්නේ තමන් මුහුදේ කිමිදෙමින් සිටිය දී පිළිමයක් හමුවූ බවයි. ඔහු ඒ පිළිමය ගොඩට ගෙනැවිත් කොටුව සුධර්මාලය විහාරස්ථානයට බාර දී ඇත්තේය. මේ තොරතුරත් සමඟ සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ මාධ්‍යයට අපූරු පුවතක් ලැබිණි. වෙබ් අඩවිවලත්, විද්්‍යුත් නාලිකාවලත් මේ පුවතට ප්‍රධාන තැනක් ලැබිණි.

පිළිමය සොයාගත් කමල් ඒ ගැන මෙසේ පවසයි. “මම මගේ යාළුවෙක් එක්ක අවුරුදු දවසේ කොටුවේ නාන්න ආවා. මුහුදේ කොරල්පර බලමින් පීනද්දී තමයි මේ පිළිමය දැක්කේ. දැකලා අපිට බය හිතුණා. ඒ නිසා ගොඩට ඇවිත් ටික වෙලාවකින් නැවත මුහුදට ගිහින් අපි දෙන්නා පිළිමය අරගෙන ආවා. පිළිමය තිබුණේ කොටු පවුරේ ඉඳලා අඩි 150ක් 200ක් විතර ඈත මුහුදේ අඩි හතක් විතර යට මුහුදු පතුලේ. වතුරේ දී බර නැති වුණත් ගොඩට ගත්තම බර වැඩියි. 119 ගහලා මේ ගැන කිව්වා. නමුත් ඒ අය ආවේ නැහැ. පස්සේ පොලිසියේ දෙන්නෙකුටත් කියලා පිළිමය කොටුව සුධර්මාලය විහාරස්ථානයේ තැන්පත් කළා. මේ පිළිමය පැරැණි පිළිමයක් වෙන්න පුළුවන්. මේ ගැන සොයා බලා නිසි ආරක්ෂාවක් දෙන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්”

ගාල්ල කොටුව හා ඒ අවට මුහුදේ මුහුදුබත් වූ නැව් රාශියක් ගැන දිගින් දිගටම ගවේෂණ සිදුකර ඇත. ගාල්ල අවට මුහුදේ දිය යට ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 26ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙවැනි පිළිමයක් හමු වූ සැණින් ඒ ගැන දෙවරක් නොසිතන ඕනෑම අයකු සිතන්නේ පිළිමය ඓතිහාසික වටිනාකමක් ඇති දෙයක් බවයි.

එහි ප්‍රතිඵලය වූයේ අවුරුදු දිනයේ මාධ්‍යයට අපූරු පුවතක් ලැබීමයි. මාධ්‍ය මගින් එය පුන පුනා ප්‍රචාරය වෙද්දී ඇතැම් මාධ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර කොමසාරිස් වසන්තා අලහකෝන් මහත්මියට දැනුම් දීමෙන් පසු ඇය කියා ඇත්තේ මේ පිළිමය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නිලධාරියකු එවන බවයි.

එදින රාත්‍රියේ මේ පිළිමය පිළිබඳ පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ පුරාවිද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට හෝ උද්‍යාන කලාව පිළිබඳ දැනීමක් ඇති අයකුට හෝ පෙනී යන්නේ මේ පිළිමය සිමෙන්තියෙන් කරන ලද නූතන නිර්මාණයක් බවයි.

අතීතයේ දී දේව පිළිම හා බෝසත් පිළිම උරහිස් දෙපසින් කපා දැමූ ආකාරයනේ නිර්මාණය නොකළ අතර එවැනි නිර්මාණ කරනු ලබන්නේ නූතනයේ දී අලංකරණ කටයුතු සඳහා පමණි. එබැවින් මේ පිළිමය උද්‍යාන අලංකරණය සඳහා යොදා ගන්නා සිමෙන්ති පිළිමයක් බව බැලූ බැල්මට පෙනෙන බැවින් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් මෙවැනි සිමෙන්ති පිළිමයක් ගැන ගවේෂණ කිරීමේ අවශ්‍යතාවක් තිබේ ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය මගින් පුන පුනා ප්‍රකාශ කළේ මෙවැනි වටිනා පිළිමයක් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිදු උවමනාවක් නොමැති බවයි.

පසුව මේ කතාවේ ඇති තතු සොයා ගිය අපට දැනගන්නට ලැබුණේ ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වාගෙන යන ජනක ද සිල්වා මහතා විසින් මුහුදේ ගිල්වන ලද පිළිමයක් බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ දිය යට මූර්ති නැරැඹීමේ කලාව විදෙස් රටවල සංචාරකයන් අතර ජනප්‍රිය බැවින් එය ශ්‍රී ලංකා‍වේ ද ජනප්‍රිය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට තමන් විසින් මෙම පිළිමය මුහුදේ ගිල්වා තැබූ බවයි.

වර්තමානයේ සංචාරක හෝටල්වල උද්‍යාන අලංකරණය සඳහා බහුලව භාවිතා කරන සිමෙන්ති මූර්තියක් තමන් විසින් කොටුව ආසන්න මුහුදේ කොරල් පර අතර ගිල්වූ බවත් කාලයත් සමඟ කොරල් පරිසරයේ කොටසක් බවට පත්වන මෙම පිළිමය විදේශිකයන්ට පෙන්වීමෙන් ඔවුන් ඒ කෙරෙහි ආකර්ෂණය වන ආකාරය ගැන අධ්‍යයනය කිරීම තම අපේක්ෂාව වූ බවත් ඔහු පවසයි.

ජනක ද සිල්වා මහතා මෙසේ ද කීවේය.

“මේ පිළිමය මුහුදේ ගිල්වා තැබුවාම එහි කොරල් බැඳෙනවා, විවිධ බෙල්ලන් වර්ග ඇවිත් එහි සිටිනවා. පෙඳ බැඳෙනවා. මෙලෙස දිය යට තිබෙන කලාගාර නැරැඹීමට විදෙස් සංචාරකයන් විශාල කැමැත්තක් දක්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ කලාව එතරම් ජනප්‍රිය නැහැ. මට අවශ්‍ය වුණේ මේ ගැන අධ්‍යයනයක් කර ඒ කලාව මේ රටේ ජනප්‍රිය කරන්න පුළුවන් ද කියා බලන්න.

මා මේ පිළිමය මෙතැනට ගෙන යාමට පෙර ගත් ඡායාරූප තියෙනවා. මුහුදේ ගිල්වූ අවස්ථාවේ ගත් ඡායාරූප තිබෙනවා. ඒ වගේම මුහුදේ ගිල්වන වීඩියෝ තිබෙනවා. මේ පිළිමය දැකපු මේ කලාව ගැන නොදන්නා අය මේක අමාරුවෙන් ගොඩ අරගෙන පන්සලට බාර දීලා ඒ වගේම මාධ්‍ය මගින් මේ පිළිමයට විශාල ප්‍රචාරයක් දුන්නා. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්. මේ කලාව රටේ ජනප්‍රිය කරන්න පුළුවන්.”

මේ පිළිමය සම්බන්ධයෙන් ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා විසින් කර තිබිණි. ඔහු පවසන්නේ මේ පිළිමය මුහුදට දැමූ තැනැත්තා හා එය දැමූ ආකාරය තමන් දන්නා බවයි. නමුත් එම පිළිමය මුහුදට දැමූ අවස්ථාවේ දී ද තමන් එයට විරෝධය දැක්වූ බවත් පසුකාලීනව ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන සිතා එය සිදුකළ ජනක ද සිල්වා මහතා ඒ ගැනදැනුම්වත් කළ බවත් ඔහු පවසයි.

තරුණයන් පිළිමය ගොඩට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය මගින් ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමෙන් ම එහි හානිකර තත්ත්වය පැහැදිලිවන බව ද ඔහු පවසයි.

“ගාලු කොටුවේ කොරල් පරය තුළ මා නොගිය තැනක් නැති තරම්. ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබුණා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කලාකරුවෙක්. මම මේ පිළිමය දැකපු හැටියේම එය එතැනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුණා. එපමණක් නොවෙයි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට පැවසුවා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ.කොරල් පරයේ පිළිම තබා පැරැණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරීම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ ඇති විය හැකියි. හිමිකරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්තියෙන් කළ එකක්. පිළිමයේ සැබෑ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ. කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි” යනුවෙන් වෛද්‍ය රූබන් තවදුරටත් පැවසීය.

පිළිමය ඉතා මෑතක දී සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද සාමාන්‍ය උද්‍යාන අලංකරණයට භාවිතා කරන්නක් බව පැහැදිලිය. ඒ පිළිබඳ පර්යේෂණ කරන්න යෑම කාලයත් මුදලත් නාස්ති කිරීමකි. කෙසේ වෙතත් පිළිමය මුහුදට දැමූ ජනක ද සිල්වා මහතා පවසන්නේ මුහුදේ මෙවැනි පිළිම දමා කලාගාරයක් නිර්මාණය කිරීම සංචාරක කර්මාන්තයට ඉවහල්වන බවයි.

මෙලෙස දියයට පිළිම දමා ඒවා සංචාරකයන්ට නැරැඹීමට සැලැස්වීම අපේ රටට ආගන්තුක වුව ද විදෙස් රටවලට එය අමුතු දෙයක් නොවේ. මෙම කලාව හඳුන්වන්නේ Underwater Sculpture හෙවත් දියයට මූර්ති කලාව යනුවෙනි. මෙය ලෝකයට මුලින්ම හඳුන්වාදෙන ලද්දේ ජේසන ඩි කේරස් ටේලර් නමැති අයෙකි. ඔහු 2006 වර්ෂයේ මැයි මාසයේ දී බටහිර ඉන්දීය දූපත් ආසන්න කැරිබියන් මුහුදේ පරිසර විද්‍යාත්මක දිය යට මූර්ති කලාව ආරම්භ කරමින් 'මොලිනර් මූර්ති උද්‍යානය' මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. ටේලර්ගේ ඉලක්කය වූයේ මුහුද යට පරිසරය සමග බද්ධ වූ මූර්ති කලාගාරයක් බිහිකර සංචාරකයන් ඒ සඳහා ආකර්ෂණය කරගැනීමයි. මෙය අතිශය සාර්ථක හා සිත්ගන්නා සුලු නිර්මාණයක් විය. ඔහු විසින් සිමෙන්ති හා රබර් යොදා සාදන ලද මූර්ති, කොරල්පර සහිත මුහුදේ තැන්පත් කිරීමෙන් පසු ඒවා සාගර පරිසරයේ ජීවීන් හා බද්ධ වී සාගරයේ ම කොටසක් ලෙස පෙනෙන්නට වූ අතර බෙල්ලන්, පෙඳ පාසි සහ වෙනත් කවචමය ජීවීන් ද ඒ පිළිම මත හා පිළිම අවට සිය වාසස්ථාන කරගැනීමෙන් මේ පිළිම සාගරයේ ම කොටසක් බවට පත්වීමට වැඩිකාලයක් ගතවී තිබුණේ නැත. එමෙන් ම සාගරයේ ගල්පර අතර සැරිසරන මත්ස්‍ය විශේෂ ද මේ පිළිම අතරින් නිරන්තරවම පිහිනා යෑම සංචාරකයන්ගේ සිත් ඇදගන්නා දසුනක් බවට පත්විය. ටේලර් සිය දිය යට උද්‍යානයේ පිළිම ලෙස යොදාගන්නා ලද්දේ විවිධ මානව කෘතීන් වීම විශේෂත්වයකි.

ටේලර්ගේ මේ උත්සාහය සාර්ථක වීමෙන් අනතුරුව මේ වනවිට ලෝකයේ විවිධ රටවල මුහුදේ මෙවැනි දිය යට මූර්ති කලාගාර ආරම්භ කර ඇත. එය දැන් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ද මේ කලාව ප්‍රචලිත කර ඉන් විදේශ විනිමය හොඳින් උපයාගත හැකි බව නොරහසකි.

කරාපිටිය සමූහ
එස්. ලොකුකරවිට

Comments