යෝධයා‍ගේ පන්සල | Page 2 | සිළුමිණ

යෝධයා‍ගේ පන්සල

ඉංග්‍රීසි ආණ්ඩුකාරයන්ගෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේ සුරක්ෂිත කරගැනීම උදෙසා වනගත වී අප්‍රමාණ වෙහෙසක් දැරූ වීර හිමිනමක වන වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ ජන්ම භූමිය වෙතයි අප මේ ගමන් කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කැඩපත්වෙහෙර ග්‍රාමනිලධාරී වසමට අයත් පනාදරගම වීරහේනේගෙදර ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයයි මෙවර අපගේ ගවේෂණයට හසුවන්නේ. කුරුණෑගල කොළඹ 05 මාර්ගයේ කළුගමුව මංසන්ධියෙන් කළුගමුව වාරියපොල මාර්ගයේ කිලෝමීටර 18 ක් පමණ ගමන්ගන්නා විටවීරහේනේගෙදර විජයසුන්දරාරාමය ඔබට හමුවේ.

ශ්‍රී විජයසුන්දරාරාමාධිපති ගන්තිරියාවේ විමල හිමියන් අප සමඟ මේ විහාරයේ පුරාණය පිළිබඳව සැකෙවින් සිය අදහස් පළකළහ.

“දඹදෙණි යුගයේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පියරජතුමා වන තුන්වැනි විජයබාහු රජ සමය දක්වා මේ විහාරයේ ඉතිහාසය දිව යනවා. වරාගල පුරාණ රජමහා විහාරය කියලත් මේ විහාරය එක්තරා කාලයකදී හඳුන්වා තිබෙනවා. දඹදෙණි යුගයේ සිටි විජයසුන්දර නම් ඇමතිවරයෙකු විසින් දඹදෙණි රාජසභාවේ සේවය කළ වීර නම් යෝධයා ලවා මේ විහාරස්ථානය කරවූ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. වීර නම් යෝධයා කේන්ද්‍ර කර ගනිමින් ඇතිවූ විවිධ ප්‍රවාද මේ ප්‍රදේශයේ ප්‍රචලිතව පවතිනවා. වීර යෝධයාගේ අඹුව සිටි ප්‍රදේශය තමයි වර්තමානයේ වීරඹුගෙදර නමින් හඳුන්වන්නේ.”

මේ විහාරස්ථානයේ ඉපැරණි විහාරාරාමය වසර තුන්සිය පනහකට එහා ගිය ඈත අතීතයකට උරුමකම් කියන්නකි. විහාරාරාමයට ආසන්නයේ පිහිටි බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපිය පැහැදිලි කරන්නේ කුමන කාරණාවක් ද යන්න තවමත් නිශ්චිතව නිගමනය කර නොමැති නමුත් එකී අක්ෂර භාවිතය අනුරාධපුර යුගය දක්වා දිවෙන්නකි. එහෙත් මේ විහාරය අනුරාධපුර යුගය දක්වා ඈත අතීතයකට දිවෙන බවට මෙතෙක් වෙනත් කිසිඳු පුරාවිද්‍යාත්මක සාධක හෝ ජනශ්‍රැතික සාධක හෝ සොයාගත නො හැකි ය.

එහෙත් මහනුවර යුගයේ සංඝරජ සමය හා සම්බන්ධ ලියවිලි මේ විහාරස්ථානයේ දක්නට ඇත. එවක දී සුවිශාල සාහිත්‍ය සේවාවක් සිදුවූ විහාරස්ථානයක් බවට හෙලිකළ හැකි සාධකයක් ලෙස විහාර මන්දිරයට වම්පසින් පිහිටි පොත්ගුල දැක්විය හැකි ය. ඒ පොත්ගුල ඇතුළත බිත්තියේ සෑම ඉඩක් ම ආවරණය වන පරිදි මහනුවර යුගයේ සිතුවම් කලාවට සමාන වූ සිතුවමින් අලංකාර කර ඇත. මහනුවර යුගයේ මහා සම්ප්‍රදායේ චිත්‍රක ශෛලියට මදක් වෙනස් වූ ප්‍රාදේශීය වශයෙන් ඊට ම ආවේනික චිත්‍ර සම්ප්‍රදායක් මේ චිත්‍රවලින් අනාවරණය වේ. මේ ප්‍රදේශයේ බොහෝ විහාර සිතුවම්වල මේ ප්‍රාදේශීය අනන්‍යතාව දක්නට ලැබෙන්නකි. තීරු ක්‍රමයට සිද්ධි නිරූපණය වන අයුරින් අඳින ලද ද්විමාන වූ මේ සිතුවම්, මහනුවර යුගයේ මහා සම්ප්‍රදායේ චිත්‍ර තරම් සූක්ෂම ලක්ෂණ පළ නො කරන්නේ ය. එමෙන් ම මහා සම්ප්‍රදායේ චිත්‍රවලට සාපේක්ෂව තරමක් විශාලව අඳින ලද මේ චිත්‍රවල ඊටම ආවේණික වූ නිල්පැහැයක් යොදාගෙන තිබීම ද රතු පසුබිම යොදා නො තිබීම ද විශේෂත්වයකි. මෙය ඇතැම්විට මහනුවර සම්ප්‍රදායෙන් බිඳී ආ වෙනත් ගුරුකුලයක නිර්මාණයයි සිතිය හැකි ය. තව ද මේ යුගයේ විහාරාරාමවලට පොදු වූ කුඩා ප්‍රමාණයේ ලී පිළිම කීපයක් ද මෙහිදී දැකගත හැකි ය.

එමෙන් ම පොත්ගුල ඇතුළත හා පිටත හුනු බදාමයට යටින් වෙනත් ම ආරක චිත්‍ර සම්ප්‍රදායක වැසීගිය තොරතුරු නැවත මතුවෙමින් පවතින බව ද දැකගත හැකිවේ. පවතින හුනු බදාමයට යටින් මතුවන එකී චිත්‍ර දැනට ඇතුළතදී දැකිය හැකි චිත්‍ර සම්ප්‍රදායට වඩා සියුම් ලෙස රේඛා රැසක් යොදාගෙන කරන ලද දියුණු සම්ප්‍රදායක චිත්‍ර කලාවක් යැයි සිතිය හැකි වේ. ඉදිරිපස මතුවෙමින් පවතින චිත්‍රය බොහෝ දුරට දොරටුපාල රූපයක් යැයි සිතිය හැකිවේ.

මේ පොත්ගුල තුළ වර්තමානයේ පුස්කොල පොත් තැම්පත් කර නොමැති අතර වීර නම් යෝධයා පරිහරණය කළ ඓතිහාසික භාණ්ඩ කීපයක් මෙහි සංරක්ෂණය කර ඇත. එම භාණ්ඩවල ඓතිහාසික වටිනාකමක් මිස කිසිඳු ආකාරයක භෞතික වටිනාකමක් නොමැති බව ද දක්නට ලැබිණ.

එමෙන් ම ඓතිහාසික වටිනාකමක් සහිත පිළිම ගෙය ඉදිවී ඇත්තේ ගල්තලාව මත වන අතර විහාරය වටා ගල්තලාවේ නෙළුම්මල් මෝස්තර නෙළා ඇත. තව ද ගලින් කරන ලද පියගැට පෙලෙහි නෙළුම්මල් මෝස්තර, සිංහ රූප හා ඇත් රූප නෙළා ඇත. ඇතුළත හිටිපිළිම හතරක් සහ හිඳි පිළිමයක් හා චිත්‍ර ද දක්නට ලැබේ. එමෙන් ම ලෑලි සිවිලිම ද නෙළුම් මල් මෝස්තරවලින් අලංකාර කර ඇත.

එමෙන් ම සංරක්ෂණය කරන ලද පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් විහාරස්ථානයේ සුරක්ෂිත කොට ඇති අතර මහනුවර යුගයේ ලියවුණු පන්සිය පනස් ජාතක පොත් වහන්සේ , පිරුවානා පොත් වහන්සේ , පාලි විසුද්ධි මාර්ගය රසවාහිනී වැනි පුස්කොළපොත් රාශියක් දක්නට ලැබේ. පිරුවානා පොත් වහන්සේ අවසානයේ එය ලියූ හිමි පිළිබඳ විස්තරයක් මෙසේ දැක්වේ.

“වර්ෂ එක්දහස් හත්සිය හැත්තෑතුනේදී ය. ලීවේ මූණමලේ උන්වහන්සේ ය. ප්‍රඥාව ලැබේවා ලොවුතුරුදම් සිද්ධ වේවා ”

උන්වහන්සේ යන ව්‍යවහාරය එන්නේ සංඝරාජ සඟපරපුරෙන් වන අතර මේ පුස්කොළපොත් රචනා කිරීම් ඒ පරපුරට අයත් යයි විහාරාධිපති හිමි පවසති.

වර්තමානය වන විට වීරහේනගෙදර ශ්‍රී විජයසුන්දරාරාමය සැලකිය යුතු දියුණු මට්ටමක පවතින අතර 2008 වර්ෂයේ සද්ධානන්ද පිරිවෙන නමින් පිරිවෙනක් ද ආරම්භ කර ඇත.

යටගියා වූ ඓතිහාසික සාධක වියැකෙමින් යන මේ විහාරස්ථානය තවදුරටත් සංරක්ෂිතව තබාගැනීම මඟින් යට ගියාවූ අතීතයක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව ඇත. මෙවැනි පුදබිම් සංරක්ෂිතව පවත්වාගෙන යාම අප කාගේත් යුතුකම වන්නේ ය.

 
 
 

Comments