
මේ වසන්තය මිනිසුන්ට පමණක් නොව සතුන්ටත් අයිතිය. එහෙත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් සතුන්ගේ සතුට කැප කරන්නට වූ තවත් අවස්ථාවක් කවුඩුල්ලෙන් ඇසුණි. ඒ පිළිබඳ හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා පැවසුවේ මෙබඳු අදහසකි.
“මේ කාලෙට අලි ඇතුන්ගේ සංක්‍රමණික රටා හැඩගැසෙන්නේ එකම තැනක විශාල සංඛ්‍යාවක් රැස්වන ආකාරයට. උපන් ප්‍රදේශයේ දේශගුණය වෙනස් වුණාම, ජලය ආහාර ආදිය හිඟවුණාම තත්ත්වය යහපත් වනතුරු වෙනත් සරුබිම්වලට අලින් තාවකාලිකව සංක්‍රමණය වනවා. මේ නිසා විශාල අලි ගහන දකින්න ලැබෙනවා. සමහරු මෙය වැරැදියට අවබෝධ කරගන්නේ, අලි විශාල රංචු කියලා. ඒත්, මෙතන ඉන්නවා තනි අලි, විශාල අලි රංචු, කුඩා රංචු, තුන්පත් රෑන් ආදි විවිධ අය. එය හඳුන්වන්නේ අලි ගහනය ලෙස. මින්නේරිය, කවුඩුල්ල ජලාශ, විශාල තනපිටි සහිත වසර පුරාම ජලය රැඳෙන ස්ථාන නිසා ඒ තැන්වල මේ විශාල අලි ගහන දකින්න ලැබෙනවා.
“ඇත්ත නම් මින්නේරියේ අලිමයි කවුඩුල්ලටත් එන්නේ. මීට අවුරුදු 20ට කලින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයක් ලෙස නොවේ, ත්‍රිකෝණමඩු වගේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි පැවතුණේ. ජනතාවට ඇතුළුවන්නත් බෑ. මින්නේරිය ජලාශය මහපාරට මායිම්වන නිසා දිය කෙළින අලින් ලේසියෙන් දකින්න පුළුවන්කම තිබුණා. එවැන්නක දකින්න ලැබෙන විශේෂ දුර්ලභ සිදුවීමක් වන්නේ අලි අභිජනන ක්‍රියාවලිය. තනි අලි, ඒ කියන්නේ පිරිමි සතුන් රැසකුත් ඇතින්නියන් රංචු විශාල සංඛ්‍යාවකුත් සිටින නිසා සරුමද තත්ත්වයට පත් වූ ඇතින්නියන්ට ළංවන්න අලින්ට පුළුවන්.
“ඒ වගේ අවස්ථාවක් පහුගිය දින කීපය තුළ කවුඩුල්ලේ ජනප්‍රිය දර්ශනය බවට පත් වුණා. එක ඇතින්නකට පෙම් බඳින්න ඇතුන් දෙදෙනෙක් ඉදිරිපත් වුණා. ඇතින්න දිනා ගන්න ශක්ති සම්පන්නයා සොයන සටනක් ඇවිළුණා. මෙය සෆාරිකරුවන් සහ දෙස් විදෙස් සංචාරකයන් දැක්කා. සටන්කරුවන් දෙදෙනා පහර දෙමින්, පහර කමින් කැලේ ඇතුළට වැදුණා. සමහරු ඊළඟ දර්ශනය කුමක්ද කියලා දැනගෙන හිටියා. මෙය මුදල් සොයා ගන්නත් හොඳ අවස්ථාවක් නිසා සංචාරක රියැදුරන් ප්‍රචාරය යැව්වා, පහුවෙනිදා ගියොත් ඉතිරි ටික බලාගන්න පුළුවන් වෙයි කියලා. සංචාරකයන් පෝලිම් ගැහුණා. “ටිකක් වෙලා බලාගෙන ඉද්දි වනයෙන් එක සටන් කරුවෙක් වැව් පිටියට මහ කලබලෙන් ආවා. ස්වයංවරය ලැබුණු කුමාරයෙක් වගේ සිය ගණන් ඇතින්නන් අතරින් සරුමද තත්ත්වයේ ඇතින්න සොයා ගෙන ළං වුණා. සාමාන්‍යයෙන් අලි ඇතුන් පෙම් කෙළින්නේ රැළෙන් පිටට තමන්ගේ පෙම්වතිය රැගෙන ගිහින්. ඒත් ගුටිකාපු වෙහෙසත් ඈතින් දහස් ගණන් සෙනඟත් දුටු නිසා පෙම්වතිය රංචුවෙන් පිටට නොගෙනම, ප්‍රේමණීය හැසිරීමකිනුත් තොරව ආලිංගනයේ යෙදෙන්න පටන් ගත්තා. මෙය අලින්ට වගේම එතැන රැස් වුණු සංචාරකයන්ටත් විශේෂ සිදුවීමක්.
“මෙය දැක්ක දේශීය සහ විදේශීය සංචාරකයන් අත්පුඩි ගහන්න, විසිල් ගහන්න, නොසරුප් කතා කියන්න පටන්ගත්තා. අලියට අපේ භාෂා නොතේරුණත් කැලේ නිදහසේ කරන වැඩක් මහ සෙනඟකුත් ඥාති මිත්‍රාදීන් සමූහයකුත් ඉදිරියේ කරන්න සිදුවීම මහත් අපහසුවක් බවට පත් වන්න ඇති. අලින් කියන්නේ ඥානාන්විත සත්ත්වයෙක්. අලියා හිත වෙනස් කරගත්තා.
“මෙතැනදි අප සලකා බැලිය යුතු විවිධ කරුණු තිබෙනවා. සෆාරි අය වනජීවි නිලධාරීන් නොවන නිසා පහසුකම ලබා ගන්නේ ගෙවීමක් කරලා. සංචාරකයන්ගේ ආරක්ෂාවටත්, දැනුමටත්, හැම ජීප් එකකම නැතත් දෙපාර්තමේන්තු සේවකයන් සිටිනවා. ප්‍රශ්නය ඒ අයත් සංචාරකයන් වගේම හූ කියූ බවට තොරතුරු ලැබීමයි. අනෙක අප හිතන්නේ විදේශියයන් පරිසරයට ආදරය කරනවා, වැදගත් විදිහට, විනයක් ඇතිව පරිසර සිරි නරඹනවා කියලා. ඒත් ඔවුන් පවා අශීලාචාර විදිහට මෙය අමුතු දෙයක් වගේ හිතාගෙන බෙරිහන් දීම අදහා ගන්නත් අමාරුයි.
“බිමට බැස්ස ඇතා තරහින් වනයට ගියා. ඇතින්න රංචුවේ ඉතුරු වුණා. සමහර විට සංචාරකයන්ට වඩා සදාචාරයක් අලින්ට තිබෙන්න ඇති, රංචුව මැද මෙවැනි දෙයක් නොකර ඉන්න. ඇතා කලබලෙන් සටන දිනාගෙන එන්න ඇත්තෙ ඇතින්න සරුමද තලයේ උපරිම අවස්ථාවේ සිටි නිසා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ සිදුවීම හොඳ නෑ. අලින්ගේ සම්භෝගය එකවරකට සීමා වෙන්නේ නෑ. උන්ගේ ප්‍රේමාතුර බව දෙතුන් දිනක් පුරා සාමාන්‍යයෙන් පවතින්න පුළුවන්.
“නරකම දේ ඇතින්නක් මාස්පතා සරුමද තත්ත්වයට පත් වුණත් ෆෙරමෝන නිකුත් කරන්නනේ වසරකට සිව් වතාවයි. එයින් එකක් මඟ හැරීම නිසා ඒ වසරේ ගැබ් ගැනීම සම්පූර්ණයෙන්ම වැළැක්වෙන්නත් ඉඩ තිබෙනවා. නාඹර ඇතින්නකට අවුරුදු 50 වනතුරු හත් අට වතාවයි පැටවුන් බිහිකරන්න හැකියාව තිබෙන්නෙ. එයින් එක් අවස්ථාවක් අහිමි වීම කියන්නේ අලින්ගේ පැවැත්මට විශාල තර්ජනයක්. “මෙතැනදී වනජීවි දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. වාහන දෙතුන්සියයක් පමණ එකවර එතැන රොක් වීම. නීතියක් තිබෙනවා වරකට ඇතුළු කළ හැකි වාහන ගණන පිළිබඳ. ඒවා තදින් ක්‍රියාත්මක විය යුතුයි. මේ දර්ශනය දුලබ වුණත් එවැනි දේ නැරඹීමේදී පවත්වා ගතයුතු විනය පිළිබඳ යම් ක්‍රියාමාර්යක් ගත යුතුයි. දෙවැනුව ෙදපාර්තමේන්තු නිලධාරින් දැනුම්වත් කළ යුතුයි. ඉස්සර ඒ වැඩමුළුවලින් ඔවුන් දැනුම්වත් කරනවා මෙවැනි නැරඹීම් පාලනයක් යටතේ පැවැත්විය යුතු බවට. මේ අශීලාචාර සිදුවීමෙන්වත් මේ තත්ත්වය වැලැක්වීමට පියවර ගන්නවා නම් හොඳයි.”
වෛද්‍ය නන්දන අතපත්තු පවසන අන්දමට මෙවැනි දර්ශන දැකිය හැක්කේ මුවන් ගෝනුන් හා අලින්ගේ පමණය. අනෙක් සතුන් මෙවැනි සබඳතා පවත්වන්නේ ඝන කැලෑ තුළය. ඒ නිසා මේ නව වසරේ අප වනලෝලීන්, අලි ලෝලීන් මෙන්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දුර්ලභ දසුන් නිශ්ශබ්දව, සතුන්ට බාධාවක් නොවන ලෙස ඇසට හසුකර ගන්නවා මිස උන්ගේ චර්යාවලට කරදර වන අයුරින් කටයුතු නොකරන ලෙසය. පරිසරය රස විඳිය යුත්තේ එහි අරුත හඳුනාගෙනය. ගෙවුණු වසරේ වැරැදි නිවැරැදි කර ගන්නා මේ නව වසරේ මිනිසුන් ලෙස අප අතින් යළිත් මෙවන් වරදක් සිදු නොවන්නට වගබලා ගන්නේ නම් අලින්ගේ වසන්තය මිනිසුන් අතින් විනාශ නොවනු ඇත.
අරුණි මුතුමලී