ඉහළ සැමරුමකට වඩා බුදුදහමේ චිරස්ථිතියට කටයුතු කිරීම වැදගත් | Page 2 | සිළුමිණ

ඉහළ සැමරුමකට වඩා බුදුදහමේ චිරස්ථිතියට කටයුතු කිරීම වැදගත්

 අද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. අපේ රටේ බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයන්ද මේ වෙසක් උලෙළ සමරන්නේ ශ්‍රී ලංකාවාසීන්ගේ ජාතික උත්සවයක් බව දැනගනිමින්. ශ්‍රී ලංකාව පුරා වෙසක් උලෙළ මේ අයුරින් සමරද්දී ලෝකයේ අනෙක් බෞද්ධයන් වෙසක් උලෙළ සමරන්නේ කෙසේද යන්න මෙන්ම වෙසක් සමයේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද යන්න දැනගැන්මට අප ලෝක බෞද්ධ සමුළුවේ මහ ලේකම් වේරගොඩ සාරද මහ නා හිමියන් හා සාකච්ඡා කළා. උන් වහන්සේ සිංගප්පූරුවේ සංඝනායක ධුරය දරන අතර මේ වන විට ලෝකයේ සිංහලයෙන් රචිත එමෙන්ම තවත් භාෂා රැසකට පරිවර්තනය කරන ලද සිතුවම් සහිත ධම්මපදය ග්‍රන්ථයද සම්පානය කර ඇත්තේ උන් වහන්සේ විසින්. කිලෝ ග්‍රෑම් 5 ½ක බරින් යුත් එම ග්‍රන්ථය උන් වහන්සේ විසින් ලෝක වාසීන්ට නොමිලේ ලබා දීම විශාල ශාසනික සේවාවක් ලෙසද හඳුන්වා දීමට පුළුවන්.

වෙසක් දිනය පමණක් නොව, අනෙකුත් සියලු බෞද්ධ සිදුවීම් සලකමින් ලෝක බෞද්ධ සමුළුවේ අන්තර්ජාතික දිනය ලෙස සමරනු ලබන්නේ අප්‍රේල් මස 8 වැනිදා එදිනට වෙසක් උත්සවයේ බුදු රජාණන් වහන්සේගේ සිදුවීම් ඇතුළු අනෙකුත් බුද්ධ චරිතයේ සිදුවීම් හා ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිහි කරමින් පූජෝපහාර පවත්වනවා.

ඒ කාර්යය ලෝක බෞද්ධ සමුළුවේ සාමාජිකත්වය සහිත සියලු රටවල් විසින් සිදු කරනවා. ශ්‍රී ලංකාවේත් පසුගිය වසරේ අන්තර්ජාතික බෞද්ධ සමුළුව පැවැති අවස්ථාවේදී ඒ දිනය සැමරුවා.

පසුගිය වසරේ ලෝක බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන්නට යෙදීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ථේරවාද බුදුදහම ස්ථාපිතව ඇති බව ලෝකයේ ජනතාව අතරට ගමන් කිරීම අපට ඉතා වැදගත් වනවා. බුදුදහමින් පෙන්වා දෙන කරුණාව, මෛත්‍රිය, ඉවසීම වැනි ගුණාංග රකිමින් සිටින රටක් ලෙස ඒ හරහා ප්‍රති මූර්තිමත් වීමෙන් අපට බෞද්ධ රටවල් අතර පමණක් නොව, අනෙක් රටවලත් ප්‍රසාදය හිමි වනවා. වෙසක් උලෙළ නිමිත්තෙන් පසුගිය අප්‍රේල් 8 වැනිදා ලෝක බෞද්ධ සමුළුවේ සාමාජික බෞද්ධ රටවල් විශේෂ නානුමුර පූජාවන් පැවැත්වූවා. ලෝක බෞද්ධ සමුළුවෙන් ලබා දී ඇති විශේෂ බුදු පිළිම වහන්සේ නමක් එලෙසින් නානුමුර පූජාවක් සඳහා යොදාගනු ලැබුවා. එය ජනතාව මහත් භක්තියකින් යුතුව බෞද්ධ රටවල සිදු කළා.

ඉතා වැදගත් වන්නේ බුදු රුවක් ස්නානය කිරීමට බැතිමතුන්ට ලැබෙන අවස්ථාව ඉතා දුර්ලභ වන හෙයින්. සිංගප්පූරුවේ පමණක් ඒ සඳහා බෞද්ධ බැතිමතුන් 150000ක් සහභාගි වුණා.

අප්‍රේල් මස 8 වැනිදා පැවැත්වුණු ඒ විශේෂ පින්කම් සඳහා අස්ගිරි මහනාහිමියන්ද සහභාගි වීම විශේෂත්වයක් ලෙස දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නැකැත් හා පොහොය නිර්ණ කමිටු හරහා වෙසක් දින සැමරුම අප්‍රේල් මස 29 වැනිදාට යොදා ගෙන තිබුණත් ලෝකයේ අනෙක් රටවල වෙසක් දිනය සමරනු ලබන්නේ මැයි මස 29 වැනිදාටයි. වෙසක් යෙදෙන්නේ මැයි මාසයේදී නිසා එම රටවල මැයි 29 දින යොදාගෙන තිබෙනවා.

දිනය කෙසේ වුවත් ලෝකවාසී බෞද්ධ ජනතාවම ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දීමයි වැදගත් වන්නේ. ආමිෂ පූජාවට වඩා ගුණ දහම් රැකගැන්මට කටයුතු කිරීම මෙන්ම පිළිවෙත් රැකීම උදෙසා වැඩි අවධානයක් යොමු කිරීම මෙහිලා වැදගත් වනවා. ලෝකයේ සියලු බෞද්ධ රටවල මේ වන විට පිළිවෙත් රැකගනිමින් වෙසක් උත්සවය සැමරීමටයි කටයුතු කර ඇත්තේ.

‍වෙසක් යනුවෙන් අප හඳුන්වන මේ මංගල්‍යය ඒ හා සමාන ලෙසින්ම බොහෝ බෞද්ධ රටවල් විසින් හඳුන්වනු ලබනවා.

සිංගප්පූරුවේ වෙසක් යෙනුවට 'වෛසාක්‍ය' යනුවෙන්ද, ඉන්දුනීසියාවේ 'හර් රියා වයිසාක්' යනුවෙන්ද, කාම්බෝජයේ 'විසාක් බොචෙය' යනුවෙන්ද, තායි බසින් 'සාඛා බුචා' යනුවෙන්ද හැඳින්වෙන අතර ලාඕසයේ 'වික්සාඛා බොවුක්ස' යනුවෙන්ද, චීන බසින් 'වෙයිසායි ජි' යනුවෙන්ද, බුරුම බසින් 'බුද්ධ ජයන්ති' ලෙස මෙන්ම ජපාන බසින් 'වෙසාඛ' යනුවෙන්ද හැඳින්වෙන්නේත් වෙසක් උත්සවයයි.

මේ රටවල් ඇතුළු සෙසු සියලු බෞද්ධ රටවල් වෙසක් දින සැමරුම් පවත්වන්නේ එම රටවල සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුගතව මෙන්ම එම ජනතාවගේ සිරිත්-විරිත්වලට මුල් තැනක් දෙමින්.

කෙසේ වෙතත් නානුමුර මංගල්‍යය මෙන්ම මල් පූජාවන් හා සුවඳ දුම් පූජාවන්ට මේ ජනතාව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම වෙසක් දිනෙන් පසුව නව දිවියක ආරම්භයක් ලැබීමට බොහෝ බෞද්ධ රටවල ජනතාව සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ නැති ගුවන්ගත වෙසක් පහන් කූඩු සිංගප්පූරුව ඉන්දුනීසියාව වැනි රටවල දක්නට තිබෙනවා.

මේ සියලු සංස්කෘතික අංගයන්ගෙන් අපට පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ දහමට අනුගත විය යුතු බවයි.

ශ්‍රී ලංකා ජනතාවත් ඒ අනුව කටයුතු කිරීමෙන් අපේ බෞද්ධ අනන්‍යතාව රැකගැන්මට පුළුවන්. ලෝකයේ බොහෝ රටවල බෞද්ධ ජනතාව බෞද්ධාගමික දිනවල අලුත් වෙනවා. අපටත් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් විශාලතම පින්කමක් වන්නේ එදිනට අලුත් වීමයි. අධ්‍යාපනය ලබන්නන් අධ්‍යාපනයෙන් අලුත් වනවා නම් රැකියා කරන්නන් රැකියාවෙන් අලුත් වනවා නම් ඒ ඔස්සේ අපට දිගු ගමනක් යන්නට පුළුවන්; විශාල වෙනසක් කරන්නට පුළුවන්.

ඔබ රැකියාවට ගිය මුල්ම දිනයේ කටයුතු කළ ආකාරය සිහියට නඟන්න. එදින රැකියාවට ගිය වේලාව ගැන සිහි කරන්න. අනෙක් අය සමඟ සුහදව කටයුතු කළ ආකාරය කතා-බහ කළ ආකාරය සිහි කරන්න. ඒ ආකාරයට අදත් කටයුතු කරන්නට නොහැකි වී ඇත්තේ ඇයි? අප මේ වෙසක් දිනයේ හෝ ඒ සිතිවිල්ල ඇති කරගන්නවා නම් සමාජයේ ඇති මේ විෂමතා නැති වී යනවා. අනෙක් පරයා තම අයිතිවාසිකම් ලබාගන්නට දරන නොමනා උත්සාහයන් නැති වී යනවා. අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ කටයුතු කරන්නට අසීරු නැහැ. යහපත් උත්සාහය, යහපත් වචන, යහපත් ජීවන, යහපත් සිහිය, යහපත් කල්පනාව ආදි ගුණාංග වර්ධනය කරගන්නට හැකි නම් මේ වෙසක් දිනයේ සිට හෝ අපට වෙනස් වන්නට අලුත් වන්නට පුළුවන්.

ආමිෂ පූජාව අපට වැදගත් වුවත් වඩාත් වැදගත් වන්නේ මේ ආකාරයට පිළිවෙත් රැකීම බව අප අවධාරණය කරගත යුතු වෙනවා.

ලෝකයේ සියලු බෞද්ධ රටවල බුදුදහම එක් තැන් කර බුද්ධධර්මයේ සුරක්ෂිතභාවය උදෙසා මේ වෙසක් සමයේදී හෝ සංගායනාවක් ජපානයේ සිදු කරන්නට අදහස් කළත් එය ලබන වසර දක්වා කල් දමන්න සිදු වුණා.

ආක්‍රමණිකයන් විසින් විනාශ කර දමන ලද ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය යළි ජපානයේ ඉදි කරන්නට කටයුතු කර තිබෙන අතර එය මේ වසරේදී නොව ලබන වසරේ නොවැම්බර් මස ඉදි කරන්නට කටයුතු කිරීම නිසා ධර්ම සංඝායනාවත් ලබන වසරේදීම සිදු කරන්නයි ලෝක බෞද්ධ සමුළුවේ තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අනන්‍යතා ලෙස අප දකින, වෙසක් පහන් කුඩු, බැති ගී වැනි දේ අනෙක් බෞද්ධ රටවලත් දක්නට තිබෙන නමුත් තොරණ දකින්නට තරමක් අපහසුයි. වෙසක් දින උලෙළ පමණක් මහ ඉහළින් පවත්වා ඒ සමයේ පමණක් සමරුවක් සිදු කරනවාට වඩා වටින්නේ බුදුදහමට චිර ජීවනයක් තැබීම බව ලෝක බෞද්ධ සමුළුව විසින් අවධාරණය කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවාසීන්ද ඒ අනුව කටයුතු කරනවා නම් එයත් වඩා වැදගත් වනවා. විශේෂයෙන්ම අප කල්පනා කළ යුත්තේ බුදුදහමේ අනාගතය සම්පූර්ණයෙන්ම පවතින්නේ අපගේ ක්‍රියාවන් එසේත් නැත් නම් විනය මත බවයි. බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙසක් සමයේ අපට කළ හැකි විශාලතම උපහාරය පූජාව වන්නේ බුදුදහමේ චිරස්ථිතියට තමන්ට හැකි උපරිම ලෙසින් දායකත්වය සැපයීමයි.

 සංවාදය - තාරක වික්‍රමසේකර

Comments