
මෙරට ඓතිහාසිකව පැවත ආ වෙසක් සැමරුම බෞද්ධ දාර්ශනික පදනම හා ආධ්‍යාත්මික හරය දිය කර වර්තමානය වන විට කිසියම් සන්දර්ශනාත්මක වාණිජමය ප්රවාහයකට තල්ලු වී තිබෙනු දැක ගත හැකිය. මෙනිසා ගිහි පැවිදි දෙපිරිසම ධර්මය අධර්මය වටහාගත නොහැකිව කිසියම් ව්‍යාකූලත්වයකට පත්ව ඇත. බුදුන් වහන්සේගේ ඒ අසිරිමත් තෙමඟුල අබිමුවෙහි තබාගෙන ඇති වී තිබෙන මේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව බණ්ඩාරගම, පතහාවත්ත, පුෂ්කාරාරාම විහාරාධිපතිව වැඩවසන රාජකීය පණ්ඩිත දීයකඩුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේගෙන් අපි කරුණු විමසුවෙමු.
ස්වාමීන්වහන්ස, වෙසක් උත්සවය පැවැත්වීමේ ඓතිහාසික අරමුණ කුමක්ද?
ක්‍රි: පූ: හයවන සියවසේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ බිහිවුණු බවට ඓතිහාසික වශයෙන් ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් තහවුරු කර තිබෙන සිද්ධාර්ථ ගෞතම කියන දාර්ශනිකයාගෙ උප්පත්තියත්, එතුමාගේ දාර්ශනික අවබෝධයත්, එනම් බුද්ධත්වයත්, ඒ වගේම පරිනිර්වාණයත් කියන කාරණා තුන මුල් කරගනිමින් උන්වහන්සේගේ ශ්රාවකයින් වන භික්ෂු -භික්ෂුණි, උපාසක - උපාසිකාවන්ගේ සම්භාවනාවට වෙසක් පෝහොය දිනය පත්වා තිබෙනවා. ඓතිහාසිකව බැලුවත් ඒ දිනය සිහපත් කළ බවට සාධක තිබෙනවා. ලංකාවේ බුදු දහම ව්‍යාප්ත වුණාට පස්සෙත් අාධ්‍යාත්මික දියුණුව සාක්ෂාත් කර ගන්න ඉවහල් වුණ ඒ ශ්‍රේෂ්ඨ දර්ශනයට කරන උපහාරයක් ලෙස මේ දිනය සිහිපත් කර තිබෙනවා. එකල මෙය සිදු වී තිබෙන්නෙ ප්‍රතිපත්ති පූජාවක් හැටියටයි.
අද වෙද්දි ගිහි පැවිදි දෙපක්ෂයම අාධ්යාත්මිකව මේ දිනය සමරන බවක් අපට පෙනෙන්නට නැහැ. පුහු ආටෝප සාටෝප සැරසිලි තමයි අපි අද ඒවෙනුවට දකින්නේ?
මෙය අපි ඉතාම සිහිනුවණින් තේරුම්ගන්න ඕන තත්වයක්. ලෝකයේ සියලු දාර්ශනවාදයන්ට එක අවධියකදි අත්වන ඛේදනීය තත්වයේ එක පැති කඩක් තමයි, වර්තමානයේ ලංකාවේ මේ වෙසක් පෝය නිමිති කරගෙන සිදු වන්නේ. නිගණ්ඨ නාථ පුත්‍රගේ දර්ශනය ඉතාම සුළු කාලයකින් විනාශයට පත් වෙන්න බලපාපු හේතුව ලෙස ශ්‍රාවකයින්ගේ බිඳවැටීම බව පෙන්වා දෙමින් බුදුන්වහන්සේ ජීවමාන කාලයේම කිසියම් අනතුරු ඇඟවීමක් කරනවා. ලංකීය ජනසමාජයේ බිඳවැටීමත් එක්ක ඔවුන්ගේ අධ්‍යාත්මික ආයතනය වන පන්සලටත් එය බලපා තිබෙනවා. ඒ බිඳවැටීමේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිපත්ති පූජාව වෙනුවට, නැත් නම් බුදුන් වහන්සේ ලෝකයට පෙන්වාදීපු සත්‍යට ළං වෙනවා වෙනුවට සංදර්ශනාත්මකව උන්වහන්සේ සිහිපත් කිරීමක් තමයි අද අපි දකින්නේ. මේ නිසා වෙසක් උත්සවයක් හා කානිවල් එකක් අතර වෙනස හොයාගන්න බැරිතරමට මෙහි පරිහානි කර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඇති වී තිබෙන පරිහානිය පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කළොත්?
පුළුවන් තරම් ශබ්ද දූෂණය කරල, පුළුවන් තරම් විදුලි බල්බ් දල්වල, සමාජ විෂමාචාරයන්ට පොලඹවන මිනිස්සුන්ගෙන් දේශපාලඥයින්ගෙන් අනුග්‍රහය ඇතිව දන්සල් දීල මේ සිදු කරන ක්‍රියාවලිය ඇතුළෙ තියෙන්නෙ අර අපි කලින් කියපු දාර්ශනික පූජා නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් සංදර්ශනාත්මක ක්‍රියාවක්. මේ ලංකාවේ ජනසමාජයේ බිඳවැටීම පෙන්වන ඉතාම හොඳ නිර්ණායකයක්. මොකද මේ තරම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ව සහිපත් කරන්න ඕන පිළිවෙළ මේ අය දන්නෙ නැහැ. ඔවුන් ඒ සඳහා අනුගමනය කරන්නෙ මේ පිළිවෙල නම් අපි අපේ අධ්‍යාත්මය සුවපත් කරගන්නෙ කොහොමද? මෙන්න මේ අර්බුදය අද වෙද්දි ඇති වී තිබෙනවා. අද මේ පූජා උත්සවය මැද්දට වෙළෙන්ඳො පැමිණ තිබෙනවා. දන්නෙම නැතුව මිනිස්සුන්ගෙ පොකට් එක හිස්වී තිබෙනවා. ඒ ගැන ඒ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්නෙ ඒකෙන් පරලොව ජීවිතය සුවපත් වෙනව කියල. මේ සන්දර්ශනාත්මක ස්වරූපය බුදුන්වහන්සේ තදින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්. බුදුන්වහන්සේව සහිපත් කරන්න යමෙක් බෙහෝම පුංචියට යම් දෙයක් කිරීම වරදක් ලෙස මම දකින්නේ නැහැ. නමුත් අද වෙද්දි මෙය ඉතාම පුංචි ස්ථානයේ සිට මහාපරිමාණ ස්ථානය දක්වාම කානිවල් ස්වරූපයකට ගමන් කර තිබෙනවා. මට අනුව නම් එය අපි මුහුණ දෙමින් තිබෙන ඛේදවාචකයක්.
උදේ පටන් ගන්නෙ පිරිත්වලින්, රෑට නින්දට යන්නෙ පිරිත්වලින්. ඒත් හොර මැරකම්, ස්ත්‍රී දූෂණ, බාල අපචාර මේ දේවල් එන්න එන්නම වර්ධනය වෙලා. ඒ කියන්නේ මේ විදියට බණ ප්‍රචාරය වුණයි කියල අල්පමාත්‍ර වෙනසක් සමාජය තුළ සිදු වී නැහැ කියන එකයි. මෙවැනි සංස්කෘතික උත්සවයන් සබුද්ධිකව සැමරීමට ගිහි පැවිදි දෙපාර්ෂවයම අපොහොසත් වීම මේකට එක් හේතුවක් නේද?
මම ඒ කාරණය සම්බන්ධයෙන් සීයට සීයක් ඔබ සමඟ එකඟ වෙනවා. අපි සියුම්ව මේ පිළිබඳව අවධානය යොමු කළොත් අපට පේනවා මේ තිබෙන සියලු ජනමාධ්‍ය මේ දාර්ශනික ධර්ම මාර්ගය මිනිස්සුන්ට අවබෝධ කරල දෙන්න නෙමෙයි ක්‍රියා කරන්නේ. ඔවුන් මේ දිනය පාවිච්චි කරන්නේ ඒ අයගෙ වෙළෙඳ අරමුණු සඳහා. ඒවගේම ඔය විද්‍යුත් නාලිකා බොහෝමයක ප්‍රචාරය වන පිරිත් අරගෙන බැලුවොත්, ඇතැම් පිරිත් ඇරුණාම ගොඩක් ඒවා පසුකාලීනව මහායාන බලපෑම මත සකස් කරගත්ත ආරක්ෂක මන්ත්‍ර කියන ඒවා. විවිධ හේතු කාරනා නිසා බියට පත්වෙච්ච ජනතාවට ඒ බියෙන් මුදවා ගැනීමට කියල පෙන්වන, මිනිස්සුන්ව මිථ්‍යාවට තල්ලු කරන දේවල් තමයි අද වැඩිපුරම ප්‍රචාරය වන්නේ. මේ හේතුව නිසා හක්ගෙඩි, විරූපී පිළිම, කාසි, මුදු, ශාක ...ආදී නොයෙක් දේවල් විකුණන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. මේ දෙවල්වලට එක්පැත්තකින් මාධ්‍ය ආයතන පමණක් නෙමෙයි, රජය මැදිහත්වෙලා, පන්සල් මැදිහත්වෙලා සංවිධානාත්මක මට්ටමින් වගේ මේ දේවල් සිද්ධ කරනවා. මේකෙ ප්‍රතිඵලය හැටියට නියම බුදුදහම මොකක්ද? ඇත්තටම මේ දාර්ශනිකයා කවුද? කියල හොයනවා වෙනුවට විශාල විකෘතියක්, විපරීත තත්ත්වයක් අද අප හමුවට ඇවිත් තිබෙනවා. මේ විපරීත මට්ටමේ ඉන්න මිනිස්සුන්ගෙ හොඳ නරක පිළිබඳ වැටහීමත් ඈත් වී තිබෙනවා. ඒ නිසා ලෝකෙ ආගම් අදහන්නේ නැති මින්ස්සුන්ටත් වඩා ඉතාම ඛේදනීය ඉරණමකට අපේ සාමාන්‍ය මනුෂ්‍යයා ගොදුරු වී තිබෙනවා. මේ නිසා ඔහු තුළ පැවති මනුෂ්‍යත්වය බිඳවැටී තිබෙනවා. බස් එකක තව මනුස්සයෙක් එක්ක එකට වාඩිවෙලා යන්න බැහැ, පාරේ එකට යන්න බැහැ, සමඟියෙන් වැඩ කරන්න බැහැ. කුඩා දරුවාගේ සිට වයස්ගත කෙනා දක්වා භයානක ආධ්‍යාත්මික පරිහානියකට පත්වෙලා. මෙය රටකට ඉතාම අහිතකර තත්ත්වයක්. මෙහි ඛේදවාචකය වෙන්නෙ මෙහි සියලු භිහිසුණු තත්ත්වයන් ඉවසා දරාගෙන සිටීමට ලංකාවේ ඉන්න උගතුන් බුද්ධිමතුන්පවා පෙළඹී සිටීමයි. මේ විදියට ඉදිරියට ගමන් කළොත් අපි කොයිතරම් අඳුරු යුගයකට ගමන් කරනවද කියන කාරණාව කාටවත් නිශ්චය කරන්න බැහැ.
මේ කාරණාවත් එක්ක වත්මන් භික්ෂුවගේ කාර්ය විදියට ඔබවහන්සේ දකින්නේ කුමක්ද?
මෙය ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද භික්ෂුව කියන්නෙ මේ ජන සමාජයේම කොටසක්. ඔවුනුත් හැදී වැඩෙන්නෙ මේ පරිසරය තුළමයි. එනිසා, සමස්ථ ජනසමාජයම බිඳවැටුණට පස්සේ භික්ෂුව පමණක් ඉන් ගැලවී සිටිනවා යැයි සිතීමට නොහැකි වීමයි. ඒ කෙසේ නමුත් මින් නිදහස් වීමට ඔවුන්ටත් කිසියම් වගකීමක් පැවරී තිබෙනවා. ඒ මේ ජනතාව නැවත සබුද්ධික සංවාදයකට ඇද ගැනීමට කටයුතු කිරීම. ඒ වෙනුවට අද බොහෝ තැන්වල දකින්නට තිබෙන්නේ හුදු උත්සව මාලවන්ම පමණයි. ඒ ආමිස පූජාවෙන් කීයටවත් සමාජය සබුද්ධික කරන්නට බැහැ. එහෙත් ඒ හරහා විහාරස්ථානයට එන ජනතාවට නේද අර දාර්ශනික අවබෝධය ලබාදෙන්න පුළුවන්, කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එත් එය පුහු තර්කයක්. මොකද ඒ එන පිරිස දිහා අපි සිහියෙන් බැලුවම පේනවා එහෙම අධ්‍යාත්මික සංවාදයක් ඔවුන් තුළ නැති බව. එනිසා වර්තමාන භික්ෂුවගේ කාර්ය විය යුත්තේ ජනමාධ්‍ය ආයතන, දේශපාලකයින්, උගතුන්, බුද්ධිමතුන් හා වෙත් වෙනත් පාර්ෂව එකතු කරගෙන අර බොල් හඬ උච්චාරණ කිරීම නවත්තල ඒ වෙනුවට බුදුහාමුදුරුවන්ගේ දාර්ශනික පණිවිඩය රැගෙන යමින් අාධ්‍යාත්මික හරය ඉස්මතු වෙන ආකාරයේ කථිකාවතක් ඇති කිරීම.
මේ නැගෙන බොල් හඬ මොකක්ද කියල ඔබවහන්සේ තවදුරටත් පැහැදිලි කළොත්?
මේක තෙරුම් ගන්න මං එක උදාහරණයක් එකතු කරන්නම්. බුදුන්වහන්සේ මිහිඟු බෙරය පිළිබඳව එක්තර උදාහරණයක් දක්වනවා. ශාක්‍යන් සතුව අතීතයේ මිහිඟු බෙරය නම් කන්කළු වාද්‍ය භාණ්ඩයත් තිබුණා. මෙය වාදනය කරද්දි ඉතාම මිහිරි රාවයක් නැගෙනවා. කලයක් යද්දී මේ මිහිඟු බෙරයේ ඇස් විනාශයට පත් වුණා. ඒක පැත්තකට දාල පරම්පරා ගාණක් ගත වුණා. දවසක් කෙනෙක් මේ බෙර කඳ දැකල අතට අරන් බැලුවම මේකෙ තියෙනවා මිහිඟු බෙරය කියලා සටහන් කරලා. ඉතිං ඔහු මේ බෙර කඳට තට්ටු කරා. ඒකෙන් බොල් හඬක් නැගුණා. ඉතිං අතීතයේ හිටපු මුතුන් මිත්තන්ගෙන් මිහිඟු බෙරය ගැන අහල තිබුණු මිනිස්සු හිතුවා මේ එන්නෙ ඒ මිහිඟු බෙර නාදය කියල. නමුත් අර මුල් මිහිඟු බෙර වාදනය අහපු කෙනෙක් නැහැ. මේ අයට මේ ඒක නෙමෙයි කියල පැහැදිලි කරන්න. ඉතිං හැමෝම මේකට රැවටුණා. රැවටිලා හැම එක්කෙනාම මේකට පුද පූජා පවත්වන්න පටන් ගත්තා. නමුත් දන්න අය දන්නවා මිහිඟු බෙරය කියන්නෙ මේ බොල් හඬ නෙමෙයි අර කන්කළු නාදයට කියලා. අද වෙන කොට බුදු දහම විෂයෙහිත් සිදු වී තිබෙන්නේ මේ දේමයි. ජාති ආගම් කුලය නිලය බලය මේ සියල්ල අභිබවා ඒවා ප්‍රතික්ෂේප කරමින් සකල ලෝකවාසී සත්වයා දුකින් මුදවීම සඳහා බුදුන්වහන්සේ ඉදිරිපත් කළ ඒ මානව හිතවාදී දර්ශනය අද මිනිසුන් තුළ ආවේගය වර්ධනය වන, මිනිසුන් තුළ සංවාදය අහිමි කරන හරසුන් ක්‍රමවේදයක් බවට පත් කර තිබෙනවා. ඒවා දවසින් දවස වර්ධනය වෙනවා. ඒ හරසුන් ක්‍රමය අද මේ අය බුදු දහම හැටියට විග්රාහ කරමින් සිටිනවා. මොකද ඒ අය අර මිහිඟු බෙරයට වුණා වගේ ඇත්ත කාරනය පිළිබඳව සබුද්ධික නැති නිසා. ඒ නිසයි මම කිවිවේ, මේ උතුම් දවස මේ ආකාරයට පත් කරගැනීම ඛේදවාචකයක් කියලා.
එහෙම නම් මේ බොරු මිහිඟු බෙරය අතහැරලා අප සොයා යා යුතු අප දැකිය යුතු නියම මිහිඟු බෙර වාදනය කුමක්ද? ඇත්තටම බුදුන්වහන්සේ කියන්නෙ කවුද?
ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්, මේ විදියට කෙටි උත්තරයක් දෙන්න අපහසුයි. නමුත් අපි සරලව තේරුම් ගන්න උත්සාහ කළොත් බුදුන්වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රවකයින් සිටින වේදිකාවකදි කෙනෙක් අහනවා ඔබ වහන්සේ ලා කාටද මේ ධර්මය ඉදිරිපත් කරන්නේ කියල. එතනදි සැරියුත් මහරහතන් වහන්සේ නැඟීසිටිමින් උත්තර දෙනවා "මේ දහම ප්‍රඥාවන්තයින්ට පමණයි" කියල. ඒ කාරණය පදනම හැටියට අරගෙන බුදුන්වහන්සේ කියන්නෙ කවුද? කියල ඔබ නැගූ ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්. බුදුන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේව දැනගන්න දැකගන්න තියෙන එකම මාර්ගය ධර්මය දැකීම බව. එහෙම නම් ධර්මයෙන් දකින්න ඕන බුදුහාමුදුරුවන්ව. ධර්මය කව්වාම දෙපැත්තක් තිබෙනවා. සාමාන්‍ය මනුෂ්‍යයෙක් ශිෂ්ටසම්පන්න, ශීලාචාර, ගුණධර්ම සහිත යහපත් මනුෂ්‍යකු බවට පත්වීමට උදව් කරන ධර්මය. එනම් පංච දුෂ්චරිතයන්ගෙන් ඈත්වෙලා, දෙමව්පියන්ට සලකන, අන් කිසිවකුට කිසිදු ආකාරයේ කරදරයක් නොකරන, සොබාදහම විනාශ කිරීමට කටයුතු නොකරන යහපත් මනුෂ්‍යයෙක් වීම. මෙන්න මේ යහපත් මනුෂ්‍යයා, ඊළඟට ඒ යහපත් භාවය පදනමක් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දාර්ශනික කරණු, එනම්, පටිච්චසමුප්පාදය, චතුරාර්ය... සත්‍ය ආදී කරුණු අවබෝධ කර ගන්න දරන උත්සාහය හරහා බුදුන්ව දැක ගන්න පුලුවන් කම ලැබෙනවා. ඒ හරහා දකින්න ලැබෙන බුදුහාමුදුරුවො මේ කානිවල් හරහා දකින්න ලැබෙන බුදුහාමුදුරුවන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. අන්න එතන ඉඳල අපි බුදුහාමුදුරුවන්ව දකින්න උත්සාහ කරනව නම් පමණයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්ත බුදුහාමුදුරුවෝ කවුද කියල දැන ගන්න පුළුවන්.
හොඳයි ස්වාමින් වහන්ස. එහෙම නම් අපි මෙතනින් ඉදිරියට යන්න නම් කරන්න ඕන මොනවද?.
මේ ප්‍රශ්නයටත් සරල උත්තරයක් දෙන්න අමාරුයි. මොකද අද මේ තියෙන සමාජය නැවත පුණරුත්තාපනය කරන්න පුළුවන්ද කියල හිතෙන තරමට සංකීර්ණයි. නූල් බෝලයක්වගේ පැටලිලා තියෙන්නේ. කිසියම් සබුද්ධික කාරණාවකට ඇහුම්කන් දෙන, ඒ මත පිහිටා තර්ත විතර්ක කරන පිරිසක් හොයාගන්න අමාරු තරමට සමාජය මූලික දහම් මාර්ගයෙන් ඈතට ගිහිල්ලා. මේක ඇතුළෙ සමහරක් තමන් පෞද්ගලිකව විමුක්තිය හොයාගෙන යන්න ඕන කියල හිතාගෙන ගෙවල් දොරවල් සියල්ලම අතහැර දාළ කැලේට යන පිරිසකුත් අද දකින්න ලැබෙනවා. ඒකත් නිකං අමුතු බුද්ධාගමක් හදාගන්න යන ගමනක් වගේ. අර කාලාම සූත්‍රයේ කාලාමට හරිදේ මොකක්ද වැරදී දේ මොකක්ද කියල හොයාගන්න බැරිවුණා වගේ පටලැවිල්ලකට අද අපේ රටේ සාමාන්‍ය ජනතාව ඇද වැටී සිටිනවා. මේ තත්වයෙන් ගොඩ එන්න නම් මේ රටේ සුළුවශයෙන් හෝ සිටින අවබෝධයක් සහිත නැණවත්, ගුණවත්, සිල්වත් භික්ෂූන්වහන්සේලා එකට එකතුවෙලා, සබුද්ධික සංවාදයක් ඇති කර මේ උතුම් ධර්මය විවිධාකාරයේ වෙළෙන්දන්ගේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීමට ඉඩ නොදී මෙහි තිබෙන අධ්‍යාත්මික හරය උකහාගෙන මේ ශ්‍රේෂ්ඨ දර්ශනය රැකගැනීම සඳහා කටයුතු කරන්න වෙනවා. ඒ ඇති වන සබුද්ධික සංවාදයට දහමට ආදරය කරන උගත් බුද්ධිමත් ගිහියනුත් එකතු වීම අත්‍යාවශ්‍ය වෙනවා. එසේ එකතු වීමෙන් සිදුවන දෘෂ්ටිවාදීමය බලපෑමකින් මිසක් වෙනත් කිසිම ක්‍රමවේදයකින් මේ තත්ත්වයට තිත තියන්න ලැබෙන්නේ නැහැ.
මම අවසාන වසයෙන් මේ රටේ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකාවන්ගෙන් ඉල්ලන්නේ අපි පසුගිය අවුරුදු පනහක් හැටක් තිස්සේ ආපු මඟ දිහා අපහු හැරිල බලන්න. අපි රටක් හැටියට මොනතරම් ආපස්සට ගිහින් තියෙනවද? ලෝකෙ අන්‍ය ජාතීන් විවිධ පැතිවලින් ඉදිරියට යද්දි අපි මොනතරම් පරිහානියකට තල්ලුවෙලා තියෙනවද? අපේ දරු පරපුර මොනතරම් මාකසික වශයෙන් බිඳවැටී තියෙනවද? මේක අපි අන්‍ය ජාතියකට, අන්‍ය රටකට පවරමින් ඇඟිල්ල දික්කරනවට වඩා අපි තුළ මොනවක්වත් අඩු පාඩු තිබුණෙ නැද්ද කියල හිතල බලන්න, ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. නැති නම් ලංකාවේ බුදු දහම නැති වී යාමේ අනතුරට අපි මුහුණ පානවා. මේ තත්ත්වය තේරුම් ගෙන අපි හැමදෙනාම මේ බොරු හිස් කානිවල් උත්සව වෙනුවට මින් එහාට ගිය දාර්ශනික සංවාදයකට පන්සල නතු කරන්න ඕන. ඒ සඳහා එකතු වෙන පිරිස සුලුතරයක් වෙන්න පුළුවන්. පුංචි වුනත් ඒකෙන් සුවපත්වන මිනිස්සු දිහා බලාගෙන කටයුතු කරමු. එතකොට අනික් අයත් ඒක වැලඳ ගනීවි. එනිසා අපි මේ අත්විඳින ඛේදවාචකයේ වරද තියෙන්නේ ධර්මය තුළ නෙමෙයි. ඒ ධර්මය වෙනුවට අධර්මය ඉෂ්මතු කර ගන්න හදන අප තුළමයි. ඒ නිසා අපි මේ වැරදි අඩුපාඩු හඳුනාගෙන රටක් විදියට සුවපත් වෙන්න උත්සාහ කරමු. වෙසක් පෝය දවසක බුදුන්වහන්සේට අපිට කරන්න පුළුවන් ලොකුම පූජාව අන්න ඒකයි.
සංවාදය රසික කොටුදුරගේ