පංකුලියේ සිත නිවන පින් බිම | සිළුමිණ

පංකුලියේ සිත නිවන පින් බිම

 සොඳුරු දසුන් නෙත ගැටෙන්නට අපි පින් කළ තිබිය යුතුය. නෙත ගැටෙන මේ සොඳුරු දසුන් ඔස්සේ මැවෙන සිතුවිලි චමත්කාර ජනකය.ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බැලූ බැලූ අත දිස්වන්නේ සොඳුරු දසුන් පමණි. විජිතපුර පවුරේ සිට යෝධ මිනිසුන් පිළිබඳවත්, අවුකන පිළිම වහන්සේ අභියස සිට විසිරීයන මෙත් මුදිතා කරුණා ගුණ ධාරාවත්, ජය ගඟ, යෝධ ඇළ, කලාවැව සුපෝෂිත ජලධාරාවත් රජරටට පිවිසෙන අපට අපේකම පසක් කරදෙනු ඇත. ඈත ගම් දනව්වේ සිට ඔබ රජ රටට පැමිණෙන්නේ මේ සිංහල බෞද්ධයාගේ උපන් ගම නිසාවෙනි. තූපාරාමයෙන් ඇරඹි වෙහෙර විහාරස්ථාන බොහොමයක් අද අපට හමුවන්නේ නටබුන් ලෙසටය. මහ පොළව බදාගෙන වැතීරි සිටින ගල් කණු, නොසැලි බලා සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේලා, , අහසේ ගෑවෙන වෙහෙර දාගැබ් , ප්‍රෞඪ අතීතයක ශ්‍රී විභූතිය කියාපායි. දෙස් විදෙස් ආක්‍රමිණිකයන්ගෙන් මෙන්ම සොබාදහමෙන්ද අපමණ පීඩා විඳ තවමත් නොනැසී මේ සොඳුරු අතීතය පවතින්නේ අප වෙනුවෙන්මය.

සිය වරක් ඔබ අනුරපුරයට පැමිණියද මෙතෙක් ඔබේ නෙත නොගැටුණ සොඳුරු දසුන් අපමණය. අටමස්ථානය වැඳපුදා ගැනීමට පමණක් පැමිණෙන ඔබට ඒ අසලම ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර දෑ තවත් ඇත. මෙවැනි සොඳුරු දසුන් ඔස්සේ ඔබේ ගමන් මඟ යොදා ගන්නේ නම් මොන තරම් අගනේද. සංඝමිත්තා මහ රහත් තෙරණිය ජය ශ්‍රී මහ බෝදින්වහන්සේ වැඩම කරවූ ඓතිහාසික ගල් පාලම මෙන්ම දේවානම් පියතිස්ස රජු විසින් නිමකරන ලද පඨමක චේතිය හෙවත් උත්තර මේඝ ගිරි විහාරයද (මෙය කිරිබත් වෙහෙර ලෙසද හඳුන්වනු ලබයි.), මහායාන සම්ප්‍රදායට අයත් චෛත්‍යයකින් යුතු විජයාරාමය, පංකුලිය සමාධි බුදු පිළිම වහන්සේ ද දැක වැඳ පුදාගෙන නැතුවා විය හැකිය. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කෘති සඳහා පමණක් මෙහි පිවිසෙනවා වෙනුවට අසිරිමත් අනුරපුර සිරි දූ දරුවන්ටද විඳින්නට ලබා දීම අපගේ යුතුකමකි.

පංකුලිය අශෝකාරාමය වැඳ පුදා ගන්නට අවස්ථාව උදාකරදීමට මේ ලිපිය මෙලෙස පෙළගස්වමු. දහස් ගණන් බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙන අනුරාධපුර පූජා නගරයේ පවතින තද බදය අතර මේ තරම් සුන්දර නිස්කලංක ඉසව්වක ලැබෙන අප්‍රමාන සුවය මෙතෙකැයි කිව නොහැක. කුට්ටම් පොකුණත් , සමාධි පිළිම වහන්සේත්, අතර හමුවන හතරමං හංදියට පැමිණි ඔබ, පිවිසිය යුත්තේ ගල් පාලම පාරටය. එම මාවතට පෙරිමියන්කුළම පාර යැයි ද කියනු ලැබේ. මේ හතරමං හංදියේ සිට ඔබ යායුත්තේ කි.මී 2 පමණි. පෙරිමියංකුළම අශෝක මහ විද්‍යාලය පසුකර මඳ දුරක් ගිය පසු දකුණු පසින් අශෝකාරාමටය පිවිසෙන මාවත පිළිබඳව සඳහන් නාම පුවරුව දැක ගත හැකි වෙනු ඇත.(1) මෙය කුඩා ගුරු පාරකි. වෙල් යායක් මැදින් වැටී ඇති මේ මාවත දිගේ ඔබ යායුතු දුර කි.මී 1 කි (2). වාහනයකින් ගමන් කිරීම අපහසු අතර ඔ බේ නඩේටම මෙහි ඇවිද යාම අපහසු නොවන්නේ මේ මාවත අවු රශ්මියෙන් තොර වීම නිසයි.

තනිවම හෝ දෙදෙනෙකු සමඟ යනවාට වඩා කණ්ඩායමක් ලෙස මේ ගමන යනවානම් වඩාත් උචිතය. මන්ද මිනිස් වාසයකින් තොර ඉතාමත්ම නිස්කලංක පරිසරයක‍ අශෝකාරාමය පිහිටා ඇති බැවිනි. අතීතයේ මෙම ආරාම සංකීර්නය වටවී තිබුනේ යැයි සැලකෙන දිය අගල අද යල මහ ඉතා හොඳින් පූදින කෙත් යායකි. මේ කෙත්යායේ මහ නියරට පිවිසෙනවාත් සමගම ඔබට ඉදිරියෙන් දිස්වෙන නටබුන් සහිත කුඩා කඳු ගැටය දිස්වෙයි.මේ කඳුගැටය පෙනෙන තෙක් මානයේ සිට ඔබ කළ යුතු විශේෂ කාරියක් ඇත. ඒ නිහඬ බව ආරක්ෂා කිරීමය. මන්ද මේ පරිසරයේ හිමිකාරිත්වය දරන්නේ මොනරුන් විසින් බැවිනි. වී කුරුල්ලන් , දෙමලිචචන් බට්ටිචචන් ගැවසෙන්නාක් සේ මෙහි ගැවසෙන්නේ මොනරුන් පමණි. ගල් කණු මත වසා සිටින රූස්ස අතු මත වසා සිටින මොනරුන් නෙත ගැටෙන ඔබට සතුට දරාගත නොහැකිවෙනවා නියතය. නමුත් ඔබ නිහඬ ව මේ සතුට බුක්තිවිඳිය යුතුය.

ඔබට ශ්‍රී ලංකාවේ ඇති සුන්දරම විශිෂ්ටම සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ දෑසින් දැක බලා ගැනීමේ භාග්‍යය මෙහිදී උදාවෙනු ඇත. මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් බෙහෙවින් වැදගත් සථානයකි. ක්‍රි:ව: 6 වන සිය වසට පමණ අයත්වන අශෝකාරාම සංකීර්ණය මුල් කාලීන පබ්බත විහාර ගනයට අයත්වේ.

පබ්බත විහාරයක ප්‍රධාන ලක්ෂණ ලෙස පිළිම ගෙය, ස්තූපය, ජන්ඨාඝරය, දාන ශාලාව, උපෝසථා ඝාරය, සංඝාවාසය මෙන්ම පොකුණු ද ඇතුලත්ය. ආශෝකාරාමයේ ඉතිරිව ඇති නටඹුන් අතර මෙම අංග වෙන වෙනම හඳුනා ගැනීමට පහසුය. මේ භූමියෙන් සොයා ගන්නා ලද සෙල්ලිපියකට අනුව මෙය දප්පුල රජු ( ක්‍රි :ව:918-930 ) විසින් භික්ෂුණී ආරාමයකට අයත් ඉඩමක් බදු බරින් නිදහස් කළ බව සඳහන් වේ. එහෙයින් විද්වතුන්ගේ අදහස වන්නේ මෙය භික්ෂුණි ආරාමයක් ලෙසයි.

ආරාම සංකීර්ණායේ ප්‍රධාන දොරටුව දකුණු දිසාවට විවෘතව ඇත. නැගෙනහිරෙන් ගලා බසින්නේ කදම්ඹ නදිය හෙවත් මල්වතු ඔයයි. මල්වතු ඔය දිසාවටද ප්‍රවේශයක් තිබූ බවට සාධක ඇත. මෙම ආරාම සංකීර්ණයේ ඉතාමත්ම වැදගත් පුරාවස්තුව වන්නේ වීර්යාසන ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේය. මෙම ප්‍රතිමා වහන්සේ අභය සහ ආහ්නව මුද්‍රා නිරූපණය කරයි. මෙම පිළිමගෙය වටා විවධ ප්‍රමාණයේ ගල් පුවරු යොදා ගනිමින් ඉදිකරන ලද ප්‍රාකාර බැම්මකි. මේ ප්‍රාකාර බැම්ම පිළිම ගෙට උතුරු දෙසින් මී .2.20 ක් දුරින්ද නැගෙනහිර දෙසින් පී.1.40 උසින්ද දක්නට ලැබේ. මෑතකදී සංරක්ෂණය කරන පීඨිකාවක මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇත. මෙම පිළිමයේ මුහුණ මඳක් ගෙවී ගිය ස්වරූපයෙන් දිස්වේ. එමෙන්ම මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීමේදී දෑස් මැණික් ඔබ්බවා නිමකර තිබී ඇත. වසර සිය ගානක් අව් වැසි පීඩා විඳි බවට සාධක එම බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටු පමණින් පසක් වෙණු ඇත. අප නිතර වැඳ පුදා ගන්නා සමාධි පිළිම වහන්සේට එහා ගිය නිර්මාණාත්මක ලක්ෂණයන් බොහෝමයක් පංකුලිය සමාධි පිළිම වහන්සේ සතුය.

මෙම පිළිම ගෙට ප්‍රධාන පිවිසුම් දොරටුව දකුණු දෙසින් පිහිටා ඇත. නැගනහිර දිසාවෙන්ද කුඩා දොරටුවක් ඔබට දැක ගත හැකිවනු ඇත. පිවිසුම් දොරටුව අභියස ඉතා චාම් කැටයම් සහිත සඳකඩ පහනකි. මෙය පඨිකා ස්වරූපයේ සඳකඩපහනකි. මෙම සඳකඩ පහනේ නෙළුම් පෙතිවලින් අලංකාර කර ඇති අතර ඇත් සහ අශ්ව යන සත්ව රූප පමණක් යොදා ඇත. මෙහි පියගැට පෙළ පඩි හතරකින් යුක්ත වන අතර, තුන්වන පිය ගැට පෙළෙහි අපහැදිලි බ්‍රහ්මීය අක්ෂර මෙන්ම දෙකෙලවර කුඩා නෙලුම් මල් දෙකකින් යුක්තය(3). මෙහි කොරවක් ගල බොරදමි යොදා හැඩ ගන්වා ඇත. සෙ.මි 90 උස මුර ගල් දෙකකි.

පිළිම වහන්සේ වැඳපුදා ගත් ඔබට එහි ඉදිරියෙන්ම දැක ගත හැකි හතරැස් ගොඩනැගිල්ලකි. එය ස්තූපයට අයත් පාදමයි. පාදමේ සිට ඉහල දාගැබ මුළුමනිනම විනාශ වී ගොස් ඇත. මෙහි සළපතල මලුවට පිවිසුම් දොරටු හතරකි. මෙය වටදාගෙයක් සහිත වු බවට ස්ථුපය අවට නෙළුම් මල් හැඩැති කුළුණු ‍කොටස් සාක්ෂි සපයනු ඇත. සලපතල මලුවේ සිට පොළවට ජලය ගෙන ගිය කානු පද්ධතියකි. සලපතල මළුවේ කුඩා සෙල්ල්පියකි. මේ අසලම ඇති පැන් බඳුනකද කුඩා සෙල්ලිපියක් දැක ගත හැකිය (4). එදා රජ දවස මේ පැන් බඳුන පූජා කළ උවැසියගේ තොරතුරු මේ සෙල්ලපියේ සඳහන් බව පුරා විද්‍යා ගවේෂණ වාර්තා සනාත කරයි.

අශෝකාරාමය භික්ෂුණින් වහන්සෙලා වෙනුවෙන් පූජා කළ බවට වටිනාම සාධකය වනුයේ එහි උතුරු දෙසට වන්නට පිහිටා ඇති කැසිකිළි ගලයි. එය ඉතාමක්ම නිර්මාණෂීලි බවකින් යුක්තය. එහි සියුම්ව නිරමාණය කරණ ලද කාන්තා රූපයකි.

2006 වසරේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ආරාම සංරක්ෂණය කිරීම අරඹා ඇත. මේ පුද බිම තුළ පවතින ඓතිහාසික වටිනාකම මෙන්ම මෙහි පරිසර පද්ධතියද ඉතාමත්ම ඉහල අගයකින් යුක්තය.

සොබා සුන්දරත්වයට කිසිදු හානියක් සිදුවී නොමැත. ඓතිහාසික උරුමයක අසිරිය විඳීමට නොව ජීවිතයට පොඩි වෙනසක් විනෝදයක් සඳහා පමණක් පැමිණෙන අප විසින් දමා යන ඉටි කොළ පිලාස්ටික් බෝතල් වැනි අපද්‍රව්‍යය කිසිවක් මේ බිමෙහි සොයා ගැනීමටවත් නොහැකි වීම සතුටට කාරනාවකි. ඊට ආසන්නම හේතුව වනුයේ මිනිස් වාසයකින් තොර වීමය. කුඩා භූමිබාගයක් පුරා විසිරී ඇති මෙමෙ ආරාම සංකීර්ණය නටබුන්ව ගිය ජන්ඨාඝර, ද්වාර මණ්ඩප, ඇතුළු ශේෂ වූ බොහෝ ගෙඩනැගිලි දැක ඔබගේ සිත් පහන් කර ගත හැකිය.

ලොවම විස්මයට පත් කළ අපූරු සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් වන අපගේ අනන්‍යතාවය පිළිබිඹු වනු‍යේ සියවස් ගනනාවක් නොනැසී ශේෂව පවතින මේ අතීතය නිසාවෙනි. ගහට කොළට සතා සිව්පාවට ආදරය කළ මිනිසුන් මෙහි වාසය කළ නිසාය. අපද ඒ ප්‍රෞඩ අතීතයේ උරුම කරුවෝ වෙමු.

නමුත් මේ වන විට ආත්මාර්ථකාමීත්වය ඉහ වහා ගිය මිනිසුන් පිරිසක් බවට අප පත්වී ඇත. අප විසින්ම අපේ උරුමය නසා දමන පිරිසක් බවට අප පත් වී ඇත. එමනිසා කරුණාකර මෙවැනි පුදබිම් කරා පිවිසෙන විට ස්වභාවික පරිසරයට උචිත නොවන කිසිවක් මෙහි රැගෙන නොයන්ට ඔබ කාරුණික විය යුතුය. මතු උපදින පරම්පරා ගනනාවකට මේ උරුමය රැක දිය යුතුය. එය අපගේ වගකීමකි.

Comments