බින්දුවේ සැතැපුම් කණුව | සිළුමිණ

බින්දුවේ සැතැපුම් කණුව

 ශ්‍රී ලංකාවේ කොතැන ගියත් ප්‍රධාන නගරාසන්නයන්හිදී දුර සැතැපුම් (දැන් කිලෝමීටර්) දැක්වෙන දැන්වීම් පුවරු ඔබ අනන්තවත් දැක ඇත. රාත්‍රි කාලයේ පවා පැහැදිලිව දර්ශනය වන අයුරින් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නිර්මිත මේ දැන්වීම් පුවරු මඟින් මහමඟ භාවිත කරන්නන්ට ඉතා ලෙහේසියෙන් සිය ගමනාන්තය කරා යෑමට ලැබෙන්නේ සුවිශේෂ රුකුලක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ශ්‍රී ලංකාවේ කුමන දිසාවක සිට හෝ ඔබ කොළඹ බලා ගමන් කරන්නේ නම් කොළඹට ඇති දුර ප්‍රමාණය දැක්වෙන පුවරුද ලංකාවේ සෙසු නගරාසන්නයන්හිදී ඔබ දැක තිබේ. කොළඹ යනු පාර්ලිමේන්තු ආසන පහකින් යුතු වපසරියක් පුරා විහිදී-පැතිරී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. ඉතින් මේ විශාල බිම්කඩෙන් ලංකාවේ දස දෙසට සැතැපුම් ගණනය කරන්නේ කුමන ස්ථානයේ සිටදැයි ඔබ මොහොතක් කල්පනා කළාද?

අපි ඒ පැනයට පිළිතුරු සෙවීමට ප්‍රථම මේ පූර්විකාව මඳකට කියවමු...

කොළඹ මීට ශතවර්ෂ කීපයකට පෙර පැවතුණේ නැව්තොටක් සහිත වගුරු බිම් ප්‍රදේශයක් වශයෙනි. කෙසේ හෝ මේ නැව්තොට විදේශ වෙළෙඳ කටයුතුවලදි කේන්ද්‍රස්ථානයක් ලෙස පත්ව තිබිණැයි ඉතිහාසය විමර්ශනය කරන විට පෙනී යයි. එවකට (මීට ශතවර්ෂ හයකට පමණ) රෝම හා අරාබි වෙළෙන්දන් සිය වෙළෙඳ කටයුතු සඳහා මේ නැව්තොට පරිහරණය කර ඇත. එපමණක් නොව චීන, ඉන්දීය හා පර්සියානු ජාතිකයන්ද සිය වෙළෙඳ කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කර ඇති බව පැහැදිලිය.

ඉන් පසුව මේ නැව්තොට හා අවට ප්‍රදේශය ශතවර්ෂ පහකට ආසන්න කාලයක් පාලනය කරන්නෝ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීහුය. කොළඹට මොවුන් ලොල් බඳින්නේ කොළඹ නැව්තොටේ සුවිශේෂ පිහිටීම නිසාය. 1815 වසරේදී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසුව කොළඹ වෙළෙඳ නගරයක් ලෙස කිසියම් ධනාත්මක වෙනසකට බඳුන් වෙයි. ඒ ඔවුන් මෙරටින් ලබාගත් බොහෝ දෑ සිය රට පැටවීම සඳහා කොළඹ නැව්තොට බොහෝ රුකුලක් වූ නිසාය.

ඉංග්‍රීසීන් කොළඹට නාගරික සභාවක් ස්ථාපිත කරන්නේ 1966 වසරේදීය. ඒ ලංකා ව්‍යවස්ථාදායක සභාව 1965 වසරේ කොළඹ නගර සභාවක් ලෙස සංස්ථාපනය කිරීමට පනතක් සම්මත කිරීමෙන් ය. 1966 ජනවාරි මස 16 දා පළමුවන නාගරික සභාව රැස් වී ඇත. කොළඹ නාගරික සභාව පිහිටුවීමට දශකයකට පෙර ශ්‍රී ලංකාවේ 11 වැනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූයේ සර් හෙන්රි වෝඩ්ය. මොහු ශ්‍රී ලංකාවේ ගමනාගමන පද්ධතිය කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ අයෙකි. උදාහරණයක් ලෙස: මෙරට ප්‍රථම දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන්නේද වෝඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේය.

අප මේ ප්‍රවේශය ගත්තේ කොළඹ සිට ලංකාවේ ඕනෑම ස්ථානයකට දුර මනිනු ලබන්නේ කොළඹ කුමන ස්ථානයේ සිටදැයි ඔබට පහදා දීම කරනු පිණිස ය.

කොළඹ 01 හෙවත් කොළඹ ‍කොටුවේ චැතැම් වීදියේ බටහිර කෙළවර නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටා ඇති ඔර්ලෝසු කණුව ඇතැම් විට ඔබ දැක නැතුවා විය හැකිය. අඩි 96ක උසකින් යුතු මේ ඔර්ලෝසු කණුව ඉදි කර ඇත්තේ මීට වසර 161කට ඉහතදීය; එනම්: වර්ෂ 1857දීය. ඒ ලෝ ප්‍රකට එංගලන්තයේ වෙස්මිනිස්ටර්හි පිහිටි බිග් බෙන් (Big Ben) ඔර්ලෝසු කණුව ඉදි කරන්නට වසර දෙකකට පෙරය. මෙය හෝරාස්තම්භයක් ලෙස පමණක් නොව, ප්‍රදීපාගාරයක් ලෙසද ක්‍රියාත්මක වී ඇති ලොව එකම හෝරාස්තම්භය බව එහි පාදමේ තබා ඇති සටහනින් පැහැදිලි වේ.

‍ලොව දුර්ලභ මේ හෝරාස්තම්භය ඉදිකිරීමේ සැලසුම නිර්මාණය වී ඇත්තේ කාන්තාවක අතින් වීම මෙහි තවත් විශේෂත්වයකි. මේ කාන්තාව වූයේ වෝඩ් ආණ්ඩුකාරවරයාගේ බිරිය වූ සිටින්බර්ග් වෝඩිය. ඇයගේ සැලසුම බාර වූයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ.එච්. චර්ච්ල් මහතාටය. අදද කොළඹ කොටුවේ අභිමානවත් හා ප්‍රතාපවත් ලෙස වැජඹෙන මේ කුලුන 1857 පෙබරවාරි 25 දින ආණ්ඩුකාර වෝඩ් අතින් විවෘත විය.

ඔර්ලෝසු කණුව විවෘත කර වසර දහයක් ගිය තැන - එනම් : 1867 සිට - 1952 දක්වා පුරා වසර 85ක් මුහුදු ගමන්කරුවන්ට ප්‍රදීපාගාරයක් ලෙස මෙමඟින් ඉමහත් සේවාවක් සිදුව තිබේ. මුහුදු යාත්‍රාවලට මුල් කාලයේ මේ කුලුනේ සිට ආලෝකය විහිදුවා ඇත්තේ තෙල් බලයෙනි. 1987 දී ගෑස් බලයට මාරු වීමෙන් පසු සැතැපුම් දහසයක් දුර ඈත දියඹට ආලෝකය විහිදුවිය හැකි පහනක් මෙහි ප්‍රතිෂ්ඨාපනය කර තිබේ. ඉටිපන්දම් 1500ක ආලෝකයක් විහිදුවිය හැකි අංග සම්පූර්ණ විදුලි බල්බයක් මෙහි සවි කර ඇත්තේ 1932 වසරේදීය.

කොළඹ ගැන මෙන් ම චැතැම් වීදියේ ඔර්ලෝසු කණුව ගැනද මෙතරම් පූර්විකාවක් ගෙන ආවේ මන්දැයි දැන් ඔබ සිතනවා ඇත. කලබල නොවන්න. ඒ, අප ඔබට මුලින්ම ඉදිරිපත් කළ පැනයට පිළිතුරු සැපයීමටය. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කොළඹ සිට දුර මනින්නේ විශාල වපසරියකින් යුතු කොළඹ නගරයේ මේ චැතැම් වීදියේ ඔර්ලෝසු කණුවේ සිට බව කියන්නටය; එසේත් නැති නම් ලංකාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර වූ කොළඹ පිහිටි බින්දුවේ සැතැපුම් කණුව ගැන කියන්නටය.

රම්‍යතිලක තල්පිට
ඡායාරූප - විමල් කරුණාතිලක

Comments