
ඇත්තෙන් ම ශ්‍රී ලංකාව මන්ද පෝෂණය අතින් ආසියා කලාපයේ දෙවැනි තැන ගන්නවාද?
නෑ. පසුගියදා පුවත්පතක හා අන්තර්ජාල වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක්. 2017 ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ ලෝක තත්ත්වය පිළිබඳ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ප්‍රකාශිත වාර්තාවක “undernurishment” යන තේමාව යටතේ පළවූ දත්ත සමූහයක් ඇසුරෙන් එම සාවද්‍ය පුවත පළකර තිබුණා. මෙහිදී undernurishment යන වචනයෙහි අරුත malnutrition යන්න ලෙස වරදවා පරිවර්තනය කිරීමෙන් එම වරද සිදු වී තිබුණා.
‘undernarishment’ යන්නට සිංහල බසින් දෙනු ලබන තාක්ෂණික අර්ථය කුමක් ද?
එහි සැබෑ අරුත වන්නේ කිසියම් පුද්ගලයකු දිනකට ලබා ගන්නා ආහාර ප්‍රමාණයෙන් එම පුද්ගලයා විසින් දිනකට වැය කරනු ලබන ශක්ති අවශ්‍යතාව සපිරෙනවාද නැද්ද යන කාරණාවයි.
මන්ද පෝෂණය යනු Malnutrition යන්නයි. මෙහිදී එම වාර්තාකරුවා undernurishment යන්න Malnutrition හෙවත් මන්දපෝෂණය යනුවෙන් වරදවා වටහා ගෙන ඇති බව පෙනෙනවා.
එහි වාර්තාවන කරුණු වලින් ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳ නිවැරැදි තක්සේරුවක් සිදු කර තිබෙනවාද?
නෑ. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 22.1% කට සාමාන්‍ය හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය ආහාර නොලැබෙන බවයි. එය මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතය නොවන බවත් සඳහන් කර තිබෙනවා.
මෙම සමීක්ෂණය සඳහා එම වාර්තාව දත්ත සපයා ගන්නා මූලාශ්‍ර මොනවාද?
ඕනෑම රටක පුද්ගලයන් ලබා ගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳ දත්ත සටහන්වන Food balance sheet හෙවත් ආහාර ශේෂ පත්‍රය ඇසුරෙන් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. එහෙත් එම දත්ත 100% ක් නිවැරැදි වන බවට වාර්තාව වගනොකියන බවත් එහි සඳහන් වෙනවා. නිදසුනක් ලෙස ලංකාවේ දත්ත ලබාගෙන ඇත්තේ 2013 වසරේ සිදු කරන ලද ආහාර ශේෂ පත්‍රය ඇසුරෙන්. ආහාර ශේෂ පත්‍රය සකස් කරන්නේ කිසියම් රටක ජනතාවට පහසුවෙන් ලබාගත හැකි ආහාර වර්ග හා ඒවායෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථවලින් ඔවුන් ගේ දෛනික පෝෂණ අවශ්‍යතාව කොතරම් දුරට සපිරෙනවාද යන්න විමසීමටයි. 2013 - 2017 අතර ලාංකීය වෙළෙඳපොළට පිවිසුණු පෝෂණ ගුණයෙන් අනූන ආහාර වර්ග කොතරම් ප්‍රමාණයක් ඇත්ද? මෙම වාර්තාවට ඒ කිසිවක් අදාළ වන්නේ නෑ. එයින්ම එහි නිවැරදිභාවය පිළිබඳ සැකයක් මතු වෙනවා.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්න.
ලංකාව දකුණු ආසියා කලාපයේ දීර්ඝ කාලීන මන්ද පෝෂණය අඩුම රට ලෙස වාර්තා වෙනවා. මන්ද පෝෂණය දිගු කාලීන මන්ද පෝෂණය හා කෙටිකාලීන මන්ද පෝෂණය යනුවෙන් දෙආකාරයි. දිගුකාලීන මන්ද පෝෂණය ශ්‍රී ලංකාවේ 14.7% යි. ඇෆ්ගනිස්ථානයේ දිගුකාලීන මන්ද පෝෂණය 40.9% යි. ඉන්දියාවේ එය 38.4% යි. බංගලි දේශයේ 36% යි. භූතානයේ 33.6%. නේපාලයේ 37% ක් සහ පකිස්ථානයේ 45% යි. ඒ අනුව බලන විට ශ්‍රී ලංකාව ආසියා කලාපයේ දීර්ඝ කාලීන මන්ද පෝෂණය අඩුම රට බව ඉතා පැහැදිලියි.
මන්ද පෝෂණය මනිනු ලබන්නේ කවරාකාරයෙන් ද?
ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය මනිනු ලබන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන ජන විකාශ හා සෞඛ්‍ය සමීක්ෂණය ඇසුරෙන්. අවසන් වරට මෙරට ජන විකාශ හා සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කර ඇත්තේ 2016 වසරේදී. මන්ද පෝෂණය මැනීමට ප්‍රධාන දර්ශක හතරක් උපයෝගී කරගන්නවා.
එයින් පළමුවැන්න වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ අදාළ වයසට උසට සරිලන බර අඩු වීම හෙවත් කෘෂ බව Wasting මන්ද පෝෂණයෙහි ප්‍රධාන ලක්ෂණයක්.
දෙවැන්න වයසට සරිලන උස නොමැති වීම හෙවත් මිටි බව. Stunting
තෙවැන්න නීරක්තිය හෙවත් යකඩ ඌණතාව.
සිව්වැන්න විටමින් ඒ ඌණතාව
සාමාන්‍යයෙන් මෙලෙස මනිනු ලබන්නේ කෙටිකාලීන මන්ද පෝෂණ තත්ත්වයයි.
අපේ රටේ පෝෂණ තත්ත්වය කුමක්ද?
2016 ජන විකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට කෙටිකාලීන මන්ද පෝෂණය 15.1% යි. එය සමස්ත රටේම තත්ත්වය වුවත් වැඩි වශයෙන් ම වාර්තා වන්නේ දිස්ත්‍රික්ක කිහිපයකින් පමණයි. ඒ නුවරඑළිය, බ දුල්ල, මොනරාගල, මාතලේ, ගාල්ල, පුත්තලම, හම්බන්තොට හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලින්. ඒ අතරින් වැඩි වශයෙන් ම මන්දපෝෂණ තත්ත්වයක් වාර්තා වන්නේ වතු ආශ්‍රිතවයි.
ඊට හේතුව කුමක්ද?
වතුකර ජනතාව වෙත රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් ඍජුවම ලැබෙන අවස්ථා අඩු වීම. වතු ජනතාවට සෞඛ්‍ය සේවා සපයන්නේ වතුවල අධිකාරී අංශයෙන්. රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ සෞඛ්‍ය සේවා ලබා ගන්නට අවස්ථාව අඩු වන්නේ ගර්භනී මවුවරුන් මාතෘ හා ළමා සායනවලට පැමැණීම අඩු වීමෙන්. බොහෝවිට මෙම සායන පැවැත්වෙන සතියේ දිනවල ඔවුන් වැඩට යනවා. වැඩට නොගියොත් දෛනික වැටුප කැපෙනවා. දිළිඳු කම්කරුවන්ට පෝෂණ උපදෙස්වලට වඩා දෛනික වැටුප වටිනවා. එහෙයින් බොහෝ ගැබිනි මවුවරුන් ළමා හා මාතෘ සායනවලට එන්නේ නෑ. එවිට නොමිලේ ලබා දෙන ත්‍රිපෝෂ හෝ විටමින් අමතර පෝෂක හා උපදෙස් ඔවුනට නොලැබී යනවා.
මේ තත්ත්වය වෙනස් කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්ද?
සෞඛ්‍ය ඇමැතිවරයා ගේ උපදෙස් පරිදි වතු අධිකාරීවරුන් දැනුවත් කර රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ සේවාවන් වඩා පහසුවෙන් කම්කරු පවුල්වෙත ලබා දීමට කටයුතු කරනවා. වතු අධිකාරීවරුන් ගේ අනුමැතිය පරිදි තෝරාගත් වතුකර නියෝජිතයන් 500 ක් තෝරාගෙන ඔවුන්ට පෝෂණ සෞඛ්‍ය දැනුම හා පුහුණුව ලබා දී ලබන වසරේ සිට ඔවුන් සහකාර පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලෙස ලංකාව පුරා වතුවල සේවයට අනුයුක්ත කරනවා. වර්තමානය වන විට ඉහත කී දිස්ත්‍රික්කවල ද කෙටිකාලීන මන්ද පෝෂණ තත්ත්වය මෙන්ම දිගුකාලීන මන්ද පෝෂණය ද සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බව 2016 වාර්තාවෙහි සඳහන් වෙනවා.
අධි පෝෂණ තත්ත්වයත් පෝෂණ ගැටලුවක් වෙමින් පවතිනවා නේද?
ඔව්. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ළමුන් අධිබර හා ස්ථුලතාවයෙන් පෙළීම දැන් ලොකු ගැටලුවක් බවට පත්වෙමින් තිබෙනවා.
ඊට හේතුව මොකක්ද?
නාගරික ජනතාව තුළ පෝෂණය ගැන අවධානය අඩු වීම. ඔවුන්ට මිල මුදල් තිබුණත් පෝෂණයට යොදවන මුදලට වඩා භෞතික සම්පත් ලබා ගැනීමට මුදල් වැය කරනවා. එහෙත් සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා වඩා වැදගත් වන්නේ පෝෂණයයි. නාගරික ජනතාව ලේසියටත් පහසුවටත් ක්ෂණික ආහාර, තෙල් සීනි, ලුණු සහ පිටි අධික ආහාර වැඩිපුර පරිභෝජනය කිරීමත් අධි පෝෂණයට හේතුවක්. අධි පෝෂණය ස්ථුලතාවය ඇතුළු බෝ නොවන රෝගවලට ඍජුවම බලපානවා. පෝෂ්‍ය ජනක ආහාර, ප්‍රමාණවත් තරම් ව්‍යායාම සහ සුවපත් මනස මේ සියලු රෝගවලින් වැළැකීමට ඇති හොඳම පිළියමයි.
සටහන සහ ඡායාරූපය සාගරිකා දිසානායක