
ත්‍රිපිටකාගත කරුණු අනුව ද, බුද්ධ වංශ, පාලි යන ග්‍රන්ථවලින් ද පැහැදිලි වන පරිදි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය, මහා පරිනිර්වාණය හා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය යන ත්‍රිවිධ කාරණාවන් මෙහි සඳහන් වන පූර්ණිමා දවස හෙවත් වෙසක් පුර පසළොස්වක පොහොය තුළ සිදුවූ වැදගත් සිදුවීම් විය. වෙසක් පොහොය උත්සවය සම්බන්ධව වැදගත් ඉතිහාසයක් පවතී. එම ඉතිහාසය ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ඉතාම විචිත්‍රවත්ව වර්ණවත් වේ.
ලෝකයේ ථේරවාද, මහායන යන සෑම රටකම වෙසක් උත්සවය සම්බන්ධව යම් යම් සැමරීම් කළ ද, ශ්‍රී ලංකාව ඉතාමත් ගෞරවයෙන් උත්කර්ෂවත්ව සුවිශේෂී උත්සවයක් ලෙස සැමරීම විශේෂත්වයකි. ලෝකයේ වෙනත් කිසිදු රටක වෙසක් උත්සවය මේ ආකාරයෙන් සමරන්නේ නැත. ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා ප්‍රීති ප්‍රමෝදයට පත්වන ජාතික උත්සවයක් තත්ත්වයට පත්ව ඇත.
අපේ අඛණ්ඩ ඉතිහාස කතාව සඳහන් වන මහා වංශයේ සඳහන් ආකාරයට අනුව සෑම රජෙකුම වෙසක් උත්සව පවත්වා ඇත. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 27 ක් පැවැත්වූ බව , මහා වංශයේ 32 වන පරිච්ජේදයේ සදහන් වේ. ඉතිහාසය පුරාම සඳහන් වන “මහාවේශාඛ පූජා” යන වචනයට අනුව මහා වෙසක් උත්සව උත්කර්ෂයෙන් පැවැත්වූ බවට එහි අර්ථ ගැන්වේ. මහා වංශයට අනුව, දුටුගැමුණු රජතුමාගෙන් පසු භාතිය රජතුමා වෙසක් උත්සව 28 ක් පැවැත්වූ බවට තොරතුරු මහා වංශයේ 34 වන පරිච්ජේදයේ සඳහන් වේ. වසභ රජතුමා ඔටුණු පළන් වර්ෂයේ සිට පිළිවෙලින් වෙසක් උත්සව 44 ක් පැවැත්වූ බව මහා වංශයේ 25 වන පරිච්ජේදයේ සඳහන් ය. වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය පවත්වා දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ගෝඨාභය හා ජෙට්ඨතිස්ස රජතුමා වෙසක් උත්සව පැවැත්වූ ආකාරය මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරා වෙසක් උත්සව පවත්වාගෙන පැමිණි ආකාරය ඓතිහාසික සාධක තුළ සඳහන් ව ඇත. එම සෑම ස්ථානයකදීම පවත්වන ලද වෙසක් උත්සවයන්හි සිරිත් විරිත් හා වෙසක් උත්සව පැවැත්වීමට හේතු වූ කාරණාවන් ඓතිහාසික සාධක තුළින් උකගහා ගත හැකි ය.
පාහියන් භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවධියෙහි දක්නට ලැබුණ වෙසක් උත්සව පිළිබඳ තොරතුරු සඳහන් ව ඇත. පාහියන් භික්ෂූන් වහන්සේගේ තොරතුරුවලට අනුව, බුදුරජාණන් වහන්සේගේ චරිත කතාවට අදාළ වන සිදුවීම් වීදිවල චිත්‍රයට නඟා සිදු කළ උත්සව සම්බන්ධව ද, වෙසක් උත්සව අවස්ථාවල දී නැටුම් ගැයුම් ආදිය පවත්වමින් ප්‍රීතියෙන් ගත කළ ආකාරය ද සඳහන් ය. වේශාඛ ඛීලා යන වචනයෙන් දෙවන සේන රජතුමාගේ අවධියෙහි වෙසක් ක්‍රීඩා පැවැත්වු බවට සාධක හමු වේ. ආගමික ප්‍රතිපත්තියටම බර නොවන ආකාරයට සාමාන්‍ය සමාජ උත්සවයක් ලෙස දුගී මගී යාචකයන්ට දන් දුන් ආකාරයත් , වෙසක් දන්සැල් පැවැත් වූ ආකාරයත් , පංචතූර්ය නාදයන් පැවැත්වූ බවත් සඳහන් ය. 1853 දී පළමු පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය ප්‍රබල සමාජ උත්සවයක් ලෙස පැවැත්වූ ආකාරයත්, මිහින්තලා සෙල්ලිපියෙහි සඳහන් “මඟුල් ජෙටක්” යන වචනයෙන් ප්‍රධාන මංගල්‍යයක් ලෙස පැවැත්වූ බවටත් මිහින්තලා සෙල්ලිපිය උදාහරණයක් ලෙස දැක්විය හැකි ය.
විශේෂයෙන්ම ජාතික උත්සවයක් ලෙස වෙසක් උත්සවය සංවර්ධනය වූ ආකාරයත්, චාරිත්‍රානුගතං අඛා යනුවෙන් චාරිතානුකූලව සිරිත් හෙවත් නීති අනුව සිදු කළ බව මහා වංශයේ සඳහන් ය. වෙසක් උත්සවය ඒ ඒ පිරිසට අවශ්‍ය ආකාරයට පැවැත් වූ බවක් සඳහන් නොවෙතත්, වෙසක් උත්සවය සම්බන්ධව චාරිත්‍ර නීති රීති ආදිය සම්මත වී තිබූ අකාරය උපකල්පනය කළ හැකිය. ප්‍රීති උත්සවයක් ලෙස සංවිධානය වුවද, එය අහිංසක ප්‍රිතියක් බුක්ති විඳින ආකාරයට සංවිධානය වන්නට ඇත. වෙසක් උත්සවය තුළ පවතින ආත්මීය ලක්ෂණය නම්, අන්‍යයන්ට හිංසා පීඩා නොකිරීම ය. තමන්ටත් , සමාජයටත් හිංසා පීඩා නොවන ආකාරයට වෙසක් උත්සවය පැවැත් වූ බවට වර්තා අනුව පැහැදිලි වේ.
සමස්ත රටේම ආකර්ෂණය හා අවධානය දිනාගනිමින්, පෙරහර පැවැත්වූ ආකාරයත්, නගර සංවිධානය කළ ආකාරයත්, බුද්ධ මංගල්‍යය ප්‍රීති උත්සවයක් ලෙස පැවැත්වූ වෙසක් උත්සවයේ පැරැණි ස්වරූපය පූජාවලියේ සඳහන් ය.
බුදුරජාණන් වහන්සේට ගෞරව වශයෙන් ස්තුති ගීත ගායනා කරමින් බුද්ධ ශාන්ති කර ඇති අතර ඒ අනුව වෙසක් භක්ති ගීත කැරොල්වලින් පැමිණි බවට බොහෝ දෙනා තුළ පවතින මතය නිවැරැදි නොවේ. ඊට පෙර ඉතිහාසයෙහි වෙසක් බැති ගී ගායනය පවත්වා ඇත. එදා පෙරහර පවත්වන්නට යෙදුණු වීදි දෙපස රෙදි සහ පැදුරු යොදාගෙන අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනය කළහ. එය රාත්‍රියෙහි දී අලංකාරව දර්ශනය වීම සඳහා පහන් පත්තු කර ඇත. බුදුරජාණන් වහන්සේගේ චරිතය හා සම්බන්ධව මිනිසුන්ගේ සිත් සතන් තුළ ප්‍රසාද සංවේගය ඇතිවන ආකාරයෙන් අඳින ලද චිත්‍ර රාත්‍රී කාලයේ දිස්වන අකාරයට දල්වන ලද පහන් තොරණ දක්වා පරිණාමය විය. විදුලි බුබුළු පැමිණීමත් සමඟ විදුලි බුබුළු යොදාගනිමින් චිත්‍ර සැරසීම ආරම්භ විය. තොරණ මුඛ්‍ය අදහස විත්‍ර වුවද, මේ වන විට විත්‍ර අභිබවමින් විදුලිය දක්වා පරිණාමය වී ඇත. විදුලි රටාවන් සඳහා මුල්තැන ලබා දී ඇත. චිත්‍ර පෙන්වීම සඳහා පහන් දැල්වූ අයුරින්ම විදුලි බුබුළු යොදාගනිමින් චිත්‍ර දර්ශනය සඳහා කරන ලද සැරසිල්ල වැඩි දියුණු වී තොරණ නිර්මාණය දක්වා සංවර්ධනය වූ බව පැහැදිලි වේ. මේ ආකාරයට වෙසක් උත්සවයේ චාරිත්‍රානු ගතං අඛා යන ආකාරයෙන් යම් ආකාරයට නීති රීති සම්ප්‍රදාය වෙසක් පොහොය සම්බන්ධව විකාශනය වී ඇත.
1950 දී ලෝක බෞද්ධ මහා සම්මේලනය පිහිටුවන අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ උපන්දිනය සම්බන්ධව අන්තර්ජාතික වශයෙන් සාකච්ජාවට භාජනය වී ඇති අතර, එහිදී ලෝකය පුරා වෙසක් උත්සවය සැමරීමේ කටයුත්ත කළ යුත්තේ කෙසේ ද? යන්න සාකච්ජා වී ඇත. 1956 වර්ෂයේ බුද්ධ ජයන්ති උත්සවය වර්ෂයක් පුරාම පවත්වා ඇත. 2500 සම්බුද්ධව ජයන්තියත් සමඟ වර්තමාන ශ්‍රී ලංකාව තුළ වෙසක් උත්සවය වඩාත්, උත්කර්ෂවත්ව සැමරීම ආරම්භ විය . මහා පරිමාණ තොරණ ඉදිකරමින් උත්සව ස්වරූපයකට යොමු වූයේ බුද්ධ ජයන්ති උත්සවයට පසුව ය.
1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගන්නා ලද නිගමනයකට අනුව “අන්තර්ජාතික වෙසක් දිනයක්” ස්ථාපිත කිරීම වෙසක් උත්සවය සම්බන්ධ වැදගත් අවස්ථාවකි. එවකට සිටි විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ යෝජනාවකට අනුව ලෝකය පුරා වෙසක් දිනය සැමරීම ප්‍රසිද්ධ විය . බුද්ධ පූර්ණිමා දිනය රටවල් රාශියක නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශ කර ඇත. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිටම වෙසක් උත්සවය ඉතිහාසයක් සහිතව ක්‍රමිකව සංවර්ධනය වෙමින් පරිණාමයට යොමු වෙමින් වර්තමානය දක්වා මේ තත්ත්වය වැඩි දියුණු වී ඇත. මෙහි විශේෂත්වය නම් වෙසක් උත්සව සම්බන්ධව ලිඛිත නොවුණ චාරිත්‍ර වාරිත්‍ර රීති සමුහයක් ඉතිහාස පුරාම බිහි විය. වෙසක් උත්සවය මහා පරිමාණයෙන් සැමරිය යුතු ය. ඒ සෑම ස්මරණයකදී ම මූලික ආත්මීය තත්ත්වය විය යුත්තේ බුද්ධ ගෞරවය පළ කිරීම ය. එහිදී වෙනත් ආගමකට, වෙනත් ජනවර්ගයකට අපහාස උපහාස නොවන ආකාරයටත්, මනුෂ්‍ය වර්ගයට පමණක් නොව, සත්ත්ව වර්ගයාටත් , සියලුම ජීවින්ටත් ,හිතානානුකම්පික ලෙස මේ උත්සවය පැවැත් විය යුතු බව ය . ඒ වගේම චරිත ශුද්ධිය ආරක්ෂා කරගනිමින් තමන්ගේ ශීලය, සදාචාරය වැඩි දියුණු වන ආකාරයට එම උත්සවය කළ යුතු ය. දාන, ශිල, භාවනා වශයෙන් ප්‍රතිපත්තියකත් , ප්‍රතිෙවිදයටත් ගමන් කරන ආමිස ප්‍රතිපත්ති යන කාරණා දෙසට යොමු වුණ උත්සවයක් විය යුතු බව ය.
අද වෙසක් සැරසිලි පැවැත්වීමේ දී මුඛ්‍ය අදහස අමතක කොට ව්‍යාපාර පැත්තට නැඹුරුවීමක් දක්නට ඇත. වෙසක් කූඩු නිර්මාණය කිරීමේ දී ඉතිහාසය පුරාම වෙසක් කූඩුව නිර්මාණය වන්නට ඇත්තේ පහන් දැල්වීමත් සමඟ ය. පහන නිවීම වැළැක්වීමට නිර්මාණය කරන ලද අවරණය සංවර්ධනය වී වෙසක් කූඩුව නිර්මාණය විය. වෙසක් කූඩු නිර්මාණය වනවා යනු ඉතාම වැදගත් අාධ්‍යාත්මික සංවර්ධනයක සලකුණක් වේ. විශේෂයෙන්ම කුඩා දරුවන් වෙසක් කූඩු නිර්මාණය කිරීමේදී දින ගණන්, සති ගණන් සමාධිගතව එම කටයුත්තෙහි නියැලීමෙන් එම දරුවා එය නිර්මාණය කිරීමට ගන්නාවූ උත්සාහය ස්වයං නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගැනීමත්, කලාත්මක හැකියාවන් වැඩි දියුණු කරගැනීමත්, යන සියල්ල තුළ තමන් බුද්ධ පූජාවක් කරනවා යන ඉතාම යහපත් මානසික සංවර්ධනය පවතී. පිටරටින් ගෙනන ලද ප්ලාස්ටික් සැලිකිලිවලට යොමු වීමෙන් වර්තමාන තත්ත්වය වෙනස් වී ඇත. එම ප්ලාස්ටික් සැකිලි තුළින් නිර්මාණය කරන ලද වෙසක් කූඩුව තුළ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපක්‍රම අන්තර්ගත නොවේ. එය ඉතාම අයහපත් ප්‍රවණතාවයක් ලෙස සඳහන් කළ හැකි ය. මේ අනුව වෙසක් පොහොය වෙළඳ කටයුතුවලට පමණක් මුල්තැන දිය යුතු තත්ත්වයට පත්වීම කණගාටුදායක වේ. වෙසක් පොහොය දින තමාගේ මහන්සියෙන් නිර්මාණය කරගන්නා වෙසක් කූඩුව තුළින් බුද්ධ පුජාව පැවැත්වීම සුදුසුම ක්‍රමය වේ. වෙසක් පොහාය අවසානයේ මුළු රටම මහා ප්ලාස්ටික් ගොඩක් බවට පත්කරමින් මහා පරිසර විනාශයක් බවට පත්කිරීම වෙසක් පොහොයේ මුඛය අර්ථයට පටහැනිව ක්‍රියා කිරීමකි .
වෙසක් පත් යැවීම තුළ රාගය, ද්වේශය, මෝහය වැඩි දියුණු වන ආකාරයෙන් ඇතැම් තැන් ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබේ. එය බරපතල වරදකි. කරුණාව, මෛත්‍රිය මුල්කරගනිමින් වෙසක් පතින් සෙත් පැතිය යුතු ය.
ඉතිහාසයක් පුරා සාංවර්ධනය වූ උත්තරීතර සංස්කෘතික ලක්ෂණයක් සහිත ඉතිහාසයක් පුරා පැවැති වෙසක් පුරාණය ඉදිරියටත් ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යාමට කවුරුත් බුද්ධිමත්ව ක්‍රිය කළ යුතුය.
සංවාදය - හේමමාලා රන්දුනු