
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම හා පරිනිර්වාණය සිදු වූ අසිරිමත් වෙසක් දිනයක් උදා වී තිබෙනවා. මේ වෙසඟේ රජය මඟින් ජනතාව උදෙසා කරනු ලබන සේවාවන් සහ වත්මන් දේශපාලන කරළියේ දිනෙන් දින සිදුවන සිදුවීම් හා වෙනස්කම් සම්බන්ධයෙන් අද සිළුමිණට අදහස් දක්වන්නේ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි.
රාජ්‍ය වෙසක් උලෙළ මෙවර පැවැත්වෙන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ. මේ සඳහා ප්‍රෙද්ශයේ ඇති සූදානම කොයි වගේ ද ?
අපි බිංගිරිය දේවගිරි විහාරය සම්පූර්ණයෙන්ම සංවර් ධනය කරනවා. අක්කර 937ක් පුරා ඇති අභයභූමියත් සංරක්ෂණය කරනවා. දේවගිරි විහාරයේ ප්‍රතිසංස්කරණ කරනවා වගේම අත්‍යවශ්‍ය අංගෝපාංග සම්පූර් ණ කරන්නත් කටයුතු යොදලා තියෙන්නේ.
සංවර්ධනය බිංගිරියට විතරද?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය කරනවා. මේ වෙනකොට සැලකිය යුතු සංවර්ධන කටයුතු අවසන් වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 ම ආවරණය වන පරිදි අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක් ජංගම සේවා වැඩසටහන් 6ක් දහම් පාසල් ගුරු පුහුණු වැඩ සටහන් 16ක් සෞඛ්‍ය හා බුදු දහම පිළිබඳ වැඩසටහන් 61ක් ද පැවැත්වෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 300ක් සංවර්ධනය කරනවා. විහාරස්ථාන 250ක්ද සංවර්ධනය කරන අතරම දහම් පාසල් දරුවන් 500කට ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා.
රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ප්‍රදේශවල විහාරාරාම විතරක් සංවර්ධනය කරන්නේ නැතිව වෙසක් දිනයට සමගාමීව ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමේ ක්‍රමවේදයක් කිසිම රජයකින් දකින්න ලැබුණේ නැහැ?
අපි මෙවර ඒ වගේ විශේෂ කාර්යය කිහිපයක්ම කරනවා. උදාහරණයක් හැටියට විහාරස්ථාන වර්ගීකරණය කරනවා. ඒ වර්ගීකරණය අනුව ඒ, බී. සී. ඩී. ඊ. හා එෆ් යනුවෙන් වර්ගීකරණ 6කට බෙදෙනවා. “ඒ“ කියන වර්ගීකරණයට අයත් වන්නේ සියලු විහාරාංග සපිරි පහසුකම් සියල්ල ඇති ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව ලැබෙන විහාරස්ථාන. ඒ විදිහට එෆ් දක්වා පහසුකම් අඩු වන පිළිවෙළට වර්ගීකරණය කර අත්‍යවශ්‍ය අවශ්‍යතා ඇති විහාරස්ථාන විශේෂයෙන් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
දැනට එම වර්ගීකරණය කරමින් තිබෙනවාද?
කරගෙන යනවා නෙමෙයි කරලා අවසන්.
කොහොමද අවශ්‍ය පහසුකම් සපයන්නේ?.
බුද්ධශාසන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ සියලු කටයුතු කරන්න පුළුවන්. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දැන් බෞද්ධ කටයුතු සමායෝජක හිමිනමක් හෝ ගිහි අයෙක් සිටිනවා. දහම් පාසල් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නෙත් ඒ අයයි.
මේ වන විට විහාරස්ථාන කොපමණ සංඛ්‍යාවකට අවශ්‍ය ආධාර උපකාර ලබා දී තිබෙනවාද?
මේ වන විට විහාරස්ථාන 4100කට අවශ්‍ය ආධාර උපකාර ලබා දී තිබෙනවා. ඒ වුණත් මේ දී ඇති ක්‍රමවේදය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ඇති තැනටමයි බොහෝ විට ආධාර වැඩි පුර යොමු වන්නේ. මෙ නිසයි වර්ගීකරණය සිදු කරේ. සංඝාවාසයක් නැති වැසිකිළියන් නැති විහාරස්ථාන පවා තිබෙනවා. උන් වහන්සේ ශාසනය වෙනුවෙන් එම විහාරස්ථානවල රැදී සිටිමින් තම කාර්යය කරනවා. මට කියන්න අවශ්‍යයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙක් විල්පත්තුවේ විහාරස්ථානයක ශාසනය රැක ගැන්ම උදෙසා කටයුතු කරනවා. සංඝාවාසයක් පවා නොමැතිව. මේ තත්ත්වය වෙනස් කළ යුතු වෙනව.
විහාරස්ථාන 4100කට ආධාර උපකාර ලබා දී තිබුණත් ඒ බවක් කිසිකෙනෙක් දන්නේ නැහැ
ඔව්. ඒ අතින් අපේ මාධ්‍ය ප්‍රචාරක සේවාව හරිම දුර්වලයි.
ඔබතුමා පසුගිය දිනක කිව්වා මැයි මස 1 වැනිදා සියලුම නිකායික මහ නාහිමිවරුන් මෙන්ම නියායික පාර්ශ්ව මහ නාහිමිවරුන් වැඩම කරවා ඓතිහාසික සිදුවීමක් කරන බව. දැන් වැඩ කටයුතු කෙරී ගෙන යනවද?
ඒ වැඩේ අපි ටිකක් කල්දැම්මා. එක පාරටම සමහර ඒව කරන්න ගියහම ප්‍රශ්න ඇති වෙනවා.
අවුරුදු 2562ක බෞද්ධ ඉතිහාසය ගැන අපි කතා කරනවා. කිසිම රජයකට තවම බැරිවුණා ඉරිදා උදේ වරුවේ ටියුෂන් නවත්වා ගන්න.
ටිකක් ඉන්නකෝ? ළගදිම ලොකු වෙනසක් වෙයි.
පහුගිය හැම බුද්ධශාසන ඇමැතිවරයෙක්ම කිව්වෙ ඔහොම තමයි.
මේ පාර බලන්නකො. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් ඇමැතිතුමාත්, සම්බන්ධ කරගෙන අපි යම්කිසි විශේෂ වැඩ පිළිවෙළක් කරන්න යනවා. ඒකට කැබිනට් අනුමැතියත් අවශ්‍ය වෙයි. ඒත් මේ ක්‍රියාව නීතියෙන්ම කරන්න බැහැ.
දහම් පාසල් සම්බන්ධයෙන් සිදු කරන්න යන යම් කිසි සංවර්ධන වැඩ පිළිවෙළක් තියෙනවද?
අපි දහම් පාසල් හරහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න යම් වැඩපිළිවෙළක් සකස් කරන්න උත්සාහ කරනවා. මේ කාලයේදී දරුවන්ට ධාරණ ශක්තිය වැඩි නිසා ඒ කාර්යය කරන්න පහසුයි. ඒ විතරක් නෙමෙයි මේ වන විටත් අපි දහම් පාසල් ආචාර්යවරුන්ට සාම විනිසුරු පදවි ලබා දෙනවා. පසුගිය අඟහරුවාදා වවුනියාව හා මොණරාගල දහම් පාසල් ආචාර්යවරුන්ට එසේ පත්වීම් ලබා දුන්නා. එසේම දහම් පාසල් ගුරුභවතුන්ට මේ වන විටත් දහම් සරසවිය හරහා උපාධියක් ලබා ගන්න අවස්ථාව සලසා දී අවසන්.
යල් පැනපු නීති රීති නිසා විහාරස්ථාන පරිපාලනයේදී මෙන්ම බෞද්ධාගමික කටයුතුවලදී ගැටලු නිර්මාණය වන බවක්ද පෙනෙනවා.
ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන සිද්ධස්ථාන මෙන්ම දේපළ සම්බන්ධව පවත්නා යල් පැනපු නීති රීති වෙනස් කරන්න අප කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ කටයුත්ත කරන්න දැන් සැලසුම් කරලා තියෙන්නේ. පසුගිය දිනක අධිකරණ ඇමැතිතුමිය බුද්ධ ශාසන අමාත්‍යාංශ්‍යටම පැමිණ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි ඒ සම්බන්ධයෙන් එතුමියට ස්තුති වන්ත වෙනවා.
නියංගොඩ විජිතසිරි අනු නාහිමියන් පවසා තිබුණා. නියම වෙසක් දිනය මැයි 29 දින බව. අප සමරන්නේ වැරැදි දිනයක් බවත්.
ඔය ප්‍රශ්නෙ මටත් ආවා. මම ඒ සම්බන්ධව ස්වදේශ කටයුතු ඇමතිවරයාටත් දැන්වූවා. පසුව ඒ සම්බන්ධයෙන් නැකැත් කමිටුව පොහෝ කමිටුව රැස් කර මේ සම්බන්ධව දන්නා දෛවඥයන්ද ගෙන්වා කළ විමර්ශනයකදී අපට නියම වෙසක් දිනය අප්‍රේල් 29 ලෙස පිළි ගන්නට වුණා. සෑම වසර 19කට වරක්ම මේ අයුරින් අප්‍රේල් මස ට පොහොය දිනය යෙදෙනවා.
බෞද්ධ සිද්ධස්ථාන ඉදි කරන්න අවසර ගත යුතු කතාවක් මේ දිනවල පැතිර තිබෙනවා. එවන් පනතකට අනුමැතියක් ලබාගෙන තිබෙනවාද?
බෞද්ධ කියල කතාවක් නැහැ. ආගමික ස්ථාන අලුතින් ස්ථාපිත කිරීමේදී ඉදිරියේදී ඒ සම්බන්ධ කමිටු නිර්දේශයක් මත තමයි අවසර ලබා දෙන්නේ. පසුගිය දිනක කල්පිටිය ප්‍රදේශයේ යම් අර්බුදයක් නිර්මාණය වන්නට ගියා. විහාරස්ථානයක් බුදු මැදුරක් එසේත් නැත්නම් බෝධීන් වහන්සේ නමක් අසල වෙනත් ආගමික ස්ථානයක් හෝ වෙනත් ආගමික ස්ථානයක් ඉදි කිරීමට යාම ගැටලු මතු කරවන්න පුළුවන්. මේ නිසා එවන් අර්බුද වළක්වා ගන්න ඉදිරියේදී කමිටුවක් හරහා ඒ සම්බන්ධව සොය බලා අනුමැතිය ලබා දෙන්නේ. ඒ කමිටුවට සර්වාගමික පිරිස් අයත් වනවා.
වෙසක් දවසේ තොරණ පවත්වන්නට එපා කියල නීති ගේන්න යන කතාවක් පැතිරුණා. යම් කිසි තීන්දුවක් නීති ගත කරන්න උත්සාහයක් ගත්තද?
වෙසක් පුන් පොහෝ දින ආගමික වැඩ කටයුතුවලට මුල් තැනක් දෙන්න ඕන නිසා එදින පමණක් තොරණ ප්‍රදර්ශනය නොකර ඉන්න කියන ඉල්ලීමක් අපි කරනවා. කොළඹ එක තොරණක්වත් එදාට ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අනිත් එක 2002 අවුරුද්දේ විජමු ලොකුබණ්ඩාර ඇමැතිවරයා විසින් චක්‍ර ලේඛයක් පොලිස්පතිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා තිබෙනවා, වෙසක් පුන් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නොකළ යුතු බවට. චක්‍ර ලේඛය එකක් නීතිය තව එකක්. අපි ඉල්ලීම් කරනවා. කිසිම නීතියක් පනවා නැහැ.
ඒ වුණත් දන්සල්වල ප්‍රමිතිය අනිවාර්යයි නේද?
පැහැදිලිවම අවශ්‍යයි. ඒත් අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ වැඩේ කරන්න බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ඒ සඳහා කටයුතු කරාවි. හිත හොඳින් කරන වැඩක්නේ. ඒකට උදවු කරන්න ඕන. එ්ත් ප්‍රමිතිය අනිවාර් යයයි. මටත් අවුරුදු 30කට විතර කලින් කහ උණ හැදුණා දන්සලකින් කාලා.
එක්සත් ජාතිත පක්ෂයේ ප්‍රතිසංවිධාන නිසි පරිදි වුණේ නැත්නම් දැඩි පියවරක් ගන්න වෙනව කියල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම අනතුරු අගවලා තියෙනවා
ප්‍රතිසංවිධාන වෙයි. දැන් ඔය කෙරීගෙන යන්නේ.
ඔබතුමාටත් කැපිල්ලක් තියෙනව වගේ ..
පොඩි කැපිල්ලක් තියෙනවා. ඒක මේ හාමුදුරුවන්ට දණ නමස්කාර කරන්න ගිහින් මේසෙ පොඩ්ඩක් වැදිල වුණු නළලේ කැපිල්ලක්. ඒ ඇරෙන්න මට වෙනත් කැපිල්ලක් නැහැ. මාව කාටවත් කපන්නත් බැහැ. තමන් හරියට ඉන්නව නම් කපන්න කාටවත් බැහැ. සත්‍යය ජය ගන්නවා ඒක මම බුදු දහමට අනුවමයි කියන්නේ.
සත්‍යය ජය ගන්නවා කියන්නේ යම් අර්බුදයක් තියෙනවා කියන එකනේ.
අර්බුද ගැන අපට වඩා මාධ්‍ය දන්නවනේ. ඒත් මම අවංකව දේශපාලනය කරන කෙනෙක්. ස්වභාව ධර්මය තුළ අවංකව වැඩකරන කෙනොට බය වෙන්න දෙයක් නැහැ. නිසි දේ නිසි අයුරින් වෙයි.
ඒකාබද්ධ විපක්ෂය කියනව ලබන 8 වෙනිදට වෙනසක් වෙනව කියලා.
වෙනස තමයි එදා විශ්වාසභංගෙට වුණා වගේ එයාලට අකුලගෙන යන්න වෙන එක. එයාලගේ මූණු මැළවෙයි. එච්චරයි වෙනස.
එහෙම මූණු මැලවෙන්නෙ ඇයි?
අපිට එහෙන් කට්ටියක් එනව කියලත් ආරංචියි. එයාල මේ දවල් හීන දකිනවා. අතීසාරෙට අමුඩෙ ගහන අය ඒකාබද්දෙ ඉන්නේ. 8 වෙනිදට එයාලට අමුඩෙත් හෝදගෙනයි දුවන්න වෙන්නේ.
කැබ්නට් රැස්වීම්වලට ඇවිත් කට්ටිය හොඳින් කතා බහ කරනවද?
අපොයි ඔව්, බොහොම හොදින් ඉන්නවා.
කිරිපිටි මිල ඉහළ යන බවකුත් වාර්තා වෙනවා.
කැබිනට් එකේදිත් ඒ ගැන කතා වුණා. මිල සාධාරණව තියා ගන්න තීරණය කළා. අමුණුගම මහතාගෙන් යුක්ත කමිටුවටත් ඒ වගේම ජීවන වියදම් කමිටුවටත් ඒ ගැන සොයා බැලීම පැවරුවා. ඊ ළඟ කැබිනට් රැස්වීමට විස්තර ලබා දෙන්න ජීවන වියදම් කමිටුවට දැනුම් දුන්නා. ඒ වගේම දේශීය කිරි ගොවියා රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් හැරිසන් ඇමැතිවරයා පෙන්වා දුන්නා. මේ සියල්ලම ගැන සිතා බලා කටයුතු කළ යුත්තේ.
තෙල් මිලත් ඉහළ යන ලකුණු තියෙනවා.
බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. ඒත් රජය අවුරුදු දෙකහමාරක් තිස්සේ ජනතාවට සහන දුන්නා. කෙසේ වුවත් තෙල් මිල ඉහ යන කතාවක් තවම නම් නැහැ.
අලුත් ඇමැති මණ්ඩලය කවදා වගේ එයි කියලද හිතෙන්නේ.
ඒ ගැන කියන්න මම දන්නේ නැහැ. ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් තමයි ඒ ගැන දැන ගන්නේ වෙන්නෙ.
පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට එන බවකුත් කතා වෙනවා.
කොයි විදිහට ආවත් අපට එකයි. අපි ඡන්දේට ලෑස්ති වෙන්නම්
සංවර්ධනයේ කැපී පෙනෙන වෙනසක් නැහැ කියල ජනතාව කියනවා.
ජනතාව නෙමෙයි කියන්නේ කකුලෙක් අදින කට්ටියයි. ඒකාබද්ධ විපක්ෂයේ අයයි ඔය කතා කියන්නේ. රුපියල බාල්දු වෙලා ඩොලරය ඉහළ ගිහින් ඒත් අපි ජනතාවට සහන දුන්නා. පහුගිය රජය අරගෙන විනාශ කරපු ණය කන්දරාවට අපි බිලියන ගණන් ගෙවනවා. මේ ආණ්ඩුව සැලසුමකටයි ගමන යන්නේ.
ඒ වුණත් පොහොට්ටුවේ අය කියන්නේ ආණ්ඩුව කරන කණ්ඩායම් දෙකම පොහොට්ටුවේ ඉදිරි ගමන දැකලා බය වෙලා කියලයි.
ඔය හිතේ දුකට කියන කතා. ළිප ගිනි මොළවන කල් විතරයි කකුළුවා දිය කෙළින්නේ. ටිකක් ඉන්න කියන්නකො කටිටියට හට්ටිය රත් වෙනකල් තව ඉන්නවා ඇතුළට යන්න ඕන අය. ජනතාවගේ සල්ලි විනාශ කරලා සුර සැප විඳපු අය පෝලිමේ ඇතුළට යනකොට තේරෙයි කවුද කාටද බය වෙන්න ඕන කියල තමන් අවංක නම් ඇයි බය වෙන්නේ.
ඔය විදිහට කකුළෙන් අදින කට්ටියත් එක්ක ආණ්ඩු කරන්න පුළුවන්ද?
අමාරුයි, ඒ අය නැත්නම් මේ ප්‍රශ්න නැහැ. .
ජාතික ආණ්ඩුවෙ ගිවිසුම් කාලය ඉවරයි. හෙට අනිද්දට මොනව වෙයිද?
අපි අලුත් ගිවිසුමක් ගහලා ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා.
සංවාදය - තාරක වික්‍රමසේකර
ඡායාරූපය - විපුල අමරසිංහ