
ලෝකයේ ථෙරවාද බුදුදහම අදහනු ලබන රටවල් අතර මුල් තැනක් ගෙන සිටින ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්භෝජය, ලාඕසය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව හා වියට්නාමය වෙසක් දින සැමරුමට මාස ගණනාවක් තිස්සේම සූදානම් වන්නේ ඉමහත් භක්තියකින් යුතුවයි. සිදුහත් බෝසතාණන්ගේ ඉපදීම, බුදු වීම හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සමරා මේ සියලු රටවල් විසින් සිදු කරනු ලබන ආමිෂ හා ප්‍රතිපත්ති පූජා දෙස යුරෝපා රටවල් බලා සිටිනවා.
විශේෂයෙන්ම වෙසක් පුන් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති නිසා මේ දිනයේ අනෙක් රටවල් විසින් සිදු කරනු ලබන ආගමික ක්‍රියාදාමයන් දෙස බලා සිටිමින් ඒ හා සම්බන්ධ වීමට ඔවුන් කටයුතු කරනවා.
මෙහිදී මැලේසියාවේ බෞද්ධයන් කටයුතු කරන ආකාරය ගැන ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල අවධානයෙන් ඉන්නවා. මැලේසියාවේ ථේරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන හා සෙන් යන සියලු බුදුදහමේ නිකායයන් එකතු වී වෙසක් දින සමරනු ලබන්නේ එකම ආකාරයකටයි.
අප කවුරුත් දන්නා පරිදි ථේරවාද හා මහායාන කියන්නේ හාත්පසින්ම වෙනස්ව කටයුතු කරන පාර්ශ්ව දෙකක්. එහෙත් ඒ සියලු පාර්ශ්වික භික්ෂූන් එකතුව පිණ්ඩපාතයේ වඩිනවා. වෙසක් පෙරහර පවත්වනවා, වෙසක් පෙරහරට එක් එක් නිකායික සංස්කෘතික අංගයන් එක් කරනවා. සන්දර්ශන රථ එක් කරනවා. ඒ සියල්ල සිදු කළත් එකම බුදුදහමේ සිට කටයුතු කිරීමටයි ඔවුන් කටයුතු කරන්නේ. එයින් අප ආදර්ශයක් ගත යුතු වනවා. ශ්‍රී ලාංකිකයන්ද මෙයින් තේරුම් ගත යුතු විශේෂිතම කරුණක් තිබෙනවා. ඒ නිකාය යන්න සම්ප්‍රදායයක් පමණක් බව තේරුම් ගැනීමයි. සම්ප්‍රදායයට නොව බුදුදහමේ හරයට මුල් තැනක් දීමටයි කටයුතු කළ යුත්තේ. බුදු රජාණන් වහන්සේ වදාළ දහම අනුගමනය කිරීමට නිකාය කිසිදු ආකාරයක ගැටලුවක් නොවන බව මැලේසියාවේ භික්ෂූන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
මැලේසියාවේ පමණක් නෙමෙයි අනෙක් බොහෝ රටවල වෙසක් සමයේ සිදු කෙරෙන ධර්ම සාකච්ඡා ශ්‍රී ලංකාවේ දකින්න අමාරුයි. ශ්‍රී ලංකාවේ ධර්ම සාකච්ඡා කියා සිදු කෙරෙන්නේ රූපවාහිනියෙන් යම් උගතුන් පිරිසක් එක්ව පවත්වනු ලබන කථිකාවන් පමණයි.
එසේ නැතිව විහාරස්ථානයට එක් රොක්ව ගිහි පිරිස් හෝ ගිහි පැවිදි පිරිස් විසින් කරනු ලබන ධර්ම සාකච්ඡාවයි වැදගත් වන්නේ. මේ ආකාරයෙන් සිදු කරනු ලබන සාකච්ඡාවන් නිසා ගමයි පන්සලයි අතර සබැඳියාව වැඩි වනවා වගේම අතීතයේ තිබූ පරිදි ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය බිහි වෙනවා. ලෝකයේ වෙනත් රටවල ඒ සංකල්පය සිදු වෙනවා. තමන්ගේ ගමේ පන්සල දියුණු කරගන්නයි හැම අයෙක්ම කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ ගමේ පන්සල පිරිහෙද්දී සුපිරි පන්සල් වන්දනාවට යනවා. ගමේ හාමුදුරුවන් අමතක කර සුමධුරයැයි කියාගන්නා ධර්ම දේශනා ශ්‍රවණයට යනවා. තම ගම් ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශවල ධර්ම ශ්‍රවණයට යෑම වරදක් නොවෙයි. එසේ වුවත් තම ගමේ පන්සල රැක නොගැනීම නම් අනුමත කරන්න බැහැ. ගමේ පන්සලේ අත්‍යවශ්‍ය කටයුතු සොයා බැලීම දායකයාගේ වගකීමක්. එසේ සිදු නොකළ හොත් එම පන්සල පිරිහීමට පත් වනවා. එවිට පන්සලත් ගිහියාත් අතර සබැඳියාව දුරස් වෙනවා. සමාජය ගුණ දහමින් පිරිහෙන්නේ එවිටයි. ලෝකයේ අනෙක් රටවල උදාහරණයට ගෙන ඒ අරටවල ආකාරයෙන් කටයුතු කිරීමයි මෙහිදී වැදගත් වන්නේ.
වෙසක් උත්සවය ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට විශේෂ තැනක් හිමි වන බව අප දන්නවා. විශේෂයෙන් සිල සමාදානය, භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා ධර්මදෙශනා වැනි වැඩසටහන් අපේ රටට නම් අලුත් දේ නෙමෙයි. එසේ වුවත් මේ තරම් බුදු බණ අසමින් අප ඒ දහම අනුගමනය කරනවාද යන්න මෙහිදී මතු වන ප්‍රශ්නයයි.
වෙසක් උත්සවය වෙනුවෙන් විවිධ සැරසිලි සිදු කරනවා. ශ්‍රී ලංකාවේ මුල් තැනක් ලබා දෙන ආකාරයට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ විදේශ රටවලද සිට ඒ වෙසක් උලෙළ සමරනවා. එහෙත් වෙසක් දින උලෙළේ විශේෂත්වය අප ලොවට හඬ ගා නොකිවුව හොත් එයින් ඵලක් වන්නේ නැහැ. අප හොඳින් මතක තබා ගත යුතු කරුණක් වන්නේ වෙසක් දින නිවාඩුව අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් වුණේ ශ්‍රී ලංකාවෙන් පෙන්වා දුන් කරුණු මත බව. එසේ වුවත් අපේ රටේ හීන වී යන ගුණ ධර්ම දෙස බැලුව හොත් බුදු දහමේ හරය ලෙස අප ලෝකයාට පෙන්වා දෙන්නේ මොනවාද? යන්න ගැන අප අපෙන්ම විමසිය යුතු වනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ බෞද්ධ රවල භක්ති ගී ගායනා ආලෝක පූජා සිදු කෙරෙනවා. ඒත් තොරණ සංකල්පය බොහෝ රටවල දක්නට නැහැ. එමෙන්ම ලංකාවේ දක්නට නැති වෙසක් පිණ්ඩපාත චාරිකාවන් මෙහිදී අප බෙහෙවින් අගය කළ යුතු වන්නේ සියලු නිකායික භික්ෂූන් වහන්සේ එක්ව පිණ්ඩපාතයේ වැඩම කරන නිසයි. ශ්‍රී ලංකාවේත් මේ ආකාරයෙන් යම් වැඩසටහනක් පෙළ ගස්වන්නට හැකිනම් එය බුදු දහමේ චිරස්ථිතියට හේතු වන බව නම් පෙන්වා දිය යුතුයි.
අපේ රටේ දක්නට තියෙන්නේ ජනතාව පිළිපදින බුදුදහමකට වඩා බුදුදහම නාමික ආගම් න්‍යායක් ලෙස පමණයි. පාසලේත් පරිච්ඡේද දෙකක් පමණයි උගන්වන්නේ. දහම් පාසලෙන් බුදු දහම උගෙන ගැනීමට ඉඩ තිබුණත් ළමයින් දහම් පාසල් යවන්නෙ නැහැ. වැඩිහිටියන්ට සියල්ල වැටහෙන්නේ දරුවන් වැරැදි පාරට ගියාට පස්සේ. විදේශ රටවල වැඩිහිටියන් මේ තත්ත්වය තේරුම් ගෙන තිබෙන නිසා තමයි හැකිතරම් විහාරස්ථාන ආරක්ෂා කරන්නේ. ඒ තත්ත්වය සිංහල බෞද්ධයන් තේරුම් අරගෙන නැහැ.
අපේ රටේ බුදුදහමට අදාළ සංවිධාන කොතෙක් තිබුණත් බුදුදහම නිසියාකාරව ආරක්ෂා කරගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් පෙනෙන්නට නැහැ.
බුදුදහම පිළිපැදීමට මිස, ඒ හරහා වෙනත් සාධක නිර්ණයට යොදාගැනීම අනුමත කරන්න බැහැ. විදේශ රටවල පරිදි සියලු දෙනා එක්ව පළමුව තම ගමේ පන්සල ආරක්ෂා කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ බුදු බුදුදහමේ ආරක්ෂාවයි. අපටත් එසේ කටයුතු කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ බුදුදහමේ ආරක්ෂාව සලසා දෙන්න පුළුවන්.
සංවාදය - තාරක වික්‍රමසේකර