
දිළිඳුකම පිටු දැකීම, නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම වැනි ධනාත්මක පද අප දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වාදුන් නායකයා ඔහුය. එම පදයන් හි අර්ථය යථාර්ථයක් බවට පත්කිරීමට සැබෑ වුවමනාවකින්, සීඝ්‍රගාමී ගමනක් ඇරඹූ නායකයා ඔහුය.
අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. දැක්මක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. ඒ සඳහා වූ ගමනේ දී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියටම යන්නට නිර්භීතකම ඔහු වෙත තිබිණ.
ආර් ප්‍රේමදාස මැතිඳුන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, ඇමරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාවය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිංගේ “මට සිහිනයක් ඇත“ (I Have a Dream)යන සුප්‍රසිද්ධ කථාවයි. 1963 දී වොෂින්ටනයේ ලින්කන් ස්මාරකය ඉදිරිපිට දෙලක්ෂ පනස් දහසක් පමණ වූ නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ක්‍රියාකාරිකයන් අමතා, ඔහු කළ දේශනයේ ඇතැම් කොටස් කෙරෙහි මගේ මතකය අවදි වේ.
“මම සිහින දකිනවා, අසාධාරණත්වයේත්, මර්දනයේත්, උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප්‍රාන්තය, නිදහසේත්, සාධාරණත්වයේත් ක්ෂේම භූමියක් වන දවස ගැන.මම සිහින දකිනවා, අප සමාජයේ උස්තැන් පහත් කරන්නටත්, පහත් තැන් උස් කරන්නටත්, රළු තැන් මොලොක් කරන්නටත්, අපට පුළුවන් වන දිනය ගැන. මම සිහින දකිනවා, ජෝර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳ ගනිමින් සමානයන් ලෙසින් කථා බහ කරන දිනය ගැන. මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන.“
සැබැවින්ම මාටින් ලූතර් කිංග්ගේ සිහිනයේත්, ආර්. ප්‍රේමදාසයන්ගේ සිහිනයේත්, පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්ම විය. ප්‍රේමදාස මැතිඳුන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වලදී මාටින් ලූතර් කිංගේ “සිහිනය“ මම උපුටා දැක්වූයෙමි. ප්‍රේමදාස මැතිඳුන් ජනපති ධුරයට පත් කර ගැන්ම තුළින්, අපේ සමාජය පිළිබඳව අපේ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑකර ගැන්ම අපේ අරමුණ විණ. ප්‍රේමදාස ජනාධිපතිතුමන් ප්‍රථම අමාත්‍යමණ්ඩල පත්කිරීම්වලදී, එතුමන් කලින් භාරව සිටි නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා තෝරාගෙන තිබිණ. ඒ තනතුරේ දිව්රුම් දීමෙන් අනතුරුව, ජනාධිපති මන්දිරයේ එතුමන්ගේ කාර්යාලයට මා කැඳවූ ප්‍රේමදාස ජනාධිපතිවරයා මාවෙත කළ ප්‍රකාශය මට කිසිදිනෙක අමතක නොවේ.
දන්නවද ලැබී තිබෙන අමාත්‍යාංශය?
එතුමන් මගෙන් විමසා සිටියේය.
මම “ඔව්“ යයි පිළිතුරු දුනිමි.
“මගේ අමාත්‍යාංශය දීලා තියෙන්නේ“
ඔහු සිනා සෙමින් පවසයි. නිවාස අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යාවරයාව සිටිෙය් කුරේ මහතායි. මම රාජ්‍ය අමාත්‍යවරයයි.
“මුලින්ම එන්නේ මහියංගණ ගම්උදාව. මැති ඇමතිවරු පයගහලා නැති ගම්මාන එහෙ තියෙනවා. ඉම්තියාස්, මට කැපවීම ඕනේ. ඒ මිනිසුන්ගේ කඳුළු නිවන්නට උපරිමය කරන්නට හිතේ තියාගන්න.“ ඒ වචන එන්නේ ඔහුගේ හදවතින්ම බව මට දැනිණ. ප්‍රේමදාසයන් ගැන සිහිපත්වන ඇතැම් විටෙක මේ වචන දෙසවන්වල දෝංකාර දෙනු මට ඇසේ.
පොල් අතුපැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක, වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරිහැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩිලෙස සංවේදීවූ නායකයා ඔහු විය. පුංචි නවාතැනක ඉඩකඩ නොමැති වූ නිසා මවුපියන්, දරුවන් සහ පවුල් කීපයක් මාරුවෙන් මාරුවට නිදා ගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු විය. පුට්ටු ගෙවල්, අත්තම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය, නිවාස පහලොස් ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර, ඔහු හඳුන්වා දුන්නේ ඒ කදුළු නිවන්නටය.
“ජනසවිය“ මේ පොළොවේ ජනිත වූ සංකල්පයකි. පක්ෂ භේදවලින් තොරව විනිවිද පෙනෙන ක්‍රමවේදයක් තුළින් දුප්පතුන් නිවැරදිව හඳුනා ගනිමින්, එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කෑමට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.“සෙවණ මා පිය කැපකරු ක්‍රමය“ ක්‍රියාවට නැගුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය. “පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ“ ක්‍රියාවට නැඟුණේ හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි. “පාසල් නිල ඇදුම් වැඩ පිළිවෙළ“ ක්‍රියාවට නැඟුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වන්නටය. “මාවතේ අපි “ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැඟුණේ මහ මග සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබා දෙමින් ඔවුන් නගා සිටුවන්නටය.“උණ බම්බු ගේට්ටු වැඩ පිළිවෙළ“ ක්‍රියාවට නැඟුණේ දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබා දෙන්නටය.
“ජනපති ජංගම සේවා“ රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබා ගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙන යාම පිණිසය.
“කැපකරු ගම්මාන“ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට අමතරව, දානපතින්ගේ සහායද දිළිදු ජනතාව නගා සිටුවීමේ වැඩ පිළිවෙළට ලබා ගැනීම සදහා
ප්‍රශ්නයකට “නැහැ, බැහැ“ කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවට ඔහු සැමවිටම සංවේදී විය. “සෙවණ අරමුදල“ ඔහු ඇරඹුවේ රජයේ ප්‍රතිපාදවලින් ඉටු කළ නොහැකි ජනතා සේවාවන්ට අනුග්‍රහ ලබා ගත හැකි මූලාශ්‍රයක් ලෙසිනි.
සෑම ආගමික ජන කොටසක් වෙනුවෙන්ම “ආගමික අමාත්‍යාංශ“ ආරම්භ වූයේ, සැමට සාධාරණව සැලකීමේ උතුම් ගුණාංගය මුල් කර ගනිමිනි.
දිස්ත්‍රික්කයක් ආවරණය වන “මහා ගම්උදාව“ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන “ප්‍රාදේශීය ගම්උදාව“ සහ විවිධ ක්ෂේත්‍රම සම්බන්ධ කර ගත් “සති වැඩපිළිවෙළ“ රට පුරා ගෙනයනු ලැබුවේ ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටුකර ගන්නටය. “ග්‍රාමෝදය මණ්ඩල“ වැඩ පිළිවෙළ හඳුන්වා දෙනු ලැබුවේ ගම් නගා සිටුවීම සහ ගමේ එකමුතුව අරමුණු කර ගනිමිනි.
සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙනයනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින් දිසාපති ක්‍රමය වෙනුවට “ප්‍රාදේශීය ලේකම් කාර්යාල“ ක්‍රමය ඇරඹුණේ සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි. සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදය වෙනසකට ලක්කරමින් “ගම් පහලොස් දහසේ“ වැඩ පිළිවෙළ ආරම්භ කළේය.
පළාත් පාලන මැතිරණවලදී “ තරුණ නියෝජනත්වය සඳහා වන ප්‍රතිශතය සියයට හතළිහකට “අනිවාර්ය කෙරෙන නීති පැනවුණේ ද තරුණ ජනගහණයට අවශ්‍ය පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ උපරිම සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙනි.
“මම භාර ගෙන ඇත්තේ දෙකොන ඇවිළෙන විලක්කුවක් බඳු රටක්“ ප්‍රේමදාස ජනපතිතුමන් මෙසේ කියා සිටියේ උතුරේ සහ දකුණේ ගිනිදැල් මධ්‍යයේ , ජනපති ධූරයේ කටයුතු භාරගන්නට සිදුවූ අවස්ථාවේය. තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වසා දැමිණ. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනය වේ. රාජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය විණ. ආරක්ෂක හමුදා පවුල්ද තර්ජනයනට මුහුණ දුන්හ. සවස 6න් පසු විදුලිය තහනම් විණ. වටිනා රජයේ ගොඩනැගිලි , බස්රථ ඇතුළු දේපල ගිනි තැබිණ. ඡන්දය පාවිච්චි කරන්නට ගිය පිරිස් ඝාතනයට ලක් වූහ. අත් කැපිණ. හිස් මුඩු කෙරිණ. ඝාතනය වූ අයගේ මෘතදේහ දණ හිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණ. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳී ගොස් තිබුණි. ප්‍රේමදාස ජනාධිපතිතුමන් රට භාර ගත්තේ මෙවන් යුගයකය.
“ජීවිතවලට හානි කරන්න එපා. මම කැමතියි, ඔබලා සමග සාකච්ඡා කරන්නට . ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්“
මේ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම විය. ආයාචනය විය, එය හෘදයාංගම එකක් විය. ජීවිත හානි වළක්වා ගන්නට ඔහු බැගෑපත් විය. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම රැකගන්නට ඔහු බැගෑපත්විය. එහෙත් ඒ ආයාචනවලට ප්‍රතිචාර නොලැබිණි. ජනපති ධූරයට පත්ව පළමු මාස පහ පුරා සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සාමය උදා කර ගන්නට ඔහු කොතෙකුත් උත්සාහ දැරීය. අවසානයේදී ආරක්ෂක හමුදා විසින් ප්‍රචණ්ඩත්වය මැඩලනු ලැබිණ. දකුණේ මෙන්ම උතුරේද ප්‍රශ්නවලටද කිසිදු වෙනසක් නොදක්වා, ජීවිත හානිවලින් තොරව සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහය නිෂ්පල වීම, ඔහුගේ වේදනාවට හේතුවිය.
එතුමන්ට සැඟවුණු න්‍යායපත්‍රයක් නොතිබිණ. විදේශ සබඳතාවලදී රටේ ගරුත්වය ඉහළින් තබා ගත් ඔහු “ශක්තිය නොව යුක්තිය“ ගරු කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තිරසාර ලෙසින් පෙනී සිටියේය. ඉන්දියානු සාම හමුදාව යැවීම, ඊශ්‍රායල් තානාපති අංශය යැවීම වැනි කරුණු පෙන්නුම් කරනුයේ රටේ ගරුත්වයට සහ ස්වාධිපත්‍යට හානි කරවන කිසිදු බලවේගයක් නොඉවසන, ඔහුගේ සෘජු හා ප්‍රතිපත්තිගරුක ස්වභාවයයි.
ප්‍රේමදාස මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැබවින්ම විප්ලවයක් විය. ආර්ථික , සමාජ තහංචි මැඩගෙන, පන්ති, වර්ග, කුලමල, වැනි අභියෝග ජයගනිමින් මේ රටේ ඉහලම තනතුරට ආර්. ප්‍රේමදාස මහතා පත්විය. “අප සමාජයේ ඉහළම පුටුවට යෑමට පංති කුලමල වැනි තහංචි කිසිවක් ඇත්තේ නැත.‘‘ යන විශ්වාසය අප සමාජය තුළ තහවුරු වුයේ ප්‍රේමදාස ජනපති ප්‍රතිපත්තියත් සමගය යන්න සත්‍යයකි. එක්සත් ජාතික පක්ෂය තුළින් මේ විප්ලවය කරන්නට හැකිවීම ගැන ඒ සඳහා දායක වූ සියලු දෙනාට නිහතමානීව සතුටක් ලැබිය හැක.
ප්‍රේමදාසයන්ගේ නායකත්වය යටතේ, එදා බෞද්ධ ජන පදනමකින් යුතු, ග්‍රාමීය ආසන බහුතරයක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ශක්තිය ලැබිණ.
පොදු ජනතාව අතුරින් මතු වූ , පොදු ජන විඥානය හොඳින් තේරුම්ගත හැකි නායකත්වයක් මෙන්ම ඒ ජනතාව වෙනුවෙන් වූ නිවැරදි දැක්මක් තිබීම හේතුවෙන් ඔහුගේ ගමන් මග අප සමාජයේ ඇති කළ ආර්ථික සහ සමාජමය වෙනස්කම් මෙරට පොදුජන ජීවිතයේ ඉමහත් පෙරළියක් ඇති කිරීමට මුල් විණි.
සියල්ලන්ටම සමානව සැලකීම, සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැමදා පෙනී සිට ඇත. ඒ වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී නිර්භීතව නැගී සිට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ඒ උරුම ගමන අනාගත පරපුරට ද ආරක්ෂා කරදීම මෙන්ම මේ වගකීම් නිර්භයව ඉටු කිරීමට කටයුතු කිරීම, ආර්. ප්‍රේමදාස නාමයට කළ හැකි ඉහළම උපහාරය වනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි.
ඉම්තියාස් බාකීර් මාකාර්