ඕෂෝ මහෝඝය | සිළුමිණ

ඕෂෝ මහෝඝය

මාපියන්ගේ විවාහය

අපේ තාත්ත ජෛනාගමේ. අම්මත් එහෙමයි. ඒත් එදා තාත්තගෙයි, අම්මගෙයි කසාදෙ දවසෙ අපේ තාත්තගෙ නෑයන්ගෙ නඩේ ගුරා හැටියට ආවෙ මුසල්මාන් ජාතික පාකිස්තාන් හජ්ජි බාබු. ඒ වෙනකොට වයස 110 පැනල හිටපු හජ්ජි බාබු අපේ තාත්තගෙ කසාදෙට ආව විතරක් නෙමේ, නෑ කට්ටිය එක්ක ම අපේ අම්මලෑ ගෙදරටත් ගියා. ඒකෙන් මුළු ජෛන ජන සමූහය අතර ම සිද්ධ වුණේ මහ කලබැගෑනියක්. මොකද සිරිතට අනුව නං මනමාලය මනමාලිගෙ ගෙදරට යන්ඩ කලින් මනමාලිගෙ කට්ටිය ඒ අයව නගර සීමාවෙදි පිළිඅරගෙන පවුලෙ මූලිකයට මල් මාලයක් දාන්ඩ ඕනැ නිසා. ඒ විතරක් නෙමෙයි එයාට හුඟක් වටිනා තලප්පාවක් පලන්දන්ඩත් ඕනෑ. විල්ලුදවලින් මහපු ලස්සන සපත්තු දෙකක් දාන්ඩත් ඕනැ. විශේෂයෙන් ම හදපු සාළුවක් ඔහුට පලන්දන්ඩත් වෙනව. ඉතිං මුස්ලිම් ජාතිකයෙකුව කොහොමද එහෙම පිළිගන්නෙ?

අපේ තාත්තගෙ තාත්ත (අපේ සීය) කිව්ව ‘හජ්ජි බාබු තමයි අපේ පවුලෙ මූලිකය’ කියල. අපූරුයි! මහමද් ආගම් කාරයෙක් ජෛන පවුලෙ ප්‍රධානියා වෙලා! ඒක අහල අ‍ෙප් අම්මගෙ තාත්තට (සීයට) කර කියා ගන්න දෙයක් නැති වුණා. ඒත් අපේ සීය කවදාවත් කාගෙවත් කීමක් අහන ජාතියෙ කෙනෙක් නෙමෙයි. ‘ඒකට මොකද? අපිට ආපහු යන්ඩ වුණොත් අපි ආපහු යං. ඒත් උන්නැහෙයි අපේ පවුලෙ මූලිකය. මං මුන්නැහැගෙ බාල මලයට කවදත් මනාපයි. ඉතිං මුන්නැහැ ඉන්දැද්දි මං කොහොමද පවුලෙ මූලිකය හැටියට ඉදිරිපත් වෙන්නෙ?’ සීය එහෙමයි කිව්වෙ.

ඉතිං හජ්ජි බාබුව අපේ පවුලෙ ප්‍රධානියා හැටියට පිළිගන්නව ඇර අපේ අම්මගෙ තාත්තට වෙන කරන්ඩ දෙයක් තිබුණෙ නෑ.

ඒ කාලෙ වයස අවුරුදු දහය වෙන්ඩ කලින් දරුවන්ව කසාද බන්දනව. සමහර වෙලාවට දරුවන්ව කසාද බන්දනකොට ඒ දරුවො ඉන්නෙ අම්මගෙ බඩේ. ඉතිං යාළුවො දෙන්නෙක් මේ විදිහට තීරණය කරන්න පුළුවනි. “දැන් අපේ භාර්යාවො දරුවො බිහි කරන්ඩනෙ ඉන්නෙ. එක් කෙනෙකුට පුතෙක් ලැබිල අනිත් කෙනාට දුවෙක් ලැබුණොත් ඒ දෙන්නගෙ කසාදෙ කරන්ඩ අපි පෙරොන්දු වෙමු” ඉපදෙන්ඩ ඉන්න පිරිමි ළමයගෙන්වත් ගෑනු ළමයගෙන්වත් කැමැත්ත අකැමැත්ත අහන එක වැදගත් වෙන්නෙ නෑ, ඒ දෙන්න ම කොල්ලො වෙයිද නැත්තං දෙන්න ම කෙල්ලො වෙයි ද කියල දන්නෙත් නෑ. නමුත් එක දරුවෙක් කොල්ලෙක් වෙලා අනිත් දරුව කෙල්ලෙක් වුණොත් කසාදෙ නං කිරිගහට ඇන්න වගේ කෙරෙනව. මිනිස්සු තමන්නෙ වචනෙ ඒ විදිහට ම රැක්ක.

අපේ අම්මව කසාද බන්දල තියෙන්නෙ වයස හතේදි. මනමාලයගෙ නෑදෑ කට්ටිය ගෙදරට එන වෙලේ අම්මව ගේ ඇතුළෙ කණුවක ගැට ගහන්ඩ දෙමවුපියන්ට සිද්ධ වුණා. එළියෙ පහළියෙ හරියට ගිනිකෙළි තිබුණ. ගෙදර හැමෝම ගෙයින් එළියට බැහැලයි හිටියෙ. දැනුත් අපේ අම්ම ඒ ගැන මට මතක් කරනව. “මට තේරුණේ නෑ ඇයි මාව විතරක් ගෙට දාල ගැටගහල තියෙන්නෙ කියල. ඒගොල්ලො මට එළියට බහින්ඩ දුන්නෙ නෑ.” අම්මට කසාදෙ ගැන කිසි ම වැටහීමක් තිබිල නෑ. අනිත් හැම ළමයෙකුට ම වගේ එයාටත් වුවමනා කළේ එළියෙ සිද්ධ වෙන ‍ලස්සන දේවල් බලන්ඩයි. මුළු ගමේ ම අය එකට එකතු වෙලා. එයා විතරක් තනිය ම අඬ අඬ ඉන්නව.

අපේ තාත්තටත් එතකොට අවුරුදු දහයකට වැඩිය නෑ. සිද්ධ වෙන්නෙ මොකක්ද කියල තාත්තටත් තේරුමක් තිබිල නෑ. පස්සෙ කාලෙ මං තාත්තගෙන් මේ විදිහට අහන්ඩ පුරුදු වෙලා හිටිය. “කසාදෙ දවසෙ තාත්ත වැඩියෙන් ම විනෝදයක් ලැබුවෙ මොකෙන් ද?”

‘අස්සය පිටේ නැගල ගිහිං’ තාත්ත උත්තර දෙනව. එදා තමයි ඔහු රජෙක් වගේ ඇඳල හිටියෙ. පැත්තකින් පිහියක් එල්ලෙනව. ඔහු අස්සය පිටේ නැගල ඉන්නව. හැමෝ ම ඒ වටේ යනව. ඔහු ඒකෙන් පුදුම විනෝදයක් තමයි ලබල තියෙන්නෙ. ඒක තමයි අපේ තාත්ත කසාදෙ දා ලබපු ඉහළ ම සතුට.

මධුසමය ගැන අහන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ. අවුරුදු දහයෙ කොල්ලෙකුටයි, අවුරුදු හතේ කෙල්ලෙකුටයි මධුසමය ගත කරන්ඩ කියල කොහෙ යවන්ඩද? ඒ හින්ද ඉන්දියාවෙ කවදාවත් මධුසමය හරියට කෙරිල නෑ. ඉස්සර නං ලෝකෙ කොහෙවත් ම පැවතිලත් නෑ.

අපේ තාත්තට අවුරුදු දහයක් වෙලා තියෙද්දි, අපේ අම්මට අවුරුදු හතක් වෙලා තියෙද්දි අපේ තාත්තගෙ අම්ම (ආච්චි) මැරුණ. කසාදෙන් අවුරුදු දෙකක් ගතවුණා ම ගෙදර සම්පූර්ණ වගකීම පැවරුණේ අවුරුදු නමයක් වෙලා හිටපු අපේ අම්මට. අපේ තාත්තගෙ අම්ම (ආච්චි) මිය ගිහින් තිබුණෙ පුංචි දුවල දෙන්නෙකුයි, පුංචි පුතාල දෙන්නෙකුයි ඉන්දැද්දි. ඉතින් ඒ දරු පැටව් හතර දෙනෙකුගෙ වගකීම පැවරුණේ අවුරුදු නමේ ගැහැනු ළමේකුටයි, අවුරුදු දොළහෙ පිරිමි ළමෙකුටයි.

අපේ තාත්තගෙ තාත්තට (සීයට) ටවුමෙ සාප්පුවක් තිබුණට එයා කවදාවත් නාගරික ජීවිතේට කැමැත්තකින් හිටපු කෙනෙක් නෙමේ. එයා ආස කළේ ගමේ ජීවිතේ. එයාට ලස්සන අස්සයෙක් හිටිය. තමන්ගෙ බිරිය මිය ගියාට පස්සෙ එයා සම්පූර්ණයෙන් ම නිදහස් පුද්ගලයෙක් වුණා. ඔබ විශ්වාස නොකරනව වෙන්න පුළුවන්. එයාගෙ කාලෙ (ඒක වැඩි ඈතක නෙමේ) ආණ්ඩුව මිනිස්සුන්ට නොමි‍ෙල ඉඩම් දුන්න. ඒ තරමට ම ඉඩම් තිබුණ. ඒව වගා කරන්ඩ මිනිස්සු එච්චර ම හිටියෙ නෑ.

ඉතින් අපේ සීය ආණ්ඩුවෙන් නොමිලෙ ඉඩම් අක්කර 50 ක් ගත්ත. එයා ටවුමෙන් හැතැප්ම 12 ක් එහා තියන ගමේ ඉන්ඩයි ආස කළේ. ඒ හින්ද ටවුමෙ තියන එයාගෙ සාප්පුවෙ සේරම වැඩ එයාගෙ දරුවන්ට - ඒ කියන්න අවුරුදු‍ දොළහෙ අපේ තාත්තටයි, අවුරුදු නමේ අපේ අම්මටයි පැවරුණා. සීය උද්‍යානයක් හදාගෙන, ගොවිපොළක් දාගෙන සැහැල්ලුවෙන් හිටිය. එයා හීල් හුළ‍ඟෙ ජීවත්වෙන්ඩ ආස කළා. එයාට ටවුමෙ ජීවිතේ එපා වෙලයි තිබුණෙ.

ඉතින් කොහොමද ඔබ හිතන්නෙ පරම්පරා හිඩැසක් තියනව කියල? අපේ තාත්තට අද තරුණයො විඳින ජාතියෙ නිදහසක් තිබිල ම නෑ. එයා ඒ විදිහෙ අද්දැකීමක් විඳල නෑ. ඒ විදිහට බැලුව ම එයා කවදාවත් තරුණ වෙලා ඉඳල නෑ. තරුණ වෙන්ඩ කලින් ම එයා තමන්ගෙ බාල මල්ලිල, නංගිල බලා කියාගෙන නාකිවෙලයි හිටියෙ. ඒ තියා එයාට වයස 12 වෙද්දි බාල නංගිලව කසාද බන්දල දෙන්ඩයි, බාල මල්ලිලට උගන්නන්ඩයි සිද්ධ වුණා.

ලබන සතියට...

ගුණසිංහ හෙට්ටිආරච්චි

Comments