අධිකරණ නියෝගය වළපල්ලට දැමූ එරාවුර් ඉඩම් කොල්ලය | සිළුමිණ

අධිකරණ නියෝගය වළපල්ලට දැමූ එරාවුර් ඉඩම් කොල්ලය

* අධිකරණය විසින් ඇතුළු වීම පවා තහනම් කළ ‍භූමියට විදුලිය බල මණ්ඩලය විදුලිය දීලා
* ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නාම පුවරු අසලම පෞද්ගලික නාම පුවරු එල්ලා
* බොරු අයිතිය හඟවලා බලෙන් ‍ඉඩම් අල්ලා ගනිද්දී එරාවුර් පොලීසිය මර නින්දේ

අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචිව සිටින බොහෝ දෙනාට යන්නට එන්නට තැනක් නැත. ඒ නිසාම ඔවුහු ඒ ඉඩමේම පදිංචිව සිටිති. කොතරම් රැවුම් ගෙරවුම් ආවත් යන්න එන්නට තැනක් නැති නිසා ඔවුන් මේ අනවසර පදිංචියේ යෙදී සිටිනවා. පසුගිය දිනවල ස්වාභාවික ආපදා සිදු වූ ප්‍රදේශවල මෙන්ම කඳු කඩා වැටීම් සිදු වූ තැන්වල රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටි බොහෝ දෙනා යන්න එන්නට තැනක් නැති අය මිස බලහත්කාරකමින් චණ්ඩිකමින් ඉඩම් අල්ලා ගත් අය නම් නොවේ.

මේ ඇතැම් රාජ්‍ය ඉඩම් සංවර්ධන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍ය වූ විට පදිංචි පිරිස් ඉවත් කිරීම සුළු පටු කාර්යයක් නොවේ. මේ නිසා ඇතැම් විට ඔවුන්ට තට්ටු නිවාස ලබා දී ඉඩම් නිදහස් කර ගැනීමේ ප්‍රතිපත්තියක් රජය සතුව ඇති අතර ඇතැම් අවස්ථාවන්හිදී එම පිරිස් අධිකරණ නියෝගවලින් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාද තිබෙනවා.

මරදාන - රාගම තුන්වන දුම්රිය මඟ තැනීමේදී කැලණිය පාලමට නුදුරින් අනවසර ලෙස පදිංචිව සිටි පිරිස් ඉවත් කිරීමට අධිකරණ නියෝග ලබා ගෙන ඔවුන් ඉවත් කිරීම මෙන්ම නගර සංවර්ධනයේදී බොරැල්ල නාරාහේන්පිට ප්‍රදේශයේ පවුල් රැසක් ඉවත් කිරීම තවත් එක් අවසථාවකි.

මේ අධිකරණ නියෝග ලබා දුන් පසු කිසිදු අයකුට ඊට එරෙහිව කටයුතු කිරීමට හැකියාවක් නොමැත. යම් මූලික අවස්ථාවක තමන් රජයේ ඉඩම් හෝ දේපළ භුක්ති වින්දද අධිකරණය විසින් කරනු ලබන නියෝග පිළිපැදීමට උතුරේ සිට දකුණට යන තෙක් සියලු වැසියන් බැදී සිටිනවා.

එහෙත් අප මේ කියන්නට යන කතාව අධිකරණ නියෝග පවා නොසලකා සිදු කරනු ලබන ඉඩම් මංකොල්ලයක් ගැනයි. ස්ථානය මඩකළපුව චෙංකලාඩි ප්‍රදේශයයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර සිය ගණනක් දේපළක් බලහත්කාරයෙන් අල්ලාගෙන කට්ටි කර පෞද්ගලික දේපළ ලෙසින් වෙන් කර ඒවා එක් එක් පුද්ගලයන්ට ලබා දීමේ මහා පරිමාණ වංචාවක් මෙන්ම මහා සොරකමක් පිළිබඳව පසුගිය කාලයේදී වාර්තා වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මඟින් මේ සම්බන්ධව සොයා බලා අදාළ කටයුතු යොදන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක නේසකුමාර් විමල්රාජ් මහතාට දන්වා තිබුණා. ඔහු මේ ඉඩම් නිරීක්ෂණ කරන විට සියලු ඉඩම්වල පෞද්ගලික ඉඩම් යනුවෙන් ගස්වල බෝඩ් ලෑලි එල්ලා ඉඩම් කට්ටි වශයෙන් වෙන් කරගෙන ඉඳි කිරීම් ආරම්භ කර තිබුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට කරුණු දන්වා අධිකරණයෙන් මේ රාජ්‍ය දේපළ වලට ඇතුළු වීමට තහනම් නියෝගයක් ලබා ගැනීමට ඔහු විසින් කටයුතු කරමින් සිටියා.

ඒ අතරතුර මේ මහා පරිමාණයට සම්බන්ධ වන්නන් යැයි සැක කරන පිරිස් ඉඩම් නිලධාරි මහතාට වෙඩි තබා තුවාළ සිදු කළා.

විමල්රාජ් මහතා වෙඩි ප්‍රහාරයට ලක්වුණේ රාත්‍රියේ කලවංචිකුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී.යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබුණා.වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විමල්රාජ් මහතා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කෙරුණු අතර ජාති ආගම් භේද නොසලකා තම රාජකාරිය කරන ලද මේ නිලධාරියා ගැන ඇත්තෙන්ම ආඩම්බර විය යුතු වනවා.

විමල්රාජ් මහතාට වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් කලවංචිකුඩි ප්‍රදේශයේ ජනතාව විරෝධතා පෙළපාළියක්ද පැවැත්වූවා.

ඒ අතරම එරාවුර් සංචාරක උසාවියේ මහේස්ත්‍රාත්වරයා විසින් රාජ්‍ය දේපළ අපහරණය තහනම් කරමින් හා අදාළ දේපළ රජය සතු බවත් ඇතුළු වීම පවා තහනම් බව දන්වමින් නිවේදන නිකුත් කරා. මහේස්ත්‍රාත්වරයාගේ එම නියෝග අදාළ ඉඩම් කට්ටිවල ඇතුළු වීමේ ස්ථානවල අධිකරණයේ සුපරීක්ෂාව යටතේ ප්‍රදර්ශනය පිණිස අලවා තිබෙනවා. ඒ රෙජිස්ටාර්වරයාගේ අත්සනින් හා නිලමුද්‍රාව ද සහිතවයි.

එපමණක් නොව අදාළ ඉඩම් නිලධාරගේ සුපරීක්ෂාව යටතේ ඉඩම්වල රාජ්‍ය සේවා කොමිසමට අයත් බව දැක්වෙන නාම පුවරු පවා ස්ථාපිත කළා. අධිකරණ නියෝගය ඇතුළු වීමේ ගේට්ටුවල අලවා ඇත්තා සේම අදාළ ඉඩම් සියල්ල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් බව දැක්වෙන දැන්වීම් ඉඩම්වල ඇති දැවැන්ත වෘක්ෂයන්ගේ ස්ථාපිත කර තිබෙනවා.

මෙසේ තිබියදී ඇතැම් චණ්ඩිකාර පිරිස් තම බලය අනිසි ලෙස යොදවා ‍ගනිමින් අධිකරණ නියෝගය පවා නොතකා මේ වන විට අදාළ ඉඩම්වලට ඇතුළු වී එම ඉඩම් 'පෞද්ගලික ඉඩම්' යනුවෙන් (PRAIVATE LAND) සඳහන් නාම පුවරු එල්ලා තිබෙනවා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නාමපුවරුවද එල්ලා ඇති සීමාවේමයි.

මේ මහා පරිමාණ ඉඩම් වංචාව ඔස්සේ යළිත් වරක් අනවසර ලෙසින් හෝ අවසර ගෙන ඇති බව හඟවන මුවාවෙන් රජයේ දේපළ අල්ලා ගැනීමේ මහා පරිමාණ සැලැස්මක් පිළිබඳව හෙළිව තිබෙනවා.

සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සමඟිය සමඟින් දිවි ගෙවනු ලබන මඩකළපුවේ සමඟිය කවුරුන් විසින් හෝ බිඳ දැමීමට කටයුතු කරන්නේද යන්න මේ වන විට මතුව ඇති ගැටලුවයි.

එසේම නීතිය කඩා බිඳ දැමීමට කටයුතු කර තිබීමද මහා භයානක ක්‍රියාවක්. මෙහි අවසන් ප්‍රතිඵලය ඉතා භයානක විය හැකියි. ඉඩම් අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීම මෙන්ම ඉන් පසුව අධිකරණ නියෝග නොතකා සිදු කරනු ලබන මේ ඉඳි කිරීම් කියා පාන්නේ අයථා බලය අධිකරණ බලයට වඩා ඉහළ බවක්ද?

තමන් කැමැති අයකුට අවශ්‍ය පරිදි රජයේ ඉඩම් අල්ලා ගන්නට බෙදා ගන්නට හැකිනම් රටේ නීතිය කුමකටද යන්න අප අපගෙන්ම විමසිය යුතුය.

මේ සම්බන්ධව පොලිසියද මර නින්දේය. පොලිසියට පැමිණිලි ලැබුණද ඒවා ගණන් ගැනීමට ඇතැම් නිලධාරීන් මැලිවන්නේ ඔවුන්ට යම් කිසිවකුගෙන් කුට්ටියක් ලැබෙන නිසාදෝ යන්න සැකයක්ද මතු වේ.

මේ ප්‍රදේශයේ සිටින සියලු ජාතීන් එක්ව පවසන්නේ ජාතික සමගිය බිඳ හෙළන්නට කවුරුන් විසින් හෝ සිදු කරනු ලබන මේ ක්‍රියාව වහා නැවැත්විය යුතු බවයි. උදාගම් සංකල්පය හරහා නිවාස අවශ්‍ය සියලු දොනට මේ වන විට නිවාස සපයමින් පවතිනවා. විශේෂයෙන්ම නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සංවිධාන පවසන්නේ මේ බොහෝ සංවිධානාත්මක ක්‍රියාදාමයන් පිටුපස ජාතීවාදීන් සිටින බවයි.

මේ වන විට අදාළ ඉඩම්වලට විදුලිය බලයද ලබා ගෙන තිබෙනවා. අධිකරණ නියෝගයෙන් ඉඩම්වලට ඇතුළුවීම පවා තහනම් කර තිබියදී එසේ විදුලිය බලය ලබා ගත්තේ කෙසේද යන පැනයට වඩා අපට විමසිය යුතුව ඇත්තේ විදුලිය බලය ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැනයි. රාජ්‍ය ආයතනයකට එසේ අධිකරණ බලය ඉක්මවා යා හැකිද යන්න ගැන අප සිතා බැලිය යුතුය. එවන් තත්ත්වයක් තුළ එරාවුර් පොලිසිය මර නින්දේ සිටීම අපට විමතියට කරුණක්? පොලිසිය රාජකාරිය පැහැර හැර ඇති බවට ඇතැම් පිරිස් චෝදනා නඟා තිබෙනවා. අපේ රටේ තවමත් නීතිය අභිභවා නිලධාරිවාදය ක්‍රියාත්මක වන බවට මේ සිදුවීම කදිම උදාහරණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නීතිය වරද සියල්ල බල පාන්නේ පොඩි මිනිහාට පමණක් බවත් ලොකු මිනිහාට පොලිසිය රාජ්‍ය දෙපාර්තමේන්තු සියල්ල හිස නමා ආචාර කරමින් ඕනෑම වරදක් කිරීමට ඉඩ තබා ඉවත් බලා ගෙන සිටින බවට මෙය පෙන්වා දිය හැකිය.

එහෙත් මෙතැන බරපතළ වරදක් සිදුව ඇත්තේ අධිකරණයට අපහාස කිරීමය. අධිකරණය විසින් තහනම් නියෝග ලබා දී තිබියදී බලහත්කාරයෙන් ඉඩම්වලට ඇතුළු වූයේ කෙසේද? යන්න ගැන සොයා යැලිය යුතුය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පමණක් නොව වෙනත් කුමන හෝ රාජ්‍ය ආයතනයකට හෝ විදුලිය බලය ලබා දීමේදී අදාළ ආයතනය මඟින් ලිපි ශීර්ෂයක් මඟින් කරන ලද ඉල්ලීමක් සහ එම ලිපියේ අදාළ ආයතනයේ වගකිව යුතු බලධාරියකු විසින් නිල මුද්‍රාව තබා අස්සන් කළ යුතු වෙනවා. එහෙත් මේ කිසිදු ලියවිල්ලක් හෝ ඉල්ලීමක් හෝ නොමැතිව යම් පුද්ගලයකු ඉල්ලූ පමණින් විදුලිය බලය ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරියකුට යම් කුට්ටියක් අතට ලැබුණු නිසාද එසේත් නැත්නම් හදිසි හස්තයක ක්‍රියාකාරීත්වයක් නිසාද යන්න අපට මතුවන ගැටලුවයි. මේ සම්බන්ධයෙන් විදුලිය බල මණ්ඩලයේ නැඟෙනහිර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එසේ රාජ්‍ය දේපළකට විදුලිය ලබා දීමට අදාළ ආයතනයෙන් ඉල්ලීමක් කළ යුතු බවත් තමන් මේ ගැන නොදන්නා බවත් සොයා බැලීමට කටයුතු කරනු ලබන බවත්ය.

මේ සම්බන්ධයෙන් අප ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්වලට කොමිසමේ අවසරයකින් තොරව විදුලිය බලය ලබා දීමට පමණක් නොව ඇතුළු විම පවා තහනම් බවයි. ඒ අයුරින් විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අයිතියක් නොමැති බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් එම ප්‍රකාශකයා පැවසුවා.මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් ඒ සම්බන්ධව ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසු බවත් එවැනි ආකාරයෙන් අධිකරණය විසින් තහනම් නියෝග ලබා දී ඇති ඉඩම්වලට විදුලිය ලබා දී නොමැති බව ඔහු පැවසූ බවත්ය.

මේ සම්බන්ධයෙන් එරාවුර් පොලිස් ස්ථානාධිපති චින්තක පීරිස් මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ මේ සිදුවීම සම්බනධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව නඩු පවරා ඇති ආකාරයේ අඩුවක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පොලිසිය බලා සිටින්නේ අවශ්‍ය පරිදි ප්‍රාදේශීය ලේකම්වරයාට පොලිස් ආරක්ෂාව සැලසීමට පමණක් බවයි. මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවද ඔහු පැවසුවා.

එසේ වුවත් මෙහිදී අපට මතුවන ගැටලුව වන්නේ අධිකරණ නියෝග මඟින් ඇතුළුවීම තහනම් කර අදාළ ඉඩම්වල නියෝග දැන්වීම් අලවා ඇති රාජ්‍ය ඉඩම්වලට ප්‍රසිද්ධියේ පිරිස් ඇතුළු වෙද්දී පොලිසියට අමුතුවෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි දමා විමර්ශනය කිරීමට ඉල්ලීම් කළ යුතුද යන්නයි.

අපි මේ සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක නේසකුමාර් විමල්රාජ් මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ තමන්ගේ ජීවිතය ගැලවුණේ තමන් කිසිවකුටවත් හිරිහැර නොකරනු ලබන අයකු නිසා බවත් මේ මහා පරිමාණ ඉඩම් කොල්ලයට වහා විසඳුමක් ලබා දීම කළ යුතු බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතනයන්ද මේ වංචාව සැඟවීමට උත්සාහයක් දරන බවක් තමන්ට වැටහෙන බවත්ය.

දැන් බොහෝ දේ සිදුව අවසානය. බඩුත් එක්ක හොරු සිටිති. දැන් කළ යුතු වන්නේ මේ හොරුත් සමඟ හෙළුවෙන් ඉන්නා අය අල්ලා ගැනීමයි. ඒ සඳහා උල්පන්දන් දෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරිමය. එසේ නොවුවහොත් හෙට දින තවත් අක්කර සිය ගණනක් අල්ලාගෙන විදේස රටකට ලබා දෙන්නට මේ සපකපට පුද්ගලයන් කටයුතු කළත් අධිකරණය වැඩක් නොවන යාන්ත්‍රණයක් බවට පත් වනු ඇත.අධිකරණයට කළ හැක්කේ තීන්දු ලබා දීම මිස අදාළ ඉඩම් වලට ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නැත. ඒ පිරිසේ ඇස් අඳ වුවහොත් රටේ ආරක්ෂාවට කුමක් වේද?

සේයාරූ - රුක්මාල් ගමගේ

Comments