
බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලට අලුත් මුණුබුරෙකුගේ සම්ප්‍රාප්තිය පසුගිය අප්‍රේල් 23 වෙනි දින සිදු විය. ඒ අනුව එදින බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරියගේ දෙවන පුත් කුමරු ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී උපත ලැබුවේ ය. අලුත උපන් කුමරු “ලුවී ආතර් චාල්ස්“ යන නාමයෙන් හඳුන්වනු ලබන බව කෙන්සින්ටන් මාලිගයේ මාධ්‍ය අංශ මඟින් සඳහන් කර තිබේ.මෙම රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වේ.2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව අලුත උපන් කුමරාගේ සහෝදරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගෙන ඇත.එම වෙනස හඳුන්වා දීමට පෙර කාන්තාවකට කිරුළ දැරීමේ අයිතිය උරුම වුණේ පවුලේ පිරිමින් නොසිටියොත් පමණක් බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ලුවී ආතර් චාල්ස් කුමරු උපත ලැබුවේ අප්‍රේල් 23 වන සඳුදා දිනයේ පෙරවරු 11:01 ය. කුමරු මෙළොවට බිහි කර පැය 07 කට පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය බ්‍රිතාන්‍යයේ ශාන්ත මේරි රෝහලේදී ලින්ඩෝ වින්ග්හි අලුත උපන් කුමරු අතැතිව මහජනයා ඉදිරියේ පෙනී සිටීම විශේෂ සිදු වීමක් විය.රාජකීය පවුලේ නව සමාජිකයා පිළිගැනීම සඳහා පැමිණි පළමු අමුත්තිය වන්නේ කේට් කුමරියගේ බාලතම සොහොයුරිය වන පයිපා ය. ඉන් පසු කේට් කුමරියගේ මව ද තම අලුත උපන් මුණුබුරා බැලීම සඳහා කෙන්සිංටන් මාළිගයට පැමිණ තිබේ. විලියම් කුමරුගේ පියා වන චාලස් කුමරු සහ කැමිලා ආදිපාදවරිය ද රාජකීය පවුලට එකතුවුණු අලුත් අමුත්තා වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළහ.
"අපි මෙම ප්‍රවෘත්තිය පිළිබඳව බොහෝ තෘප්තියට පත් වුණා.මට නැවතත් මුණුබුරෙක් ලැබුණු එක ගැන බොහොම සතුටුයි. මට තිබෙන එකම ගැටලුව තමයි ඔවුන් සමග කාලය ගත කිරීම ලෙහෙසි නොවන බව “ යනුවෙන් චාල්ස් කුමරු තම මුණුබුරු දෙදෙනාගේ සහ මිණිබිරියගේ දඟකාරකම් සමඟ අනාගතයේ දී කාලය ගත කරන ආකාරය තමන්ට දැනෙන ලෙස මුළු ලොවටම ප්‍රකාශ කර තිබේ. විලියම් සහ කේට් රාජකීය යුවළගේ 07 වැනි විවාහ සංවත්සරය යෙදී තිබුණේ පසුගිය අප්‍රේල් 30 වැනි දිනයේ දීය. අවුරුදු හතක් ගත වෙද්දී දරුවන් තිදෙනෙකු සමඟ ආදරණීය බවින් පිරිපුන් විවාහ ජීවිතයක් ගත කරන රාජකීය යුවළක් ලෙස විලියම් සහ කේට් යුවළට ලෝකයේ නන් දෙසින් සුභ පැතුම් ලැබෙමින් පවතී.
අන්තර්ජාලය ඇසුරිණි.