මඟුල් මුදුව එපා කියන රාජකීය මනාලයා | සිළුමිණ

මඟුල් මුදුව එපා කියන රාජකීය මනාලයා

 එංගලන්තය මේ දිනවල ‘මඟුල් උන්මාදයකින්’ හෙවත් ‘වෙඩින් මේනියාවකින්’ වෙලී ඇතැයි ලොව පුරා මාධ්‍ය වාර්තා කරයි. ලොව ජනප්‍රියම රාජකීය පවුලේ මෙතෙක් ලෝකයේම අවධානයට ලක්ව සිටි සාමාජිකයාගේ විවාහ ගිවිස ගැනීමත් සමඟ රට පුරා ඒ අලුත් උන්මාදය පැතිරුණු බව සැබෑවකි. එංගලන්ත රාජකීය පවුලේ කඩවසම් හැරී කුමරු ඇමෙරිකානු නිළියක වන මෙගාන් මාර්ක්ලේ හා‍ විවාහ ගිවිස ගත් දා සිට එරට විශේෂයෙන්ම ටැබ්ලොයිඩ් පුවත් පත්වලටත් අනෙකුත් මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලටත් කතා කිරිමට ඉන් එහා මාතෘකාවක් නොවූයේ දිනෙන් දින මේ මංගල උණුසුම ළං වෙද්දීය.

රාජකීය මංගල්‍යයට තවත් ඇත්තේ සය දිනකි. එසේ තිබියදී දිනෙන් දින අලුත් මාතෘකා එක්වෙමින් ඒ පිළිබඳ උණුසුම් කතා බහ කරළියට එන බවක් පෙනේ. සතිය මැද්දේ රාජකීය විවාහය ගැන මතුවූ අලුත්ම පුවත වුයේ රාජකීය මනාලියට විරුද්ධව ඇගේ සමීපතම ඥාතියකු විසින් හැරී කුමරුට එවන ලද ලිපියකි. මේ ලිපිය එවා ඇත්තේ වෙනත් කවරකුවත් නොව මෙගාන්ගේ පියාගේ පෙර විවාහයේ පුතකු වන තෝමස් මාර්ක්ලේය. එම ලිපිය එංගලන්තයේ ප්‍රධාන පෙළේ සඟරාවක පළවීමත් සමඟ මුළු ලොව පුරාම වාර්තා විය. තෝමස් ඒ ලිපියෙන් හැරී කුමරුට පවසා ඇත්තේ සිය සහෝදරිය තුට්ටු දෙකේ නිළියක මිස කුමරුගේ රාජකීයත්වයට ගැළපෙන්නියක නොවන බවයි.

“මේ විවාහය ඔබගේ රාජකීය ඉතිහාසයේ සිදුවන විශාලතම වැරැද්දයි” යනුවෙන් පවසමින් තෝමස් ලිපිය එවා තිබුණ ද හැරී කුමරු එය තුට්ටුවකට හෝ මායිම් නොකළේය. මෙගාන්ගේ සහෝදරියක වන සමන්තා ද මේ ආකාරයෙන්ම මෙගාන්ට මඩ ගසමින් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබීමත් සමඟ

මෙවන් ලිපි මගින් පෙනී යන්නේ මෙගාන්ගේ විවා හයට පවුලේ අය ඊර්ෂ්‍යා කරන බව යැයි මාධ්‍ය වාර්තා කළේය. මෙයට පිළියමක් ලෙස රාජකීයන්ගේ පෞද්ගලික නිලධාරී මණ්ඩලයේ ඉහළම නිලධාරියා වන චැම්බර්ලේන් සාමිවරයා මෙගාන් වෙත අපූරු යෝජනාවක් ගෙනැවිත් ඇත්තේය. ඔහුගේ උපදෙස වූයේ මෙගාන්ට මඩ ගසන ඥාතීන්ට විවාහ මංගල උලෙළට ආරාධනා කළ යුතු බවය.

“ඔබ ඔවුන්ට ආරාධනා නොකිරීමෙන් සතුරන් වැඩි කර ගනිමින් ප්‍රතිරූපයට හානි කර ගන්නවා” යැයි චැම්බර්ලේන් සාමිවරයා පවසා ඇත.

එනමුදු, රාජකීය මනාලිය දැඩි තීරණයක සිටිමින් එම උපදෙස් නොතකා හැර සිටින්නීය. මෙනිසා මංගල්‍යයට මෙගාන්ගේ පවුලෙන් කවුරුන් සහභාගී වනවාද යන්න තවමත් ප්‍රශ්නයකි. කෙසේ වෙතත් මෙගාන්ගේ දෙමවුපියන් ඊට සහභාගි වන බව පසුගියදා කෙන්සිංග්ටන් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

රාජකීය මංගල්‍යයට ආරාධනා ලැබූවන්ගේ නාම ලේඛනය ද පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ අතර එහි විශේෂ ආරාධිතයෝ 600ක් වෙති. ඒ අතරින් හැරී කුමරු සිය මව වන ඩයනා කුමරියගේ පවුලේ උදවියට ආරාධනා කිරීම අත්‍යවශ්‍ය බව පවසා තිබිණි. එහෙයින් ඩයනා කුමරියගේ සහෝදරියන් වන සාරා හා ජේන් ආර්යාවන් ද අර්ල් ස්පෙන්සර් සාමිවරයා ද විවාහ මංගල උත්සවයට සහභාගී වෙති.

මෙගාන් ගේ ඥාති පාර්ශවයෙන් මව ඩෝරියා රැග්ලන්ඩ් උත්සවයට සහභාගි වන බව දන්වා ඇත්තේය. මෙගාන්ගේ පියා වන තෝමස් මාර්ක්ලේ 73 හැවිරිදිය. විශ්‍රාමික රූපවාහිනී ආලෝකකරණ අධ්‍යක්ෂවරයකු වන ඔහු ජීවත් වන්නේ මෙක්සිකෝවේ රොසාරිටෝ ප්‍රදේශයේය. ඔහු සිය පවුල සමඟ කිසිම සම්බන්ධයක් නොපවත්වන බවද පැවසේ. සම්ප්‍රදායානුකූලව දියණිය විවාහය සඳහා පල්ලියේ අල්තාරය ඉදිරියට කැඳවා ගෙන යනුයේ පියා විසින් වුවද මේ පියා තවමත් හැරී කුමරු දැක හෝ නැති බව මාධ්‍ය පවසයි. ඔහු විවාහයට දින හයක් තිබියදී පදිංචි ප්‍රදේශයේ අන්තර්ජාල කැෆේ එකක සිට විනාඩි 20ක් තිස්සේ මෙගාන්ගේ හා හැරී කුමරුගේ සේයාරූ නරඹමින් සිටින අන්දම පසුගියදා මාධ්‍ය වාර්තා කළේය.

මේ විවාහ මංගල්‍යය සඳහා මනාලියගේ පාර්ශවයෙන් ආරාධනා ලැබ ඇති තවත් ප්‍රසිද්ධ චරිතයක් වන්නේ ජනප්‍රිය ඉන්දියානු නිළි ප්‍රියංකා චොප්රාය.

“මං මෙගාන් හඳුනන්නේ වසර කීපයක සිටයි. ඇය ගැන මට හරිම සතුටුයි. විවාහ උත්සවයට සහභාගි වීමට මා පුන පුනා බලා සිටිනවා.”යනුවෙන් ඇය මාධ්‍යයට පවසා තිබිණි.

ලෝක ටෙනිස් ශූරිය වන සෙරිනා විලියම්ස් ද මෙගාන්ගේ පාර්ශවයෙන් ආරාධනා ලැබ සිටින්නීය.

ලෝක ප්‍රසිද්ධ ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායමටද ආරාධනා ලැබී තිබූ බව වාර්තා වුවද ඒ කතා පරස්පර බවක් පෙනී යයි. ‘ස්පයිස් ගර්ල්ස්’ සාමාජිකාවක වන මෙල් බී පවසා ඇත්තේ ඔවුන් ආරාධනා ලද බවයි. රාජකීය මංගල්‍යයට සහභාගි වුවද එහිදී කණ්ඩායම ගී ගයයිද යන්න තමා නොදන්නා බවද ඇය පැවසුවාය. එහෙත් කණ්ඩායමේ තවත් සාමාජිකාවක වන මෙල් සී පවසා ඇත්තේ වෙනත් කතාවකි.

“අපට නම් කිසිම ආරාධනාවක් ලැබී නැහැ. මෙල් බී සාමාන්‍යයෙන් විහිළු කරන්න කැමැතියි.” යනුවෙනි.

කෙසේ වෙතත් මෙගාන් සමඟ ඇමෙරිකානු ටෙලි නාට්‍යවල රඟපෑ නළු නිළියන් කීප දෙනකුට මංගල්‍යයට ඇරැයුම් ලැබී තිබෙන අතර මේ දිනවල ඔවුහු තමන් අඳින ඇඳුම් ගැන සිතමින් සිටින බව පවසති.

එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ සිය විවාහ මංගල්‍යය පැවැත්වීමට බොහෝ රාජකීයයෝ කැමැත්තක් දක්වති. එය වසර 150ක් තිස්සේ පැවත එන සම්ප්‍රදායකි. හැරී කුමරු සහ මෙගාන් වින්ඩ්සර් මාලිගයේ දී විවාහප්‍රාප්ත වන 16වැනි රාජකීය යුවළ වෙයි. මැයි 19වැනිදා මධ්‍යහ්න 12ට ඇරැඹෙන දේව මෙහෙය පැයක් පුරා පැවැත්වීමට නියමිතය. එයට සහභාගි වන්නේ විශේෂ අමුත්තන් පමණි. අනතුරුව වින්ඩ්සර් මාලිගා භූමියට හැරී හා මෙගාන් යුවළ තවත් ආරාධිතයන් 2640කට ආරාධනා කර ඇත්තේය. ඉන් වැඩි දෙනෙක් ග්‍රාමීය ප්‍රභූවරුන්ගේ කාර්ය මණ්ඩල මගින් නම් කරන ලද අමුත්තෝ, පුණ්‍යාධාර හා වෙනත් සංවිධාන නියෝජිතයෝ, ග්‍රාමීය පාසල් සිසුහු හා වින්ඩ්සර් මාලිගා වෙනත් රාජකීය මාලිගාවල සාමාජිකයෝ වෙති.

මේ අතර විශේෂ ආරාධනා ලැබූ කැනේඩියානු පාසල් සිසුවියක්ද සිටින්නීය. ඇය හැරී කුමරුගේ

මව ඩයනා කුමරිය නියෝජනය කරන්නීය. ඩයනා කුමරිය අනුස්මරණය කරමින් පිහිටුවා ඇති පිළිකා අරමුදලක් සඳහා අරමුදල් රැස්කිරීමට සියතින් ඇතිරිලි මැසූ ෆෙයිත් ඩික්සන් නම් වන මේ දැරිය 14 හැවිරිදිය. ඒ වෙනුවෙන් ඇය 2017දී ඩයනා ත්‍යාගය දිනා ඇත්තේය. සිය මවුපියන් හා ඩයනා ‍ත්‍යාගය දිනූ අනෙකුත් පාසල් සිසුන් සමඟ විවාහ උලෙළට සහභාගි වන ෆෙයිත් මෙවර එංගලන්තයට එද්දී පරිත්‍යාග සඳහා තවත් ඇතිරිලි තොගයක් රැගෙන එන්නීය.

මේ සියලු දෙනාත් සමඟ මේ රජ පවුල ප්‍රිය කරන විදෙස් සංචාරකයන් හා දහස් ගණනක මහජනතාවක් ද එදින වින්ඩ්සර් මාලිගාව අවට එක් රොක්වනු ඇත. මේ අතරේ කෙන්සිංග්ටන් මාලිගය තවත් නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් කියැවෙන්නේ රිය පෙරහර පිට්ටනියේ සිට නරඹන සියලුම දෙනා තමන්ට අවශ්‍ය ආහාර පාන රැගෙන ආ යුතු බවයි. ඔවුන්ට ආහාර පාන මාලිගයෙන් සැපයෙන්නේ නැති බව ද ඉන් දන්වා තිබේ.

රාජකීය විවාහයට ආරාධනා නොලැබූවන් අතර පෙරමුණේ සිටින්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ ඔහු ඩයනා කුමරිය හා තමා මීට පෙර මුණ ගැසී ඇති බවට නොමනා කතාවක් පවසා තිබීමය. ඒ හැරුණු විට එංගලන්ත දේශපාලන නායකයන්ද ඇරැයුම් ලබා නැත. අගමැතිනී තෙරේසා මේ හා විරුද්ධ පක්ෂ නායක ජෙරම් කෝබින්ට ආරාධනා නොලැබීම ඩවුනින් වීදියේ නිලධාරීහූ ලොකු හිසරදයකින් ගැලවීමක් ලෙස සලකති. ඒ‍ අතරම හැරී කුමරුගේ සීයා වන පිලිප් කුමරුට ද අසනීප තත්ත්වය නිසා විවාහ උලෙළට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි මත පළවේ.

දික්කසාද වූ තැනැත්තියක වන මෙගාන් මදක් සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කිරීම නිසා මේ විවාහ මංගල්‍යය අනෙකුත් රාජකීය විවාහ උලෙළට වඩා වෙනස් බවක් පෙනේ. එනමුත් ඇය සිය ඇමෙරිකානු සම්ප්‍රදායන් ද සිය විවාහ දිනයේදී එක් කර ගැනීමට උත්සාහ දරා ඇත. මෙගාන්ගේ පියා මංගල සාදයේදී අමුත්තන් ඇමතීම නොකරන බැවින් එම ඇමතීම මනාලිය විසින්ම කරනු ඇතැයි ද වාර්තා වේ.

මෙවර දේවස්ථානය ඇතුළත දේව මෙහෙය ජායාරූප ගත කිරීම සඳහා අසුන් පනවා ඇත්තේ එක් ජායාරූප ශිල්පියකුට පමණි. මංගල්‍යයේ නිල ජායාරූප ශිල්පියා වන්නේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ආවරණය කළ ශිල්පියා වන ඇලෙක්සිය. එංගලන්ත ටැබ්ලොයිඩ් පුවත්පත්වලට එතරම් කැමැත්තක් නොදක්වන මෙගාන් පවසා ඇත්තේ මහජනයාට පිටත සිට ඇති තරම් ජායාරූප ගැනීමටත් ‘සෙල්ෆි’ ගසා අන්තර් ජාලය ඔස්සේ යැවීමටත් හැකි නිසා වෘත්තීය ශිල්පීන් අනවශ්‍ය බවය. ඒ නිසා වින්ඩ්සර් මාලිගා පිටියේ ජායාරූප ගැනීමට අවසර දී ඇත්තේ ජායාරූප ශිල්පීන් සිවු දෙනකුට පමණි. මෙහිදී කැනඩාව වෙනුවෙන් මංගල උලෙළේ විකාශය සඳහා ආරාධනා‍ කර ඇත්තේ කැනඩාවේ ඉහළ පෙළේ මාධ්‍ය වේදිනියක වන ඈන් මාරි මැදිවක නම් වන ශ්‍රී ලාංකික කාන්තාවටය.

ප්‍රධාන විද්යුත් මාධ්‍ය වන ඒබීසී, සීබීසී, එන්බීසී, බීබීසී සහ ඇමෙරිකාවේ එච්බීඕ වැනි සෑම විද්යුත් නාළිකාවක්ම මේ අවස්ථාව ආවරණය කරන අතර ලොව පුරා සජීවීව නැරැඹීම සඳහා ‘මොබයිල් ඇප්ස්’ ද ලබා දී ඇත්තේය. 2011 වසරේදී විලියම් - කේට් විවාහ උලෙළ එංගලන්තය පුරා මිලියන 24ක ජනකායක් සජීවීව රූපවාහිනියෙන් නරඹා තිබිණි. එය එංගලන්ත ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරැඹූ රූපවාහිනී වැඩ සටහන් 10න් එකකි. 1966 පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගය මිලියන 32.3ක් නරඹා තිබූ අතර 1997 දී ඩයනා කුමරියගේ අවමඟුල මිලියන 32.1ක් නරඹා තිබිණි. එනිසා විද්යුත් මාධ්‍ය හරහා මේ මංගල්‍යය ලොවපුරා මිලියන සිය ගණනක් නරඹනු ඇතැයි මත පළවේ.

සම්ප්‍රදායානුකූලව එංගලන්ත රාජකීය විවාහයකදී මනාලිය පලඳිනුයේ රාජකීයයන් සතු ආභරණය. ඩයනා කුමරිය මිය යද්දී ඇගේ ආභරණ පුතුන්‍ දෙදෙනා වෙත ලැබුණේ ඔවුගේ බිරියන්ට දීමටය. හැරී කුමරියගේ වැඩිමල් සහෝදරයා වන විලියම් කුමරු හා කේට් කුමරිය‍ගේ විවාහය දා කේට් කුමරිය ඩයනා කුමරිය හා දෙවැනි එලිසබත් මහ රැජන සතු ආභරණ පැලැඳුවාය. ඒ හැර යම් යම් නිල උත්සවවලදීද කේට් එම ආභරණ පලඳින්නීය. මෙදා මෙගාන් කුමන ආභරණ පලඳීවිදැයි දැන් සැවොම බලා සිටිති. ඒ කෙසේ වෙතත් හැරී කුමරු සිය විවාහ මංගල්‍යයේදී විවාහ මුදුවක් පලඳින්නේ නැතැයි දැනටමත් ප්‍රකාශ කර ඇත්තේය. විලියම් කුමරුද සිය විවාහයේදී මඟුල් මුදුවක් පලඳා නැති අතර හැරී කුමරුද සොහොයුරා අනුව යමින් මඟුල් මුදුවක් නොපැලඳීමට තීරණය කර ඇත. ඇතැම් රාජකීයයන් පුරුද්දක් ලෙස මෙසේ කර ඇති අතර ඔවුන් මුදු පලඳින්නේ නම් සම්ප්‍රදායානුකූලව ඒ මුදු තනනුයේ උතුරු වේල්සයේ රන් ආකරවලින් ලබා ගන්නා රත්රන්වලිනි.

රාජකීය මනාලියගේ මංගල ඇඳුම දෙස මුළු ලොවම බලා සිටින්නේ විමසිල්ලෙනි. මංගල ගවුම නිර්මාණය කරන්නේ කුමන ආයතනයක්ද කවුරුන් විසින්දැයි මේ වෙද්දී විවිධ මත පළවේ. ඒ සඳහා විවිධ නම් පළ වුණද මෙගාන් තවමත් එය රහසක් ලෙස තබා ගෙන සිටින්නීය. ඇය කුමන ඇඳුමක් තෝරා ගත්තද එය වසරේ ඉස්තරම්ම මෝස්තරය වනු ඇති බවත් පවුම් ලක්ෂයකට එහා වටිනාකමක්

ගනු ඇති බවටත් මෝස්තර ලෝකයේ කතා බහට ලක්වේ.

මෙවන් මංගල්‍යයක මීළඟට කතා බහට ලක්වන මාතෘකාව වන්නේ මනාලිය හා මනාලියගේ යහළු යෙහෙළියන් කවුරුන්ද යන්නය. මේ මංගල්‍යයේ තවත් විශේෂයක් වන්නේ මනාලයාගේ යහළුවා වන්නේ විලියම් කුමාරයා වීමය. එසේම මනාලිය වෙනුවෙන් කිසිම යෙහෙළියක් තෝරා ගෙන නොතිබීමය.

“මෙගාන්ට සිටින්නේ ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියන් පිරිසක්. ඔවුන් දැන් සිටම ඇය වටා සිටිමින් උදව් කරනවා. ඒ නිසා විවාහ මංගල්‍යය සඳහා මනාලියගේ යෙහෙළියක් අවශ්‍ය නැහැ.”‍ යනුවෙන් මේ ගැන කරුණු දක්වමින් කෙන්සිංග්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කර ඇත්තේය.

එදින මල් කුමර කුමරියන් ලෙස තෝරා ගෙන ඇත්තේ ද විලියම් කුමරු හා කේට් කුමරිය‍ගේ දරුවන් දෙදෙනා වන සිවු හැවිරිදි ජෝර්ජ් කුමරා හා තෙහැවිරිදි චාලට් කුමරියයි. මෙලෙස බලද්දී මංගල පිරිවර සහමුලින්ම තෝරා ගෙන ඇත්තේ පවුලේ අයගෙනි.

මෙගාන් මෙවර එංගලන්ත රජ පවුලේ සම්ප්‍රදායික මංගල කේක් ගෙඩියද තමන්ට රිසිසේ වෙනස් කර ඇත්තේය. වෙනදා රාජකීය විවාහයකදී පිරිනැමෙන්නේ පලතුරු කේක්ය. එහෙත් මෙගාන්ට අවශ්‍යවී ඇත්තේ සිය උරුමය අනුව යමින් සුදු කේක් ගෙඩියක් සැකසීමය.

එංගලන්තයේ සිටින සුප්‍රසිද්ධ ඇමෙරිකානු සූප වේදිනියක ලවා තනවන එම කේක් ගෙඩිය සඳහා මේ කන්නයේ කාබනික වගාවලින් නෙළා ගන්නා ලද අමුද්‍රව්‍ය යොදා ගැනේ. ගිම්හාන කාලයට ගැළපෙන අයුරින් රස ගැන‍්වෙන කේක් ගෙඩිය මතුපිට සැරසෙන්නේ බටර් ක්‍රීම් හා නැවුම් මල්වලිනි.

රාජකීය විවාහයට ත්‍රස්ත තර්ජන ඇතැයිද මත පළවේ. එංගලන්තයේ වරින් වර ත්‍රස්ත ප්‍රහාර කීපයක්ම සිදුවීම නිසා ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබෙනු දැන් සිටම පොලිස් බල්ලන්නට ඉව කරවමින් ගස් ගල් පෙරළමින් කුණු බක්කි අවුස්සමින් මාර්ගවල සැරිසරන පොලිස් නිලධාරීන්ගෙන් පෙනේ. විවාහප්‍රාප්තවීමෙන් පසු මනාල යුවළ කරත්ත පෙරහරින් මාලිගාව අවට සංචාරයේ යෙදීම සම්ප්‍රදායානුකූලව සිදුවේ. මේ සංචාරය මිනිත්තු 25කි. යුවළ තමන්ට සුබ පතන්නන්ට සිය ස්තූතිය පළ කරන්නේ මෙහිදීය. එම සංචාරය අවශ්‍යම බව හැරී කුමරු පවසා ඇත්තේය. මේ වෙද්දී විවාහ මංගල්‍යයේ ආරක්ෂාව සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් නිලධාරීන් 3000ක් හා එංගලන්ත හා වේල්සයේ පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ද යොදවා ඇත.

මේ රාජකීය මංගල උලෙළේ සියලු වියදම් රාජකීය පවුල විසින් දරන බවද නිවේදනය කර තිබේ.

මුළු එංගලන්තයම වෙඩින් මේනියාවෙන් ඇළලී යද්දී ව්‍යාපාරිකයෝ ද කල දුටු කල වළ ඉහ ගනිමින් හැරී - මෙගාන් මංගල සමරු එළි දක්වා තිබේ. තොප්පි, ටී ෂර්ට්, විවිධ මාදිලියේ පිඟන් භාණ්ඩ, ඇඳුම්, සමරු පත්, කුඩ හා කාසි අතරට අලුතෙන්ම එක්කර ඇත්තේ සිහිවටන කොන්ඩෝමයකි.

මේ අතර ලෝක ප්‍රසිද්ධ විනෝද උයන් සමූහයක් වන ‘ලෙගෝ ලෑන්ඩ්’ හි එංගලන්තයේ ලෙගෝලන්තය ද රාජකීය මංගල්‍යයේ ආකෘතියක් තනවා තිබේ. මේ ලෙගෝලන්තය පිහිටා ඇත්තේ වින්ඩ්සර් මාලිගයට කිලෝ මීටර් 3ක් දුරිනි.

එහි වින්ඩ්සර් මන්දිරය මෙන්ම මනාල යුවළ ද රිය පෙරහරද නරඹන්නන්ද රාජකීයයන්ගේ ආකෘති ද වෙයි.

ලෙගෝ ප්ලාස්ටික් ගඩොල් 60000 ක් යොදා මාලිගය හා පෙරහර ද ගඩොල් 17000ක් යොදා නරඹන්නන් 500ක් හා අනෙකුත් අංග තනා තිබේ. ශිල්පීන් 11 දෙනකුගේ ශ්‍රමය පැය 752ක් තිස්සේ මේ සඳහා යොදවා තිබේ. රාජකීය මංගල්‍යයක් ලෙගෝලන්තයේ ආකෘතියක් ලෙස තැනූ පළමු අවස්ථාව ද මෙය වෙයි.

සේමාලි කැල්ලපත

Comments