
කලබලය වැඩි ය. කලඑළිය අඩූ ය. කොළඹ හැටි එහෙම ය. මෙවර වෙසක් පුරහඳ පායම් ද නො පායම් ද ? පුරහදට දෙගිඩියාවක් නැත. එහෙත් ඇතැම් මිනිසුන්ට ඒ පායන පුරහඳ වෙසක් පුරහඳ ම ද නො එසේ නම් වෙනත් පුරහඳක් දැයි මහා සැකයකි. ඒ නිසා කෙස් පැළෙන තර්ක ය. පුදුමෙකි වෙසක් මස පුර තුදුස්වක දා හිරු අස්ත වී පුර පසළොස්වක පෝය දාට පහන් වනතුරු ම වාද විවාද සංවාද අවලාද අපවාද නිමක් නැත. මට යමං බණ්ඩෝ බයිලා සිංදුව මතක් වෙයි. මේ එක් වාදයකට මැදිහත් ව මුළු රැය පුරා නිදි වරා සිටින සඳ වන්නියේ ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා ගෙන් කලකට පෙර ලැබුණු ඇරියුමක් සිහි වෙයි. කොළඹ සහ එහි පුහු වාද අතහරින මම නිදිබර හිමිදිරියේ ම වන්නියට යමි.
වන්නි වවුනියා අඩවියට ළං වෙත්දී ම මඟ දෙපස බොදු කොඩි වැල් ය. පහන් කූඩූ සහ නොයෙක් වෙසක් සැරසිලි ය. කලබලය අඩු ය. කලඑළිය වැඩිය. විසිතුරු ශාන්ත වෙසක් සැරසිලි දසුන් නිරාමිස හැඟීම් වඩවයි. පුදුමෙකි ඒත් ඇත්තකි. අන් කිසි කලෙක වන්නි වවුනියාවේ මෙබඳු වෙසක් සිරියක් තිබූ බවක් මා අසා නැත. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගිය විට නිළ ඇඳුමින් යුතු නිලධාරින් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන් සුදුවතින් ය. වවුනියාවේ පන්සල මෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේත් ශීල ව්‍යාපාරයකි. හමුදාව සිල් අරන් !
ඉසින් බැස්ස ගල පුරාණ විහාරයට එනම ලැබුණේ ඉසිවරුන් අහසින් පැමිණ ලක්දිවට පා තැබූ තැන නිසා යැයි ජනප්‍රවාදයකි. ඒ කතාව කෙසේ වෙතත් වවුනියාවේ මේ ඉසින් බැස්සගල අසීරුවෙන් වුව දැක බලාගත යුතු අසිරිමත් තැනෙකි. පා පැදි යතුරු පැදි ත්‍රී රෝද අත් ට්‍රැක්ටර් කුඩා සහ ලොකු ලොරි මෙන් ම කාර් සහ වෑන් සමඟ බස් රථවල ද නැගුණු ගම් වැසියෝ වැල නොකැඩී නොයෙක් තැන් සිට වවුනියා නගරයට ම ඇදෙති. ඉසින් බැස්ස ගල පාමුළ වෙළෙඳුන් රැසකි. මම අයිස්ක්‍රීම් වෙළෙන්දා වෙත යමි. ඔහුගේ නම ෆාරුක් ය.
' වෙනදටත් පෝය දාට මේ තරම් සෙනග එනව ද? '
පිළිතුරක් නො දෙන ඔහු කහට පැල්ලම් සහිත ලොකු දත් දෙපළ විහිදා සිහින් සිනා නගයි.
' වවුනියාව ටවුන් එකේ ලොකු වෙසක් උත්සවයක් නේද ..එහෙට යන්නැද්ද ..?
' ඔව් කළුවර වැටිච්ච ගමං එහෙට තමා යන්නේ ...' යි ෆාරුක් පිළිතුරු දුන්නේය.
' මීට කළිං වෙසක් උත්සවයක් දැකල තියෙනවද ? '
ඒ ප්‍රශ්නයට පිළිතුරක් නො දෙන ඔහු කහට පැල්ලම් සහිත ලොකු දත් දෙපළ විහිදා නැවත සිහින් සිනා නගයි. ඒ සිහින් සිනාවේ අරුත මට වැටහෙයි. ඔහු 'නෑ' යන උත්තරය දෙන්නේ නිහඬ සිහින් සිනාවකිනි.
කුඩා ලොරි රථයක තට්ටුව මතට පුටු කොට්ට සහ නිදන ඇඳක මෙට්ටයක් දමා එහි තදබදව අසුන් ගෙන සිටින වන්දනා නඩයක වූ පිරිසක් අඹ අච්චාරු වෙළෙන්දා අසල එකිනෙකා බැගින් කුඩා බට්ටා ලොරියෙන් බිමට බසිමින් සිටිති. මහලු පිරිමින් සහ කාන්තාවන් ද මැදිවියේ වුන් පිරිමින් සහ ගැහැණුන් ද භද්‍ර යෞවනයේ තරුණ තරුණියන් ද කුඩා ළමා ළපටින් ද සමඟ අත දරුවන් වඩා ගත් තරුණ අම්මලා දෙතුන් දෙනෙකු ද එහි වූහ. ඔවුහු සියලු දෙනා ම මංගල උත්සවයකට මෙන් ඉතා විසිතුරුව ඇඳ පැළද සිටියෝ ය.
'බුදු අම්මේ පරම්පරා හතක් බට්ටා ලොරියේ ....කොහොම ආවද දෙයියනේ මේ ගමන ..'
යැයි සිතට නැගුණු මවිතය එසේම තිබියදී ඔවුන්ගෙන් කෙනෙකු සමග වංහුං කතා කරන්නට මට පුදුම ආශාවක් උපන්නේය. ඔවුන් දෙස නිසොල්මනේ බලා සිටින විට කතා කරන දෑසක් කෙසේ හෝ මගේ නෙත ගැටෙන බව අත්දැකීමෙන් දන්නා නිසා මම නිසොල්මනේ වුන්නෙමි. නාඳුනන මිනිසුන්ට කතා කරන එක් සාර්ථක ක්‍රමයක් නම් ඇස්වලින් පණිවිඩ යැවීමයි. මිනිත්තුවක් වත් ගතවීමට පෙර එක් අතකින් පොලිතීන් බෑගයක දැමූ සුදු වනමල් පොකුරු කිහිපයක් රැගෙන කුඩා පිරිමි ළමයෙක් වේගයෙන් අයිස්ක්‍රීම් වෙළෙන්දා වෙත දුවගෙන එමින් සිටියදී මැදිවියට ආසන්න තරුණ කාන්තාවක් ළමයා පසුපසින් උස් හඩින් කෑ ගැසුවේ ඔහුගේ ගමන වළක්වන ස්වරයෙනි. ඔවුන් දෙමළ වන්දනා නඩයක් බව පෙනිණ. දැන් ළමයා සහ කාන්තාව යන දෙදෙනාම අපට මුහුණට මුහුණ ළා සිටිති. පොඩි එකා අයිස්ක්‍රීම් බඳුන අතට ගත්තොත් නිසැකයෙන්ම මල් බෑගය අපවිත්‍ර වෙයි. මම මල් බෑගය ඔහු වෙතින් මා අතට ගත්තේ උපකාරයක් කරන්නකු මෙන් සුහදවය. ඒ දුටු සැණින් තරුණ කාන්තාව වෙතින් පළ වූයේ කෘතඥතා පූර්වක බැල්මකි.
ඇය මා සමග කී පරිදි ඔවුන් වවුනියාවට එන්නේ ඊට සැතපුම් හැත්තෑවක් පමණ දුරින් වූ ගම්මානයක සිටය. මෙබදු බට්ටා ලොරි වෑන් සහ ට්‍රැක්ටර්වල නැගුණු තව තවත් බොහෝ පිරිස දුර බැහැර ගම්මානවල සිට වවුනියාවට එමින් සිටිති. ඔවුන් ජීවිතයේ කිසි දිනෙක වෙසක් උත්සවයක් දැක නැත්තේලු. ඇයට අනුව බුදුන් වහන්සේ බුද්ධ සාමි නම් වෙයි. ඉසින් බැස්සගල පසුකර බොහෝ වර ගමන් කොට ඇතත් ඇය සහ ඇගේ පිරිසෙහි කිසිවකුත් ඉසින් බැස්සගල කන්ද නැග නැත. මෙවර ඔවුන් මෙහි පැමිණියේ වවුනියාවේ වෙසක් කලාපය දකින්නට යන අතරවාරයේ ඉසින් බැස්සගල දකින්නට ලු. මීට දශක දෙක තුනකට පෙර දෙමළ බෞද්ධයන් උතුරේ සහ නැගෙනහිර ජීවත්වන බව මා අසා තිබුණත් මේ නඩයේ අය බෞද්ධයන් දැයි ඇසිය යුතු නැත.
හිරු අවරට යෑමටත් පෙර වෙසක් පුර පසළොස්වක සඳ වවුනියා නගරයට ඉහළ අහසේ නැගෙමින් තිබිණ. ඒ වන විටත් වන්නි වෙසක් කලාපයට නොයෙක් දෙසින් ජනී ජනයා ඇදෙමින් රොක් වෙමින් සිටි හෙයින් එහි සියලු මාර්ග අවහිරව තදබදයෙන් මිරිකෙමින් තිබිණ. සිංහල දෙමළ මුස්ලිම් කතෝලික විවිධ වයස් කාණ්ඩයන් ගෙන් යුත් පිරිස් වෙසක් කලාපය සහ වවුනියාව පුරාණ විහාරය තුළ තදබද වෙමින් සිටියදී වන්නි ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා සහ අයි, ටී. එන් ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න ඒ ජන සන්නිපාතය මැද මගට බැස සිටියේ තවත් කාර්යක්ෂම රජයේ නිලදරයකුටත් වඩා අව්‍යාජ නිහතමානී ප්‍රායෝගික චරිතයක් වූ වන්නි දිසාපති සෝමරත්න විදානපතිරණ හමුවට යෑමටය. එහිදී ත්‍රිවිධ හමුදා පොලිස් සහ උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් සෑදී පැහැදී උන්නේ නැවුම් සොම්නස් වතිනි . වෙසක් පුර හඳටත් වඩා ඒ මුහුණු ලස්සනය. පින්බරය. ඔවුන් සියලු දෙනාගේම සිත්වල වූ සහනාලෝකය සහ සාමුහිකත්වයේ ගුණ සුවඳ කාලයක් යනතුරු මට මිහිරි මතකයක් වනු නියතය. වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යනුවෙන් මට හඳුන්වා දුන්නේ මා අපේක්ෂා නොකළ පැහැබර මිත්‍රශීලී සැදැහැවත් මුහුණකි. එහෙත් පොලිස් නිල ඇඳුමින් යුතුව මා ඔහු දැක තිබෙන්නේ තරමක් ගොරෝසු රාජකාරීමය රූපයකිනි. එහෙත් මා දකින්නේ නාට්‍යයක් නොවේ. නිල ඇඳුම සහ රාජකාරී නිලය තුළින් නොදකින සැහැල්ලු මිත්‍රශීලී මිනිසුන් එකිනෙකා සමඟ උතුම් පොදු කටයුත්තකට උරෙනුර ගැටෙමින් එකාවන්ව බැඳුණු කල අව්‍යාජ මනුස්සකම් සියල්ල පරයා නැගී එයි . වන්නි වෙසක් කලාපය ඔවුන් සියලු දෙනාගේ ම සාමූහිකත්වයේ ජයග්‍රහණයකි. ඊටත් වඩා එහි සාර ඵලය භුක්ති වින්දේ සමස්ත වන්නියේ ම සිංහල දෙමළ මුස්ලිම් සහ කතෝලික ජනතාවය. අන්න ඒ නිසා ම වන්නියේ වෙසක් ලංකාවේ අනෙක් හැම තැනෙකට ම වඩා වෙනස් ම අත්හදා බැලීමකි. මොකද මේ වෙසක් කලාපයට වැල නොකැඩී වැඩියෙන් ම සහභාගී වූයේ දෙමළ සහ මුස්ලිම් ගම්වාසීන් ය. ඒ දෙපිරිස මැද වන්නියේ සිංහල මිනිසුන් නියම වෙසක් පණිවිඩය මෙන්න මේ යැයි රටටම පෙන්වා දුන්නේය.
එදා හොඳම බොදු බැති ගී රචනා කෙළේ කතෝලික පල්ලියේ මර්සලීන් ජයකොඩි පිතුමාණෝ ය. එදා සිටි හොඳම බොදු ගී ගායකයා නම් මුස්ලිම් මොහිදීන් බෙග් සූරීන් ය . මොරටුවෙන් බිහි වූ බටහිර සංගීත කණ්ඩායම් බහුතරය කතෝලික සම්භවයකින් යුතු වූවත් ඔවුන් එදා ගැයූ බොදු බැති ගීතවලට සම කළ හැකි වෙනත් නිර්මාණ අදටත් නැත. දෙමළ හෝ කතෝලික සම්භවයක් සහිතව සිංහල ගීත සාහිත්‍යයට එකතු වූ ගායක ගායිකාවන් විසින් ගැයූ බොදු බැති ගී අදටත් ඉස්තරම් වනවා පමණක් නොව ඔවුන් නැති පාඩුව අදටත් විශාල අඩුවකි. මෙරට හොදම බොදු බැති ගී කිහිපයකට සංගීත තනු නිර්මාණය කෙරුණේ ද කතෝලික හින්දු සහ ඉස්ලාම් සංගීත විශාරදයන් අතිනි. ඒ අතීතය හමාරයි කියා සිතුණු වාර ගණන කොතෙක් ද ?
එහෙත් වන්නියේ වෙසක් කලාපය විවෘත කිරීමත් සමඟ ම අර අතීතය වර්තමානයේ අංකුර දළු ළා වැඩෙමින් පවතින සැටි දෙනෙත් හයා ගෙන මම බලා සිටියෙමි. වවුනියාව දකුණ සංස්කෘතික මධ්‍යස්ථානයේ නව යොවුන් ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංගය දුටු සැණින් මේ වන්නියේ ළමයි ද කියා කුකුසක් හට ගත්තේ ඒ එතරම්ම උසස් ආකර්ශනයකින් වෘත්තීය ප්‍රවීණත්වයකින් යුතුව ඉදිරිපත් කිරීම නිසා ය. ඒ චිත්තාකර්ශනීය දසුන් පෙළ කාලයක් පුරා මතකයේ රැඳෙනු ඇත. වන්නියේ වෙසක් කලාපයට ප්‍රචාරක අනුග්‍රහය ලබා දී තිබුණේ අපේ සහෝදර අයි. ටී. එන්. මාධ්‍ය ආයතනය යි. නර්තනාංගය නරඹමින් සිටින අතරතුර එහි ප්‍රධාන විධායක චන්දන තිලකරත්න මගේ කනට කර යමක් කීවේය. ' මේ දක්ෂකම් හිතා ගන්නවත් බෑ ...අපි ඇත්තටම මොනවද නැටුම් කියලා කොළඹ පෙන්වන්නේ ..මෙන්න මේවා තමා ජාතියම දකින්න ඕන දක්ෂකම් ' යි ඔහු සොම්නස්ව කීවේය. ඒ කතාව එතැනින් හමාර වූවත් ඉන් පසුව දකින්නට ලැබුණේ සොම්නස පහන් සිත් සහ සහජීවනය පියවරින් පියවර මවිතය දනවන ලෙස ඉදිරිපත් කළ දසුන් පෙළකි. ගජබා රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම ඉංජිනේරු සේවා තූර්ය වාදක කණ්ඩායම් කර්ණ රසායන පසුබිම් සංගීතය සපයමින් සිටියදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කණ්ඩායම සිහල සහ දෙමළ බසින් බැති ගී ගැයූ අතර ඉන්පසුව වේදිකාවට පැමිණියේ වවුනියාව ගුණානන්ද දහම් පාසලේ කණඩායමයි. වවුනියාව සයිවප්‍රගාස බාලිකා විද්‍යාලයේ දෙමළ ශිෂ්‍යාවන් ' මල් සුගන්දේ ..දම් සුගන්දේ ..සහ මෙත්මල් පිබිදේවා යන බොදු බැති ගී ගයත්දී මට අතීතයේ වුන් දෙමළ සම්භවයකින් යුත් ප්‍රවීණ ගායිකාවන් තිදෙනකුගේ නැවත ඉපදීමේ අංකුර සිරුර පුරා විනිවිද ගියේ සියුම් රෝමෝද්ගමනයක් කුළු ගන්වමිනි. ඒ මවිතය හමාර වීමටත් පෙරාතුව වවුනියාව මුස්ලිම් මහ විදුහලේ ශිෂ්‍යාවන් විසින් ' සකල සතම බොදු බැතියෙන් ..සහ බුදු පියානෙණි ඔබේ පාද කරනෙමි පිනි පා ..' යන බොදු බැති ගී ගයත්දී මට මොහිදීන් බෙග් සූරීන් යළි යළි මෙනෙහි විය. මේ මොහිදීන් බෙග් මාස්ටර්ලා වැඩි වැඩියෙන් වුවමනා කාලයකි. මේ අතර වේදිකාවේ සිට නිවේදන කටයුතු කළ චරිත දෙක අලුත් මුහුණු වූ හෙයින් ඔවුන් කවුදැයි සෙව්වෙමි. එක් අයෙක් මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා ය. අනෙක් චරිතය දෙමළ විදුහලේ විදුහල්පතිවරයා ය.
වේලාව රාත්‍රී දහයට ආසන්නය. එක් තැනෙක වැඩි වේලා අසුන් ගෙන සිටිය නොහැකි ' රෝගයක් ' ඇති හෙයින් හුනස්නෙන් නැගිට අවට සිරි නරඹන්නට සිත් ඇතිව යන විට වවුනියාව පන්සලේ චෛත්‍ය පාමුල සමාධියකට සම වැදුණාක් මෙන් ඒකාත්මිකව බොදු බැති ගී අසන පිරිසක් දුටුවෙමි. ඔවුන් සියලු දෙනා මුස්ලිම් බාලිකාවෝය. වෙහෙර පුරා වර්ණවත් විදුලි බුබුලු දහස් ගණනකි. ඒ සියල්ල පරයා මේ නැවුම් අව්‍යාජ මුහුණු සොම්නසින් බැබළෙයි. මේ දසුන් රටම දැකිය යුතු නොවේද ?
කුණු මජර ජාතිවාදය ආගම්වාදය මේ වෙසක් කලාපයේ කොතැනක වත් නැත. අනෙකා පිළිගැනීම සහ ගරු කිරීම හැර තවත් ධර්මයක් තිබිය හැකිද ? මහ පොළොවේ කුඩා මිනිසුන් අතර භේදයක් නැත. ඔවුන්ට එකිනෙකා සමග සහජීවනයෙන් පැවතිය යුතු සැටි අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. මේ වවුනියාව ම ඊට එක් නිදසුනකි. සැබවින්ම ඔවුන්ට සහජීවනය උගන්වන්නට යන අය මුලින්ම කළ යුත්තේ ඔවුන් වෙතින් ඉගෙන ගැනීම යැයි මට සිතේ. භේද අවුළන්නේ කුණු මජර දේශපාලකයන් අතලොස්සකි. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහාය.
මෙම වෙසක් කලාපයට ලොකුම දායකතවය දී තිබුණේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. වවුනියාව පන්සලේ ප්‍රධාන දායකයන් දෙදෙනා ගෙන් එක් අයෙක් මුස්ලිම් ය. අනෙක් දායකයා දෙමළ ය. පන්දහසකට ආහාර පාන සූදානම් කළ බත් දන්සල සංචාරක හෝටලයක අවන්හලක සිරි ගනී. එහි ලොකු කුඩා සහ සිංහල දෙමළ මුස්ලිම් කතෝලික ආදී සියලු දෙනා විනීතව අසුන් ගනී. ශිෂ්ට සම්පන්නව අනුභව කරයි. මහ මග වූ වෙසක් පහන් කූඩූ ඇතුළු සැරසිල්ලේ සිට සියලු දෙයක් ම තුළ ඇත්තේ ශාන්ත භාවයක් සහ ශූර සංවීධාන ශක්තියකි. කලබලය වෙනුවට මෙහි සෑම තැනෙකම වූයේ කළඑළිය සහ ප්‍රීතියකි.
' මේ තමා රට රකින ජාතියේ වෙසක් කලාපය ' යැයි මෙහි යෝධ මෙහෙවරක් සාර්ථකව ඉටු කළ නිහතමානී සුන්දර කාර්ය ශූර නියමුවකු වූ මේජර් ජනරාල් එම්. කේ. ඩී. පෙරේරා සොම්නස් මුහුණින් යුතුව මට කියයි. රට රකින ජාතිය යනු සමගිය සහ සාමූහිකත්වය පෙරදැරිව උතුම් අරමුණකට අත්වැල් බැඳ ගැනීමයි.
මේ වෙසක් කලාපයට සුබ පැතුම් පිරිනමන වවුනියාව නගර පල්ලියේ ප්‍රධාන පූජක අමීර් මව්ලවිතුමා මෙසේ කියයි. ' .... සියලු ආගම් යහපත් ගුණ ධර්ම දේශනා කරයි . වවුනියාවේ සියලු දෙනා සම්බන්ධ කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ අන්දමින් මේ වෙසක් උත්සවය සංවිධානය කිරීම ගැන මහඟු සතුටට පත් වෙමි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ ඔවදන් අනුගමනය කිරීමටත් ශ්‍රී ලංකාවාසී ජන්තාවට මාර්ගෝපදේශනය ලබාදෙන බුදුරදුන්ගේ තෙමගුල ප්‍රීතියෙන් සැමරීමටත් සුබ පතමි.‘
වවුනියා කුඩිඉරිප්පු ශුද්ධ වූ පේදුරුතුමන්ගේ දේවස්ථානයේ ජෝන් සෙල්වම් පියතුමා ද යට කී අයුරින්ම සුබ පැතුම් එක් කෙළේය.
'...වවුනියාව ජාතීන් තුනම ඔවුනොවුන් අතර අවබෝධයෙන් යුතුව සාමූහිකව ජීවත්වන දිස්ත්‍රික්කයකි. ගෞතම බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මය ශ්‍රී ලංකාවාසී ජන්තාව අතරට ව්‍යාප්ත විය යුතුව තිබේ. මේ මගින් සර්ව ආගම් අගය කරන හොඳ යහගුණ තරුණ පරම්පරාවක් බිහිවෙයි. ..' යනුවෙන් පැවසුයේ කුඩීරුප්පු ශ්‍රී සිත්ති විනායගර් දේවස්ථානයේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී ක. කන්දසාමි ගුරුකුල් තුමාය. මේ සටහන මා නිමා කරන්නේ ද එතැනිණි. එනම් වන්නියේ වෙසක් උත්සවය වඩාත් වටින්නේ අනාගතයටයි.
[ වන්නි වෙසක් කලාපයට සුවිශේෂ දායකත්වයක් ලබා දෙන අතර අවස්ථාවට සාදර ඇරියුම සහ අනුග්‍රහය ලබා දුන් වන්නි ආඥාපති මේජර් ජනරාල් එම්. කේ. ඩී. පෙරේරා වෙත අපගේ විශේෂ ස්තූතිය හිමිවෙයි ]
කේ. සී. ජේ. රත්නායක