
පසුගිය දෙවැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ අවමංගල කටයුතු නිවෙසින් පිටත සිදුවෙද්දී ගෙතුළට රිංගූ නිමල් යාවජීව රණමයුර සම්මානය සොරා ගනිද්දී ආනන්ද අසල මේසයක් මත තිබූ මිලෙන් අධික ජංගම දුරකථනයද සොරාගෙන ප්රභුවරයකුගේ මුදල් පසුම්බියකටද විද තවත් දෙදෙනකු සමඟ ත්‍රිවිලරයකින් පලා ගියේ රටටම මහත් අවමානයක් ගෙන දෙන සොරකමක් කරමිනි.
දින දෙකකට පසු හතර වැනිදා කොල්ලුපිටිය පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ සම්මානය කඩුවෙල - කොල්ලුපිටිය 177 මාර්ගයේ ධාවනය වන NC-2752 දරන සුඛෝපභෝගී බස්රථයේ තිබෙන බවයි. ඒ අනුව එදින පෙරවරුවේ කොළඹ ග්රීන්පාත්හිදී බසය තුළ තිබී එම සම්මානය පොලිස් නිලධාරීන්ගේ බාරයට ගැනිණි. එහෙත් සම්මානය පැහැරගත් පුද්ගලයන් ගැන කිසිඳු හෝඩුවාවක් ඒ වන විටත් සොයා ගැනීමට පොලිසියට හැකි නොවිණි.
ඒ අතරේ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ නියෝග පරිදි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් යටවර සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති අශෝක වීරක්කොඩි සහ අපරාධ අංශයේ ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද යන අයගේ ප්‍රධානත්වයෙන් සම්මානය පැහැරගත්තවුන් සොයා සූක්ෂම මෙහෙයුමක් දියත් වෙමින් පැවැතිණි. එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස දින කීපයක් ඇතුළතදී ඊට අවැසි සියලුම සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට හැකිවිණි.
ඒ අනුව සම්මානය සොරාගත් සැකකරුවන් වූ නාවලපිටියේ ආනන්ද රෝහණ (60), ගම්පොළ නවරත්න බණ්ඩාර නිමල් හෙවත් රාලහාමි (64), ගම්පොළ ෂිවායන් නලේන්ද්‍රන් හෙවත් ෂිවා (46), කඩුවෙල පර්සි චන්ද්‍රසිරි අල්විස් හෙවත් රාජා (61), මතුගම සිසිර කුමාර නොහොත් පොඩි මල්ලි (48) සහ 31 හැවිරිදි ගුරුසාමි ෂාමලන් නොහොත් ෂාමි යන සියලුම සැකකරුවන් 6 වැනිදා වන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. එදින සවසම අලුත්කඩේ අංක 3 අධිකරණයෙහි වැඩබලන මහේස්ත්‍රාත්වරයා වූ දමින්ද වැලිගොඩපිටිය මහතා විසින් ලබන 21 වැනිදා දක්වා සියලුම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
දෙවැනිදා සොරාගත් සම්මාන හොරකමේ සියලු අග-මුල හයවැනිදා වන විට විසඳීමට පොලීසිය කළ මෙහෙයුම ගැන බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසූයේ මෙවන් කතාවකි.
“මුලින්ම අපිට මේ ගැන පැමිණිල්ලක් ලැබුණා සුමිත්‍රා පීරිස් මහත්මියගේ අක්කගේ දුවගෙන්. ඊට පස්සෙ අපි භූමිදානයට පහුවදා වූ තුන්වැනිදා සියලුම මාධ්‍ය ආයතන රූගත කළ අවමංගල්‍ය උත්සවයේ සංස්කරණය නොකළ දර්ශන ලෙස්ටර් මහත්තයාගේ ඥාතීන් සමඟ පාන්දර එකහමාර වෙනකල්ම නැරැඹුවා. එක්තරා නාලිකාවක වීඩියෝවක පමණක් තිබුණා ෆෝන් එක ගැනීමට කෙනෙක් අත දිගු කරන දර්ශනයක්. එච්චරමයි එම වීඩියෝ දර්ශනවලින් දැකගන්න ලැබුණේ.“
පසුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් විසින් මළගෙදර අවට සියලුම සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක්කරනු ලැබීය.
“පස්සෙ අපි ඔය සිද්ධිය වූ උදේ 10.35ත් 11.00ත් අතර අවට නිවෙස්වල සීසීටීවී දර්ශන නැරැඹුවා. එතෙන්දි අපි දැක්කා හතරදෙනෙක් නිවෙසේ සිට කඩිසර ගමනින් ඇවිත් රතුපාට ත්‍රිවිලරයට නඟිනවා. ඒ ගැන අපිට පොඩි සැකයක් මතුවුණා. මොකද ඔවුන්ගේ හැසිරීම් රටාවත් ටිකක් වෙනස්. ඒ අය නැඟපු ත්‍රිවිලර් එකේ දර්ශන ගැන අපි දිගින් දිගටම සීසීටීවිවලින් නැරැඹුවා. ත්‍රිවිලරය හැව්ලොක් පැත්තෙන් කොටුව පැත්තටයි ගියේ. ඒ ත්‍රිවිලර් එක මළගෙදරට එන්නෙ උදේ 9.35ට. ඒ එන දර්ශනත් නැරැඹුවා. එක සීසීටීවී කැමරාවක මේ ත්‍රිවිලර් එකේ නම්බරය දිස්වුණා. හැබැයි ත්‍රිවිලරයේ එන්නෙ දෙන්නයි. යනවා හතරදෙනෙක්. අනිත් දෙන්නා වේලාසනින් මළගෙදර ඇවිල්ලා ඉඳලා.“
ත්රිවිලරයෙන් මළගෙදරට පැමිණ තිබෙනුයේ රථයේ රියැදුරා වූ චන්ද්‍රසිරි අල්විස් සහ සම්මානය සොරාගත් නිමල්ය. සීසීටීවී කැමරා දර්ශන වාර තිස්-හතළිස් වතාවක් නැරැඹු පරීක්ෂණ නිලධාරීන්ට ඒ සඳහා දින දෙකක පමණ කාලයක් ගතවී තිබේ.
“අපි පස්වැනිදා හවස සැකකරුවන් පැමිණි ත්‍රිවිලර් රථයේ අංකය හොඳින්ම හඳුනාගත්තා.“
ඒ අනුව ABC 0911 දරන එම අංකය ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් සොයා බැලු විට දැනගන්නට ලැබී ඇත්තේ අදාළ රතු පැහැති ත්‍රිවිලරය පිටිපන දකුණ, කිරිවත්තුඩුව ලිපිනයේ පදිංචි අනුරුද්ධිකා ක්‍රිෂාන්ති නමැත්තියගේ බවයි.
“අංකය ගැන ආර්එම්වී එකෙන් තොරතුර ලැබුණ සැණින් අපි පස්වැනිදා රෑ නවයට විතර ගියා අනුරුද්ධිකා සොයාගෙන. ඒ ගෙදර හිටියේ අනුරුද්ධිකාගේ අම්මා. ත්‍රිවිලරය තියෙන්නෙ අසවල් ලිපිනයේ කියා ඇය අපට කඩුවෙල ලිපිනයක් දුන්නා.”
ඒ අතරේ ඊට පෙර දින එනම් හතර වැනිදා පෙරවරුවේ සම්මානය පොලීසියට සොයා ගැනීමට හැකිවිණි. ඒ කඩුවෙල - කොල්ලුපිටිය 177 මාර්ගයේ ධාවනය වන NC-2752 දරන අධි සුඛෝපභෝගී රථයේ සම්මානය තිබෙන බවට කොල්ලුපිටිය පොලීසියට ලැබෙන දුරකථන ඇමතුමක් හේතුවෙනි. ත්රීවිලරය සහ සම්මානය හමුවූ බසයට අදාළව කඩුවෙල සම්බන්ධ වීමත් සමඟින් පරීක්ෂණ නියම දිශාවට ගමන් කරන බව සියලුම පොලිස් නිලධාරීන්ට ඒත්තු ගැන්වී තිබිණි.
නිලධාරීන් කඩුවෙල අදාළ ලිපිනය සොයා පස්වැනිදා රාත්‍රී එකොළහ පමණ වන විට ළඟා වී ඇත. ත්‍රිරෝද රථයේ හිමිකාරිය වූ අනුරුද්ධිකාගේ ස්වාමියාට නිවෙසෙහිම සිල්ලර වෙළෙඳ සලක්ද තිබේ. අනුරුද්ධිකාගේ ත්‍රිරෝද රථය ‘හයර්‘ කරන්නෙ ඇගේ සැමියාගේ පියාය. අනුරුද්ධිකාගේ ස්වාමියාගෙන් කරුණු විමසීමේදී පවසා ඇත්තේ,
“ත්‍රිවිලරය හයර් කරන්නෙ මගේ තාත්තා... අන්න තාත්තා එහා කාමරේ නිදි...“
ත්‍රිරෝද රථයේ රියැදුරු දුටු විගස පොලිස් නිලධාරීන්ගේ මතකයට නැඟුණේ ලෙස්ටර් සූරින්ගේ නිවෙස අවටින් දුටු සීසීටීවී කැමරාවකින් දිස්වූ කඩිසර ගමනකින් යුත් පුද්ගලයන් සිවුදෙනාගෙන් කෙනෙකුගේ හැඩරුවයි. ඒ අනුව ත්‍රිවිලර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි අල්විස් නොහොත් රාජා මුලින්ම කොටුකර ගැනීමට පොලීසියට හැකියාව ලැබිණි. සියලු තොරතුරු නිවැරැදිව සිදුවෙද්දී අල්විස්ට ගැලවීමක් නොමැති නිසා ඔහු පොලීසියට කීවේ,
“මහත්තයා මට චාන්ස් එකක් දෙන්න... මම අනිත් ඔක්කොම අල්ලලා දෙන්නම්...“
පොලිස් නිලධාරින් ඉදිරියේ අදාළ අනෙකුත් සගයන්ට දුරකථන ඇමතුම් ලබාගත් අල්විස්ගේ ‘ස්පීකර් ඕන්‘ ජංගම දුරකථනයෙන් හඬ නැඟුණේ,
“අපි සුගතදාසේ මැයි රැලියට බහිනවා... කැඳ කඩේ ළඟදි සෙට් වෙමු...,, කියායි.
එම හෝඩුවාවත් සමඟින් සොර කල්ලිය නිතර එකතු වන කඩුවෙල කැඳ කඩේ ළඟ රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන්ට ආනන්ද, සම්මානය සොරාගත් නිමල් හෙවත් රාලහාමි සහ ෂිවායන් හෙවත් ෂිවා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිණි.
ඔවුන් තිදෙනාගෙන් ලද තොරතුරු මත ඒ වන විටත් කුරුමානම් සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රිංගා සිටි සිසිර කුමාර හෙවත් පොඩි මල්ලීද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විණි.
මේ සැකකරුවන්ගේ ක්‍රියාදාමය වනුයේ පුවත්පත්, රූපවාහිනීවලින් ප්‍රචාරය වන ප්‍රභුන්ගේ නොයෙක් ආකාරයේ උත්සව අවස්ථාවන්ට සහභාගි වී කුමනාකාරයේ හෝ සොරකමක් සිදුකර පලා යාමයි. එසේම පොලිස් පරික්ෂණවලදී හෙළි වූයේ අල්විස් සහ නිමල් සම්මානය සොරකම් කළ දිනට පෙර දිනද මළගෙදරට පැමිණ ඇති බවයි. එදින සෙනඟ අඩු නිසා කිසිත් නොකළ දෙදෙනා සියල්ල ගැන සෝදිසි කොට බලා-කියාගෙන ගොස් අවමංගල දිනය දා කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි වැදගත් ලෙස හැඳපැලඳ නැවත පැමිණ ඇත්තේ සම්මානය ගැන ඉව වැටුණු නිසාය.
පසුව සුමිත්‍රා මහත්මියගේ සහෝදරියගේ දියණිය වූ පොලීසියට පැමිණිල්ල කළ තැනැත්තියගේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනය සොරාගත් ආනන්ද නමැති සැකකරුවා ඇතුළු පිරිස ඒ ගැන පාපොච්චාරණය කළේය. සොරාගත් ජංගම දුරකථනය නාවලපිටියේ දුරකථන අලුත්වැඩියා වෙළෙඳසලක් පවත්වාගෙන යන ෂාමලන් නොහොත් ෂාම් හට රුපියල් හාරදහසකට විකුණු සොර කල්ලිය පසුව පුළුල් මාධ්‍ය ප්රචාරයට බියෙන් නැවතත් අදාළ දුරකථනය එය විකිණු ආනන්ද විසින්ම රුපියල් හාරදහස ගෙවා ජංගම දුරකථනය ලබාගෙන තිබේ. එය නිවෙසේ සඟවා ඇතැයි පොලීසියට ඔහු පවසා ඇත. ඒ ගැන බම්බලපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද පවසා සිටියේ,
“අපි නාවලපිටියට ගිහින් දුරකථනය පරීක්ෂා කළා. බලනකොට ඒක වෙන දුරකථනයක්. මොකද නියම දුරකථනයේ ලෙස්ටර් මහත්තයාගේ ඥාති දියණියගේ ඡායාරූපයක් තිරයේ දිස්වන බව කීවා. නැවතත් අපි ගිහින් දුරකථන අලෙවිසල සෝදිසි කළා. ඒ දුරකථනයට අමතරව මේ සොර කල්ලිය විසින් විකිණු තවත් ජංගම දුරකථන අටක් හමුවුණා. ෂාමලන් කියන සැකකරුවා කරලා තියෙන්නෙ මිල අධික දුරකථනය සඟවාගෙන එවැනි බාල දුරකථනයක් ආනන්දට දීපු එක.“
සොරුන්ගෙත් සොරෙක් ලෙස පොලිසිය හඳුන්වන ෂාමලන්ට අවසානයේ සිදු වූයේ සොර බඩු ළඟ තබා ගැනීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට යෑමටයි. ඒ අතරේ සොරාගත් සම්මානය රැගෙන ගොස් කළ-කී දෑ ගැනත් සැකකරුවන් සියල්ල පරීක්ෂණ නිලධාරීන් ඉදිරියේ වමාරන්නට වූයේය.
සම්මානය සොරාගත් නිමල් නමැති සැකකරුවා එදින ප්‍රභු පුද්ගලයකුගේ මුදල් පසුම්බියකටද ‘විද‘ ඇතැයි වාර්තා වේ.
සම්මානය තනිකරම රත්රන් යැයි සිතා ඇති සොරුන් පිරිස සොරකම ගැන සෑම මාධ්‍යයකින්ම ප්‍රචාර වීමෙන් අනතුරුව බිරාන්ත වී ඇත. මාධ්‍ය වාර්තා ගැන මුලින්ම ඇස ගැටුණු අල්විස් ඒ ගැන සිය ගජමිතුරා වූ නිමල්ට පවසා ඇත. ඒ ගැන නිමල් විසින් අල්විස්ගෙන් විමසා තිබෙන්නෙ “අපි දැන් මොකද කරන්නෙ“ කියායි. ඒ අනුව නැවතත් වගකිවයුත්තන්ට සම්මානය ලැබෙන්නට සැලැස්වීමට අල්විස් සහ නිමල් උපායක් ගැන සිතා ඇත. එම උපාය අනුව නිමල් විසින් ගම්පොළ ගෙන ගිය සම්මානය රැගෙන නැවතත් තුන්වැනිදා කොළඹ පැමිණ ඇත. ඒ ගැන සැකකරුවන් මෙසේ පාපොච්චාරණය කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.
“ඊට පස්සෙ මේ දෙන්නා සම්මානෙත් අරන් තුන්වැනිදා හවස කඩුවෙලින් 177 ඒසී බස් එකකට නැඟලා. නිමල් සම්මානෙත් අරන් පූජ්‍ය පක්ෂයේ අසුනේ වාඩිවෙලා. අල්විස් පිටුපස අසුනෙහිම වාඩිවෙලා. බස් එක කොල්ලුපිටිය නැවතුමට ඇවිත් සියලුම දෙනා බැස යන අතරේ නිමල් සම්මානය සහිත පාර්සලය අසුනෙහි මුල්ලක රඳවා බැහැලා. බස් එකේ අවසානයටම බැස්ස අල්විස් කොන්දොස්තරටයි රියැදුරුටයි ඇසෙන සේ කියාගෙන ගිහින්, ‘අන්න කවුද පාර්සලයක් අමතක කරලා ගිහින්‘ කියලා.“
ඒ අතරේ අල්විස් සහ නිමල් සම්මානයට කුමක්ද වන්නෙ කියා මඳ දුරක සිට හොරෙන් බලා සිට ඇත. ඒ මේ සම්මානයට කොන්දොස්තර සහ රියැදුරු මහතා කුමක් කරයිද යන්න ඇතිවූ සැකය නිසායි.
“මේ දෙන්නා බයවෙලා සම්මානය කොන්දොස්තරයි, රියැදුරයි හංගගනි කියලා.“
පසුව බස්රථයේ පිටුපස විනෝද චාරිකා සඳහා විමසන්න සහිතව තිබූ දුරකථන අංකය ලියාගෙන ගිය දෙදෙනා රාත්‍රි 9.30ට පමණ එම දුරකථන අංකය අමතා පවසා ඇත්තේ, “මං සීඅයිඩියෙන් කතා කරන්නෙ... බස් එකේ තිබිලා පාර්සලයක් හමු වුණානේ... වහාම ඒක පොලිසියට බාර දෙන්න. නැතිවුණොත් බලාගන්න පුළුවන්.“ යැයි පවසා ඇත.
එම වදන් පෙළට බසයේ රියැදුරා සේම හිමිකරුවාද වන එම තැනැත්තා බියට පත්වී තිබේ. ඒ ඔවුන්ද සම්මානයට කුමක් හෝ අකටයුත්තක් කිරීමට තැත් කළ නිසා වන්නට ඇතැයි පරීක්ෂණ නිලධාරීන්ගේ මතය වේ. මන්ද බසයක් තුළ අතපසු වී යන බඩුබාහිරාදියට සිදුවන්නෙ අයිතිකරුවා පැමිණ විමසා රැගෙන ගියොත් මිසක් සොයාගෙන ගොස් දෙන සිරිතක් නොමැති නිසායි. පසුව නිමල් මේ සඳහා තවත් කර්තව්‍යයක් කර තිබේ. ඒ අන්තර්ජාලයෙන් කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල දුරකථන අංක පිරික්සා අදාළ සිදුවීම ගැන පොලිස් ස්ථාන දෙකටම දැනුම් දීමයි.
එම දුරකථන ඇමතුම ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිස් ස්ථාන දෙකේ නිලධාරීන්ට රණමයුර සම්මානය සැකකරුවන් නොමැතිව පොලිස් බාරයට ගැනීමට හැකිවිණි.
ඒ අනුව සම්මානය ලබන 21 වැනිදා පැවැත්වෙන නඩු වාරයේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාතීන්ට ලබාදීමට හැකි වෙතැයි පොලිසිය පවසයි.
අවසානයේ සීසීටීවී දසුනෙන් පෙන්වූ ත්‍රිරෝද රථය ලැබුණු හෝඩුවාව අනුව කළ පරීක්ෂණ හරහා සියලුම සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසියට හැකිවිණි. එම සැකකරුවන්ගෙන් ආනන්ද, නිමල් සහ ෂිවා යනු අයි.ආර්.සී යන කෙටි නාමයෙන් හැඳින්වෙන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් (Island Registered Criminal - IRC) ලෙස සැලැකේ.