කාලය වරද්ද ගත්තොත් විනාසයි ...! | සිළුමිණ

කාලය වරද්ද ගත්තොත් විනාසයි ...!

මිනිත්තුව සහ විනාඩිය යනු එකක් නොව දෙකකි. ඉංග්‍රිසි පැය සහ සිංහල පැය අතර පරතරය දෙගුණයක් සහ තවත් අඩකි . දිනය සහ දවස යනු අරුත් දෙකකි. අලුත් අවුරුද්ද සහ නව වසර යනු ද එකක් නොව දෙකකි. එහෙත් බොහෝ විට එකී වචන භාවිතයට ගැනෙන්නේ ඊට උචිත නිසි අරුතින් නොවන බැව් පෙනෙයි. මේ අවුලට හේතුව වන්නේ කාලය මැනීම සඳහා භාවිතා කරන ක්‍රමයන් අතර ඇති පරස්පර විරෝධයයි. මෙහි මතුවට ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙයි.

කාලය මැනීම මුලින්ම පටන් ගත්තේ කවුද? කොහොමද? කොතැනද ? කියන කාරණාවලට හරි උත්තර සොයා ගැනීම දුෂ්කරයි. ඒත් කාලය මනින්න උත්සාහ කළ කොයි කවුරු නමුත් උසස් බුද්ධි මට්ටමකින් හිටියාය කියන කාරණේ නම් ඉතාම පැහැදිලියි. පුරාණ නක්ෂත්‍රවේදීන් හිරු සඳු සහ අනෙක් ග්‍රහ තාරකා පදනම් කරගෙන කාලය කොටස් කිරීමට සහ ඒවා ගණනය කිරීමට ගණිතමය සිද්ධාන්ත සහ ස්වාභාවික තාක්ෂණයක් පාවිච්චි කළ බවට සාක්ෂි තියෙනව. ඒ ඇතැම් දැනුම් පද්ධති අද අභාවයට ගිහිං. අතීත හෙළදිව නක්ෂත්‍රකරුවන් අතර කාලය මැනීමට විවිධ ගණිත චක්‍රයන් තිබුණා. එයින් එකක් ගැන ටිකක් මතක් කර ගැනීම ඉදිරි සාකච්ඡාවට බොහොම වටිනව. අද සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී ඔරලෝසුවේ කාලය මනින කුඩාම මිම්ම තත්පරය නේ. හැබැයි නූතන පරමාණුක තාක්ෂණයෙන් ඒ තත්පරය පවා නැවත කොටස් 1000 කට හෙවත් මිලි තත්පරවලට බෙදන්න පුළුවන්. ms කෙටි යෙදුමෙන් මිලි තත්පරය හෙවත් තත්පරයෙන් 1000 න් පංගුව සංකේතවත් වෙනව. (1 ms = තත්පර 0.001) ඒ වගේ ඉතා සූක්ෂ්ම හෝ ක්ෂූද්‍ර සූක්ෂ්ම කාලය මැණීමේ භාවිතයක් තාමත් තියෙනව. පුරාණ මිසර පර්සියානු වගේ ශිෂ්ටාචාරවල තත්පරය කිව්වේ මිනිත්තු 1/60 කට නේ. පැය එකකට ගත්තොත් 1/3,600 යි. නමුත් පුරාණ හෙළදිව නක්ෂත්‍රවේදීන් සහ ග්‍රීක හෙළනිස්ටික් විදුහුරුවන් අතර ඊට වඩා අති සියුම් ක්ෂූද්‍ර සූක්ෂ්ම කාලය මැනීමක් තිබුණා. අන්න ඒකට එක උදාහරණයක් මෙහෙමයි.

{නිමේස 18 = කස්ට 1 යි. / කස්ට 30 = කලා 1 යි / කලා 30 = ක්සන 1 යි / ක්සන 2 = මුහුර්ත 1 යි. මුහුර්ත 2 = පෑ 1 යි. පෑ 60 = දින 1 යි. දින 15 = පක්ස 1 යි. පක්ස 2 = මාස 1 යි. මාස 6 = අයන 1 යි. අයන 2 = අවුරුදු 1 යි. }

ඉහත උදාහරණයෙන් කියවෙන කාලය මැනීමේ අවස්තා ගැන වෙනම පර්යේෂණයක් කරන්න තරම් කරුණු තියෙනව. නමුත් අපි එතනින් පෑ 60 = දින 1 කියන කොටස විතරක් ගමු. එහෙනම් හෙළ ක්‍රමය අනුව දිනකට පැය 60 ක් තියෙනව. ඒ කියන්නේ අද ඔරලෝසුව හදලා තියෙන ඉංග්‍රීසි පැය ක්‍රමයේ ඉංග්‍රීසි පැය 1 ක් ඇතුළේ හෙළ පැය 2 1/2 දෙකහමාරක් තියෙනව. හෙළ ක්‍රමයේ මිනිත්තු නෑ. ඒ වෙනුවට තියෙන්නේ විනාඩි. මෙන්න මේ දෙකත් අද බොහෝ අය වරදවා පාවිච්චි කරන වචන දෙකක්. මොකද මිනිත්තු සහ විනාඩි සමාන නෑ. ඉංග්‍රීසි මිනිත්තු 1 ක් ඇතුළේ විනාඩි 2 1/2 ක් තියෙනව. ඒ අනුව විනාඩි 24 ක් හෙළ පෑ 1 යි. විනාඩි 24 X 2 1/2 = පෑ 60 යි. මේ විනාඩි නැවත ඉතා සියුම් ක්ෂුද්‍ර සූක්ෂ්ම කොටස්වලට බෙදෙනව. මේ ලෝකයේ වෙන කොහේවත් විනාඩි භාවිතයේ නෑ. ඒක දැනට තියෙන්නේ ලංකාවෙම විතරයි. හැට පැයේ ක්‍රමයට කේන්දර හැදීම එදා ජයටම තිබුණා. නමුත් දැන් ඒ ක්‍රමය එතරම් භාවිතා කෙරෙන්නේ නෑ.

අද ජ්‍යෝතිෂවේදීන් කොයි කවුරුත් ග්‍රහ ගමන මනින්නේ විකලා කලා සහ අංශකවලින් . ඒ කියන්නේ විකලා 60 = කලා 1 යි./ කලා 60 = අංශක 1 යි. / අංශක 30 = රාශි 1යි / රාශි 12 = සූර්ය වර්ෂ 1 යි. අර මුලින්ම කිව්ව විකලා කියන අවස්තාවත් තව සියුම් කොටස්වලට බෙදන්න පුළුවන්. ඊට අමතරව සිතක් පහළ වන වේගයත් සිතක් පහව යන වේගයත් ආදී වශයෙන් කාලය මැනීමේ අති සූක්ෂ්ම අවස්ථාවන් බෞද්ධ දර්ශනයේ දකින්න ලැබෙනව.

මේක තව විදිහකට ගන්න පුළුවන්. හිරු එක් දිනකට ගමන් ගන්නා දුර අංශක 1 යි. අංශක 30 = රාශි 1 යි. රාශි 1 = සූර්‍ය මාස 1 යි. සූර්‍ය මාස 12 = අවුරුදු 1 යි. අවුරුදු 1 = අංශක 360 යි. එහෙම ගත්තම හැම සූර්‍ය මාසයක් ම දින 30 කින් අවසන් වෙනව. එතකොට අවුරුදු 1 ක් කියන්නේ දින 360 යි. ඒ මාස 12 සහ දින 360 නැකත් සහ රාශි චක්‍රයේ අංශක 360 ට සමානයි. ඉතිං අවුරුද්ද කියන්නේ හිරු නැකත් සහ රාශි චක්‍රයේ එක් වටයක් සම්පූර්ණ කිරීමයි. මෙතනදි තවත් අමතර දෙයක් කිව යුතුයි. බොහෝ දෙනා දිනය සහ දවස කියන දෙක පටලව ගන්නව. ' දින ' කියන්නේ ආලෝකය හෙවත් සූර්‍යාටයි. හිරු උදාවේ සිට හිරු බැස යෑම දක්වා වූ කාලය තමා දිනය (Day) කියා කියන්නේ. මේ 'දින ' යන්න ' දා ' හැටියටත් යෙදෙනව. ඉරිදා (රිවිදින ) සඳුදා (සඳු දින ) අගහරුවාදා (කුජ දින ) බදාදා (බුද දින ) බ්‍රහස්පතින්දා (ගුරු දින ) සිකුරාදා (කිවි දින )සෙනසුරාදා (ශනි දින ) හැටියට සතියේ දින හත නම් කෙරෙන්නේ ඒ එක් එක් දිනයේ සූර්‍ය උදාව සිදුවන මොහොතේ පවතින හෝරාව අයත් ග්‍රහයාට අනුවයි.

දැන් බලමු දවස (Date) කියන්නේ මොකක්ද කියලා. කිසියම් මාසයක 1-2-3-4-5- ආදී වශයෙන් අංක යෙදෙන්නේ දවස කියන එකටයි. සෑම දිනයක්ම සූර්‍ය අංශක 1 ක් හෙවත් ඊට අදාළ ඉර උදාව සහ ඉර බැසීම තුළ පවතිනව. නමුත් දවස කියන එක මධ්‍යම රාත්‍රී 12 හෙවත් 00.00 දෙකෙන් අවසන්ව 00. 01 එකෙන් පටන් ගන්නව.ජ්‍යොතිෂයට මේ දවස කියන එක අදාළ නෑ. ඒකේ වටිනාකම තියෙන්නේ සම්මත ව්‍යවහාර ඔරලෝසුවට සහ කැලැන්ඩරයට විතරයි. දැන් ඔබට පෙනෙනව විනාඩිය පැය දිනය මාසය අවුරුද්ද කියන මේ සියල්ලම සකස් වෙන්නේ නිශ්චිත ස්වාභාවික ගණිතමය ක්‍රමයක් අනුවය කියලා. නමුත් ඉංග්‍රීසි ඔරලෝසුවට සහ කැලැන්ඩරයට එහෙම තර්කානුකූල ස්වාභාවික ගණිතමය පදනමක් පේන්නේ නෑ. ඉංග්‍රීසි මාසවලට දවස් 28-29-30-31 ආදී වශයෙන් යෙදෙනව. ඒ වගේම දවස සහ නව වසර පවා අලුත් වෙන්නේ මධ්‍යම රාත්‍රී 12 ටයි. එතන කිසි පදනමක් නෑ. ඒවා හිතුවක්කාරකමට කරපු දේවල් මිස ස්වභාවික නීතියක් සිද්ධාන්තයක් අනුව හදා ගත්ත දේවල් නෙවෙයි. රෑ 12 ට උදාවෙන දවස සහ දෙසැම්බර් 31 රෑ 12 ට උදාවෙන නව වසර කියන දෙකටම මෙලෝ තේරුමක් නෑ. අන්න ඒ නිසා ජ්‍යොතිෂයට ඔය ඉංග්‍රීසි දවස සහ නව වසර ( Date & New Year) කියන දෙකම වෙනුවට වැදගත් වෙන්නේ දිනය සහ අලුත් අවුරුද්ද ( Day & New Year / Dhina & Aluth Avurudhu) කියන දෙක විතරයි. මොකද අලුත් අවුරුද්ද සහ නව වසර කියන්නෙත් දෙකක් මිස එකක් නෙවෙයි. ' අවුරුදු / අවුරුද්ද කියන යෙදුමට වෙනම නිරුක්තියක් තියෙනව.

ඔය මුලින් කතා කෙළේ සූර්‍ය දින සූර්‍ය මාස සහ සූර්‍ය අවුරුද්ද ගැනයි. මීට සමාන්තරව සඳු ග්‍රහයාගේ ගමන පදනම් කරගෙන කාලය මනිණ තව ක්‍රමයක් තියෙනව. මෙන්න මේකත් බොහෝ දෙනා වරද්ද ගන්න තැනක්. සඳු ග්‍රහයා දින (2 1/2 ) දෙක හමාරකදී අංශක 30 ක් ගමන් කරනව. එතකොට රාශි 12 X 2.5 = 30 යි. තව විදිහකට කිව්වොත් එක් සූර්‍ය මාසයක් තුළදී සඳු ග්‍රහයා අංශක 360 ක් හෙවත් රාශි සහ නැකත් චක්‍රය වටා යන ගමන සම්පූර්ණ කරනව. හිරු පුරා අවුරුද්දක් යන ගමන සඳු එක සූර්‍ය මාසයකින් හමාර කරනව. ගණිතමය අනුපාතයට ගත්තොත් හිරු එක් සූර්ය වර්ෂයකදී යන දුර සහ වේගය සඳුගේ එක් සූර්ය මාසයක දුර සහ වේගයට සමානයි. ඒ අනුව හිරුගේ එක් ගමන් වටයක් සඳහා ගතවන කාලයේදී සඳුගේ ගමන්වාර 12 ක් සිදුවෙනව. රාශි දොළොසට සාපේක්ෂව මාස 12 ක් නිර්මාණය වීමත් මාස 12 ට පුර පෝය 12 ක් උදාවීමත් පුර පෝය 12 ක් එක් සූර්ය වර්ෂයක් වීමත් අතර තිබෙන නක්ෂත්‍ර පදනම ඉදිරියේදී ඔබට තව දුරටත් අවබෝධ වේවි. සූර්‍ය මාසයක් නම් කරන්නේ ඒ වන විට හිරු ගමන් කරමින් සිටින රාශිය මුල්කොට ගෙනයි. උදාහරණයට මේ ඉදිරියට එන අලුත් අවුරුද්ද ගත්තොත් මේෂ රවි (අප්‍රේල් 14 - මැයි 15 ) වෘෂභ රවි ( මැයි 15 - ජූනි 15 ) මිථුන රවි (ජූනි 15 - ජූලි 16 ) කටක රවි ( ජූලි 16 - අගෝස්තු 17 ) සිංහ රවි ( අගෝස්තු 17 - සැප්තැම්බර් 17 ) කන්‍යා රවි ( සැප්තැම්බර් 17 - ඔක්තෝබර් 17 ) තුලා රවි (ඔක්තෝබර් 17 - නොවැම්බර් 16 ) වෘශ්චික රවි ( නොවැම්බර් 16 - දෙසැම්බර් 16 ) ධනු රවි ( 2018 දෙසැම්බර් 16 - 2019 ජනවාරි 14 ) මකර රවි (ජනවාරි 14 - පෙබරවාරි 13 ) කුම්භ රවි ( පෙබරවාරි 13 - මාර්තු 15 ) මීන රවි ( මාර්තු 15 - අප්‍රේල් 14 ) කියන විදිහටයි යෙදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම අවුරුද්දක සූර්‍ය මාසයක් ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි මාසයක 15 වගේ මැද දවසක කියා මතක තබා ගැනීම ආසන්න වශයෙන් නිවරදියි.

සදුගේ ගමන අනුව එක් දිනයක ගමන් ප්‍රමාණය තිථියක් ලෙස නම් කෙරේ. පෑලවිය /දියවක / තියවක / විසේනිය / සැටවක / සතවක / අටවක / නවවක / දසවක / එකොළොස්වක / දොළොස්වක / තෙලෙස්වක / තුදුස්වක / අමාවක පසළොස්වක කියන විදිහට තමා ඒ තිථි 15 පිළිවෙළට එන්නේ. මේ තිථි පුර සහ අව හැටියට අවස්ථා දෙකක් යෙදෙනව. ඒ අනුව එකම තිථිය අව සහ පුර යනුවෙන් අව තුදුස්වක / පුර තුදුස්වක වගේ දෙවරක් දකින්න ලැබෙනව. මෙන්න මේ කාලයේදී පුර පසළොස්වක / අව අටවක/ අමාවක / පුර අටවක කියලා පෝය හතරක් උදාවෙනවා. ඒ පෝය හතර නිර්මාණය වෙන්නේ හිරුට සාපේක්ෂව සඳු පිහිටන කෝණය අනුවයි. හිරු සහ සඳු එකිනෙකාගෙන් අංශක 180 ක් දුරස්ථ වූ අවස්ථාව තමා පුර පසලොස්වක පෝය උදා වෙන්නේ . හිරු සහ සදු එකිනෙකාගෙන් අංශක 90 ක් අව සහ පුර ලෙස පිහිටන අවස්ථා දෙක අව අටවක සහ පුර අටවක හැටියට නම් කෙරෙනව. එතකොට මේ පෝය හතර කියන්නේ අංශක 90 කෝණ 4ක් බව ඔබට පෙනෙනව . තව විදිහකට කිව්වොත් වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යය හරහා සිරස්ව සහ තිරස්ව නිර්මාණය කරන සරල රේඛා දෙකක් එකී වෘත්තයේ පරිධියට තැන් හතරකින් යා වෙනව. අන්න ඒ ස්ථාන හතර අතර යාබද සමීප දුර අංශක 90 ක කෝණයක් හැටියටයි පෙනෙන්නේ. ඒ ස්ථාන හතරින් එකකට සදු ගමන් කරන සෑම අවස්ථාවක්ම පෝයක් හැටියටයි ගන්නේ. ඒ එක් එක් පෝය අතර කාල අන්තරය එක හා සමානයි.

ඔන්න එක් සූර්‍ය මාසයකට පෝය හතරක් නිර්මාණය වන හැටි දැන් පැහැදිලියි නේද ? හිරු සහ සඳු එකම අංශකයේ පිහිටී අවස්ථාවට අමාවක පෝය කියා කියනව. අව අමාවක තිථියෙන් පසුව උදාවන පුර පෑලවිය තිථියේ සිට පුර පසලොස්වක දක්වා වූ කාලය පුරපස හැටියටත් පුර පසළොස්වක සිට අව අමාවක දක්වා කාලය අවපස හැටියටත් දකින්න පුළුවන්. අවපස කාලයේදී සඳුගේ දීප්තිය සහ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යනව. පුරපස කාලයේදී සඳුගේ දීප්තිය සහ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් යන හැටි පොෙළාවට පේනව. අර තිථි හෙවත් චන්ද්‍ර දිනවල පෑලවිය සහ විසේනිය කියන අවස්ථා දෙක හැරෙන්න අනෙක් හැම අවස්ථාවක්ම ශබ්ද වෙන්නේ ' වක ' කියන යෙදුමෙන් බව ඔබට පේනවා. මේ 'වක' කියන්නේ සඳුගේ පරාවර්තන ආලෝක ප්‍රමාණයයි. හිරු සඳු සහ පෘථිවිය පිහිටන ජ්‍යාමිතික කෝණය අනුව සඳු වෙතින් පරාවර්තනය වන ආලෝකය පෘථිවිය කේන්ද්‍ර කොට ගෙන කොටස් 15 කට බෙදා වර්ග කළ බව පෙනෙනව. ඒ අනුව සඳුගේ කොටස් 15 ම මහ පොළොවට පෙනෙන ආලෝක පරාවර්තනයේ උපරිම අවස්ථාව පුර පසලොස්වක හැටියටත් සඳුගේ ආලෝක පරාවර්තනයේ කොටස් 15 ම නොපෙනී යන අවස්ථාව අමාවක හැටියත් නම් කළ බව පැහැදිලියි. ඊට අනුරූපීව අනෙක් පුර සහ අව තිථි පිළිබඳවත් ගණනය කිරීම් අකුරටම සිදුවී තියෙනව. මෙය ගණිතමය අරුතකින් කීවොත් 15/15 පුර පසළොස්වක 0/15 අමාවක 8/15 අටවක 10/15 දසවක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ සඳුගේ කොටස් 15 න් එක් කොටසක්වත් නොපෙනෙන අවස්ථාව 0/15 අමාවක වගේම සඳුගේ කොටස් 15න් 15 ම පෙනෙන අවස්ථාව පුර පසළොස්වක හැටියටත් ගැනෙනවා. මෙය නිශ්චිත චක්‍රයක් ලෙස නිරීක්ෂණය වීම පදනම් කොට ගෙන කාලය මැනීම සහ පුර පසළොස්වක ඇතුළු අනෙක් තිථි කොයි කාලයේ උදාවේද යන්න නිවරදිව පුරෝකතනය කිරීමටත් පුරාණ හෙළ නක්ෂත්‍රවේදීන් සමත් වුණේ මහ පොළොවේ සිට අහස නිරීක්ෂණය කිරීමෙන් මිස බ්‍රහ්මයකු හෝ දෙවියකු හෝ එවැනි දිව්‍යමය ඉසිවර බලයකින් නොවන බවට කිසිම සැකයක් නෑ.

ඔවුන් එදා සිදුකර තිබෙන්නේ ඇසට පෙනෙන ජ්‍යාමිතික කෝණය අනුව ග්‍රහයාගේ දුර සහ වේගය කාලය යන්නට පෙරළා ගැනීමයි. එහි එන 'වක ' ශබ්දයත් අටවක නවවක පසළොස්වක කියන වචනත් ගත්තම අමිශ්‍ර අමු හෙළ බස මිස සංස්කෘත භාෂා ඌරුවක් ඒවායේ නෑ. චන්ද්‍ර මාස නම් කරන දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසළ කියන වචන 12 ත් ඒ වගේම වෙනවා විතරක් නෙවෙයි ඒ සෑම එකකටම ආවේණික අරුතක් සහ නිරුක්තියක් තියෙනව. අනෙක් කිසිම ජ්‍යෝතිෂ ක්‍රමයක් ඇතුළේ ඒවා අර්ථ දක්වන්නත් බෑ. අස්විද කැති බෙරණ ආදී වශයෙන් එන නැකත් චක්‍රයත් අරුත් ගැන්වෙන්නේ ඊට අදාළ දැනුම් පද්ධතිය තුළමයි. ඔන්න ඔය තමා හෙළ හෝ හෙළනිස්ටික් නක්ෂත්‍ර විද්‍යාවේ පදනම. ඒ වගේම මෙහි සඳුගේ ගමන හෝ තිථි හෝ පෝය හෝ ගැන කතා කළත් ඒ සියල්ල රඳා පවතින්නේ හිරු කේන්ද්‍ර කොට ගෙනයි. හිරුගේ ආලෝකය සදු විසින් පරාවර්තනය කිරීම සහ ඒ අනුව නිර්මාණය වන ජ්‍යාමිතික කෝණ අවස්ථා 15 නැතිව සඳුගේ ගමන අනුව කාලය බෙදන්න බෑ. හෙළ / හෙළනිස්ටික් නක්ෂත්‍ර විද්‍යාවේ කේන්ද්‍රස්ථානය වෙන්නෙත් සූර්‍යා මිස අන් කිසිවක් නොවෙයි. ටොලමියානු සූත්‍ර සියල්ලම ගොඩ නැගෙන්නෙත් මේ පදනම මතමයි.


හතර පෝය හැදෙන හැටි

හතර පෝය ගැන ඔබ අසා ඇති. මේ අවස්ථා හතර යෙදෙන්නේ හිරු සහ සඳු අතර හට ගන්නා ජ්‍යාමිතික පිහිටීමක් අනුවයි. හිරු සහ සඳු එකම අංශකයට ආ විට ඒ තමා අමාවක පෝය. ඉන් පසුව සඳුගේ පුර පක්ෂය උදාවෙලා හිරු සහ සඳු එකිනෙකා වෙතින් අංශක 90 ක් ඈත් වූ විට පුර අටවක පෝය උදාවෙනවා. ඒ පුර අටවක පෝයෙන් පසුව හිරු සහ සඳු එකිනෙකා වෙතින් අංශක 180 ක් ඈත් වී එකිනෙකාට මුහුණට මුහුණ ලා සිටියදී පුර පසළොස්වක උදාවෙනවා. ඒ පුර පසළොස්වක පෝයෙන් පසුව සඳුගේ අව පක්ෂය උදාවෙනව. එතැන් සිට අංශක 90 ක් දුර සඳු ගමන් කළ විට අව අටවක පෝය උදාවෙනවා. කඩදාසියක වෘත්තයක් ඇඳලා එහි මධ්‍ය ලක්ෂය හරහා වෘත්තයේ පරිධිය පසාරු වන ලෙස සිරස්ව සහ තිරස්ව සරල රේඛා දෙකක් අඳින්න. දැන් ඔබට පෙනෙන්නේ වෘත්තයක් සහ කුරුසයක්. ඒ කුරුසයේ කොන් හතර තමා හතර පෝය කියා කියන්නේ. එහි කවරම හෝ ලක්ෂයක හිරු සිටියදී අනෙක කවරම හෝ ලක්ෂයක සඳු පිහිටන ජ්‍යාමිතික කෝණය අනුව පෝය කුමක් දැයි ඉතා පහසුවෙන් තීරණය කරන්න පුළුවන්.

කේ.සී.ජේ .රත්නායක

Comments