ලාංකික කතට අමෙරිකන් නීතිය හිස නමයි නිව්යෝර්ක් නීතිපති ගෙදර | සිළුමිණ

ලාංකික කතට අමෙරිකන් නීතිය හිස නමයි නිව්යෝර්ක් නීතිපති ගෙදර

 නිව්යෝර්ක්හි වෙසෙන ශ්‍රි ලාංකික කාන්තාවක විසින් නිව්යෝර්ක් නීතිපතිවරයා පසුගිය සඳුදා ගෙදර යැවූ අපූරු පුවතක් සතිය පුරාම සමාජ මාධ්‍යය උණුසුම් කළේය. මවුබිමින් බොහෝ දුරස්ව වාසය කරන මේ ශ්‍රි ලාංකික කත තමන් වැනිම අපහසුතාවයන්ට පත්වූ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු හා එක්ව සටන් කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නීති ක්ෂේත්‍රයේ ඉහළම පුටුවට එරෙහිවය. අවසානයේ අයුක්තිය පරදා මේ ශ්‍රී ලාංකික කත ජය ගත්තාය. ලොව ප්‍රබලම රාජ්‍යයක නීති ක්ෂේත්‍රයේ ඉහළම පුටුව මේ ශ්‍රි ලාංකික කාන්තාව වෙනුවෙන් ගෙදර යැවීමට එරට නීතිය සර්ව සාධාරණ විය.

“කිසිවෙකුටත් නීතියට උඩින් යන්න අවසර නැහැ. නිව්යෝර්ක් නගරයේ ඉහළම නීති නිලධාරියාටත් නීතිය එකයි.” යනුවෙන් පවසමින් එඩිතර තීන්දුවක් දෙමින් නිව්යෝර්ක් නගරයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් අවසානයේ මේ ඉහළ නිලධාරියා සේවයෙන් පහ කරනු ලැබුවේ අයුක්තිය වෙනුවෙන් නීතිය සැමට පොදුබවට අන් රටවලටත් ආදර්ශයක් දෙමිනි.

එරික් ෂෙනී ඩර්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නීතිපතිවරයා ය. මෙරට ඉපදුණු තාන්යා සෙල්වරත්නම් කාලයක සිට පදිංචිව සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ගත් කතුවරියක හා නිළියක ද වන ඇය යම් ආයතනයක අධ්‍යක්ෂකවරියක්ද වන්නීය. ඇය එරික් ෂෙනී ඩර්මන් සමඟ වූ විවාහය දික්කසාදයකින් අවසන් කළේ 2016 වසරේදීය. මේ නීතිපතිවරයා කාන්තා ඇසුර ප්‍රිය කරන්නෙකු වූ අතර විවිධ කාන්තාවන් හා අයථා සබඳතා ද පැවැත්වීය. ඒ සිය උත්තරීතර තනතුරේ ගෞරවය ගැන කිසිදු තැකීමකින් තොරවය. එහෙත් මේ නීතිපතිවරයාගේ සෙල්ලක්කාර ජීවිතය හිටි හැටියේ ගිනි ගත්තේ ‘ද නිව්යෝකර්' නම් වූ සඟරාවට තාන්යා ඇතුළු ඔහුගේ පෙම්වතියන් බවට පත්ව සිටි කාන්තාවන් සිවුදෙනෙකු විසින් කළ ප්‍රකාශ රටටම හෙළිදරවු වීමත් සමඟය.

“මට ඔහු හරියට හිරිහැර කරනවා. ගොඩාක් වෙලාවට මා ආමන්ත්‍රණය කරන්නේ ‘දුඹුරු වහල් සේවිකාව' ලෙසයි. නැතිනම් ‘ස්වාමිනී' කියා ඔහු ආමන්ත්‍රණය කරන තෙක් මට පහර දෙනවා. සමහර අවස්ථාවල අසම්මත ලිංගික හැසිරීම්වලටත් මා පොලඹවා ගන්න නිරන්තරයෙන්ම උත්සහ ගන්නවා. මා ඒවාට අකමැති වූ විට මට පහර දෙනවා. ඔහු මට තවත් කාන්තාවන් සොයාගෙන එන්න කිව්වා. එය කිරීම මට අයිති වැඩක් කීවා. ඒත් තවත් කාන්තාවන් අපේ යහනට ගේන්න මට අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා ලිංගිකව එක්වන සෑම අවස්ථාවකදීම ඔහු මට විවිධාකාරයේ හිරිහැර කළා. මේ හිරිහැර හේතුවෙන් මට කිහිපවිටක්ම වෛද්‍ය ප්‍රතිකාර වලටත් යොමුවන්න සිදුවුණා.” තාන්යා සඟරාවට එසේ පවසද්දී ඔහුගේ තාඩන පීඩනවලට ලක්වූ මිචෙලි බාරීස් නම් වූ කාන්තාවක්ද සිය තොරතුරු හෙළි කළාය.

එරික් ෂෙනී ඩර්මන්ට විරුද්ධව ලිංගික චෝදනා ඉදිරිපත් කළ තවත් කාන්තාවක් නීතිඥවරියකි. ඇයද තමාට සිදුවූ හිරිහැර මේ සඟරාවට හෙළි කළ අතර එරික් සිය මුහුණ හා ශරීරයට කළ පහරදීම් ගැනද සඳහන් කළාය. ඩර්මන්ට විරුද්ධව ‍චෝදනා ඉදිරිපත් කළ හතරවැනි කාන්තාවද පැවැසූයේ තමන් ද නිතර එවැනි පීඩාවන්ට ලක්වූ බවය.

නීතිපතිවරයා මේ චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කළද ඔහුට එරට නීතියෙන් කිසිදු ගැලවීමක් නොලැබිණි.

“මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මටත් පෞද්ගලික ජීවිතයක් තිබුණා. ඒත් මම ඔය කියන ආකාරයේ අසම්මත ලිංගික හැසිරීම්වලට යොමුවුණේ නැහැ. ඒ වගේම කිසිවෙකුගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක් වුණෙත් නැහැ. මම මගේ සීමාවෙන් කිසිවිටකත් පිට පැන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකුටවත් හිරිහැරයක් සිදු කළේ නැහැ. හැමදේම කළේ ඔවුන්ගේ අවසරය මතයි.” යනුවෙන් ඔහු පැවැසුවද එරට නීතිය සාධාරණ වෙමින් ශ්‍රි ලාංකික කත වෙනුවෙන් පෙනී සිටියේය.

ඇමෙරිකාව නීතිය ඉටු කිරීමේදි ලොකු පොඩි භේද මෙන්ම වත් පොහොසත්කම් හා තනතුරු නම්බු නාම කිසිවක් නොසලකා මිනිසත්කම හා සාධාරණත්වය අගය කරමින් මුළු මහත් ලෝකයාටම ආදර්ශයක් සැපයීය.

“මෙය මගේ පෞද්ගලික තීන්දුවක් නොවේ. මෙම ඉදිරිපත් වූ චෝදනාවලට අනුව මා සිතන්නේ මෙවන් ඉහළ නිලයක් දරන්නෙකු මෙය නොකළ යුතුව තිබූ දෙයක් ලෙසයි. මෙවැනි දේ මේ තනතුරට නුසුදුසුයි. කිසිවෙකුටත් නීතියට පිටින් යන්න බැහැ. නිව්යෝර්ක් නගරයේ ඉහළම පුරවැසියාටත් නීතිය එකයි”

නිව්යෝර්ක් නගරයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ පසුගිය 8 වැනිදා සිය නිගමනය ලබා දුන්නේ නිව්යෝර්ක් නීතිපති එරික් ෂෙනී ඩර්මන්ට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස නියෝග කරමිනි.

තොරතුරු හා ඡායාරූප අන්තර් ජාලයෙනි
සුභාෂිණි ජයරත්න

Comments